පිපාසයෙන් මියෙන යාපනයට දිය පොදක් නොදෙන කිලිනොච්චියේ මිනිස්සු | සිළුමිණ

පිපාසයෙන් මියෙන යාපනයට දිය පොදක් නොදෙන කිලිනොච්චියේ මිනිස්සු

රුපියල් මිලියන 2178ක වියදමකින් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කළ කිලිනොච්චිය ඉරණමඩු ජලාශයෙන් අපේක්ෂිත පල නෙළාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙමින් පවතී.

එතරම් විශාල මුදලක් වැය කොට ජලාශය නවීකරණය කළේ කිලිනොච්චියේ ගොවි ජනතාවට ගොවිතැන් කිරීම සඳහාම පමණක් නොවේ.

කිලිනොච්චියේ ජනතාවට පානීය ජලය සපයාදීම ඉරණමඩු ජලාශයේ දෙවන අරමුණ වන අතර එහි තුන්වන අරමුණ වන්නේ යාපනයේ ජනතාවට පානීය ජලය ලබාදීමයි.

කිලිනොච්චිය ඉරණමඩු ජලාශය නවීකරණය කිරීමට පෙර මීට වසර ගණනාවකට ඉහතදී එහි ජලය යාපනයට රැගෙන යෑමට ව්‍යාපෘතියක් සැකසිණි. ඒ අවස්ථාවේදී කිලිනොච්චියේ වැසියන් ඊට එරෙහි වූයේ ගොවිතැන් කිරීමටවත් ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් නැති ඉරණමඩු ජලාශයේ ජලය යාපනයේ වැසියන්ට බීමට රැගෙන යන විට ගොවිතැනත් පානීය ජලයත් යන දෙකම නැති වන බවටය.

ඒ අවස්ථාවේදී කිලිනොච්චිය ගොවීන්ගේ ප්‍රකාශවල යම් සත්‍යතාවක් ඇති බව වැටහීම නිසා මේ යෝජනව ඉදිරිපත් කළ ආසියානු සංවර්ධන බැංකුවද නිහඬ වූයේය.

නමුත් නැවත වතාවක් ආසියානු සංවර්ධන බැංකුවේම මුදල් ආධාර මත ඉරණමඩු ජලාශය සම්පූර්ණයෙන්ම නවීකරණය කිරීමෙන් පසුව කිලිනොච්චියේ ගොවීන් නඟන තර්කයට දැන් ඉඩක් නැත.

1902 වසරේදී ඉරණමඩු ජලාශය ඉංග්‍රීසීන් විසින් ප්‍රතිසංස්කරණය කරන විට මේ ජලාශයේ ධාරිතාව අක්කර අඩි 119කින් වැඩි කිරීමට කටයුතු කළත් ධාතුසේන රජු විසින් කළ ඉරණමඩු ජලාශයේ මුල් නිර්මාණයට එක අඟලක හෝ වෙනස් කමක් කිරීමට ඉංග්‍රීසි පාලකයෝ කටයුතු නොකළහ.

ඉංග්‍රීසීන්ගේ මේ ප්‍රතිසංස්කරණ කටයුතුවලින් පසුව ශ්‍රී ලංකා රජයද 1975 වසරේදී මේ ඉරණමඩු ජලාශයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට තිබේ. නමුත් ඉරණමඩු ජලාශයේ ජලධාරිතාව වැඩි වීමක් මේ ප්‍රතිසංස්කරණයේදී සිදුව නැත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වාන් දොරටු විවෘත කරන ලද්දේ 2015 වසරේදී ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලද ඉරණමඩු ජලාශයේය. මේ ප්‍රතිසංස්කරණය හමුවේ මේ ජලාශයට බොහෝ වෙනස්කම් සිදු වී තිබේ. ඒ අතරින් දෙකක්ම ඉතාම වැදගත් වෙනස්කම් වෙයි.

ඉන් පළමු වැන්න වන්නේ ඉරණමඩු ජලාශයේ ජලධාරිතාව සැලකිය යුතු මට්ටමකින් ඉහළ දැමීමට කටයුතු කිරීමයි.

