නිශ්ශං­ක­මල්ල රජ­තු­මාගේ සෙල්ලිපි අට­කම සිරි­පාදේ ගැන ලියවිලා | සිළුමිණ

නිශ්ශං­ක­මල්ල රජ­තු­මාගේ සෙල්ලිපි අට­කම සිරි­පාදේ ගැන ලියවිලා

සිරිපා මළුව වටා ප්‍රාකා­ර­යක් බැඳ තිබූ බවත් එහි දොරටු තුනක් වූ බවත් හෙන්රි මාර්ෂල් පව­සයි. ඉන් එකක් කුඩා දිය උල්ප­ත­කට ළඟා වන්නට තිබූ දොර­ටු­වක් බවත්, අනෙක්වා පිළි­වෙ­ළින් හැටන් සහ රත්න­පුරා පාරට විවර වූ බවත් ඔහු දක්වා ඇත. හෙන්රි මාර්ෂල් එහි ළඟා වන විට මළුවේ බැති­ම­තුන් හත­ළි­හක් පමණ වන්දනා මාන කර­මින් සිට ඇත. ඔවුන් පිරි­සුදු ඇඳු­මින් සිටි බව මාර්ෂල් විශේ­ෂ­යෙන් සඳ­හන් කර ඇත.

සිරිපා නැඟී­මෙන් මතුවූ වෙහෙස නිවා­ග­න්නට අවශ්‍ය නිසා කෙටි නින්ද­කට වැටුණු ඩේවි, ශ්‍රීපා­දයේ කාල­ගු­ණය ගැන සඳ­හන් කරන්නේ උෂ්ණ කලා­පික රට­කදී විඳි­න්නට ලැබුණු කර්ක­ෂම සීත­ලක් දැනුණු රාත්‍රිය ලෙසය. තෙහෙ­ට්ටුව නිසා නින්ද ගිය ඩේවිට ඇහැරී ඇත්තේ ඉරු­සේ­වය දැක බැති­යෙන් සාධු­කාර දෙන වන්දනා නඩ­යක ඝෝෂාව නිසාය. ඒ මොහොතේ වන ලැහැ­බක වූ කුටි­ය­කින් මළු­වට වැඩම කළ භික්ෂු­වක පැමිණි බැති­ම­තුන් පංච­ශී­ලයේ පිහි­ටුවා, යළි ගල්ලෙ­නට වැඩි බවද ඩේවි කියයි. මෙම භික්ෂු­වට පැමිණ සිටි පිරි­සෙන් බුලත්, පුවක්, හාල් ස්වල්ප­යක්, රෙදි­ක­ඩක් පූජා වශ­යෙන් ලැබුණු බවත්, භික්ෂුව වෙනු­වෙන් ආව­තේ­ව­ක­රු­වෙකු ඒවා භාර­ගත් බවත් ඩේවි පව­සයි. මෙම සියලු පූජා භාණ්ඩ අව­සා­නයේ උරුම වන්නේ මල්වතු මහා විහා­ර­යට බවට ඩේවි පව­සන්නේ ක්‍රි.ව. 1786 දී රාජා­ධි­රා­ජ­සිංහ රජු විසින් ශ්‍රිපා­දයේ වග­කීම් වේහැල්ලේ සඟ පර­පු­රෙන් ඉවත් කොට මල්වතු විහා­ර­යට පැවැරූ නිසාය.

