වසරකට ජීවිත ලක්ෂ 70ක් වනසන අපේ කුස්සියේත් ඉන්න නොපෙනෙන මාරයා | සිළුමිණ

වසරකට ජීවිත ලක්ෂ 70ක් වනසන අපේ කුස්සියේත් ඉන්න නොපෙනෙන මාරයා

අද එතෙර මෙතෙර වායු දූෂණය පිළිබඳව කළ පර්යේෂණ අනුව හෙළිවී ඇති අලුත්ම කරුණක් වන්නේ නිවස ඇතුළත දර පාවිච්චිය නිසා සිගරට් 300 ක තරම් විෂ වායු ප්‍රමාණයක් නිවස ඇතුළතට නිකුත් වෙන බවයි.

මේ අනුව අද වායු දූෂණය අද ලොව ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුවක් වී තිබේ. අලුත් සංඛ්‍යා ලේඛන අනුව එතෙර මෙතෙර නිවාසවල කෑම පිසීම ඇතුළු විවිධ කටයුතුවලට අද ලොව ලොව පුරා දස ලක්ෂ 30 ක් පමණ ජනතාව දර පාවිච්චි කරති‍. ඊට අමතරව මේ වායු දූෂණ තත්ත්වය තවත් දරුණු වන්නේ ඒ දර ඇවිළීමට ළිපට දමන පොලිතින් ප්ලාස්ටික් නිසා සිදුවන වායු දූෂණයයි.

අද අපේ ලෝකයේ ‍බෝ නොවන රෝගවලින් මැරෙන පිරිසෙන් වැඩිපුරම පිරිසක් ජීවිතක්ෂයට පත්වෙන්නේ වායු දූෂණය නිසාය. එලෙස පාරිසරික සාධක නිසා මැරෙන ප්‍රමාණය මුළු මැරෙන ප්‍රමාණයෙන් සියයට 23 කි.

වායු දූෂණය පිටත වායු දූෂණය හා ගෘහස්ථ වායු දූෂණය ලෙස ප්‍රධාන කොටස් දෙකකි. ඉන් ගෘහස්ථ වායු දූෂණය බහුලව ඇතිවන්නේ දර පාවිච්චිය, සිගරට් පාවිච්චිය, මදුරු දඟර හා හඳුන්කූරු පාවිච්චිය නිසාය. පිටත වායු දූෂණය ම ප්‍රධාන ලෙස අස්වැන්න ඉවත් කර ගත් පසු පිදුරු හා අනෙක් කෘෂිකාර්මික ශාක කොටස් ගිනි තැබීම, වාහන දුම් හා බාහිර පරිසරයේ කසළ හා පොලිතින් ප්ලාස්ටික් පිළිස්සීම නිසා ඇතිවේ. නිවාස අසල ප්ලාස්ටික් හා පොලිතින් පමණක් නොව කණු කසළ ද පිළිස්සීම ඒ නිවාසවල ජනතාවට ඉතා අහිතකර බව කිව යුතුමය.

මේ අපිරිසුදු වාතය හුස්ම ගැනීම නිසා අප ශරීරයට කෙටිකාලීන ආබාධ, මධ්‍යම කාලීන හා දිගුකාලීන සෞඛ්‍ය ගැටලු ඇතිවෙන බව වෛද්‍ය මතයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි පිටත වායු දූෂණය නිසා වර්ෂයකට මිනිස්සු ලක්ෂ 42 ක් ජීවිතක්ෂයට පත්වෙති.‍ ගෘහස්ථ වායු දූෂණය නිසා වසරකට ජනතාව ලක්ෂ 38 ක් මිනිස්සු මැරෙති. මේ අනුව ජීවිත හා ගෘහස්ථ වායු දූෂණය නිසා වසරකට මිනිස්සු ලක්ෂ 70 ක් ජීවිතක්ෂයට පත්වෙති. මේ අනුව මේ වායු දූෂණය අද ලොව හැමටම විශාල ගැටලුවකි. ජීවිත්වීමට තර්ජනයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අලුත්ම සංඛ්‍යා ලේඛන අනුව ලොව ජනගහනයෙන් සියයට 91 කට හුස්ම ගැනීම සුදුසු මට්ටමේ පිරිසුදු වාතය ලැබෙන්නේ නැත. මේ නිසා බලවත් සෞඛ්‍ය ප්‍රශ්න රැසක් ඇතිවී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අප හුස්ම ගතයුතු වායුවේ තත්ත්වය පෙන්වා දී ඇත. නමුත් අපේ රටේ මෙන් ම ලොව බොහෝ රටවල ජනතාවට හුස්ම ගැනීම ලැබෙන්නේ ඉහත ප්‍රමිතියට වඩා වැඩි දූෂණයක් ඇති වාතයයි.

