සරුවට උපයන්න - දැනගෙන රට යන්න 1989 අමතන්න | සිළුමිණ

සරුවට උපයන්න - දැනගෙන රට යන්න 1989 අමතන්න

මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 8.ක් රැගෙන එන විදෙස් ගත ශ්‍රමික පිරිස, ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබා දෙන ප්‍රධානතම මාර්ගයකි.

ආසන්න වශයෙන් මිලියන දෙකක පමණ, එනම් මෙරට ජනගහනයෙන් 10% ක පමණ පිරිසක් එසේ විදෙස් ශ්‍රමිකයන් ලෙස සේවයේ යෙදෙති. මේ අතරින් බහුතරය, මැදපෙරදිග රටවල සේවය කරන, බො‍හෝවිට අඩු කුසලතා සහිත ඉදිකිරීම් සේවකයන් සහ ගෘහ සේවිකාවන් වේ. මේ අය සිය සේවයේදී නිරන්තර තාඩන පීඩනයන්ට ලක්වන අතර මෙම අවාසනාවන්ත තත්ත්වයන්හි සැලකිය යුතු අඩුවීමක් තවමත් දක්නට නොමැත.

මෙයට පිළියමක් ලෙස ‘දැනගෙන රට යන්න - සරුවට උපයන්න’ තේමාව යටතේ 1989 නම් විශේෂ ඇමතුම් අංකයක් හඳුන්වාදීම පසුගියදා සිදුවිය.

විශ්වාසදායි සහ සුරක්ෂිත විදේශ රැකියාවකට ශ්‍රී ලාංකිකයන් දිරිගැන්වීමේ අරමුණු ඇතිව, ඔවුන්ට සියයට සියයක් නිවැරැදි තොරතුරු ලබාදීම සඳහා හඳුන්වා දුන් මෙම විශේෂ අංකය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ප්‍රාදේශීය කාර්යාල හා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි සේවයේ නියුතු විදේශ රැකියා සංවර්ධන නිලධාරින් හරහා ක්‍රියාත්මක වේ.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මඟින්, වඩාත් හොඳ ඉපැයීමක් හා සුරක්ෂිත රැකියාවක් සඳහා විදෙස්ගත ශ්‍රමිකයන්ගේ වෘත්තීය කුසලතා හා වෘත්තීය සුදුසුකම් වැඩිදියුණු කිරීම, විදෙස් සේවා පරිසරය හා ඒ ඒ රටවල කම්කරු නීති පිළිබඳ දැනුවත් කිරීම මෙන්ම විදෙස්ගතව උපයන මුදල් දීර්ඝකාලීන ප්‍රතිලාභ ලැබෙන සුරක්ෂිත ආයෝජන අවස්ථා සඳහා යොමුකරවීම සිදු කෙරේ.

විදෙස්ගත ශ්‍රමිකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මුහුණපාන ගැටලු හා පොදුවේ උද්ගත වන සාමාජීය ගැටලු සහගත තත්ත්වයන්, විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පොදු මහජනතාව තුළ පවතින අඩු දැනුවත් බව නිසා සිදුවන්නක් යැයි හඳුනාගෙන තිබේ. පෞද්ගලික හා පවුලේ ගැටලුකාරි තත්ත්වයන් මඟහරවා ගැනීමට රැකියා සඳහා, අඩු සුදුසුකම් හා අඩු සේවා අත්දැකීම් සහිතව හුදෙක් ඉපැයීමක් පමණක් බලාපොරොත්තුවෙන් විදෙස්ගත වන බහුතර ශ්‍රී ලාංකිකයන් අවසානයේ ඉතා අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දෙති. නිවැරැදි තොරතුරු හා විශ්වාසදායී සම්බන්ධීකරණයක් හරහා විදෙස්ගත සේවක අයිතීන් සුරක්ෂිත කරමින් සහ ඔවුන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව සහතික කරමින්, වාසිදායක විදෙස් රැකියා අවස්ථා නිර්මාණය කිරීමේ අරමුණු ඇතිව, මෙම ජාතික මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහන ආරම්භකොට තිබේ. විදෙස් රැකියාවක් සඳහා පිටත්ව යාමට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමේ වැදගත්කම පිළිබඳ මෙම වැඩසටහනේදී අවධාරණය කෙරේ.

එබැවින්, රූපවාහිනිය, ගුවන්විදුලිය සහ පුවත්පත් මඟින් ද වෙළෙඳ ප්‍රචාරණ වැඩසටහන් හරහා ඔවුන් දැනුවත් කිරීම සිදුවන අතර, මෙය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සුරක්ෂිත විදෙස් රැකියා ලබාදීම සඳහා වන ජාතික ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස හඳුන්වා දී තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහයෝගය සහ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දායකත්වය මත ක්‍රියාත්මක මෙම ප්‍රවර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාව, පසුගියදා විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය, හරීන් ප්‍රනාන්දු සහ ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් මොක් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහන හරහා නන්නාඳුනන නුහුරු නුපුරුදු විදෙස් රටකදී ශ්‍රී ලාංකිකයන්ට මුහුණ දීමට සිදුවන අවාසනාවන්ත තත්ත්වයන්ගෙන් මුදාගැනීමත්, නිවැරැදි දැනුවත් බවක් හරහා විදෙස්ගත ශ්‍රමිකයන් හා ඔවුන්ගේ පවුල්වල අයට වඩා වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරමින් දේශීය ආර්ථික සංවර්ධනයට ඔවුන්ගේ කැපකිරීම ඵලදායී ලෙස දායක කර ගැනීම සිදුවේ.

 

ඡායාරූප - සමන් වෙදගේ

Comments