කැල­ණියේ හැංගිලා තියෙන ස්පිට්ල්ගේ බංග­ලාව | සිළුමිණ

කැල­ණියේ හැංගිලා තියෙන ස්පිට්ල්ගේ බංග­ලාව

* ඉස්සර මෙහේ වත්තේ වැද්දොත් හිටි­යලු
* මේ ගෙයි භූතයො ඉන්නවා කියා හිතෙ­නවා

දොස්තර ආර්.එල්. ස්පිට්ල් යනු මෙරට එක්තරා යුග­යක් යැයි කීම වර­දක් නැත. හේතුව නම් ඔහු එදා නොසි­ටි­න්නට අද අප අපේ ආදි­වා­සීන් පිළි­බඳ විම­සි­ලි­මත් නොවනු ඇත. වෛද්‍ය­ව­ර­යකු වූ ස්පිට්ල් වෙද­ක­මට අම­ත­රව ප්‍රිය කළේ කැලෑ­වල ඇවි­දී­ම­ටය. වැද්දන් ඇසුරු කිරී­මට ය. ඔහු පිළි­බඳ බොහෝ කතා ඇත්තේ ය. ස්පිට්ල් මහතා පිළි­බඳ විම­සන විට අපට හැම විටම සිහි­යට නැඟෙන්නේ කොළඹ රේඩියෝ සිලෝන් එක ඉදි­රි­පිට ඇති ඔහුගේ ‘විචර්ලි’ නම්වූ ඉපැ­රැණි නිව­සයි‍. අද එම නිවසේ ‘විචර්ලි’ ජාත්‍ය­න්තර පාසල පව­ත්වා­ගෙන යන්නේ ය. ස්පිට්ල් මහතා පිළි­බඳ කිසිම සෙවි­ල්ලක් බැලි­ල්ලක් කිරී­මට අව­ශ්‍ය­තා­වක් නොතිබූ මොහො­තක මා මිතු­රෙක් අපූරු ‍ඔත්තුවක් දුන්නේ ය. “අන්න ස්පිට්ල් මහ­ත්ත­යාගේ බංග­ලා­වක් තියෙ­න­වලු කිරි­බ­ත්ගොඩ මාකොළ දකුණේ.”

මිත්‍ර­යාගේ ඔත්තු­වට අනුව ස්පිටල් මහ­තාගේ පොත පත කියවා ඇති ඔහුගේ ඉති­හා­සය පිළි­බඳ දන්නා වැඩි­හිටි කිහිප දෙනෙ­කු­ගෙන් ම මෙම බංග­ලාව පිළි­බ­ඳව විමසා බැලීමි. ඇසූ කිසි­වෙක් ඒ ගැන යමක් කිය­න්නට නොදැන සිටි­යහ. අව­සා­නයේ අපි කැල­ණිය විශ්ව විද්‍යා­ලයේ ආචාර්ය දිය­මුල්ල මහතා ඇමැ­තු­වෙමු.

“මේක බොරු ගම­නක්ද? ඉකුත් ඉරිදා එම ස්ථාන­යට යන­තුරු ම සිතට වද­දුන් එකම ප්‍රශ්නය එය විය.

