පොලොන්නරුව පුරාණ ශිව දේවාලයෙන් මතු වන සැඟවුණු ඉතිහාස කතාව | සිළුමිණ

පොලොන්නරුව පුරාණ ශිව දේවාලයෙන් මතු වන සැඟවුණු ඉතිහාස කතාව

සිහින් සිරිපොද ඇදහැලෙමින් තිබේ. ඈත රජරටට වසන්තය ගෙනෙන්නේ මේ වැහි බිජුවටය. ගහ කොළත් ජීවිතය ගැන මියුරු කතා කියමින් හිඳී. පරාක්‍රම සමුද්‍රයේ දියවර මත රැලි රටා නංවමින් ගලා එන තෙත බරිත සුළඟ සෙල් ටැඹ අතරින් ගලාගෙන ඇවිත් හිරිගඩු නංවමින් සැඟ වී යයි .

මේ මොහොතේ අප සිංහලයේ සැබෑ සංහිඳියාව මූර්තිමත් කරන පොලොන්නරුව පුරාණ ශිව දේවාලය අසලය. පොලොන්නරු පුරාණ නගරයට ප්‍රධාන ප්‍රවේශයෙන් ඇතුළුවත්ම වම්පස පිහිටි මෙම ශෛලමය ශිවදේවාල පරිශ්‍රය පිහිටන්නේ පුරාණ නගරයේ අති සංවේදී භූමිය තුළය. සිංහලයේ රාජ්‍යත්වය සංකේතවත් කළ දළදා වහන්සේ වඩා හිඳවනු ලැබූ දළදා මළුව හා ජීවමාන රජුන් වැඩ විසූ රජවාසල අතර අති සංවේදී භූමිය පිහිටුවා තිබූ මෙම පෞරාණික ගොඩනැගිල්ල පොලොන්නරුවේදී හමු වන වඩාත් හොඳින් රක්ෂා වී තිබූ ඓතිහාසික ශිව දේවාලය විය.

එය පිහිටියේ මොන තරම් වැදගත් ස්ථානයකද යන්න වැටහෙන්නේ මුල් වකවානුවේ පොලොන්නරු නටබුන් වාර්තා කළ පුද්ගලයන් එම දෙවොල දළදා මැදුර ලෙස වරදවා වාර්තා කිරීමෙනි.

සියවස් ගණනාවක් පුරා බොදු-හින්දු බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍රවන සජීවී පුදබිමක් වූ අංක 1 ශිව දේවාලය ඇසුරෙහි නව සංරක්ෂණ කටයුත්තක් ඇරැඹී තිබේ. එය එක් අතකින් ප්‍රාර්ථනාවක් සඵල වීමකි.

ගරා වැටීමේ ඉතිහාසය

මහා පැරකුම්බාවන්ගේ පුරාණ මාලිගා සංකීර්ණය සහිත විභූතිමත් රාජකීය ඇතුළු නුවරට ඉදිරිපිට, ඇතුළු නුවර හා දළදා මළුව අතර පිහිටි මේ ශුද්ධ ස්මාරකය කලක් තිස්සේ ගරා වැටෙමින් පැවතිණි. සියවස් ගණනාවක් පුරා තිරශ්චීන පරසතුරු උවදුරු මැද, සොබා දහමේ සැහැසිකම් විඳිමින් රක්ෂා වී තිබුණු මේ පූජනීය ස්මාරකයට මෑත වකවානුවේ බරපතළම ව්‍යසනය කරනු ලැබුවේ පුරාවිද්‍යා බලධාරීන් විසිනි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අංක එක ශිව දේවාලයේ කළ මුල්ම පර්යේෂණ කැණීම සිදු වන්නේ එච්.සී.පී.බෙල් සමයේය. ඒ කැණීම වර්ෂ 1907 වසරේ සිදු කර තිබිණි. එහිදී අතිශය අගනා ලෝකඩ ප්‍රතිමා සමූහයක් හමු විය. නටරාජපිළිමයක්, ශිව හා පාර්වතිසිටින පිළිරූ දෙකක්, පාර්වති දෙවඟනගේ පිළිරූ දෙකක්, ශෛව සාන්තුවරයෙකු වන මානික්කවාචගර්ගේ පිළිරුවක්, තවත් ශෛව සාන්තුවරයෙකු වන අප්පාර් ස්වාමිගේ පිළිරූ දෙකක් සහ සීනුවක් එම හමුවූ පුරාවස්තු අතර තිබිණි. එම ප්‍රතිමා ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.

