පැල්ප­ත්වල සිටි දුගීන්ට හිසට සෙවණක් දුන්නු අපූරු පොලීසිය | සිළුමිණ

පැල්ප­ත්වල සිටි දුගීන්ට හිසට සෙවණක් දුන්නු අපූරු පොලීසිය

ග්‍රාම නිල­ධාරී වසම් 44කට නිවාස

“මම හිතුවෙ මගේ දරුවෝ තුන්දෙ­නත් එක්ක මහා පස්ක­න්ද­කට යට­වෙලා මැරෙන්න වෙයි කියලා. ඒත් කුමන හෝ දෙය­කින් ජීවත් වෙන්න වාස­නාව තිබුණා. දව­සක් අනෝරා වැස්ස වෙලාවේ මගේ පුංචි කටු­මැටි ගහපු ගේ කාමරේ දරුවෝ තුන්දෙ­නත් එක්ක පණ ගැහි ගැහී හිටියා. එක­පා­රට පොල්අ­තු­ව­ලින් වට කරලා තිබුණු පැත්තේ ඉවුරේ මහා පස් කණ්ඩි­යක් කඩා­ගෙන අපේ පුංචි පැල්පත විනාශ වෙලා ගියා. මහා පස් කන්ද මගේ කොන්ද උඩ. අතේ හිටිය පුංචිම දිය­ණිය මගේ පපු­ව­ටයි පොළො­ව­ටයි හිර නොවී ඔස­වා­ගෙන හිටියේ ඇඟේ තිබුණ හයි­ය­ටත් වඩා හිතේ තිබුණු සෙනෙ­හ­ස­ටයි. එදා දවස අපේ පවුලේ තීර­ණා­ත්මක දව­සක් වුණා. පැදුරේ හිටපු අපි පැදු­රෙ­නුත් බිමට ඇද වැටුණා. ජීවි­ත­යක් ගැන හීන මවපු අපිට අද රාජ මාලි­ගා­වක් වගේ නිව­සක් ලැබිලා තියෙ­නවා. කහ­වත්ත පොලී­සියේ ස්ථානා­ධි­පති රොහාන් ඕලු­ගල මහ­ත්ත­යා­ටයි ගේ හදන්න උදව් කරපු හැමෝ­ට­මයි අපි ගන්න හුස්මක් හුස්මක් ගානේ පින් සිද්ධ වෙනවා” යි පැල්ම­ඩුල්ල දිප්පි­ටි­ගල පදිංචි කේ.බී.එන්. ලාල් ප්‍රේම­කු­මාර (44) මහතා අප සමඟ පැව­සීය.

ශ්‍රී ලංකා පොලී­සියේ 152 වැනි පොලිස් දිනය වෙනු­වෙන් කහ­වත්ත පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්‍ෂක රොහාන් ඕලු­ගල මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් කහ­වත්ත පොලිස් බල ප්‍රදේ­ශයේ ග්‍රාම නිල­ධාරී වසම් 44 ක එක් නිවස බැගින් ඉදි­කි­රීමේ ව්‍යාපෘ­තියේ පළමු වන අදි­යරේ නිවාස 20 ක් මේ වන විට ඉදි­කි­රීම් අව­සන් කර ඇත. “සංක­ල්ප­යට යථා­ර්ථ­යක්” මැයෙන් ශ්‍රී ලංකා පොලී­සියේ කාර්ය­භා­ර­යෙන් ඔබ්බට ගොස් හිසට සෙව­ණක් නැති අනා­ර­ක්‍ෂිත පවුල් එක් වස­ම­කින් එක් පවුල බැගින් මේ සඳහා තෝරා­ගෙන තිබේ. මෙම නිවාස ජන­වාරි 19 වනදා පොලි­ස්පති පූජිත් ජය­සු­න්දර මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් අදාළ ප්‍රති­ලා­භීන්ට භාර දෙනු ලැබීය. මේ සඳහා මුල් කට­යුතු කළ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ රත්න­පුර මහ­දි­සාවේ ප්‍රධාන සංඝ­නා­යක ගෞතම ශ්‍රීපා­ද­ස්ථා­නා­ධි­පති අති­ගරු බෙංග­මුවේ ධම්ම­දින්න නාහි­මි­පා­ණන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි සම්භා­ව­නීය අමුත්තෝ රැසක් මෙම අව­ස්ථා­වට සහ­භාගී වූහ.