“ආර්.එල්. ස්පිට්ල් හෙවත් රිචඩ් ලය­නල් ස්පිට්ල් උපත ලබන්නේ 1881 දෙසැ­ම්බර් මස නව වැනි­දාය. ස්පිට්ල්ගේ පියා වන්නේ 1760 දී මෙර­ටට පැමිණි ඕලන්ද රාජ්‍ය­තා­න්ත්‍රික නිල­ධා­රි­යෙකි. ඔහු නම් වෛද්‍ය ෆෙඩ්රික් ජෝජ් ස්පිට්ල් ය. මව සිලියා ජෑන්ස්ය. තංගල්ලේ දී උපත ලැබූ ස්පිට්ල් තංගල්ල පුත්ත­ලම පාස­ල්වල ඉගෙ­නුම ලබා වය­සින් වැඩෙත්ම වැඩි­දුර ඉගෙ­නුම ලැබීම සඳහා කොළඹ රාජ­කීය විද්‍යා­ල­යට ඇතු­ළත් කෙරේ. රාජ­කීය විද්‍යා­ල­යෙන් ඉගෙ­නුම ලබා පසුව වෛද්‍ය පීඨ­යට ඇතු­ළ­ත්වන ස්පිට්ල් වැඩි­දුර අධ්‍යා­ප­නය සඳහා එංග­ල­න්තය බලා පිටත්ව යන්නේ ය. ඔහු එල්.එම්.එන්. විභා­ගය සමත් වන්නේ 1905 දී ය. එංග­ල­න්ත­යට ගොස් එෆ්.ආර්.සී.එස්. උපා­ධිය සමත්ව ඔහු 1909 දී නැවත ලංකා­වට පැමි­ණෙන්නේ ය. බර්ගර් ජාති­ක­යකු වන වෛද්‍ය ස්පිට්ල් 1936 සිට 1938 දක්වා ලංකා ඩම් බර්ගර් සංග­මයේ සභා­පති ධූරය ද උසු­ලනු ලබයි.

වෛද්‍ය ස්පිට්ල් කොළඹ මහ රෝහලේ දක්ෂ ශල්‍ය වෛද්‍ය­ව­ර­යෙකි.

ලංකාවේ ප්‍රථම වරට අස්ථි බද්ධ කිරීමේ සැත්ක­මක් සිදු කළේ වෛද්‍ය ස්පිට්ල් විසින් යැයි අතීත වාර්තා­වල සඳ­හන්ව ඇත. යටත් විජිත සමයේ ලංකාවේ රජයේ දක්ෂ ශල්‍ය වෛද්‍ය­ව­ර­යකු ලෙස ස්පිට්ල් හඳුන්වා දීමට පුළු­වන. වෛද්‍ය විද්‍යාව එත­රම් දියුණු නැති කාලය දැනට වසර එක­සිය හය­කට පමණ පෙර සර­නේ­ලිස් නම් 17 හැවි­රිදි තරු­ණ­යකු 1912 ඔක්තෝ­ම්බර් මාසයේ දිනෙක දකු­ණතේ ආබා­ධ­යක් නිසා කොළඹ රෝහල විටින් විට මෙයට ප්‍රති­කාර කළ ද නිට්ටා­වට සුව­යක් නොවී ය. වෛද්‍ය ස්පිට්ල් රෝගය හඳුනා ගත්තේ ය. ඔහුගේ නිය­මය වන්නේ අස්ථි­යක් බද්ධ කළ යුතු බව ය. මාස ගණ­න­කට පසු සර­නේ­ලිස් රෝහල් ගතව සිටින අතරේ ම වයස අවු­රුදු 30 ක් ව‍ු මිනි­සකු රෝහ­ලට පැමි­ණෙන්නේ ඩයි­න­ම­යිට් පිපි­රී­මක් නිසා යළි යථා තත්ත්ව­යට ගත නොහැකි තර­මට හානි වූ අතක ආබා­ධ­යක් සහි­ත­වය. මේ වෙනු­වෙන් කළ හැකිව තිබූ එකම දෙය අත ඉවත් කිරී­මය.

මෙහිදී වෛද්‍ය ස්පිට්ල් තීර­ණ­ය­කට ‍එන්නේ ය. එනම් ඩයි­න­ම­යිට් පිපි­රු­මෙන් හානි වී තිබෙන අත ඉවත් කර ලබා­ගන්නා අස්ථි කොටස් සර­නේ­ලිස්ගේ අතට බද්ධ කිරී­ම­ටය. ඉවත් කර ගන්නා අස්ථි කොටස් උණු­සුම් සේල­යින් වතුරේ බහා තබා සර­නේ­ලිස්ට අස්ථි සැත්කම සිදු කරන්නේ ය. වෛද්‍ය ස්පිට්ල් සුදුසු අයු­රින් සැත්කම සිදු කරන්නේ ය. සැත්ක­මෙන් මාස පහ­කට පමණ පසු සර­නේ­ලිස් ගමට යන්නේ ක්‍රියා­කාරී අතක් ද සහි­ත­වය. ඔහු තම සේවය උප­රිම කැප­වී­මෙන් කළ අයෙකි. නමුදු බාල­වියේ සිටම කැලේ කොළේ සතා සීපා සමඟ ඇවි­දී­මට ගැව­සී­මට ඔහු ප්‍රිය කළේය. එය එසේ වීමට හේතුව වූයේ ඔහුගේ පියා කුඩා ස්පිට්ල්ට විශ්වා­ස­වන්ත වැඩි­හි­ටි­යෙකු සමඟ කැලේ බැලීම සඳහා පිට­ත්කර හැරු­මය.

