රුපියල් 1000කට අඩු ඉතුරුම් ගිණුම් බැංකුවලට බරක් | සිළුමිණ

රුපියල් 1000කට අඩු ඉතුරුම් ගිණුම් බැංකුවලට බරක්

මුදල් ඉතිරිය හොඳ පුරුද්දකි. සතෙන් සතේ එකතු කර ලොකු මුදලක් එකතු කරගත හැකි බවට කුඩා කාලයේ සිටම කියා දෙන අතර ජනතාව අතර මුදල් ඉතිරිය තවදුරටත් ප්‍රචලිත කිරීම සදහා රාජ්‍ය හා පෞද්ගලික අංශය යටතේ ක්‍රියාත්මක වන විවිධ වාණිජ බැංකු හා මූල්‍ය ආයතන විවිධාකාර උපාය හා උපක්‍රම ක්‍රියාත්මක කරමින් සිටී.

මුදල් ඉතිරි කරන ගනුදෙනුකරුවන් තවදුරටත් දිරිගන්වමින් ත්‍යාග හා ඉහළම පොලී අනුපාත පිරිනැමීමටද එම බැංකු හා මූල්‍ය ආයතන කටයුතු යොදා තිබේ.

එහෙත් එම බැංකු හා මූල්‍ය ආයතන පාර්ශ්වයන්ගෙන් ලොකු අවනඩුවක් ද එල්ල වෙයි. අවම ඉතිරි කිරීම් ශේෂය රුපියල් දහස නොඉක්මවූ ගිණුම් නිසා බැංකු හා මූල්‍ය ආයතන අපහසුතාවට පත්ව ඇති අතර ඊට විසඳුමක් ලෙස අවම ඉතුරුම් ශේෂය රුපියල් දහස නොඉක්මවා ඇති ඉතිරිකිරීමේ බැංකු ගිණුම්වලින් රුපියල් 25ක මාසික ගාස්තුවක් අය කිරීමට රාජ්‍ය හා පෞද්ගලික අංශය යටතේ ක්‍රියාත්මක වන වාණිජ බැංකු තීරණය කර තිබුණේ මීට කලකට පෙරය.

එම තීරණයට අනුව අවමය රුපියල් 1000 හෝ ඊට වඩා අඩු ඉතුරුම් ශේෂයක් සහිත ඉතිරිකිරීමේ ගිණුම්වලින් රුපියල් 25 බැගින් මාසිකව අඩු කර දැමෙන අතර එසේ මුදල් අඩු කර දැමෙන කාල සීමාව තුළ යම් මුදලක් තැන්පත් කර සිය ඉතිරි කිරීමේ බැංකු ගිණුම යථා තත්ත්වයට පත් කරගැනීමට අදාළ ගනුදෙනුකරු කටයුතු නොකරන්නේ නම් සම්පූර්ණ මුදල කපා දැමීමෙන් ශේෂය ශූණ්‍ය වන ඉතිරිකිරීමේ බැංකු ගිණුම් අහෝසි කර දමන්නට අදාළ වාණිජ බැංකු තීරණය කර තිබේ. අවම ඉතුරුම් ශේෂය රුපියල් දහස නොඉක්මවා ඇති එවැනි ඉතිරිකිරීම් නිසා සිය සේවා විධිමත් ලෙස පවත්වා ගෙන යෑමට වාණිජ බැංකුවලට අවහිරයක් වී ඇති අතර එකී බැංකු ගිණුම් අඛණ්ඩව පවත්වා ගෙන යෑමට නඩත්තු හා පරිපාලන වියදම් ලෙස අමතර වියදමක් දැරීමට එම වාණිජ බැංකුවලට සිදු ව තිබේ. මේ තත්ත්වය පිළිබද ආර්ථික හා මූල්‍ය විශාරදයන් රැසකගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් දීර්ඝ සමාලෝචනයකට පසු අවම ශේෂය සහිත එම බැංකු ඉතුරුම් ගිණුම් අධෛර්ය කිරීමේ අරමුණින් එලෙස මුදල් අය කරගැනීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වාණිජ බැංකු තීරණය කර ඇති බවත්, එම තීරණ අදාළ වාණිජ බැංකුවල අභ්‍යන්තර තීරණ මිස ඊට කිසිසේත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සම්බන්ධයක් නැති බවත් “සිළුමිණ“ කළ විමසුමකට පිළිතුරු දුන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු කටයුතු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

