Hatch Colombo ඇරඹේ | සිළුමිණ

Hatch Colombo ඇරඹේ

නව්‍ය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් සඳහා සමූහ සම්පත් අවකාශයන් සපයා දීම සහ ඒවායේ සංවර්ධනයට අවශ්‍ය සම්බන්ධතා ගොඩනැංවීම මෙහි අරමුණයි.

Hatch ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ සම්පත් සහ කාර්යාල අවකාශ සැපයුම් සේවාව පසුගියදා ආරම්භ විය. මේ වෙනුවෙන් දින 3 ක් පුරා නව්‍යකරණ අදහස් සංවාද සහ වැඩසටහන් පැවති අතර, රටේ ව්‍යාපාර හා සමාජ ක්‍රියාකාරකම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් ඒ සඳහා සහභාගි විය. දේශීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ තිරසර වර්ධනයකට දායක වීම සහ අනාගතය අරමුණු කරගත් නවීකරණ ආර්ථීකයක් ගොඩනැංවීමට දායකත්වය ලබාදීම Hatch අරමුණ වේ.

මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් 75% කට වැඩි ප්‍රතිශතයක් ආවරණය කරන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර රටේ ආර්ථීකයේ ජීවනාලිය බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. අවසන් වරට පළවූ වාර්ෂික වාර්තාවට අනුව, මෙම ව්‍යාපාර රටේ රැකියා අවස්ථාවලින් අඩකට වඩා නිර්මාණය කර ඇති අතර, දළ ජාතික නිෂ්පාදනයෙන් 52% ක දායකත්වයක් ලබා දෙයි. අලූතින් බිහිවෙමින් පවතින මෙම ව්‍යාපාර සඳහා සුදුසු ආකාරයේ දියුණු සම්පත් සහ කාර්යාල අවකාශයන් ලබා ගැනීමේ විවිධ දුෂ්කරතාවයන් පවතී. තොරතුරු තාක‍ෂණය සමග පිබිදෙන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයන් ගොඩනැගෙන ලෝකයේ අනෙකුත් රටවල ආර්ථීකයන්ටද මෙය පොදු තත්ත්වයකි.

කොළඹ නගර මධ්‍යයේ පිහිටි Hatch Colombo කේන්ද්‍රය මෙම දුෂ්කරතාවයට මනා විසඳුමක් වනු ඇත. 20 වන සියවසේ ආරම්භයේ සිටම කොළඹ උසම ගොඩනැගිල්ල ලෙස සැලකුණු, සම්භාව්‍ය ගෘහ නිර්මාණ ශිල්පයන්ට අනුව සැකසුණු අලංකාර ගොඩනැගිල්ලක, අතිනවීන පහසුකම් සහිතව සැලසුම් කර ඇති මෙම සමූහ සම්පත් සහ කාර්යාල අවකාශය අතීතයත් වර්තමානයත් අනාගතයත් එකට මුසුවන අපූර්ව ස්ථානයකි.

වර්ග අඩි 60,000ක ඉඩකඩකින් යුත් මෙම ගොඩනැගිල්ල එකවර 1,000කට අධික පිරිසකට සේවා පහසුකම් ලබාදීමට සමත්ය. එමෙන්ම ශ්‍රවණාගාර, ආපනශාලා, විවේක ස්ථාන, මුද්‍රණ හා පිටපත් පහසුකම්, ශ්‍රව්‍ය දෘශ්‍ය පහසුකම්, ඩිජිටල් නිර්මාණ අවකාශයන් පමණක් නොව, අවශ්‍ය නම් කෙටි නින්දක් ලබාගැනීමට වුවද පහසුකම් මෙහි ඇත.

අදහස්