වෛද්‍ය සේවයේ යෙදී සිටිය ද ස්පිට්ල් ඒ පුරුද්ද අත් නොහැ­රියේ ය. ඔහු වැද්දන් සොයා දඹාන, පොල්ලේ­බැද්ද ආදී ප්‍රදේ­ශ­ව­ලට නිතර ගියේ ය. ඒ ගිය ගම­න්ව­ලදී වැද්දෝ ඔහු හා බොහෝ හිත­වත් වූයේ ය.

මීට වස­ර­කට දෙක­කට පෙර පොල්ලේ­බැ­ද්දට ගිය විටෙක එහි ආදි­වාසී නායක් හෝඹා ඇත්තන් අපට හමු­විය. ඔහු වයෝ­වෘ­ද්ධය. හෝඹා ඇත්තන්ට වෛද්‍ය ස්පිට්ල් හමු­වන විට හෝඹා කොලු ගැට­යෙකි. වෛද්‍ය ස්පිට්ල් ගැන සිහි­ක­රන විට ඔහුගේ දෑස කඳු­ළෙන් පිරුණි.

“සුදු හූරා අපට බොහෝම හිත­වත්. සුදු හූරාගේ දුව ක්‍රිස්ටිනා එක්ක මං සෙල්ලම් කර­නවා. ඒ කාලේ හැම­තැ­නම මැලේ­රි­යාව. සුදු හූරා කත­මයි අපිට බෙහෙත් ගෙනැල්ලා දෙන්නේ. සුදු හූරගේ කොළඹ ගෙද­ර­ටත් මං ගිහින් තියෙ­නවා. ඉස්සර ක්‍රිස්ටිනා නෝනා මාව බලන්න එනවා. මගේ ඇහැට කාචය දාලා දුන්නෙත් ඒ නෝනා” වැද්දන් අදද වෛද්‍ය ස්පිට්ල් සිහි කරන්නේ ගෞර­ව­යෙනි.

වෛද්‍ය විද්‍යා­වට වඩා වෛද්‍ය ස්පිට්ල් සේවය කර ඇත්තේ සාහි­ත්‍ය­යට යැයි විටෙක අපට සිතේ. ඒ සිතු­විල්ල එසේ වන්නේ ඔහු ලියූ පොත පත තව­මත් අපේ මත­කයේ ඇති බැවිනි. “සුදු ගෝනා” කිය­වූයේ බාල වියේදී ය. නමුදු සුදු ගෝනා තව­මත් සුන්දර මත­ක­යකි. වන­යේදී හමු­වන සුදු­ගෝනා දෙවන රාජ­සිංහ රජුගේ යුග­යට සම්බන්ධ අපූරු කතා­වකි. ඕලන්ද නැවක සිටි ‘හෑන්ස්’ නම් තරු­ණයා කැලයේ අත­රමං වී සතුන් හා මිතුරු වෙමින්, ගඩා ගෙඩි කමින් ගෙවන අපූරු කතාව ස්පිට්ල් ලියන්නේ 1958 දී ය. එය අපේ ළමා මනසේ තව­මත් සැරි­ස­රන අදත් රස­වි­ඳින කතා­වකි. සුදු ගෝනා පම­ණක් නොව, මැකී ගිය දඩමං, වන­ස­රණ ආදී වශ­යෙන් ස්පිට්ල් ලියූ කතා රැසක් සිංහ­ල­යට නැඟිණි. වෛද්‍ය ස්පිට්ල් ගැන බොහෝ මත­ක­යන් අලු­ත්ව­න්නට වූයේ කිරි­බ­ත්ගොඩ මාකොළ ස්පිට්ල් බංග­ලා­වට යන ගම­නේදී ය. ස්පිට්ල් පිළි­බඳ තොර­තුරු සොයන විට ඔහු පිළි­බඳ කියවූ ලිපි­ය­ක­වත් මෙම නිවෙස ගැන සඳ­හ­නක් හමු­වූයේ නැත. තොර­තුරු තිබුණේ කොළඹ ගුවන් විදු­ලිය ඉදි­රි­පිට ඇති ‘විචර්ලි’ බංග­ලාව ගැන පමණි. එසේ නම් අප මේ පැමිණි ගම­නින් පලක් වේද? සිත ඇත්තේ දෙගි­ඩි­යා­වකි.‍

