ඩොලර් ගේන හැටි කියා දෙන අපනයන වැඩමුළු | සිළුමිණ

ඩොලර් ගේන හැටි කියා දෙන අපනයන වැඩමුළු

මේ වන විට අපනයන ව්‍යාපාරසඳහා පිවිසීමට මෙරට ව්‍යාපාරිකයින් අතර දැඩි උනන්දුවක් ඇති වී ඇත.

විශේෂයෙන්ම වර්තමාන රජය මගින් අපනයන වෙළෙඳපොළ සම්බන්ධව අනුගමනය කරන උපාය මාර්ගික සැළසුම් අපනයන ව්‍යාපාරිකයන් අතර ඇතිවී තිබෙන මෙම පිබිදීමට ප්‍රධාන වශයෙන්ම හේතු සාධක වී තිබේ.

කෙසේ වුවත් ව්‍යාපාරිකයකු වන ඔබ අපනයන වෙළෙදපොළට පිවිසීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා ඔබ අනිවාර්යයෙන්ම දැන ගත යුතු කරුණු කාරණා කීපයක්ම ඇත.

ඒ අතර ප්‍රධානතම වන්නේ තමන් අපනයන කරනු ලබන නිෂ්පාදන මොනවාදැයි පූර්ව අවබෝධයක් ලබා ගනිමින් අපනයන වෙළෙඳපොළට පිවිසීමයි. එම අපනයන හරහා ලැබිය හැකි ලාභ, පාඩු, ඒවා අපනයනය කළ යුතු රටවල්, අපනයනයේ දී ඇති සීමා මායිම්, අපනයනය තහනම් කර ඇති හා සීමා කර ඇති භාණ්ඩ හා නිෂ්පාදන, ඉල්ලුමට සරිලන සැපයුම, නියමිත වේලාවට සිය අපනයනයන් අදාළ රටවල් වෙත සැපයීම ආදී කරුණු පිළිබදව ඔබ පැහැදිලි අවබෝධයක්, දැනුමක් ලබා තිබීම අනිවාර්ය වේ.

එසේම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි වීමද අනිවාර්යයෙන් කළ යුතු අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු හදුනා ගැනීමේ අංකය හා වැට් බදු අංකයද ලබා ගත යුතුය. තවද අපනයන ව්‍යාපාරිකයකු ලෙස ශ්‍රී ලංකා රේගුවේද ලියාපදිංචිය ලබා ගෙන තිබිය යුතුමය. එපමණක් නොව විධිමත් බැංකු හා මූල්‍ය ක්‍රියාපටිපාටියක ඔබ කොටස් කරුවකු වීමද අත්‍යාවශ්‍යම සාධකයක් වී තිබේ.

අපනයනකරුවන් වන ඔබ තවත් ආයතන හා සංවිධාන රැසකින් එම අපනයනයන් සඳහා අවශ්‍ය බලපත්‍ර දියමන්ති හා මැණික්, ස්වර්ණාභරණ අපනයනකරුවන් මැණික් වෙළෙඳ බලපත්‍ර අනිවාර්යයෙන්ම ලබා ගෙන තිබිය යුතු අතර එම බලපත්‍ර ලබා ගත යුතු වන්නේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගිනි.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ඔබට සෑමවිටම සාර්ථක අපනයනකරුවකු බවට පත්වීම සඳහා නිසි මගපෙන්වීමක් ලබා දීමට සැදී පැහැ දී සිටියි. ඒ අනුව එම මණ්ඩලයේ නව උපාය මාර්ගික සැලසුම්වලට අනුගතව සාර්ථක අපනයන ව්‍යාපාරිකයකු බවට පත් වීම සඳහා ඔබට මග පෙන්වන විවිධ සම්මන්ත්‍රණ, වැඩමුළු රාශියක්ම විටින් විට ඔවුන් සංවිධානය කර තිබේ. එම සම්මන්ත්‍රණ හා වැඩමුළු ඉමහත් ප්‍රතිඵල ගෙන දුන් ඒවා වන අතර ඉදිරියේදීද එවැනි සම්මන්ත්‍රණ හා වැඩමුළු රටපුරා සංවිධානය කිරීමටද ඔවුන් බලාපොරොත්තු වේ.

එසේම සාර්ථක හා නිර්මාණශීලී අපනයන වයවසායකයින් රටට හඳුන්වා දීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය තමන්ට පැවරුණු ජාතික මෙහෙවර නිසි ලෙසම ඉටු කරමින් සිටින අතර සිය අපනයන ව්‍යාපාරයන් අපේක්ෂිත මට්ටමට එනතුරුම අවශ්‍ය දිගු හා කෙටි කාලීන පාඨමාලාද සංවිධානය කර තිබේ.

එපමණක්ද නොව අපේ අපනයන ව්‍යාපාරිකයින් සඳහා ජාත්යඅන්තර මට්ටමේ අත් දැකීම් ලබා දෙන දෙස් විදෙස් විවිධ අවස්ථාවන් සඳහාද නිරන්තරයෙන්ම අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු යොදා ඇති අතර හෙට දින අපනයන වෙළෙදපොළ දිග්විජය කිරීමට බලාපොරොත්තු වන නවක අපනයන ව්‍යාවසායකයකු ලෙස එවැනි අවස්ථා මොනවාදැයි සොයා බැලීමද, ඒ සඳහා සහභාගී වීමද ඔබ සතු වගකීමක් මෙන්ම යුතුකමක්ද වනු ඇත.

“දැන ගෙන ගියොත් කතරගම - නොදැන ගියොත් අතරමග” යනුවෙන් අපි ප්‍රසිද්ධ කියමනක් අසා ඇත්තෙමු. අපනයනකරුවන් සම්බන්ධයෙන් කීමට ඇති සත්යසද එයයි. හෙට දිනයේ දී අපනයන ව්‍යාපාරිකයකු වන ඔබ අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ සම්බන්ධව දැන ගත යුතු, ඉගෙන ගත යුතු දේ පිළිබදව නිසි හැදෑරීමක් කොට ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වීමට බලාපොරොත්තු වන්නේ නම් නිසැකවම ඔබටද අති සාර්ථක අපනයන ව්‍යාපාරිකයකු බවට පත් වීමට හැකියාව ලැබෙනු ඇත. එය ඔබ පමණක් නොව රටද ලබා ගන්නා ජයග්‍රහණයකි.

ඒ මන්ද රටට විදේශ විනිමය ලබා දෙන ප්‍රධාන කඳවුර බවට දැන් පත්ව ඇත්තේ අපේ අපනයන කරුවන් වන නිසාය.

 

අදහස්