වායු දූෂණය නිසා ඇතිවෙන රෝග හේතුවෙන් දකුණු ආසියාවේ පමණක් වසරකට මියයන ගණන ලක්ෂ 38 ක් පමණ වෙයි.

ගෘහස්ථ වායු දූෂණය හා නිවාස අසළ පොලිතින් ප්ලාස්ටික් පිළිස්සීම නිසා අප ශරීරයට විවිධ පිළිකා කාරක හා විෂ වායුන් සමඟ අවලම්බිත අංශු රැසක් ඇතුළුවේ.

මේ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අයුරින් දූෂිත වායුව නිසා විශේෂයෙන් ආසාදනයට ලක්වන්නේ අපේ පෙනහලු දෙකයි. නිරෝගී පෙනහලු රෝස පාට වුවත් දූෂිත වායුව කලක් ආස්වාස කළ අයගේ පෙනහලු කළු පාටට හැරී ඇති බව වෛද්‍ය පරීක්ෂණ පෙන්නුම් කරයි.

කෙසේ වුවත් දූෂිත වායුව ශරීරගත වීම නිසා හානියට පත්වන්නේ පෙනහලු පමණක් නොවේ. ඒ තත්ත්වය නිසා මොළය, හෘදය, ස්වසන පද්ධතිය ස්නායු පද්ධතිය පමණක් නොව ප්‍රජනන පද්ධතිය ද හානියට පත්වීමට ඉඩ ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි අපවිත්‍ර වාතය හුස්ම ගැනීම නිසා මියයන අයගෙන් සියයට 29 ක් මැරී ඇත්තේ පෙනහලු පිළිකා නිසාය. ඊට අමතරව සියයට 25 ක් මිය ගොස් ඇත්තේ ආඝාතය නිසා ය. වායු දූෂණයෙන් මැරෙන අයගෙන් සියයට 25 ක් හෘදයාබාධ නිසා ජීවිතක්ෂයට පත්වී ඇත.

මේ අනුව වාතය දූෂණයවීම අද වනවිට ලෝකයේ මිනිසුන් ලෙඩ කරන ප්‍රධාන පාරිසරික සාධකයක් වී තිබේ.

දූෂිත වාතයේ ඇති අවලම්බිත අංශු අපේ ශරීරයට ඉතා අහිතකරය. විශේෂයෙන් මිලිමීටර් 2.5 විශාල අවලම්බිත අංශු මිනිස් සිරුරට ඉතා අහිතකරය.

අපේ රටේ ගෘහස්ථ වායු දූෂණය ඉතා ඉහළය. එයට ප්‍රධාන හේතුව දර පාවිච්චිය හා ළිප මෙළවීමට භූමිතෙල් සිලි සිලි බෑග් දැමීම නිසා ගෘහස්ථ වායු දූෂණය බහුලව ඉහළ යෑමයි.

මේ අනුව කවුරුවත් අවධානය යොමු නොකළත් දීර්ඝ කාලයත් අපිරිසුදු දූෂිත වායුව හුස්ම ගැනීම නිසා සියයට 25 ක් ජනතාව හෘදයාබාධවට ලක්වී තිබේ. අපි පපුවේ අමාරුවලින් ආරක්ෂා වීමට තෙල් බැදුම් නොකා ව්‍යායාම් කරමින් විවිධ ක්‍රම අනුගමනය කරමු. හෘදයාබාධවලින් වැළක්වීමට. ඔය මොන දේ කළත් අපිරිසුදු වාතය දූෂිත වායුව වසර ගණනක් ආශ්වාස කළොත් ඒ නිසාත් හෘදයාබාධ ඇතිවිය හැකියි.

