ආදරවන්තයන්ගේ සටනට රිච්මන්ඩ් - මහින්ද බළ මුළු තර කරති | සිළුමිණ

ආදරවන්තයන්ගේ සටනට රිච්මන්ඩ් - මහින්ද බළ මුළු තර කරති

ගාල්ල රිච්මන්ඩ් සහ මහින්ද දෙවිදුහල් අතර වාර්ෂිකව පැවැත්වෙන ආදරවන්තයන්ගේ මහා ක්‍රිකට් සංග්‍රාමය 114 වැනි වරටත් ලබන 15- 16 දා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි. රිච්මන්ඩ් කණ්ඩායම තවීෂ අභිෂේක් යටතේ මෙවර තරග බිමට පිවිසෙන අතර මහින්ද කණ්ඩායම විනුර දුල්සර යටතේ පිටියට පිවිසීමට නියමිතය.

රිච්මන්ඩ් කණ්ඩායම මෙවර තරග වාරයේ දී තරග 13කට ක්‍රීඩා කර 02ක් ජය හිමිකර ගෙන ඇති අතර ඉතිරි තරග 11 ජය පරා‍ජයෙන් තොරව අවසන් කර ගෙන තිබේ. මහින්ද කණ්ඩායම මෙවර පාසල් තරග වාරයේ තරග 17කට ඉදිරිපත් වී 04ක් ජය ගෙන ඇති අතර පරාජිත තරග සංඛ්‍යාව එකකි. ජය පරාජයෙන් තොරව අවසන් කර ගෙන ඇති තරග සංඛ්‍යාව 12කි.

1905 දී ආරම්භය සටහන් කරගෙන ඇති ආදරවන්තයන්ගේ සටනේ පළමු නායකයන් දෙදෙනා වන්නේ රිච්මන්ඩ් කණ්ඩායමේ වික්ටර් රෝඩ් සහ මහින්ද කණ්ඩායමේ ජී.වීරතුංගයි. පළමු තරගයේ විනිසුරුවරුන් ලෙස දෙවිදුහල්වල විදුහල්පතිවරුන් කටයුතු කර තිබේ. දෙදෙනාම ගජ මිතුරන් නිසා ම මෙකී මහා තරගය ආදරවන්තයන්ගේ සටන ලෙස හැඳින්වෙයි.

මහින්ද විද්‍යාලය 2008 දී රජිත ප්‍රියාන්ගේ නායකත්වය යටතේ අවසන් වරට මෙකී සටන ජය ගෙන ඇති අතර 2014 දී ටිරෝන්ගේ සහ 2015 දී සිතාර ගිම්හානගේ නායකත්වය ය‍ටතේ රිච්මන්ඩ් විද්‍යාලය අඛණ්ඩව අවසන් වරට මහා තරග ජය ගෙන තිබේ. රිච්මන්ඩ් විද්‍යාලයේ ධනංජය ලක්ෂාන් 2017 දී නොදැවී රැස් කළ ලකුණු 101 අවසන් වරට ආදරවන්තයින්ගේ සටනේ වාර්තා වී ඇති ශතකයයි.

සිවු වැනි වසරේ වර්ණලාභියකු වන තවීෂ අභිෂේක් මෙවර රිච්මන්ඩ් විද්‍යාල නායකයාය. හෙතෙම දක්ෂ දකුණත් පිතිකරුවෙකි. මෙවර ක්‍රිකට් තරග වාරයේ දී ඔහු ලකුණු 689 ක් රැස් කර ඇත. මේ වසරේ ඔස්ට්‍රේලියානු - ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ තරගවලටත් ඔහු සහභාගි විය.

ආදිත්‍ය සිරිවර්ධන සිවුවැනි වසරේ වර්ණලාභියෙකි. ඔහුත් දකුණත් පිතිකරුවෙකි. දැනට ලකුණු 619 ක් රැස් කර‍ ගෙන ඇත. ඔහුට දකුණතින් වේග පන්දු යැවීමටත් හැකිය.

තෙවැනි වසරේ වර්ණලාභියකු වන සඳුන් මෙන්ඩිස් දකුණත් පිතිකරුවෙකි. එමෙන්ම දකුණතින් පිට දඟ පන්දු යවයි. දැනට කඩුලු 33ක් දවා ගැනීමට සමත් වී තිබේ. ඔහුත් වයස අවුරුදු 19 න් පහළ ඔස්ට්‍රේලියානු පිලට එරෙහිව තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකි.

තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ඩිලුම් තිලකරත්න දෙවන වසරේ වර්ණලාභියෙකි. දකුණත් පිතිහරඹයේ නිරත වෙමින් ලකුණු 368ක් රැස් කර ඇත. වමත් පා දඟ පන්දු යවමින් කඩුලු 70 ක් දවා ගත්තේය.

කණ්ඩායමේ කඩුලු රකින්නා වන්නේ විමුද් සප්නකය. ඔහුත් දෙවන වසරේ වර්ණලාභියෙකි. දැනට දවාලීම් 24ක් කර තිබේ. ඊ‍ට උඩපන්දු 20 කි. කඩුලු බිඳ දැමීම් 04 කි. ඔහු දකුණත් පිතිකරුවෙක් ලෙසට ලකුණු 168 කුත් රැස් කර ගෙන තිබේ.