කිසිදු ආකා­ර­යක සරු පසක් රහිත මළුව අවට ගල්ත­ලාවේ සරු­වට වැවෙන රත් පැහැති “අශෝක මල්” හෙවත් මහ­ර­ත්මල ගැන සිරි­පාද බැති­ම­තුන්ගේ විශ්වා­ස­යන් ගැන සට­හන් කරන ඩේවි එය මනං­ක­ල්පි­ත­යක් පම­ණක් බවට විස්තර කරයි. බුදු­හි­මි­යන් සිරිපා සට­හන තැබූ විග­සම, එයට පූජා පිණිස සමන් දෙවි­යන් මේ මල් සහිත ගස සිටවූ බව බැති­ම­තුන් ඩේවිට පවසා තිබේ. නමුත් ඩේවි පව­සන්නේ අඩි දෙද­හට වඩා උස් කඳු මුදු­න්වල වැවෙන මේ ගස සිරි­පාද මළු­වට පම­ණක් ආවේ­ණික එකක් නොවන බවයි. එය බොහෝ­දු­රට සත්‍ය වන නමුත් මහ­ර­ත්මල් ලංකා­වට පම­ණක් ආවේ­ණික ඒක දේශීක ශාක­යකි. මධ්‍යම පළාත් පුෂ්පය වන මහ­ර­ත්මල මුහුදු මට්ටමේ සිට මීටර් 1700 - 2300 ට වඩා උසින් පිහිටි හෝර්ටන් තැන්න, ඔහිය, පට්ටි­පොල, සීතා­එ­ළිය, සඳ­තැන්න ආදී නුව­ර­එ­ළිය දිස්ත‍්‍රි­ක්ක­යට අයත් ප‍්‍රදේ­ශ­වල වැවෙයි. වඩා හොඳින් වැවෙන්නේ පතන භූමි­ව­ලය. වියළි කාල­යේදී ලැව් ගින්නට හසු­වන පතන බිම්වල සරු­වට වැඩෙන මහ­ර­ත්මල් එම භූමි­ව­ලම නැවත වැඩේ.

වෛද්‍ය හෙන්රි මාර්ෂල් යනු 1818 දී වීර කැප්පෙ­ටි­පොළ හිස ගසා දමන මොහොතේ ඔහුගේ මර­ණය තහ­වුරු කිරී­මට රාජ­කා­රි­මය වශ­යෙන් සහ­භාගී වූ නිල­ධා­රි­යාය. ඉංග්‍රිසි පාල­න­යත් සමඟ බ්‍රිතාන්‍ය හමු­දාවේ උඩ­රට පළා­ත්වල ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිල­ධා­රියා ලෙස රාජ­කා­රි­යට පැමිණ මහ­නු­වර පදිංචි වූ හෙන්රි මාර්ෂල් සිරිපා කරු­ණාව අරඹා ඇත්තේ 1819 මාර්තු 29 දාය. ඔහු සමඟ සෝයර්ස් නම් ආදා­යම් නිල­ධා­රි­යාද ගම­නට සහ­භාගී වී තිබේ. ඔහු විසින් රචිත කෘතියේ ඔහුගේ සිරිපා චාරි­කාවේ තොර­තුරු සට­හන්ව ඇත.

මහ­නු­වර සිට සේව­ක­යින් විසින් ඔස­වා­ගෙන ගිය පුටු­වක නැඟී අඹ­ග­මුව දක්වා ගිය හෙන්රි මාර්ෂල් ඇතුළු පිරිස අඹ­ග­මු­වට ගොස් ඇත්තේ දින පහක ගම­න­කින් පසු අප්‍රේල් 02 දාය. පසු දින උදේ 7.15 ට සිරිපා කරු­ණාව ඇරඹූ ඔවුන් උදේ 9.15 ට සිරි­පාද පද්ම­යට ළඟාවූ බව දක්වා තිබේ. මේ අනුව එක­ලද දෙපැ­ය­කින් නඟි­න්නට තරම් පහසු මාර්ග­යක් ලෙස හැටන් පාර ගොඩ­නැඟී තිබූ බව අපට විශ්වාස කළ හැකිය.

සිරිපා මළුව වටා ප්‍රාකා­ර­යක් බැඳ තිබූ බවත් එහි දොරටු තුනක් වූ බවත් හෙන්රි මාර්ෂල් පව­සයි. ඉන් එකක් කුඩා දිය උල්ප­ත­කට ළඟා වන්නට තිබූ දොර­ටු­වක් බවත්, අනෙක්වා පිළි­වෙ­ළින් හැටන් සහ රත්න­පුරා පාරට විවර වූ බවත් ඔහු දක්වා ඇත. හෙන්රි මාර්ෂල් එහි ළඟා වන විට මළුවේ බැති­ම­තුන් හත­ළි­හක් පමණ වන්දනා මාන කර­මින් සිට ඇත. ඔවුන් පිරි­සුදු ඇඳු­මින් සිටි බව මාර්ෂල් විශේ­ෂ­යෙන් සඳ­හන් කර ඇත. එසේම එක් වන්දනා වාර­ය­කදී සිරිපා මළුවේ ආදා­යම පවුම් දෙසිය පන­හක් පමණ වන්නට ඇතැයි ඔහු සමග ගිය ආදා­යම් නිල­ධා­රියා අනු­මා­නව තක්සේරු කර තිබේ.