අපේ රටේ නිවාසවල වායු දූෂණ මූලාශ්‍ර රැසක් තිබේ. අසම්පූර්ණ දර දහනය දුම්පානය, ගෘහස්ථ කෘමිනාශක භාවිතය, මදුරු දඟර භාවිතය පලුදුවූ ඇස්බැස්ටස් සෙවිළි තහඩු හඳුන්කූරු දහනය කළුගල් මගින් ඇතිවන විකිරණශීලී වායු දූෂක කාර්යාලවල ඡායා පිටපත් යන්ත්‍රවලදී ඕසෝන පිටවීම නිසි ප්‍රමිතියෙන් තොර බිත්ති ආලේපන හා කුප්පි ලාම්පු භාවිතය නිසා ද ගෘහස්ථ වායු දූෂණය ඇතිවේ.

අලුතින් කර ඇති පර්යේෂණ අනුව අපේ රටේ තත්ත්වයෙන් බාල ජෛව ඉන්ධන (දර) දහනය සඳහා අකාර්යක්ෂම උදුන් යොදා ගැනීම හේතුවෙන් වායු දූෂක විශාල වශයෙන් පිටවේ. මේ නිවාස අවම වාතාශ්‍රයක් ලැබෙන පරිදි සකසා ඇත.

මුළුතැන් ගෙවල් සහ දීර්ඝ කාලයක් ආහාර පිසීමේ පුරුදු වායු දූෂණ මට්ටම ඉහළ නංවයි. ඒ අනුව දීර්ඝ කාලයක් මේ දූෂිත වායුන්ට මුහුණදීම නිසා කුස්සියේ වැඩිපුර සිටින කාන්තාවන් හා දරුවන් විවිධ ආබාධවලට ලක්වනු ඇත.

මේ තත්ත්ව වැළැක්වීමට අපටම ගතහැකි පියවර රැසකි.

ඔබ ඉවුම් පිහුම් කටයුතු සඳහා දැව භාවිතා කරන්නේ නම් මුළුතැන්ගෙයට නිසි ප්‍රමිතියෙන් ‍යුතු චිමිනියක් භාවිතා කරන්න. එසේම කාර්යක්ෂම දැව උඳුන් භාවිතා කරන්න. බාහිර වායු දූෂණය වැඩි පරිසරයන්හිදී බාහිර වාතය නිවසට ඇතුළුවීම පාලනය කරගන්න.

නිවාස සැලසුම්කරණයේදී වාතාශ්‍රය හොඳින් ලැබෙන ලෙස සැලසුම් කරන්න අවශ්‍ය අවස්ථාවලදී ඔබේ නිවසට ඉතා හොඳින් වාතාශ්‍රය ඇතුළු වන සේ දොර ජනෙල් විවෘතව තබන්න.

ගෘහස්ථ වායු දූෂණය අවම කර ගැනීම සඳහා යාන්ත්‍රික වායු පිරිසිදුකාරක භාවිත කිරීමේදී නිසි ප්‍රමිතියෙන් යුතු සහතික කරන ලද ඒවා භාවිතා කිරීම වඩාත් ආරක්ෂාකාරී වේ.

සංඛ්‍යා ලේඛන අනුව වායු දූෂණය නිසා හෘදයාබාධ, පෙනහලු පිළිකා හා ආඝාතය නිසා පමණක් ලොව පුද්ගලයන් ලක්ෂ 56 ක් පමණ පිරිසක් වසරක් ඇතුළතදී ජීවිතක්ෂයට පත්වෙති. වායු දූෂණය නිසා වැළඳුණු රෝග සඳහා අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල මුදලක් වැය කරනු ලබයි.