ආරම්භක වේග පන්දු යවන්නා වන අම්ශි ද සිල්වා දකුණතින් පන්දු යවයි. දැනට ලකුණු 125 ක් රැස් කරමින් කඩුලු 23ක් දවා ගෙන ඇත. ඔහුත් දෙවන වසරේ වර්ණලාභියෙකි.

තවත් දෙවන වස‍රේ වර්ණලාභියකු වන විනුජ කිරිඇල්ල වමත් ආරම්භක පිතිකරුවෙකි. ලකුණු 449 ක් රැස් කර ගත්තේය.

චමත් ඩිල්සර සහ නිම්නද කිරින්දගේ දෙවන වසරේ වර්ණලාභින්ය. චමත් දකුණත් පිතිකරුවෙකි. දකුණතින් පා දඟ පන්දු යවමින් කඩුලු 09 ක් දවා ගත්තේය. නිම්නද දකුණත් පිතිකරුවෙකි. වමත් දඟ පන්දු යවමින් කඩුලු 16ක් දවා ගත්තේය.

දිමුත් සඳරුවන්, භානුක මනෝහර සහ කල්ප නෙත්සර නවකයෝය. දිමුත් වමත් පිතිකරුවෙකි. දකුණතින් පිට දඟ පන්දු යවයි. භානුකත් වමත් පිතිකරුවෙකි. දක්ෂ පන්දු රකින්නෙකි. කල්ප දකුණතින් ආරම්භක මද වේග පන්දු යවන්නෙකි. කඩුලු 13ක් දවා ගත්තේය. ඔහු දකුණත් පිතිකරුවෙකි.

සිවුවැනි වසරේ වර්ණලාභියකු වන විනුර දුල්සර මෙවර මහින්ද විද්‍යාල කණ්ඩායමේ නායකයා මෙන්ම කඩුලු රකින්නාත් වේ. වමත් පිතිකරුවෙකි. ලකුණු 800 ක් රැස් කර ගැනීමට සමත් විය. එමෙන්ම දකුණත් පිට දඟ පන්දු යවමින් කඩුලු 17ක් දවා ගත්තේය.

උපනායකයා වන අශේන් කන්ඩම්බිත් සිවුවැනි වසරේ වර්ණලාභියෙකි. දකුණත් මැද පෙළ පිතිකරුවෙකි. ලකුණු 400ක් රැස් කර ගෙන ඇත. දකුණතින් පිට දඟ පන්දු යවයි.

අත්දැකීම් බහුලතම ක්‍රීඩකයා වන්නේ 05 වැනි වසරේ වර්ණලාභි හංසික වැලිහිඳය. ඔහු 2016 -17 තරග වාරයේ නායකයාය. දකුණත් පිතිකරුවෙකි. ලකුණු 900 ඉක්මවා රැස් කිරීමට සමත් විය.

නවෝද් පරණවිතාන සිවුවැනි වසරේ වර්ණලාභියෙකි. වමත් ආරම්භක පිතිකරුවෙකි. වමතින් පා දඟ පන්දු යවයි. දැනට ලකුණු 450 ඉක්මවා රැස් කර ගත්තේය. කඩුලු 15ක් ද දවා ගත්තේය. මේ දස්කම් දැක්වූයේ තරග 07 කදීය. ඔහු ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ සාමාජිකයෙකි.

නිපුන් මාලිංග තෙවැනි වසරේ වර්ණලාභියෙකි. වමත් මුල් පෙළේ පිතිකරුවෙකි. ආරම්භක දකුණත් වේග පන්දු යවන්නෙකි. ලකුණු 400 ඉක්මවා රැස් කර ඇත. කඩුලු 25 ඉක්මවා දවාගත්තේය. ඔහුත් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කර තිබේ.

පසන් පෙතන්ගොඩ තෙවැනි වසරේ වර්ණලාභියෙකි. දකුණත් පිතිකරුවෙකි. වමත් පා දඟ පන්දු යවන්නෙකි. කඩුලු 45ක් පමණ දවා ගත්තේය.

දෙවන වසරේ වර්ණලාභියෙක් වන සුබානු රාජපක්ෂ දකුණත් පිතිකරුවෙකි. දකුණතින් පිට දඟ පන්දු යවමින් කඩුලු 20ක් පමණ දවා‍ ගෙන ඇත.

ළහිරු භාෂණ දකුණත් පිතිකරුවෙකි. කඩුලු රැකීමටත් හැකිය. කෞශිත කොඩිතුවක්කු දකුණත් පිතිකරුවෙකි. ලකුණු 350 කට වඩා රැස් කර ඇත. සදෙව් ඉඳුවර දකුණත් පිතිකරුවෙකි. කඩුලුත් රකියි. කුෂාන් මධුෂ වමත් පිතිකරුවෙකි. වමතින් පා දඟ පන්දු යවයි. දැනට කඩුලු 60ක් දවා ගත්තේය. මෙම ක්‍රීඩකයෝ මෙවර නවකයෝ වෙති.

අදහස්