මෙම සට­හ­න්ව­ලින් අන­තු­රුව විදේ­ශීය සිවිල් නිල­ධා­රි­යෙකු සිරිපා කරුණා කළ අයුරු විස්තර කෙරෙන සට­හ­නක් හමු­වන්නේ 1886දීය. එකල රත්න­පුර දිසා­පති වරයා වූ එච්. වේල්ස් මාර්තු 19දා සිරිපා කරුණා කර තිබේ. එදින මැදින් පොහෝ දිනක් වූ බවත්, සිරිපා මළුවේ සිට­ගෙන සිටි­න්නට පවා නොහැකි ආකා­ර­යෙන් වන්ද­නා­ක­රු­වන් සිටි බවත් වේල්ස් සට­හන් තබා තිබේ. ඉන් අන­තු­රුව සිරි­පා­දය දෙස් විදෙස් බැති­ම­තුන්ට, දේශ ගවේ­ශ­ක­යින්ට ආග­න්තුක ස්ථාන­යක් නොවූ අතර පසු­කා­ලී­නව නවීන තාක්ෂ­ණය පවා උප­යෝගී කොට­ගෙන සිරිපා වන්ද­නාව ගැන සට­හන් තැබූ ලේඛ­කයෝ හා දේශ ගවේ­ශ­කයෝ හමු­වෙති.

දේශීය රජ­ව­රුන්ගේ සිරිපා පුද සත්කාර

විජ­යා­ග­ම­න­යෙන් පසු ලක්දිව රජවූ රජ­ව­රුන් අත­රින් පළ­මුව සිරිපා කරුණා කොට ඇත්තේ වළ­ගම්බා රජුය. පළමු ධූර කාල­යෙන් අන­තු­රුව, ආක්‍ර­මණ හමුවේ පලා­ගොස්, සේනා සංවි­ධා­නය පිණිස රට පුරා ඇවිද ගිය හෙතෙම සිය දෙවන රාජ්‍ය සම­යේදී (ක්‍රි.පූ. 89-ක්‍රි.පූ.76) සිරිපා කරුණා කොට ඇතැයි විශ්වාස කෙරේ. රට­පුරා ලෙන් විහාර ගණ­නා­වක් කළ වළ­ගම්බා රජු ශ්‍රීපා­දය වෙනු­වෙන්ද පුද පූජා රැසක් කළ බව සඳ­හන් වෙතත් ඒ මොන­වා­දැයි පැහැ­දි­ලිව දැක්වෙන සට­හ­නක් හමුව නැත.

එහෙත් ක්‍රි.පූ. 215 – ක්‍රි.පූ. 205 රජ­කම් කළ අසේළ රජු පරදා අනු­රා­ධ­පුර රාජ­ධා­නිය අත්පත් කර­ගත් එළාර රජු ගේ ඇමැ­ති­ව­ර­යෙකු වූ දීඝ­ජන්තු සෙනෙ­වියා එළාර රජු වෙනු­වෙන් ශ්‍රීපා­දය වැඳ­පු­දා­ගෙන ආකාශ චේති­යට රත් පැහැති පට­ස­ළු­වක් පූජා කළ බව මනෝ­ර­ථ­පූ­ර්ණිය නම් පාලි ග්‍රන්ථයේ සට­හන්ව ඇත. සිරි­පා­දය වඳි­න්නට පැමි­ණෙන දමිළ- හින්දු බැති­මත්තු අද ද සිරි­පා­ස­ට­හ­නට රතු රෙදි පිදීම චාරි­ත්‍ර­යක් ලෙස සිදු­ක­රයි.

