ණයගැති බවට හා දිළිඳු බවට එරෙහිව ‘සණස, | සිළුමිණ

ණයගැති බවට හා දිළිඳු බවට එරෙහිව ‘සණස,

පී.ඒ කිරිවන්දෙණිය මහතාගේ නායකත්වය හා මගපෙන්වීම යටතේ 1978 වසරේ පෙබරවාරි මාසයේදී “සණස’ නමින් නැවුම් ව්‍යාපාරයක් මෙරටට බිහි විය.1906 සිට රට පුරා ක්‍රියාත්මක වුණු ජනතාවට ණය දුන් සමූපකාර සමිති මෙලෙස “සණස ව්‍යාපාරය” ලෙස පරිවර්තනය වුණු අතර “සණස” අභිමානවත් සැමරුම පිළිබදව එහි නිර්මාතෘ ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් විසින් පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පළ කළ අදහස් ඇසුරින් මෙම ලිපිය සකස් වී තිබේ.

1906 දී ශ්‍රී ලංකාවේ ආරම්භ වූ පැරණිතම සමූපකාර සමිති විශේෂය වූ ණය දෙන සමිති හැදින්වීමට 1978 දී “සණස” යන නම යොදා ගැණුනි. සකසුරුවම් හා ණය ගණු දෙණු පිළිබද සමූපකාර සමිතිය යන නාමයට පණ පොවමින් සමස්ථ ණය දෙන සමිති ව්‍යාපාරය හඳුන්වා දෙන වෙළෙද නාමයක් ලෙස එම “සණස” නම මේ වන විට මෙරට පමණක් නොව ජාත්‍යන්තරයේදීත් භාවිතා කෙරේ.

කෙසේ වුවද මේ වන විට අප රටේ අතිශය ජනප්‍රිය වී ඇති මෙම “සණස” ව්‍යාපාරයට හුස්ම හා ජවය දුන් සුවිශේෂි පුද්ගලයෙකු සිටියි. “සණස” ව්‍යාපාරය හා බැදුණු ඔහුගේ කැපවීම හා වගවීම නිසාම “සණස” මේ වන විට ශ්‍රී ලාංකික ජනතාවගේ හද ගැස්ම හඳුනා ගත් ජනප්‍රියතම නාමයක් බවට පත්ව තිබේ. සමූපකාර ණය දෙන සමිති මගින් ක්‍රියාත්මක කළ “සණස” වැඩපිළිවෙළට නව අරුතක් දෙමින් ග්‍රාමීය ණය ගැති භාවය හා දිළිදුකම පිටුදැකීමේ අභිලාශයෙන් 1978 පෙබරවාරි මස 22 වැනි දින ආරම්භ වූ මෙම ලිපියට වස්තුබීජ දෙන “සණස” මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයකු ලෙස පිළිගැනෙන පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයක්‌ අනුව නිර්මාණය වූවකි. යුද ගැටුම් පැවැති සමයේදී පවා උතුරු-නැගෙනහිර ප්‍රදේශද ඇතුළුව ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සිය ව්‍යාපාරික මෙහෙයුම්, සමාජ-ආර්ථික වගකීම් මැනවින් ඉටු කිරීමට අපේ රටේ “සණස” ව්‍යාපාරයට හැකියාව ලැබී තිබේ.

අනෙකුත් සකසුරුවම් හා ණය ගණු දෙණු පිළිබද සමූපකාර සමිති සදහා වෙනස් අර්ථ කතනයක් ලබා දෙමින් 1978 සිට ක්‍රම ක්‍රමයෙන් විකාශනය වෙමින් ආ “සණස” කිරිවන්දෙණිය මහතාගේම සංකල්පයක්‌ අනුව “සණස සංවර්ධන බැංකුව” බවට 1997 අගෝස්‌තු 25 වැනි දින පරිවර්ථනය වීම සිදු විය. බැංකු කටයුතු පිළිබදව බියක් දැක් වූ, මූල්‍ය ගණු දෙණු සදහා බැංකුවකට යාමට මැළිකමක් දැක් වූ විවිධ මට්ටම් නියෝජනය කරන ජන පිරිස් සඳහා පසුගිය වසර 41ක කාලය පුරාවට “සණස” මඟින් ඉටුවුණු සේවය නම් සුළු පටු නොවේ.

“සණස සංවර්ධන බැංකුව” ජනතාවට සෑම අයුරින්ම ගැලපෙන ගිණුම් වර්ග හඳුන්වාදී තිබේ. එය වඩාත් තහවුරු වන්නේ අද උපදින බිළිදාගේ සිට ජ්‍යෙෂ්ඨ පුරවැසි සියලුම දෙනා ආවරණය වන පරිදි ළමුන්, කාන්තාවන්, තරුණ-තරුණියන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ආදී සියලුම වයස්‌ මට්‌ටම්වල පසුවන පිරිස් ඉලක්‌ක කොට ගනිමින් “සණස සංවර්ධන බැංකුවේ” සියලුම ගිණුම් වර්ග හඳුන්වා දී ඇති නිසාය. මේ ඉතුරුම් ගිණුම් සියල්ලම පාරිභෝගික ආකර්ශනය අඩු නැතිවම දිනා ගෙන තිබේ.