එම ස්මාරකය බරපතළ අර්බුදයකට මුහුණ දෙන්නේ වර්ෂ 1979 දීය. එකල ස්මාරකය සංරක්ෂණය කිරීම අරමුණු කරගෙන එවකට අඩි දහයක් පමණ උසට තිබූ මණ්ඩපයේ බිත්තිවල සෙල්පුවරු ගලවා දැමිණි. එහෙත් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර නිලධාරී ගැටුමක් නිසා මෙම සංරක්ෂණ කටයුතු නවතා දැමූ බව කියැවිණි. අනතුරුව දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ අත්හැර දැමූ එම ගොඩනැගිල්ල පැවතුණේ ගරා වැටෙමිනි. එදා සංරක්ෂණය සඳහා ගලවා දැමූ පෞරාණික ගල් කුට්ටි විතැන් වූවා පමණක් නොව, යළි ගොඩනැඟිය නොහැකි සේ අවුල්ව ගියේය. සමහර සෙල් පුවරු සොරුන් විසින් රැගෙන යන ලදුව අසල රක්ෂිතයේ තිබී හමුවිණි. එදා එම සංරක්ෂණ කටයුත්තට දායක වූ කිසිවෙක් අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නොසිටී. සමහර අය ජීවතුන් අතරත් නැත.

වර්ෂ 2005 දි ඇරැඹි සංරක්ෂණ කටයුත්තක්ද අකල්හි නැවතිණි. ශාස්ත්‍රීය අශීලාචාරකම් මැද අත්හැර දැමුණු එම පෞරාණික ගොඩනැගිල්ල පසුව ක්‍රමිකව ගිලා බැස්සේය. මීට දෙවසරකට පමණ පෙර මෝසම් වැසි සමයේ ගොඩනැගිල්ලේ උතුරු බිත්තියෙහි ගල් පුවරු කීපයක් කඩා හැලුණේය. බිත්තිය සවිමත් කිරීමට එක් කර තිබූ මුක්කු ගිලා බැස්සේය. ශිව දේවාලය සංරක්ෂණයේ අවශ්‍යතාව ජනතාව වෙතින්ම මතු වී ආවේය. අවසානයේ සංරක්ෂණ කටයුතු ඇරැඹිණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ එම ශාස්ත්‍රීය කටයුත්ත දැන් කරනු ලබන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලෙනි.

කැණීම

පෞරාණික හින්දු දේවාලයක අන්තර්ගත ප්‍රධාන කොටස් තුනකි. දේවාලයේ ඇතුළතින්ම පිහිටා ඇති කොටස ගර්භ ගෘහය ය. එය කළු ගලින් හා ගඩොලින් කළ ශිඛරයකින් යුතු විය. වන්දනාමාන සඳහා පිහිටවූ ශෛලමය ශිව ලිංගය පිහිටා ඇත්තේ එම ගර්භ ගෘහය තුළය. උත්සව අවස්ථාවලදී හෝ බැතිමතුන් වන්දනා කිරීමේදී ශිව ලිංගය දෝවනය කරන ජලය පිටවීම සඳහා කළුගලින් ඉදි කළ සෝම සූත්‍ර නමින් හැඳින්වෙන පිහිල්ලකි. සහ එම ජලය එකතු වීම සඳහා පිටත කළුගලින් කළ පොකුණකි. ගර්භ ගෘහයට යාව ඇති කොටස අන්තරාලය ය. පිටතින්ම ඇති කොටස මණ්ඩපය ය. .