රජකු වෙනු­වෙන් සිරිපා වැන්ද රාජ්‍ය නිල­ධා­රියා

රජෙකු නොවූ­වද රජෙකු වෙනු­වෙන් ශ්‍රීපාද කරුණා කළ ප්‍රථම රාජ්‍ය නිල­ධා­රියා ලෙස දීඝ­ජන්තු සෙනෙ­වියා දැක්විය හැක. එළාර රජු හා දුටු­ගැ­මුණු රජු අතර යුද්ධය පැවැති ක්‍රි.පූ.161ට ආසන්න සම­යෙක මෙම සිරිපා ගමන සිදු­ව­න්නට ඇතැයි විශ්වාස කළ හැක්කේ මලය රට ජනා­වා­ස­වල විශ්වා­සය තහ­වුරු කර­ගැ­නීම සඳ­හාද වන්නට ඇත.

දුටු­ගැ­මුණු රජු වෙනු­වෙන් සම­න්ත­කූ­ඨය වන්දනා කළ ථේර­පු­ත්තා­භය යෝධයා පද්මය සුවඳ මලින් පුදා, පර්වත පාමු­ලෙහි වූ මරු­කන්ද ජන­ප­ද­යට පිවිස එහි ද්‍රවිඩ බලය බිඳ හෙළූ බව සහස්ස වත්ථූ­ප­ක­ර­ණය හෙළි­ක­රයි. එසේම දුටු­ගැ­මුණු රජු සම­යේදී රජු කළ පින්කම් ඇතු­ළත් පින්පොත ථේර­පු­ත්තා­භය මහ­තෙ­රුන් විසින් කිය­වන විට එහි “ඒ තෙරුන් වහන්සේ අතු­රෙන් ඇඹුල් සහිත තණ බත් ගත් මලි­ය­දේව මහා ස්ථිවිර තෙමේ සමන් කුළු පව්හි නව සිය­යක් භික්ෂූන්ට දන් දී වැළඳූ සේක” යි සට­හන්ව තිබූ බව මහා­වං­ශයේ තිස් දෙවන පරි­ච්ඡේ­දයේ සට­හන්ව ඇත. එම තොර­තු­රම වඩාත් විස්ත­රා­ත්ම­කව සහස්ස වත්ථූ­ප­ක­ර­ණයේ දක්වා ඇත.

ක්‍රි.ව. 975-991 රජ­කම් කළ සිව්වන මිහිඳු රජු පෙර සොළී ආක්‍ර­ම­ණ­ව­ලදී විනාශ කළ ශ්‍රීපා­දයේ පිහිටි සෑයක් ප්‍රති­සං­ස්ක­ර­ණය කළ බව ඉති­හා­සයේ සඳ­හන් වේ. අනු­රා­ධ­පුර රාජ­ධා­නියේ අව­සන් භාග­යේදී සාමා­ජීය, ශාස­නික සේවා සඳහා ඉඩ­කඩ නොලැ­බුණු බැවින් යළිත් ශ්‍රීපා­දය ගැන රාජ්‍ය අව­ධා­නය යොමු­වන්නේ පොළො­න්නරු යුග­යේ­දීය.

ක්‍රි.ව.1056 රජ පැමිණී පළමු විජ­ය­බාහු රජු සිය රාජ්‍ය­ත්ව­යෙන් තිස් අට වැනි වර්ෂ­යේදී (1094) සිරිපා කරුණා කර තිබේ. ඒ පැමි­ණෙන අත­ර­ම­ඟදී අඹ­ග­මුවේ සෙල්ලි­පි­යද, ගිලී­මලේ සෙල්ලි­පි­යද කරවා සිරි­පා­ද­යේත්, එහි භික්ෂූ­න්ගේත්, වන්ද­නා­ක­රු­ව­න්ගේත් ශුභ සිද්ධිය පිණිස කට­යුතු කර­න්නට එගම් වැස්සන්ට නියෝග කළේය.