දිප්පි­ටි­ගල වසමේ කේ. බීි. එන්. ලාල් ප්‍රේම­කු­මාර මහතා ද මෙහි නිවා­ස­ලා­භි­යෙකි. ඔහුට අප හා පැව­සි­මට බොහෝ දේ විය.

“මට ඉන්නේ ගැහැනු දරු­වන් තුන්දෙ­නෙක්. දිප්පි­ටි­ගල විද්‍යා­ලයේ ඉගෙ­නුම ලබන දිළිණි චතු­රිකා 11 වසරේ, තිළිණි සඳු­නිකා 10 වසරේ, සජිනි දිනූ­ෂිකා 4 වසරේ. දරුවෝ තුන්දෙ­නෙ­කුගේ අධ්‍යා­පන කට­යුතු, ආහාර පාන ඇරු­නම මම දවසේ කුලි­යක් කරලා ගන්න මුද­ලින් වෙනත් දෙයක් කරන්න බැහැ. බිරි­ය­ටත් හැකි­යා­වක් නැහැ. අපි කාපු වේල් ගාණට වඩා නොකා හිටපු වේල් ගාන වැඩි ඇති. ඒත් මම උත්සාහ කළේ කොහොම හරි තාත්තා කෙනෙක් හැටි­යට දරු­වන්ට යුතු­කම් ඉෂ්ට කරන්න. මේ අතර අත්වැ­ඩට ගිය මම මේසන් වැඩට හුරු වුණා. ඊට පස්සේ කොළඹ පැත්තේ වැඩ­ව­ලට ගිහිල්ලා ගෙදර ඕනෑ එපා­කම් පිරි­මහ ගත්තා. දැනට වසර කිහි­ප­ය­කට පෙර පලං­චි­යක් පල්ලට වැටී මම ඉන්නේ අස­නීප තත්ව­යෙන්. මේ අතර තමයි සිවිල් ආර­ක්‍ෂක කමි­ටුවේ නිල­ධා­රීන් අපේ ගෙද­රට ඇවිල්ලා අපේ ගේ හදලා දෙනවා කියලා කිව්වා. අපි කව­දා­වත් හිතුවේ නැහැ මෙහෙම වාස­නා­වක් අපිට තියෙයි කියලා.”

ඔහුගේ වැඩි­ම­හල් දිය­ණිය දිළිණි චතු­රිකා මධු­ව­න්තිය.

“මම මේ අවු­රුද්දේ සාමාන්‍ය පෙළ විභා­ගය ලිය­නවා. ජීවිත කාල­යම අපේ පුංචි නිව­හනේ විදුලි බල්බ­යක් දැන්වුනේ නැහැ. කුප්පි ලාම්පු­වෙන් පාඩම් කරලා තමයි මේ ගමන ආවේ. අඩු තරමේ පාඩම් කර­න්න­වත් ගෙදර ඉඩක් තිබුනේ නැහැ. අත­පය දිග­හැ­රලා නිදා­ග­න්නත් ඉඩ මදි. වැස්ස දවසේ ගෙට පස් කන්ද කඩා­ගෙන එන­කොට තාත්තා නොහි­ටියා නම් අපි කට්ටි­යම ඒ පස් ගොඩට යට­වෙලා. දැන් ඒ අසු­න්දර අතී­තය හරිම සුන්ද­රයි කියලා හිතෙ­නවා. අපිට කහ­වත්ත පොලී­සි­යෙන් ලස්සන ගෙයක් හදලා දුන්නා. නංගිලා දෙන්නත් එක්ක හොඳට ඉගෙන ගෙන අහිං­සක අම්මා තාත්තාට සල­ක­න්නත්, අපට ගේ හදා දුන්නු සියලු දෙනා­ගේම ගෞර­වය ආරක්‍ෂා කර­ගෙන රටට වැඩ­දායී පුද්ග­ල­යින් වීමයි මගේ බලා­පො­රො­ත්තුව.”