ගර්භගෘහයේ සහ අන්තරාලයේ පිටත බිත්තිවල කළුගලින් කළ කුඩා කුටිර තිබිණි. ඒවා තුළ සෙල්මුවා දේව රූප තැන්පත් කළ බවට සාධක සහිත නටබුන් පිළිම කොටස් විය. එසේම ගර්භගෘහයේ බිත්තිවල කුලුනු හැඩැති කළුගලින් නිර්මිත කැටයම් කළ කොටස් පැවතිණි. කුලුනු අතරද විවිධ රූප කැටයම් විය. සිත් ගන්නා සුලු කැටයම වූයේ අගස්ති සෘෂිවරයාගේ යැයි පැවසෙන කැටයමය. එය පොත්ගුල් වෙහෙර අසල පිහිටි පැරකුම්බාවන්ගේ පිළිමයට බෙහෙවින්ම සමාන බව පෙනුණු හෙයිනි.

සොයාගැනීම

මේ වන විට ක්‍රමානුකූලව අංකනය කළ ශිවදේවාලය ගොඩනැංවූ විසල් ගල් කුට්ටි ගලවා තැන් තැන්හි තැන්පත්කොටය. මනාව ඔප් නැන්වූ තියුණු නිමාවකින් යුතු මේ ගල් පුවරු එක මත එක බැඳ තබා ඇත්තේ බදාමයකින් නොවේ. පුවරු සම්බන්ධ කර තබන කුඩුම්බි ද නැත. සියුම් ලෙස පිරියම් කළ ගල් පුවරු එකමත එක තබා බිත්තිය ගොඩනංවද්දී බිත්තිය පුවරුවල බරටම ශක්තිමත්ව පිහිටා තිබිණි.

බිත්තිවල ගල් පුවරු මුළුමනින්ම ඉවත් කර තිබේ. මවු පාෂාණය තෙක් කැණීම් කර විස්තරාත්මක අධ්‍යයනයකින් ඇනතුරුව සංරක්ෂණය කිරීමට නියමිත බව කියැවිණි. කැණීම් ඇරැඹී තිබේ. දේවාලයේ පූජනීයම කොටස ශිව ලිංගය පිහිටා ඇති අන්තරාලය ය. අන්තරාලය කොටසේ පාදමට ඇතුළතින් කළ කැණීමේදී අතිශය වැදගත් තොරතුරු ප්‍රමාණයක් මතු වෙමින් ඇත.

මතු වන්නේ ගඩොලින් කළ පුරාණ ගොඩනැගිල්ලක අවශේෂය. අන්තරාලයේ බිත්තිවලට සමාන්තරව තිබුණු එම බිත්ති වට කොට ශිව දේවාලයේ සෙල්මුවා බිත්ති ඉදි වී තිබුණු බව පෙනිණි. බිත්තිය සුදු පැහැති හුනු පිරියම්කොටය. නිල් පැහැති වර්ණ ගැන්වූ බව වූ තොරතුරු ආරක්ෂා වී පැවතිණි. එය මට්ටම් කර ගඩොල් අතුරා ඒ මත කළුගල් පුවරු ආස්තරණය කර ශිව ලිංගය පිහිටුවා තිබිණි.

මතු වන මේ පුරාණ ගඩොල් බිත්තිය කුමක් විය හැකිදැයි යම් කථිකාවක් ඇති වෙමින් ඇත. අයෙක් මේ බෞද්ධ ආරාමික නටබුන් විය හැකියැයි උපකල්පනය කරමින් සිටිති. එහෙත් පොලොන්නරු පූජා නගරය තුළම ගඩොලින් කළ හින්දු දේවස්ථාන හමුවූ අවස්ථා පිළිබඳ වාර්තා වී ඇත. මෙය ගඩොල් හා කළුගල් මාධ්‍යය දෙකම භාවිත කර ඉදි කළ ඉදිකිරීමක් විය හැකියැයි අයෙක් තර්ක කරති. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවලයන්ට අනුව මේ මතු වී ඇත්තේ පුරාවිද්‍යා කැණීමකදී සුලභව මතු වන දත්ත සමුදායකි.