ඒ අනුව රුපියල් 1000ක අවම ශේෂයක් පවත්වා ගෙන යමින් සක්‍රීය තත්ත්වයේ පවතින ඉතිරි කිරීමේ බැංකු ගිණුමක් මාස 40ක කාලයක් තුළ අහෝසි වී යනු ඇති අතර එලෙස එම ගිණුම අහෝසි වීමට පෙර ප්‍රමාණවත් පරිදි නැවත මුදල් බැර කිරීමක් සිදු කළ හොත් මාසිකව රුපියල් 25ක මුදල එම බැංකු ගිණුමෙන් අඩු නොවී නැවත සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ.

එලෙස සාමන්‍ය පරිදි පවත්වා ගෙන යන සියලු ඉතිරි කිරීමේ ගිණුම් සදහා ලැබෙන පොලී ඇතුළු සියලු පහසුකම් අඩු නැතිව ලබා දීමටද රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වාණිජ බැංකු හා මූල්‍ය ආයතන සූදානමින් සිටී.

අවම ශේෂය රුපියල් දහස නොඉක්මන ඉතිරි කිරීමේ ගිණුම්වලින් මාසිකව රුපියල් 25 බැගින් අඩු කර අවසානයේ එම බැංකු ගිණුම් වසා දමන්නට වාණිජ බැංකු ගෙන ඇති තීරණය පිළිබදව මෙරට ප්‍රධානතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවෙන් අපි විමසීමක් කළෙමු.

එහිදී අදහස් දැක්වූ එම බැංකුවේ උසස් නිලධාරියෙකු සදහන් කළේ බැංකු ගනු දෙනු වඩා විධිමත් කර ගනුදෙනුකරුවන් නිරතුරුව බැංකු වෙත ගෙන්වා ගැනීම සඳහා එම තීරණය උපකාරයක් වනු ඇති බවයි.

එම තීරණය අද ඊයේ ගත් තීරණයක් නොවන බවද අවධාරණය කළ ඔහු යථා පරිදි ක්‍රියාත්මක නොවන එම බැංකු ගිණුම් සක්‍රීය බැංකු ගිණුම් ලෙස පවත්වා ගෙන යෑම සඳහා නඩත්තු හා පරිපාලන වියදම් ලෙස අධික මුදලක් දැරීමට සිදු වී ඇති බවද පෙන්වා දුන්නේය.

සිය ගනුදෙනුකරුවන්ගේ විදුලි-දුරකතන ආදී බිල්පත් ගෙවීමේදීද, ගුරුවරුන් හා ආරක්ෂක සේවයේ පිරිස් සදහා වැටුප් හා දීමනා ගෙවීමේදීද අමතර මුදල් අය කිරීමකින් තොරව එම සේවා ලබා දීමට රාජ්‍ය බැංකුවක් ලෙස ප්‍රශංසනීය කටයුත්තක නිරත වන බවත් අනවශ්‍ය වියදම් අඩු වූ විට ශක්තිමත් ලෙස නැඟී සිටිමින් සිය ගනුදෙනුකරුවන්ට තෘප්තිමත් සේවයක් ලබා දිය හැකි බවත් සඳහන් කළ මහජන බැංකුවේ එම උසස් නිලධාරියා අවම ශේෂයක් සහිතව මෙතෙක් පවත්වා ගෙන ගිය ඉතිරි කිරීමේ ගිණුම් වලින් මාසිකව රුපියල් 25 බැගින් අඩු කර දමා අවසානයේ එම ගිණුම් වසා දැමීමට ගත් තීරණය පිළිබඳ ගැසට් පත්‍රය මඟීන්ද, සිංහල-දෙමළ හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ප්‍රකාශයට පත් වන ප්‍රධානතම පුවත්පත් මඟින්ද සිය ගනුදෙනුකරුවන් දැනුවත් කර ඇති බවද සදහන් කළේය.

Comments