නිවාස ව්‍යාපෘ­තිය පිළි­බඳ අද­හස් දැක්වූ කහ­වත්ත පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්‍ෂක රොහාන් ඕලු­ගල මහතා “මීට වසර දෙක­කට පෙර සබ­ර­ග­මුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති චන්දන වික්‍ර­ම­රත්න මහතා පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රුන් රත්න­පු­ර­යට කැඳවා අපේ පොලි­ස්ප­ති­තු­මාගේ අද­හස ඉදි­රි­පත් කළා. පොලි­ස්පති පූජිත් ජය­සු­න්දර මැති­තුමා ප්‍රජා­වත් එක්ක බොහොම ළඟින් ඇසුරු කරපු කෙනෙක් නිසා ඔහුගේ ඉදිරි දැක්ම පිළි­බඳ මම හොඳ අව­බෝ­ධ­ය­කින් හිටියා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­තුමා අපිට දැනුම් දුන්නා 152 වැනි පොලිස් දිනය වෙනු­වෙන් එක පොලිස් ස්ථාන­ය­කින් දුප්පත් පවු­ලක් සඳහා නිව­සක් හදලා දීමේ අද­හ­සක් පොලි­ස්ප­ති­තු­මාට තිබෙන බව. ඒ අනුව රැස්වීම ඉවර වෙලා මම ආපහු එන ගමන් මගේ රිය­දුරු දැනට විශ්‍රා­මික පොලිස් සැර­යන් විම­ල­ච­න්ද්‍රට කිව්වා අපි වසම් 44ම එක නිවස බැගින් හදමු කියලා. ඔහු එක හෙලාම කිව්වේ “අනේ සර් වාස­නා­වන්. කොහොම හරි කරමු කිය­ලායි.

ඒ අනුව මම පොලි­සිය නිල­ධා­රීන්ට මේ බව දැනුම් දුන්නා. ඒ අය එක හෙළාම වැඩ­ස­ට­හන අනු­මත කළා. පළ­මු­වෙන්ම සිවිල් ආර­ක්‍ෂක කමිටු නිල­ධා­රීන් සමඟ සෑම වස­ම­කම මහ­ජ­න­තාව දැනු­වත් කළා. ඔවුන්ගේ ආධාර උප­කාර ඇතිව නිවාස ව්‍යාපෘ­තිය වැඩ අරම්භ කළත් සම­හර නිවාස ඉදි­කර ගැනීම ඉතාම අසීරු වුණා. මේ කාලය තුළ මම හරිම අමි­හිරි අත්දැ­කීම් වලට මුහුණ දුන්නා. නමුත් මගේ පොලිස් නිල­ධා­රීන් තම රාජ­කා­රි­යට එහා ගොස් තමන්ගේ ගෙදර වැඩ කර­නවා වාගේ මේ අහිං­සක මිනි­සුන්ගේ නිවාස ඉදි­කි­රී­මට උදව් කළා. කැප­වුණා.

මෙම ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක කිරී­මේදී අම­තක නොවන සිද්ධි ගොඩක් තිබෙ­නවා. ගමේ අයත් එක්ක මගේ නිල­ධා­රීන් නිවෙ­සක වැඩ කරන වෙලා­වක එහි දරු­වන් පාසල් ගිහින් ඇවිත් දවල්ට කෑමට යමක් නැතිව තැන් තැන්වල වැටී සිටියා. අපේ නිල­ධා­රියා අසා තිබෙ­නවා. ගෙදර වැඩ කරපු බාසු­න්නැ­හැ­ගෙන් බත් කන්නේ නැද්ද කියලා. එයා ගෙද­රින් කෑම ගෙන­වි­ල්ලයි තිබුණේ. ඔහු මගේ නිල­ධා­රි­යාට කියා තිබෙ­නවා. කොහො­මද සර් අපි බත් කන්නේ අර ළම­යින්ට දවල්ට කන්න ගෙදර මුකුත්ම නැතිව. ඊට හේතුව වෙලා තිබුනේ ගෙහි­මියා කුලී වැඩට නොගොස් ගේ හදා ගැනීම සඳහා නතර වීමයි. සැණෙ­කින් ක්‍රියා­ත්මක වූ මගේ නිල­ධා­රියා අතේ තිබුණු මුදල් වලට එව­ලේම දරු­වන්ට කෑම ගෙනත් දීලා තිබුණා. හවස එම නිල­ධා­රියා මට මේ පණි­වි­ඩය දුන්නාම මම දැඩි වේද­නා­ව­කට පත් වුණා. ඒ ගමන්ම මගේ අතේ තිබුණු රුපි­යල් තුන්ද­හස් පන්සී­යක මුදල ඔහු­ටම දීලා ගෙද­රට බඩු ගෙනි­හින් දීලා එන්න කියලා කිව්වා. මේ වගේ ඉතා සංවේදී අව­ස්ථා­ව­ලට අපි මුහුණ දුන්නා. මේ එක සිද්ධි­යක් විත­රයි.