ඉරණමඩු ජලාශයේ 2015 වසරේ ප්‍රතිසංස්කරණය කිරීමට පෙර ජලධාරිතාව ජල ඝන මීටර් මිලියන එකසිය තිස් එකකි. නමුත් එහි ප්‍රතිසංස්කරණය කොට අවසන් වූ පසුව ජලධාරිතා ජල ඝන මීටර් මිලියන එකසිය හතළිස් අටකි. ඉලක්කම් ලිවීමේ කලාව අනුව වැඩි වූ අගය දාහතක් වූවත් වාරිකර්මාන්තය අනුව යම් වැවක හෝ ජලාශයක ජලය ඝන මීටර් මිලියනයක් වැඩි වීම යනු විශාල වෙනස්කමකි. මහා හාස්කමකි. මේ අනුව කිලිනොච්චියේ ඉරණමඩු ජලාශයට අලුතින් ජලය ඝන මීටර් මිලියන දාහතක වැඩි වීමක් යනු විශාල වෙනස් කමකි.

වාරි කර්මාන්තයේ එම ජල ධාරිතාව මිලියන ගණනින් කියන කතාව සාමාන්‍ය ජනතාවට තේරෙන භාෂාවෙන් කියන්නේ නම් මීට පෙර ඉරණමඩු ජලාශය වාන් දැමීම සිදු වූයේ ජලාශයට අඩි 34ක් වතුර පිරීමෙන් අනතුරුවය. නමුත් 2015 ප්‍රතිසංස්කරණවලින් පසුව ඉරණමඩු ජලාශය වාන් දැමීම සදහා අඩි 36ක් උසට ජලය පිරිය යුතුය.

ජලකඳේ උස ගැන කියවෙන විටද වැඩි වී ඇත්තේ අඩි දෙකක් පමණකි. නමුත් ඉරණමඩු ජලාශයේ ප්‍රමාණය අනුව සලකා බලන විට මේ ජලාශයට අඩි දෙකක් වැඩියෙන් එකතු වන ජලයෙන් පෙරට වඩා කුඹුරු අක්කර අට දහසක් පමණ වගා කළ හැකි වෙයි.

ඉරණමඩු ජලාශය යටතේ කුඹුරු කරන කිලිනොච්චියේ ගොවීන්ට එදා වගා කළ හැකි වූයේ කුඹුරු අක්කර 18000ක් පමණය. නමුත් වර්තමාන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයත් සමඟම ඒ කුඹුරු ප්‍රමාණය අක්කර 26000ටත් වඩා වැඩි වී තිබේ.

ඉරණමඩු ජලාශය ප්‍රතිසංස්කරණය වූ පමණින්ම කිලිනොච්චියේ කුඹුරු අලුතෙන් පැටව් ගැසීමක් සිදු වී නැත. මෙහිදී සිදුවන්නේ මෙතෙක් අහස් දියෙන් හෝ සුළු වාරිමාර්ග ක්‍රමයක් යටතේ වගා කරන ලද කුඹුරුවලට ඉරණමඩු ජලාශයෙන් ජලය ලබාගැනීමට හැකි වීමයි.

ඉරණමඩු ජලාශයේ ජලය පිරෙන ප්‍රදේශය අක්කර 22000කින් පමණ සමන්විත භූමියකි. ඊට ජලය පිරුණු විට මහ මුහුදක් සේ දිස් වෙයි.

2015 වසරේ මේ ඉරණමඩු ජලාශයේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා රජය වැය කළ මුදල රුපියල් මිලියන හත්සිය අසූහතකි. නමුත් 2018 දී ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වන විට සමස්තයක් වශයෙන් රුපියල් මිලියන 2178කටත් මඳක් වැඩියෙන් ඉරණමඩු ජලාශයේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වැය කිරීමට සිදු වී ඇත.

ඒ සදහා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය සහ ආසියානු සංවර්ධන බැංකුව මූල්‍ය ප්‍රතිපාදන සපයා ඇත.

