පමා වී ආ වසන්තය | සිළුමිණ

පමා වී ආ වසන්තය

ජනතාවට ශක්තියත්, දුප්පතුන්ට රැකවරණයත් ලබා දීමේ තේමාව පෙරදැරිව 2019 අයවැය පසුගිය 05 වැනිදා ජනතාව අතට පත් වූයේ මාස කිහිපයක් ප්‍රමාදී ව ය. සාමාන්‍යයෙන් මේ වසරේ අයවැය, පෙර වසරේ නොවැම්බරයේ ඉදිරිපත් කරන්නට තිබුණ ද රජයට මේ වසරට අදාළ ආර්ථික සහ සංවර්ධන සැලසුම් සහිත අයවැය දිග හරින්නට නොහැකි වූයේ ලෝක ප්‍රජාතන්ත්‍රවාදයට දැවැන්ත කළු පැල්ලමක් ඉතිරි කළ ඔක්තෝබර් 26 වැනිදා සිදු වූ කුප්‍රකට දේශපාලනික ක්‍රියාවලිය නිසා ය.

කෙසේ වුව ද පමා වී ආ අය-වැය රටේ ජනතාවට පමා වී ආ වසන්තයක් සේ හැඟෙන්නේ එයින් ලබා දී ඇති සහන දෙස බලන කල ය. විපක්ෂය පවා මේ අයවැය චොක්ලට්, සීනි තැවරූ එකක් ලෙසින් හඳුන්වා දී විවේචන ඉදිරිපත් කරන්නේ සැබැවින් ම ජනතාවට රසයක් දෙන ආකර්ෂණීය යෝජනා එහි ඇතුළත් වන නිසා ය. ඒ ආකර්ෂණීය යෝජනා අතරේ ජනතාවගේ මනසට අතිශයින් සමීප වූ යෝජනා අතර, රාජ්‍ය සේවකයන්ට රුපියල් දෙදහස් පන්සියයක මාසික දීමනාවක් ලබා දීම, අලුත විවාපත් වන යුවළ සඳහා වසර දෙකක සහන කාල සීමාවකට යටත් ව වසර 25කින් ගෙවිය හැකි නිවාස ණයක් ලබා දීම, රණවිරු සුබ සාධනය සඳහා කටයුතු කිරීම, හමුදා නිල ඇඳුම් දීමනා ඉහළ නැංවීම, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා රුපියල් මිලියන හැට දහසක් ලබා දීම, විශ්‍රාමික වැටුප් විෂමතා දුරලීම, අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදු කිරීමට යන නව ආයෝජන ආදිය විශේෂයෙන් සැලකිය හැකිය. කෙසේ වුවද දේශපාලන පාට කණ්ණාඩි නැතිව මධ්‍යස්ථ ව මේ අයවැය ගැන විග්‍රහ කරන විද්වතුන් අයවැය සුබවාදී අයවැයක් සේ දකිති. රටේ සමාජාර්ථික රටාවට ම සමස්ත මඟ පෙන්වීමක් සිදු කරන මේ අයවැයෙන් සහනශීලී හඳුන්වා දීම් රැසක් ක්‍රියාත්මක කර තිබෙන අතර මේවා රටේත් ජනතාවගේත් සැබෑ වර්ධනයක් කෙරේ දායක කර ගැනීමේ දැඩි අවශ්‍යතාව ගැන ඔවුහු අදහස් දක්වති.

එනම් ඔවුන් සැකෙවින් පවසන්නේ අයවැය මඟින් ඉදිරිපත් කළ වැය කිරීමේ යෝජනා මෙන්ම ආදායම් යෝජනා ද හුදෙක් හිතළු බවට පත් නොකොට ප්‍රායෝගිකත්වයට පත් කිරීම සඳහා පියවර ගත යුතු බව ය.

