කඩුවෙල-කොළඹ සැහැල්ලු දුම්රිය සේවයට ජපානයෙන් කෝටි 33,300ක් | සිළුමිණ

කඩුවෙල-කොළඹ සැහැල්ලු දුම්රිය සේවයට ජපානයෙන් කෝටි 33,300ක්

ජපන් ආධාර මත කඩුවෙල සිට කොළඹ කොටුව දක්වා ඉදිකෙරෙන සැහැල්ලු දුම්රිය සේවය ස්ථාපිත කිරීම සඳහා ජපානයේ ජයිකා ආයතනයෙන් රුපියල් කෝටි 33,300ක මුදලක් ලබාදී ඇත. ජපන් රජය එම මුදල සියයට දශම එකේ (0.1%) සහන පොලියක් යටතේ ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා රජය, ජපාන රජයට ස්තුතිවන්ත වන බව මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගයාමා මහතා හමුවී පැවසීය.

වෝටර්ස් ඒජ් හෝටලයේදී පසුගියදා පැවැති ඇමතිවරයා හා ජපාන තානාපතිවරයා අතර සුහද හමුවකදී මෙම අදහස් පළ විය. ඉදිරි සංවර්ධන වැඩකටයුතු සඳහා ද තම රටේ පූර්ණ සහාය ශ්‍රී ලංකා රජයට ලබා දෙන බවද ඒ හමුවේදී ජපාන තානාපතිවරයා පැවසීය.

ඒ සමඟම එංගලන්ත, කැනේඩියානු, දකුණු අප්‍රිකානු, තායිලන්ත, ඉතාලි, ස්විට්සර්ලන්ත හා නෙර්ලන්ත තානාපතිවරුන් ද හමුවූ ඇමැති චම්පික රණවක මහතා මහ නගර සංවර්ධන අමාත්‍යාංශයේ සිදු කරන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව සහ ඉදිරියේදී ඇති ආයෝජන අවස්ථා පිළිබඳව ද පෙන්වා දුන්නේය.

නිහාල් පී. අබේසිංහ


ඇක්සස් ඉංජිනියරින්ට කෙන්යාවේ ලොකු ව්‍යාපෘති

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉදිකිරීමේ ආයතනයක් වන ඇක්සස් ඉංජිනියරින් ආයතනය මේ දිනවල විශාලතම ඉදිකිරීමක් සදහා සම්බන්ධ වී ඇති බව ඇක්සස් ඉංජිනියරින් ආයතනයේ කළමණාකරණ අධ්‍යක්ෂක ක්‍රිස්ටෝපර් ජෝෂුවා මහතා හෙළි කරයි. නයිරෝබි සිට කෙන්යාව අතර වූ මීටර් 363 ප්‍රදේශයක් තුළ යකඩ පාලමක් ඉදිකිරීම මෙම ව්‍යාපෘතියට අයත් වේ. යුරෝ මිලියන 14ක ව්‍යාපෘතියක් වන මෙය ස්පාඥ රජයේ මැදිහත්වීමෙන් සිදු කෙරේ.

නයිරෝබි සිට කෙන්යාව අතර වූ මීටර් 363 ප්‍රදේශයක් තුළ මෙම යකඩ පාලම ඉදිවනු ඇති බව වාර්තා වන අතර මේ සඳහා ඇක්සස් ඉංජිනියරින් ආයතනය දායකත්වය ලබා දෙයි.

Comments