ඉරණමඩු ජලාශය ප්‍රතිසංස්කරණය කිරීමෙන් කිලිනොච්චියේ වැසියන්ට කෘෂිකාර්මික කටයුතු සදහා ජලය ලබාගැනීමට පමණක් නොව පානීය ජල ප්‍රශ්නයද විසැඳීමද මේ ව්‍යාපෘතියේම කොටසකි.

නමුත් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට ඉඩක් ලැබෙන බවක් පෙනෙන්නට නැත.

මේ තත්ත්වය නිසා කිපිනොච්චිය ඉරණමඩු ජලාශයේ ඇති ජලයෙන් සියයට හැටක ප්‍රමාණයක් පානීය ජලය වශයෙන් යාපනයට රැගෙන යෑමට ඇති හැකියාව පිළිබඳ වහාම සොයා බලන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා නිලධාරීන්ට දැනුම් දී තිබේ.

මේ දැනුම් දීම සිදු කළ බවට ආරංචියක් පැතිර යෑමත් සමඟම කිලිනොච්චියේ විශාල පිරිසක් උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ කාර්යාලය වැටලූහ.

ආණ්ඩුකාරවරයා ඔවුන් සමග සාකච්ඡාවට පැමිණි අවස්ථාවේදී ඔවුන් ආණ්ඩුකාරවරයාට කියා සිටියේ ආණ්ඩුකාරවරයා ගත් තීරණයට ඔවුන් විරුද්ධ බවයි.

උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා කිලිනොච්චියේ සිට පැමිණි ජනතාවට පවසා ඇත්තේ එය තවමත් යෝජනාවක් පමණක් බවයි.

මෙහිදී කිලිනොච්චියේ ඉරණමඩු ජලාශය හා එහි ඇති විශාල ජලස්කන්ධය කිලිනොච්චියේ වැසියන්ට අයත් බව තමන් පිළිගන්නා බව පවසා මේ උතුරේම ජනතා කොට්ඨාසයක් වන යාපනයේ ජනතාවට පානීය ජලය නැතිව විඳින පීඩාවද විශාල ප්‍රශ්නයක් ලෙස සලකන මෙන් ආණ්ඩුකාරවරයා මේ පිරිසට ප්‍රකාශ කොට තිබේ.

නමුත් ඔවුන්ගේ කිසිම මානුෂීයභාවයක් දැකගන්නට නොලැබිණි. ඔවුන් කිලිනොච්චියට ආපසු පැමිණ විශාල රැස්වීමක් තබා තීරණය කොට ඇත්තේ මේ යෝජනාව අකුළාගන්නා තුරු විරෝධතා පළ කිරීමටය.

තමන්ගේ සහෝදර ජනතාවට බීමට දිය පොදක් ලබාදෙනවාට විරුද්ධ පිරිසක් අන්‍ය ආගමකට අයත් සිද්ධස්ථාන ආරක්ෂා කොට රැක දෙතැයි යන්න කෙසේ නම් විශ්වාස කළ හැකි වේද? යන්න පැහැදිලි වන්නේ මෙවැනි සිද්ධීන් දෙස බලන විටය.

ඉරණමඩු ජලාශයේ ජලය පානීය ජලය වශයෙන් යාපනයට රැගෙන යෑමට යෝජනා වී ඇත්තේ අද ඊයේ සිට නොවේ. බ්‍රිතාන්‍ය ජාතිකයන් මේ රට පාලනය කළ කාල වකවානුවේදී පවා ඒ සඳහා සැලසුම් සකස් කොට තිබේ.

යාපනයේ ජනතාව අදටත් පානය කරන්නේ අපවිත්‍ර ජලයයි. සියයට එකොළහක් පමණ එම ජලයේ විෂ කොටස් ඇති බව සනාථ වී ඇත. තත්ත්වය එය වූවත් යාපනයේ ජනතාවට යාපනයෙන් පානීය ජලය සපයා දිය නොහැකිය. කළ හැකි එකම දෙය වන්නේ පිටස්තර පළාතකින් යාපනයට පානීය ජලය රැගෙන ඒම පමණකි.