“මේ තියෙන්නේ ස්පිට්ල්ගේ වත්තේ පැර­ණිම ළිඳ. මොන හේතු­ව­කට ද දන්නේ නැහැ ඒක නම් තවම ඉවත් කරල නැහැ. මම මගේ ඉඩම ගත්තේ වෙන්දේ­සි­ය­කින්. මම පරණ පත්තිරු සෙව්වා. එත­කොට තමයි දැන ගත්තේ මේ ඉඩම වෛද්‍ය ස්පිට්ල්ට අයි­තිව තිබුණ බව. 2008 තමයි මං ගත්තේ. එත­කොට අර පේන අධි­වේගී මාර්ගය හදලා තිබුණේ නැහැ. ඒ හරියේ තිබුණේ ලස්සන කුඹුරු යායක්‍. අපේ ගෙව­ල්ව­ලට හැරෙන පාර නම් කරලා තියෙන්නේ ‘ස්පිට්ල් ඇව­නිවු’ කියලා. තව ටිකක් එහාට වෙන්න තමයි ස්පිට්ල් බංග­ලාව තියෙන්නේ‍. ඉස්සර මේක ගන කැලෑ­වක් ලු.”

ආචාර්ය දිය­මුල්ල අපට තොර­තුරු කිය­න්නට විය.

ඉස්සර මෙය ගන කැලෑ­වක් නම් ගෝඹා ඇතුළු වැද්දන් එකල පැමිණ ඇත්තේ මේ බංග­ලා­වට දැයි මට එක්ව­රම සිහි­විය. අක්කර පන­හක් වූ භූමි භාගයේ දැන් තැනින් තැන නව නිවාස ඉදි වෙමින් තිබෙන්නේ ය. ඒ අලුත් මෝස්ත­රයේ නිවා­සය. ඒ අතර පැරණි මෝස්ත­රයේ ගරා වැටුණු නිවෙස නෙතට ගෙනාවේ කඳු­ළකි‍.

මේ එක්තරා යුග­යක් නියෝ­ජ­නය කරන පුරා වස්තු­වක් නොවේද? මේ නිවෙස වසර සිය­ය­කට වඩා පැරණි ඇතැයි බැලූ බැල්මට සිතිය හැකි ය‍. නිවෙස ආස­න්න­යට යාමට අසීරු ය. ‍ඒ එහි සිටින බලු රෑන නිසා ය. වෛද්‍ය ස්පිට්ල්ට තව­මත් ආද­රය කරන අස­ල්වැ­සි­යකු අපට ස්පිට්ල් වත්තේ දී හමු විය. ඔහු දුලාන් යාපා ය.