ලංකාවේ පුරාණ පුදබිමක් හුදු පුරාවස්තුවක්ම නොවේ. එය සජීවි ආධ්‍යාත්මික උරුමයකි. එම උරුමය යුගයෙන් යුගය සංවර්ධනය වෙමින් පවතින්නකි. එබැවින් ගොඩනැගිලි කැණීමකදී බොහෝ අවස්ථාවල ඉදිකිරීම් අවධි හමුවේ. මේ එවැනි ඉදිකිරීම් අවධියක රූපණයක් විය හැකි බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. මේ මොහොතේ හෙළිදරව් වී ඇති දත්ත ප්‍රමාණය මත වෙනත් සාධනීය උපකල්පනයකට එළඹිය හැකි නොවේ.

ගොඩනැඟෙන ඉතිහාසය

එහෙත් මතු වෙමින් ඇති තොරතුරු වඩාත් සාධනීය අදහසකට මඟපාදමින් හිඳී. අනුරාධපුර රාජධානියේ පැවැත්ම හමාර කරමින් ලංකාව චෝල මණ්ඩලයේ කොටසක් වන්නේ ක්‍රි.ව.1017 දීය. ඒ අනුරාධපුරයේ අවසන් රජවන පස්වන මහින්ද ජීවග්‍රහයෙන් ගත් පසුවය. වර්ෂ 1029 දී මහින්ද රජු චෝලයන්ගේ දුගී සිරකරුවෙකු මිය යන්නේය. මහාවංශයට අනුව වර්ෂ 1027 සිට 1070 තෙක් රට චෝලයන්ගේ යටත් රාජධානියක්ව පැවතිණි. ඔවුන් ලංකාව පාලනය කළේ චෝල මණ්ඩලයේ ප්‍රාන්තයක් ලෙසය. ඔවුන්ට ලංකාව මුම්මුඩිචෝළ මණ්ඩලම් විය. 'මුම්මුඩි චෝළ' යනු චෝළඅධිරාජයෙකු වූ පළමු වන රාජරාජගේ (ක්‍රි.ව. 985 - 1014) ප්‍රකට විරුදයකි. මුම්මුඩි චෝළ මණ්ඩලම් හි අගනුවර ලෙස ඔවුන් නම් කළේ ජනනාථමංගලම් හෙවත් ජනනාථ පුරම් ලෙස හැඳින්වූ පොලොන්නරුවය. මේ අනුරාධපුර යුගයේ හා පොලොන්නරු යුගය අතර පවතින සංක්‍රාන්ති සමය ය.

මේ වකවානුවේ චෝළ අධිරාජ්‍යය නියෝජනය කරමින් ලංකාවේ සිටි ප්‍රතිරාජයෝ කළුගලින් මෙන්ම ගඩොලින්ද හින්දු දේවාල ඉදි කළහ. පොලොන්නරුවේ පැරණිම ශිව දේවාලය වන අංක 2 ශිව දේවාලය ඇතුළු දේවාල විශාල ප්‍රමාණයක් ඉදි වන්නේ මේ වකවානුවේය.

එහෙත් ප්‍රස්තුත අංක 1 ශිව දේවාලය ඊට වඩා මෑත කාලීනව ඉදිවූවක් බවට විද්වත්හු උපකල්පනය කළහ. ඇතැමෙකුට අනුව මෙම ශිව දේවාලය 13 සියවසට අයත් එකකි. අයෙක් මෙම දේවාලය පරාක්‍රමබාහු රජ සමයට අයත් බව සලකති.

කැණීම

පොලොන්නරුවේ අතීත වියමන පිළිබඳව ස්වාධීන ගවේෂණයෙක යෙදෙන උන්නතිකාමී තරුණයෙක් වෙයි. ඔහු ඉන්දික මානවඩුය. මේ තරුණ ගවේෂකයාට පොලොන්නරුව පිළිබඳ වෙනම කියැවීමක් ඇත. එම කියැවීම ශාස්ත්‍රීය පර්යේෂණ පත්‍රිකා ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් වී තිබේ.