පෙණහලු ආබාධ, හ‍ෘදයාබාධ, මානසික ආබාධ, දරුවන් හැදීමේ හැකියාව අඩුවීම, ස්නායු ආබාධ ඇතිවීමට හා ප්‍රවර්ධනයට වායු දූෂණය හේතුවී තිබේ. ‘ඔටිසම්’ නම් රෝගය ද වායු දූෂණය වැඩිවෙන විට වැඩිවේ.‍ දියවැඩියාව, ලේ කැටි ගැසීමේ ප්‍රවණතාව, ඇසේ සුද ඇති විට, ස්වසන ආබාධ වැඩිවීමට ද දූෂිත වායුව ආශ්වාස කිරීම හේතුවී තිබේ.

අලුත්ම පර්යේෂණ අනුව ගෘහස්ථ වායු දූෂණය, වාහනවලින් සිදුවන වායු දුෂණය, දුම්බීම, පිටත වායු දූෂණය නිවාස අසල ප්ලාස්ටික් හා පොලිතින් පිළිස්සීම නිසා පිළිකා හා හෘදයාබාධ බහුලව ඇතිවිය හැකි ය.

මේ තත්ත්වය අනුව උපදින්න සිටින දරුවන් පවා මේ වායු දූෂණයට ලක්වී ආබාධ සහිතව ඉපදීමට ඉඩ තිබේ. ඊට අමතරව ළදරුවන්, ගර්භණී මවුවරු, වියපත් අය හා හෘද ‍රෝග හා පෙණහලු රෝග තිබෙන අයට ශ්වසන රෝග තිබෙන අයට මෙන් ම දුප්පත් අයට මේ වායු දූෂණය ප්‍රධාන ලෙසම බලපායි.

ළදරුවන් දිගු කාලයක් වායු දූෂණයට ලක්වීමෙන් පෙණහලු වර්ධනය අඩුවීම, පෙණහලු ක්‍රියාකාරිත්වය අඩුවීම, ඇඳුම වැළඳීම වර්ධනය වීම අඩු දරු උපත්, අඩු මාසයෙන් දරු උපත් සිදුවීම හා ළමා කාලයේ පිළිකා ඇතිවීම බහුලවේ.

මේ තත්ත්වය අඩු කිරීමට ප්‍රධාන ලෙසම වායු දූෂණය ඇති කරන ක්‍රම වැළැක්විය යුතු ය‍. වාහන නිසි පරිදි නඩත්තු කරමු.‍ කර්මාන්ත ශාලාවලින් පිටවන වායුව අවම කරමු. කුණුකසළ පොලිතින් ප්ලාස්ටික් පිළිස්සීම අඩු කරමු.

අපද්‍රව්‍ය බිහිවීම අවම කරමු. පොලිතින්, ප්ලාස්ටික් පිළිස්සීම වළක්වා පිළිකා ඇතිවීම වළක්වමු.

දර පාවිච්චිය අඩු කරමු. ආයතනයේ හෝ නිවසේ විදුලිය අර පරෙස්සමින් පාවිච්චි කරමු. ආහාරපාන ඉවත නොදමමු. පාසල් උපකරණ මගින් උපරිම ප්‍රයෝජන ගනිමු. ඇවිදින්න පුළුවන් වෙලාවට ඇවිදින්න. බයිසිකල්වලින් යන්න පුළුවන් ‍තැන්වල බයිසිකලයෙන් යමු‍.

මේ අනුව සමස්ත ලෙස ගත්විට වායු දූෂණ අවම කිරීමට අප රටේ විද්‍යාඥයන්, පර්යේෂකයන්, වෛද්‍යවරුන් පමණක් නොව ගෘහස්ථ කාන්තාවන් ද එක්විය යුතු ය. වායු දූෂණය අවම කිරීම ගෙදර කුස්සියෙන් පටන් ගෙන මහ පාරට පැමිණ නගරයට පැමිණිය යුතු ය.

පරිසර අමාත්‍යාංශය සංවිධානය කළ මාධ්‍ය වැඩමුළුවක කළ දේශනයක් ඇසුරිනි.

අදහස්