ගණුදෙණුකරුවන්ට සුවිශේෂී සේවාවන් රැසක් හඳුන්වා දෙමින් නව මාවතකට පිවිස සිටින “සණස සංවර්ධන බැංකුව” SMS Banking පහසුකම වැනි නවීන බැංකු පහසුකම් රාශියක්ම සිය ගණුදෙණුකරුවන් සඳහා හඳුන්වා දී ඇත. බැංකුවේ ශාඛා දිවයින පුරා පිහිටා ඇති අතර එය ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ විශේෂිත බලපත්‍රලාභී බැංකුවක් ලෙස කටයුතු කිරීමට අවසර ගත් බැංකුවක් ලෙස හැදින්විය හැකි වේ. එපමණක් නොව “සණස සංවර්ධන බැංකුව” කොළඹ කොටස් වෙ‍ෙළඳපොළේ ලැයිස්තුගත ආයතනයක් ද වන අතර ශ්‍රී ලංකා Fitch Rating ආයතනයේ BB+ (lka) වර්ගීකරණයද Ram Rating ආයතනයේ BBB & P3 යටතේ වර්ගීකරණයන්ද හිමි කර ගෙන තිබේ.

ඉතිරි කිරීම් පමණක් නොව විවිධ මට්ටමේ ණය ලබා දීම් ද “සණස” ඉතා සාර්ථක ලෙස සිදු කරනු ලබයි. මේ අතරින් විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන ව්‍යවසායකයන් දහස් ගණනකටම සිය ව්‍යාපාරික කටයුතු සාර්ථක කර ගැනීම සදහා අවශ්‍ය වූ කෙටි කාලීන හා දිගු කාලීන ණය සේවාවන් රැසක්ම සණස සංවර්ධන බැංකුව විසින් ජාතියට දායාද කර ඇත.

එපමණක්ද නොව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අනෙකුත් සියලුම බැංකු හා මූල්‍ය ආයතන සමඟ කරට කර හැප්පෙමින් ස්ථාවර තැන්පතු, උකස් සේවා, ලීසිං වැනි අනෙකුත් බැංකු හා මූල්‍ය සේවාවන්ද “සණස සංවර්ධන බැංකුව” මගින් ඉතා කාර්යක්ෂම ලෙසත්, වගකීමකින් යුතුවත් ඉටු කිරීමට කටයුතු යොදා ඇත.

කෙසේ වුවත් ග්‍රාමීය මට්ටමින් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ රට පුරා ක්‍රියාත්මක වන අනෙකුත් “සණස” සමිති හා කිරිවන්දෙණිය මහතා නායකත්වය දෙන “සණස සංවර්ධන බැංකුව” එකිනෙකට වෙනස් ආයතන ව්‍යුහයන් දෙකක් වන අතර කිරිවන්දෙණිය මහතා සෑම විටම “සණස” ව්‍යාපාරය නිවැරදී පීල්ලේ ගමන් කරවීමට අවශ්‍ය ශක්තිය හා නායකත්වය ලබා දී ඇත. එහෙත් ජනප්‍රිය “සණස” නම ආභරණයක් කර ගනිමින් කටයුතු කරනු ලබන ඇතැම් “සණස සමිති” නිසා කිරිවන්දෙණිය මහතා නායකත්වය දෙන “සණස” ව්‍යාපාරයටද නරක නාමයක් අත් වෙන්නට ගිය අවස්ථා තිබුණි. ගම්පහ, විගොඩ සමිතිය නිසා මුහුණ දීමට සිදු වුණු ඉරණමද එවැන්නකි.

මේ වන විට “සණස සංවර්ධන බැංකුව” සමග “සණස ඉන්ෂුවරන්ස්” හා “සණස විශ්වවිද්‍යාලය” යන ආයතනද තවත් බොහෝ දුර ශක්තිමත් ගමනක් යන්නට අත් වැල් බැඳ ගෙන තිබේ. සිය දශක හතරක නොනිමි මෙහෙවර පිළිබදව ආඩම්බරය හා අභිමානය හිස් හී දරා ගත් පී.ඒ කිරිවන්දෙණිය මහතා බාධක, කරදර, කම්කටොළු, අභියෝග හමුවේ නොසැළී රැක ගත් “සණස” සිය කීර්තිය තවදුරටත් රැක ගැනීමට සිය “සණස” පවුලේ සියලු සාමාජික සාමාජිකාවන් සමග දැඩි අධිෂ්ඨානයකින් ඉදිරියටද කටයුතු කරනු නියතය.

Comments