යාපනයේ ජනතාවට පානය කිරීම සඳහා බෝතල් කළ ජලය වෙනත් පළාතකින් රැගෙන විත් ලබාදීම වියදම් අධික ක්‍රියාවකි. බ්‍රිතාන්‍ය පාලකයන් ලංකාවේ සිටි කාලයේදී පානීය ජල බෝතල් නොතිබූ බැවින් හා යාපනයට පානීය ජලය සපයා දිය හැකි ළඟම ජලාශය ඇත්තේ කිලිනොච්චියේ ඉරණමඩු ජලාශයත් නිසා ඔවුන්ද මේ යෝජනාව වසර ගණනකට පෙර යෝජනා කොට තිබේ.

යුද්ධය හමාර වීමෙන් පසුව මේ යෝජනාව යළිත් උතුරේ කරළියට පමිණියේය. ඒ යෝජනාව රැගෙන එන ලද්දේ ආසියානු සංවර්ධන බැංකුව විසිනි.

මේ අවස්ථාවේදී කිලිනොච්චියේ ගොවි සංවිධාන ඊට විරුද්ධ වී එවකට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාටද ගොවීන් සිය විරෝධය පැමිණිල්ලක් වශයෙන් ඉදිරිපත් කොට තිබිණි.

එ් පිළිබඳ සොයා බැලීමට විග්නේශ්වරන් මහතා විශේෂ කමිටුවක් පත් කළ අතර කමිටුවේ නිර්දේශය වූයේ කෘෂිකාර්මික කටයුතු හා යාපනයට පානීය ජලය සපයා දීමට යන කාරණා දෙකටම ඉරණමඩු ජලාශයේ ජලය ප්‍රමාණවත් නොවන බවයි.

විග්නේශ්්වරන් මහතාද කමිටු වාර්තාව පැමිණීමටත් පෙර එම ව්‍යාපෘතියට විරුද්ධ වූ අතර එම ව්‍යාපෘතිය නතර කරන මෙන් ඉල්ලා රජයට ලිපි කීපයක්ද යොමු කොට තිබිණි.

ඒ අතරතුර විග්නේශ්වරන් මහතා කිලිනොච්චියේ ගොවි සංවිධාන හා ස්වේච්ඡා සංවිධාන කීපයක් සමඟ රැස්වීම්ද පවත්වා එම ව්‍යාපෘතියට විරෝධය පළ කොට සිටියේය.

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ආරම්භ කිරීමට උත්සාහ දරන්නේ එම නතර වූ ව්‍යාපෘතියයි. ආණ්ඩුකාරවරයා පසුගියදා ඉරණමඩු ජලාශය නිරීක්ෂණය කිරීමට ගිය අතර එහිදී වාරිමාර්ග නිලධාරීන්ට උපදෙස් දී තිබුණේ පළාතේ ඇති විශාලතම සම්පත මෙය බැවින් එය ඉතා හොදින් සුරැකීමේ පියවරක් වශයෙන් ඉරණමඩු ජලාශය නිලධාරීන් විසින් දින පහකට වතාවක් නිරීක්ෂණය කළ යුතු බවයි.

මෙම සංචාරයෙන් පසුව ආණ්ඩුකාරවරයා නිලධාරීන්ට දැනුම් දී අැත්තේ යපනයේ ජනතාවට පිරිසුදු පානීය ජලය ඉතා අත්‍යවශ්‍ය බැවින් මෙම ව්‍යාපෘතිය සඳහා වහාම සැලසුමක් සකස් කරන ලෙසයි.

කිලිනොච්චිය දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු එන්. සුදාකාර්න් මහතා ආණ්ඩුකාරවරයාට පවසා ඇත්තේ ඉරණමඩු ජලාශයේ වත්මන් ජලධාරිතාවයට අනුව එහි ජලයෙන් සියයට හතළිහක් පළාතේ කෘෂිකාර්මික කටයුතු සදහා ප්‍රමාණවත් වන බවයි. ආණ්ඩුකාරවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ ඉරණමඩු ජලාශයේ ජලයෙන් සියයට හැටක් යාපනයට පානීය ජලය වශයෙන් රැගෙන යෑමට ඇති හැකියාව පිළිබදව සැලසුමක් සකසන ලෙසයි.

අදහස්