“මම පොඩි කාලේ ඉඳ­ලම ඩොක්ටර් ස්පිට්ල් ලියපු සුදු ගෝනා, මැකී ගිය දඩමං ආදී පොත් කිය­වලා තියෙ­නවා. ඒ පොත් නිසා තමයි මම ස්පිට්ල්ට ආදරේ කරන්න පටන් ගත්තේ. මේ ඉඩම ස්පිට්ල්ගේ වත්තක් කියලා දැන ගත්තාම හිතට පුදුම සතු­ටක් දැනුණා. ඒ බව දැන දැනම තමයි අපි මෙහෙට ආවේ. මේ බංග­ලාව සංර­ක්ෂ­ණය කර­නවා නම් තමයි හොඳ? මේ බංග­ලාව දකින කොට මට හිතෙ­නවා ස්පිට්ල් මහ­ත්තයා මේ ගෙදර ඉඳ­ගෙන තමයි සුදු­ගෝනා ආදී පොත් ලියන්න ඇත්තේ කියලා.” දුලාන් අපට පැවැ­සුවේ ගරා වැටුණ නිවෙස පෙන්ව­මිනි.

වසර ගණ­නා­වක් පැරණි නිවෙස වටා අද ඇත්තේ නවීන පන්නයේ නිවෙස් ය. ස්පිට්ල්ගේ බංග­ලා­වට මේ වන­විට අයි­ති­ක­රු­වන් කිහිප දෙනෙ­කුම ඇතැයි යන්න වට­පි­ටින් ලැබුණ තොර­තුරු ය. අප එහි ගියේ ඒ පිළි­බඳ සොයා බල­න්නට නොවේ. එනිසා වසර ගණ­නා­වක් තිස්සේ මෙම බංග­ලාව බලා­ගන්නා අය හමු­වීමු.”

ඔහු සිය නම ගම කිය­න්නට මෙන් ම ඡායා­රූ­ප­ය­කට පෙනී සිටි­න්නට ද අදි­මදි කළේ ය.

“මම ස්පිට්ල් මහ­ත්ත­යාගේ පොත් කිය­වලා තියෙ­නවා. ඒ පොත් හරි ලස්ස­නයි. ඉස්සෙ­ල්ලාම මේ ඉඩම වෙන්දේසි කළේ සෙලින්කෝ එකෙන්. මං එත­කොට එතැ­නින් වැටු­පක් ගත්තා. ඊට පස්සේ මං වැටු­පක් ගත්තේ නෑ කාගෙ­න්වත්. දැන් මමයි මගේ සත්තු ටිකයි මෙතැ­නට වෙලා ඉන්නවා. හරක් හතර පස් දෙනෙක් ඉන්නවා. උන්ගෙ ගොම ටික විකු­ණලා ලැබෙන කීයෙන් හරි ජීවත් වෙනවා. ඉස්සර මේ වත්තේ පොල් තිබුණා. පැරණි මිනිස්සු නම් කිය­නවා. ඉස්සර ස්පිට්ල් මහ­ත්තයා මෙහෙ වැද්දෝ ගෙනැල්ලා පදිංචි කර­ගෙන හිටියා කියලා. දැන් මේ ගේ තියෙන්නේ පර්චස් 42 ක ඉඩ­මක. ගෙයි කාමර හත­රක් තියෙ­නවා‍. තව දිගට කෑල්ලක් තිබුණා. ඒක කඩලා දාලා ඇතුළේ බල්ලෝ ඉන්නවා. උන්ට මම එක වේලයි කන්න දෙන්නේ. හාල් කිලෝ දෙකක් උය­නවා.‍ අහල පහල මිනිස්සු නම් කිය­නවා මේ ගෙදර භූත බල­වේග තියෙ­නවා කියලා. මටත් වෙලා­ව­කට එහෙම කියලා හිතෙ­නවා. ඒත් මං ‍ඕවා ගණන් ගන්නේ නැහැ. හැම තිස්සෙම පිරිත් දාගෙන ඉන්නේ” මුර­කරු බුලත් කහට පිරි දත් පෙන්නා හිනැ­හෙ­මින් පව­සන්නේ ය.