ව්‍යාපෘ­තිය අරඹා ටික කාල­යක් යද්දී සම­හර ගෙවල් හැදුණා. ගෙහි­මි­යන්ගේ ද, උන­න්දුව අඩු නිසා සම­හර වැඩ අතර මැද නතර වුණා. මෙම නිවාස ව්‍යාපෘ­තිය ආරම්භ කිරී­මේදී ගෞතම ශ්‍රීපා­ද­ස්ථා­නා­ධි­පති අති­ගරු බෙංග­මුවේ ධම්ම­දින්න නාහි­මි­පා­ණන් වහ­න්සේත්, කහ­වත්තේ සේනින්ද නාහි­මි­පා­ණන් වහ­න්සේත්, අනෙ­කුත් පූජක ප්‍රසා­දීන් වහ­න්සේ­ලත් දැක්වූ සහ­යෝ­ගය හා ආශි­ර්වා­දය මට අම­තක කරන්න බැහැ. ඒ වගේම පොලි­ස්පති පූජිත් ජය­සු­න්දර මැති­තුමා මේ වැඩ සට­හන බොහොම ඉහ­ළින් අගය කළා. ඒක මට ලොකු ශක්ති­යක්. පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලි­ස්ප­ති­තුමා ප්‍රමුඛ සිය­ලුම මගේ ඉහළ නිල­ධා­රීන් මට ලබා­දුන් සහ­යෝ­ගය අගය කර­නවා. ඒ වගේම මගේ පොලි­සියේ සිය­ළුම නිල­ධා­රීන් කළ කැප­කි­රීම් හෙලූ දහ­ඩිය වල ප්‍රති­ඵල තමයි මේ ඉදි­වුණු නිවාස. කහ­වත්ත සහ පැල්ම­ඩුල්ල ප්‍රාදේ­ශීය ලේක­ම්වරු, ග්‍රාම නිල­ධා­රීන්, සමෘද්ධි සංව­ර්ධන නිල­ධා­රීන්, ආර්ථික සංව­ර්ධන නිල­ධා­රීන්, සිවිල් ආර­ක්‍ෂක කමිටු නිල­ධා­රීන් ඇතුළු දෙනාම ගෞර­ව­යෙන් සිහි­පත් කරන්න ඕන.

මෙම නිවාස ව්‍යාපෘ­තිය අතර මග නතර වී තිබුණු අව­ස්ථාවේ ඉතා හොඳින් නැවත ආරම්භ කිරීම සඳහා මට විශාල ශක්ති­යක් වුණේ කහ­වත්ත එක්සත් වෙළඳ සංග­මයේ සභා­පති කරු­ණා­දාස වීර­සිංහ, කපිල ප්‍රියන්ත රුද්‍රිගූ, චතුර කොඩි­තු­වක්කු, යන මහ­ත්ව­රුන් කහ­වත්ත සහ පැල්ම­ඩුල්ල ප්‍රදේ­ශයේ ව්‍යාපා­රික ප්‍රජා­වගේ පූර්ණ අනු­ග්‍ර­හය ලබා­ගෙන ව්‍යාපෘ­තිය පළමු අදි­යර නිමා කිරීම සඳහා දායක වුණා. මාත් සමඟ පොලිස් පරී­ක්‍ෂක රණ­සිංහ මහතා මෙම වැඩ කට­යුතු වෙනු­වෙන් දැක්වූ අනු­ග්‍ර­හය කෘත­වේ­දීව සිහි­පත් කර­නවා.

ඉදි­කි­රීම් නිම කළ ග්‍රාම නිල­ධාරී වසම් 20 ක නිවාස පසු­ගිදා පොලි­ස්පති පූජිත් ජය­සු­න්දර මැති­තුමා ඇතුළු ශ්‍රී ලංකා පොලි­සියේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීන්, අනු­ග්‍රා­හ­ක­භ­ව­තුන් ගේ සහ­භා­ගී­ත්ව­යෙන් නිවෙස් හිමි­යන් වෙත භාර දෙනු ලැබිණ.

ඡායාරූප කහ­වත්තේ තුෂාර හෙට්ටි­ආ­රච්චි

Comments