සිරිපා වන්දනා කරන මහා සංඝයා වහ­න්සේට හා වන්ද­නා­ක­රු­වන්ට ආහාර පාන බෙහෙත් හේත් දීම හා සියලු රැක­ව­ර­ණය දීමට එකතු වන රාජ­කාරි කරන අයට වැටුප් ගෙවීම සඳහා භව­භෝ­ග­ව­ලින් යුතු ඉහත කී ගම්මා­නද සිරි­පාද පුද­බි­මට පවරා තිබුණු බව මහා­වං­ශයේ තව­දු­ර­ටත් සඳ­හන්ව ඇත.

නිශ්ශං­ක­මල්ල රජුගේ සෙල් ලිපි

පොළො­න්න­රුවේ රජ­කළ මහා පරා­ක්‍ර­ම­බාහු රජ­තුමා (ක්‍රි.ව.1153-1186) සිය ඇමැ­ති­ව­රුන්ද සමඟ සිරිපා කරුණා කොට තිබූ අතර, සුමන සමන් දේව ප්‍රති­මා­වක් කඳු මුදු­නට වැඩ­ම­ක­රවා පද්මය අස­ලින් දේවා­ල­යක්ද ඉදි­කොට ඇත.

සිරිපා වන්ද­නාව අර­භයා මෙරට රජ­ව­රුන් කළ සම්පූර්ණ සෙල්ලිපි ගණන එකො­ළ­හකි. ඉන් දෙකක් පෙර සඳ­හන් කළ පරිදි පළමු විජ­ය­බාහු රජු කර­වන ලද ඒවාය. තවත් එකක් පසු­කා­ලී­නව දඹ­දෙ­ණියේ රජ කළ දෙවැනි පැර­කු­ම්බා­වන් විසින් ස්ථාපිත කළ අත්තානි කණු­වකි. එය පද්මය ආස­න්නයේ ස්ථාපිත කළ බව සඳ­හන් වුවත් මෙතෙක් සොයා­ගෙන නැත. ඉතිරි සෙල්ලිපි අට ම නිර්මා­ණය කර ඇත්තේ පළමු පරා­ක්‍ර­ම­බාහු රජුගේ ඇවෑ­මෙන් රජවූ කීර්ති ශ්‍රී නිශ්ශං­ක­මල්ල රජුය. (ක්‍රි.ව.1187-1196).

නිශ්ශං­ක­මල්ල රජු කළ සෙල්ලිපි අතර කඳු මුදු­නෙහි වූ නිශ්ශංක ලෙනෙහි සෙල්ලි­පිය, හැට­දාගේ ලිපිය, පඬු­ව­ස්නු­වර සෙල්ලි­පිය, ගල්පොත ලිපිය, කටු­ග­හ­ගල්ගේ ලිපිය, වැලි­ගත්ත ලිපිය ආදි­යද දැක්විය හැක. පළමු විජ­ය­බාහු රජු ශ්‍රීපා­ද­යට පූජා කළ ගම්වර නැවැත පූජ­කළ හෙතෙම සිරිපා වන්දනා කර ඇත්තේ තම රාජ්‍ය සමයේ අව­සාන කාල­යේ­දීය.

දඹ­දෙ­ණියේ දෙවන පැර­කුම්බා (ක්‍රි.ව. 1236 – 1271) රජුද සිරිපා වන්දනා කළ බව මහා­වං­ශය කියයි. පූජා­ව­ලි­යට අනුව සිය ඇමැ­ති­ව­ර­යෙකු වූ දේව­ප්‍ර­ති­රාජ ගඟ­සි­රි­පු­රට යවා සමන් දෙවි රුවක් කරවා එය සිරිපා මළු­වට වැඩ­මවා සමන් දේවා­ල­යක් කොට ඇත. තුන් දිනක් මළුවේ ගත කර ඇති රජ­තුමා, එහි මළුව වටා ප්‍රකා­ර­යක් බඳි­න්න­ටද නියෝග කොට ඇත. ශ්‍රීපාද ප්‍රවේශ මාර්ග­වල දුර්ග වළකා නවී­ක­ර­ණය කර ඇත්තේද මේ රජ­තු­මාගේ සම­ය්දීය. රත්න­පුර මහ සමන් දේවා­ලය කරවා ඇත්තේද මේ රජ­තු­මාගේ සම­යේ­දීය.