නිවෙස ඇතු­ළට යාමට කොතෙක් ඇහු­වද ඔහු­ගෙන් ඊට අව­සර නොලැ­බිණි. ඒ ඇතුළේ සිටිනා බල්ල­න්ගෙන් අපට අන­තු­රක් වේ යැයි ඔහු විශ්වාස කළ බැවිනි. පැරණි රෝහ­ලක් මෙන් යැයි සිතිය හැකි අයු­රින් ගොඩ නඟා ඇති ස්පිට්ල් බංග­ලාවේ මුළු­තැ­න්ගෙය ඇත්තේ වෙන­මය. බරා­දය සහිත ඉස්තෝ­ප්පුව කඩා බිඳ දමා ඇත. එහි තිබූ කබොක් ගල් වෙනම ගොඩ ගසා ඇත.

දැන් මෙහි අයි­ති­කරු යැයි කියන සුබ­සිංහ මහ­තාට අපි දුර­ක­ථ­න­යෙන් ඇම­තු­වෙමු.

“මගේ තාත්තා බොහෝම හොඳ ගනු­දෙනු කරු­වෙක් කියලා දැන ගෙන තමයි ස්පිට්ල් මහ­ත්ත­යාගේ දුව ක්‍රිස්ටින් මේ ඉඩම ඔහුට විකු­ණලා තිබුණේ.” ඒ සුබ­සිංහ පුත්‍රයා අපට පැවසූ තොර­තුරු ය.

වෛද්‍ය ස්පිට්ල් යනු මෙර­ට‍ ­එ­ක්තරා යුග­යකි. මා නැවත එසේ ලියමි. ඔහු තම අතින් විය­දම් කර­ගෙන කැලෑවේ ‍ඇවිද්ද ආදි වාසීන් හා ජීවත් වූ පරි­ස­ර­යට ආද­රය කළ පරි­ස­ර­වේ­දි­යෙකි. වරක් කොළඹ නගර සභාව මුල්වී ස්වාභා­වික සම්පත් ආරක්ෂා කර ගැනීම ගැන දේශ­නා­වක් පවත්වා ඇත්තේ ය. මෙහි ප්‍රධාන තැනක් ගෙන ඇත්තේ වෛද්‍ය ස්පිට්ල්ගේ දේශ­න­යයි. මේ දේශ­නය අසා සිටි අග­මැති ඩී.ඇස්. සේනා­නා­යක මහතා තුරු­ලතා හා වන සත්ව ආර­ක්ෂක ප්‍රඥ­ප්තිය සකස් කිරී­මට ස්පිට්ල් මහතා හා කරුණු සාකච්ඡා කළ බව පැරණි තොර­තු­රු­වල සඳ­හන් වේ.

වන සත්ව දෙපා­ර්ත­මේ­න්තුව පිහි­ටී­මට ද, විල්පත්තු අභ­ය­භූ­මිය ඇති­වී­මට ද වෛද්‍ය ස්පිට්ල් මහ­තාගේ මැදි­හ­ත්වීම තිබූ බව එම යුගයේ ලියැ­වුණ ලිපි­වල සඳ­හන්වේ. ‘ලෝරින්’ නමින් පරි­සර සඟ­රා­වක් ද ස්පිට්ල් මහතා එළි­දක්වා ඇත.

ස්පිට්ල් බංග­ලාව දෑස් ඉදි­රි­පිට ම ගරා වැටෙ­මින් තිබේ. වෛද්‍ය ස්පිට්ල් මහතා අසූ පස් වැනි වියේදී මෙලොව හැර ගියේ ය. වසර සිය ගණ­නක් පැරණි මේ නිවෙ­සට හිමි­කම් කියන ස්පිට්ල් පර­පුරේ කිසි­වෙක් දැන් සොයා ගත නොහැක. මෙය තවත් ගරා වැටී යාමට දෙන­වාද? නැති­නම් සුර­කි­න­වාද?

(විශේෂ ස්තූතිය කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාරිණි චන්දිමා නිශ්ශංක මහ­ත්මි­යට.)

ඡායා­රූප - ගයාන් පුෂ්පික
(පැරණි ඡායා­රූප අන්ත­ර්ජා­ල­යෙන්)

අදහස්