ඕනෑම රජයක් අයවැයක් මඟින් ජනතාවගේ සුබසාධනය සඳහා සැලකිය යුතු මුදලක් වෙන් කරයි. රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 83ක් තරම් අධික ණය බරක් සහිත ශ්‍රි ලංකාව වැනි රටකට ඉසිලිය නොහැකි මට්ටමේ සහන ලබා දීමට රජය මේ අයවැය හරහා ද පියවර ගෙන ඇත. පසුගියදා ජනාධිපතිවරයා ද පවසා තිබුණේ රටේ මෙන්ම ලෝකයේ ම සමස්ත ආර්ථිකය අර්බුදකාරී මට්ටමක පවතින පසුබිමක, ජනතාවට සහන ලබා දීම අභියෝගාත්මක කාර්යයක් විය හැකි බව ය. කෙසේ වුවද අපේ රටේ පවතින යම් සංස්කෘතිකමය පුරුද්දක් නිසාදෝ රටේ ජනතාව අයවැය මඟින් ප්‍රමුඛ වශයෙන් බලාපොරොත්තු වන්නේ තමන්ට දෙන නොදෙන එසේ නැතිනම් අඩු වැඩි වන දේවල් මොනවාද යන්න ය. මේ සෑම තීරණයක් ම තමන්ගේ මුදල් පසුම්බියට, කෑම මේසයට මෙන්ම ගෙදර මුළුතැන්ගෙයට බලපාන නිසා ඒ ගැන උනන්දු වීමේ ජෛව විද්‍යාත්මක ස්වාභාවිකත්වයක් ද නැතිවාම නොවේ. කෙසේ වුවද රටක් ලෙස අප හමුවේ පවතින අභියෝග සහ ප්‍රශ්න හඳුනාගත යුතුය. බොහෝ විවාරකයන් එන්ට්‍රප්‍රයිස් ශ්‍රි ලංකා ණය වැඩසටහන දකින්නේ නව ව්‍යවසායකයන් සවි බල ගැන්වීමේ මෙතෙක් බිහි වූ ප්‍රශස්තම වැඩසටහන ලෙසින් ය. එයින් මේ වනවිටත් මෙරට ව්‍යවසායකයන් තිස් දහසක් පමණ මූල්‍යමය සවිය ලබා ගෙන ඇති බව මුදල් අමාත්‍යවරයා තම අයවැය කතාවේදී ප්‍රකාශ කළේය. මෙවැනි තත්ත්වයක් තිබුණ ද අපට ඇසෙන එක් මැසිවිල්ලක් වන්නේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය ලබා ගැනීමට යන තරුණ ව්‍යවසායකයන්; බැංකුකරුවන් හමුවේ මුහුණ දෙන අභියෝගයයි. ඔවුන්ට ආයෝජනය කිරීමට අවශ්‍ය වෘත්තීයමය සුදුසුකම් තිබුණ ද බැංකුව බොහෝ විට ඇප සුරැකුම් මත ණය ලබා දීමට පසුබට වීම හෝ බැංකුකරුවන් සාම්ප්‍රදායික ව්‍යවසායකයන්ට සලකන ආකාර‍යෙන් නව ව්‍යවසායකයන් ද පිළිගැනීම තුළ යම් යම් ප්‍රශ්න නිර්මාණය වී ඇත. මේ වැඩසටහනේ නිසි ප්‍රතිලාභ අපේක්ෂිත සෑම පාර්ශ්වයක් වෙත ම ලබා ගැනීමට නම් මේ බැංකු නිලධාරීන් ට අදාළ මඟ පෙන්වීමක් කිරීමට සිදුව තිබේ. එ‍සේම මෙවර අයවැයෙන් මෙවැනි බැංකු ණය සඳහා ඇප බලාපොරොත්තු වන අවස්ථාවලදී එවැනි ඇපකර තැබීමට නොහැකි තරුණ ව්‍යවසායකයන්ට ඇප සුරැකුමක් ලබා දෙන අරමුදල් පිහිටුවීමට යෝජනා කිරීම රටේ අනාගත ආර්ථික වර්ධනය පැත්තෙන් සාධනීය පියවරකි.

අපට රටක් ලෙස ඉදිරියට යෑමේදී අවශ්‍ය වන ප්‍රධාන සාධකයක් වන්නේ දැනුම සහ බුද්ධියයි. එය අපට ලෝකය හමුවේ මුදල් බවට පහසුවෙන් පත් කළ හැකි දැනුම් පදනම් වූ ආර්ථික ව්‍යූහයක් අද නිර්මාණය වී තිබේ. ‍මෙවර අයවැය තුළ අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙසෙස් අවධානයක් යොමු කර ඇති අතර විශේෂයෙන් පාසල් යටිතල පහසුකම් සංවර්ධනයට වෙන් කර ඇති සුවිසල් මුදල නිසැක ව ම හොඳ ප්‍රතිඵල රටට අනාගතයේ ගෙන දෙනු ඇත.

මේ සියලු අභියෝග ජය ගැනීමේදී ඒ වෙනුවෙන් කටයුතු කරන්නට සිදුවන්නේ හුදෙක් දේශපාලන බල අධිකාරියට පමණක් නොව රාජ්‍ය නිලධාරීන්ට ය. පසුගිය කාලය තුළ රාජ්‍ය නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව ද රජයේ නිසි ඉලක්ක සපුරා ගැනීමේදී කඩුල්ලක් බවට පත් වූ බව අප පිළිගත යුතුය. එබැවින් අඩුම තරමේ ජාතික ආර්ථිකයට මඟ පෙන්වන අයවැය සම්බන්ධ සියලු යෝජනා ක්‍රියාත්මක කිරීමේදීවත් ඒ ක්‍රියාවලිය පසු විපරම් කෙරෙන පාර්ලිමේන්තුවට හෝ ජනතාවට වගකියන ක්‍රමවේදයක් සැකසීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව ඇති බව පෙන්වා දිය යුතුය.

අදහස්