ඔහුට අනුව අංක එක ශිව දේවාලය මෙම පුරාණ නගරභූමියේ අතිශය සංවේදී ස්ථානයේ පිහිටීමත් එය මෙතරම් හොඳින් රක්ෂා වී පැවතීමත් විමසිය යුතුව ඇත. මෙම ශිව දේවාලයේ වැදගත්ම කැටයම් කීපයක් ඔහු නිරීක්ෂණය කර තිබිණි. එකක් සිංහල කැටයම් සම්ප්‍රදායේ එන ලියවැලකි. අනෙක පබළු වෙහෙරේ මැටියෙන් මූර්තිමත් කර ඇති සිංහ රුවෙහි ශෛලමය කැටයමකි. මෙම කැටයම් පල්ලව සම්ප්‍රදාය තුළ ප්‍රකට නොවන සිංහල සංස්කෘතික සම්ප්‍රදායේ ඇති කලා නිර්මාණයන්ය.

“පොලොන්නරු අවධිය වන විට ශිලා ඉදිකිරීම්වල තිබෙන ගල් කුට්ටි වෙන් කරගැනීමේ කෙටුම් පහරේ හැඩය වෙනස් වුණා. අනුරාධපුර යුගය අග භාගය තෙක් මෙම කෙටුම් පහර පැවතුණේ රවුම් ආකාරයෙන්. උදාහරණයක් විදිහට පොලොන්නරුවේ පැරැණිම ශිව දේවාලය වුණු අංක 2 ශිව දේවාලයෙ තිබෙන ගල් පුවරුවල තියෙන්නෙ මේ රවුම් කෙටුම් පහරවල්. හැබැයි අපි කතා කරන අංක 1 ශිව දේවාලයෙ තිබෙන්නෙ පොලොන්නරු යුගයෙදි දකින්න පුළුවන් හතරැස් කෙටුම් පහරවල්. මේ සියල්ල එක්ක නැවත අංක 1 ශිව දේවාලය ගැන කියවීමක් අවශ්‍යයි. පොලොන්නරුවෙ හිටපු හින්දු රජවරු හින්දු දේවාල ගඩොලින් කළ බවට සාක්ෂි තිබෙනවා. මෙතැන දැන් හමු වන පුරාණ ගොඩනැගිලි අවශේෂ ගැන සැලකුවොත් අපට සාධාරණව උපකල්පනය කරන්න පුළුවන් නේද පැරැණි ශිව දේවාලයක් තිබුණ තැන පරාක්‍රමබාහු රජ්ජුරුවො මේ ශෛලමය දෙවොල කළ බව.”

මේ තරුණයාගේ ඉදිරිපත් කිරීම යළි මැදහත්ව විමසීම වටී. අංක 1 ශිව දේවාලය පොලොන්නරු යුගයේ මහා පැරකුම්බාවන්ගේ නිමැවුමක් නම් අතීත සිංහලයේ සමාජ සංහිඳියාව පිළිබඳ කිව හැකි වෙනත් ආදර්ශයක් නොවේ. රන්කොත් වෙහෙර හදන අතර තුර, ගල්විහාරය නිම කරන අතරතුර, තිවංකය මනරම් සිතුවමින් සරසන අතරතුර, පරසතුරු උවදුරින් ව්‍යසනයට පත් අතීත මහා නගරය වූ අනුරාධපුරය කටුකොහොල් හැරපියා යළි පිළිසකර කරන අතරතුර පොලොන්නරුවේ අතිශය සංවේදී භූමි කේන්ද්‍රයේ පැවති පුරාණ හින්දු දෙවොලක් මහා ශිලාමය කලාකෘතියක් සේ නැවත ගොඩනැංවීමට තරම් පැතිරුණු මනසක් සහිත පාලකයෙක් සහ එහි ගැඹුර වටහාගත් ජන සමාජයකට උරුමකම් කී ජාතියක නටබුන් අතර අපි කල් ගෙවමින් හිඳිමු.

අදහස්