එතුමා විසින් කළ සිය­ල්ල­ටම වඩා වැද­ගත් කට­යුත්ත නම් ශ්‍රී පළා­බ­ද්දල මහ පිරි­වෙන කර­වී­මයි. පළා­බ­ද්දල මහ පිරි­වෙ­නට අම­ත­රව අත්ත­න­ගල්ල, පස්යො­දුන් රට, මලල දේශය යන ස්ථාන­ව­ලද පිරි­වෙන් ඉදි­ක­රවා ඇත්තේ මෙතු­මාගේ සම­යේ­දීය. ශ්‍රීපා­දය දිගින් දිග­ටම බොදු පුද­බි­මක් ලෙස රැකෙ­න්නට හේතු­පා­දක වූයේ දෙවන පැර­කුම්බා රජු විසින් නිර්මා­ණය කළ පළා­බ­ද්දල පිරි­වෙ­නයි. රජුගේ ප්‍රධාන ඇමැ­ති­ව­රයා වන දේව­ප්‍ර­ති­රා­ජ­යන් විසින් මෙම පිරි­වෙන ඉදි­කළ නිසා, එයට ගෞර­ව­යක් ලෙස අදද එම පිරි­වෙන හැඳි­න්වෙන්නේ පළා­බ­ද්දල දේව­ප්‍ර­ති­රාජ පිරි­වෙන ලෙසය.

සාහි­ත්‍ය­ය­ටද ඉම­හත් සේව­යක් කළ දෙවන පැර­කුම්බා රජු විසින් පළා­බ­ද්දල දේව­ප්‍ර­ති­රාජ පිරි­වෙ­නා­ධි­පති සහ උගත් භික්ෂූ­වක වූ වෙදේහ මහා ස්වාමීන් වහන්සේ ලවා සාහිත්‍ය කෘති තුනක්ද කරවා ඇත. සදෑ­ල­ඣ­ණය, සමන්ත කූඨ වර්ණ­නාව, රස­වා­හි­නිය යනු එම කෘති තුනයි.

ගිලන්වූ දෙවන පරා­ක්‍ර­ම­බා­හු­ගෙන් රජ­කම පැවැ­රුණු සිව්වැනි විජ­ය­බාහු හෙවත් බෝසත් විජ­ය­බා­හුද සිරිපා කරුණා කොට තිබේ. දඹ­දෙණි යුග­යෙන් පසු ගම්පොළ යුග­යේදී සිරිපා වන්ද­නාවේ යෙදුණු රජ කෙනෙකු ලෙස හත­ර­වන බුව­නෙ­ක­බාහු රජු හැඳින්වේ. වංශ­කතා වලද, එකල ලියැ­වුණු තිසර සන්දේ­ශ­යේද සිරි­පා­දය ගැන අලං­කෘ­තව විස්තර කර ඇත.

සම­නොළ සිරිපා වරුණේ ලිපි පෙළට අන්ත­ර්ගත විය යුතු යැයි සිතන ඔබ දන්නා ආශ්‍රිත කරුණු සහ සැඟ­වුණු චම­ත්කා­ර­යන් වේ නම් [email protected] ලිපි­න­යට දන්වන මෙන් කාරු­ණි­කව ඉල්ලා සිටිමු.

(මෙම ගවේ­ෂ­ණය සඳහා අව­සර ඉඩ­හ­සර ලබා­දුන් ශ්‍රීපා­ද­ස්ථා­නා­ධි­පති බෙංග­මුවේ ධම්ම­දින්න නාහි­මි­පා­ණන්ට සහ සියලු පහ­සු­කම් සපයා දුන් ශ්‍රීපා­ද­ස්ථා­නයේ සම්බ­න්ධී­ක­රණ ලේකම් උපාලි උද­ය­කු­මාර මහ­තාට)

[email protected]

ඡායා­රූප - චතුර හේමාල් සහ අන්තර්ජාලයෙනි

Comments