MOTO GP 2019 කටාර්හිදී අද ඇරැඹෙයි | සිළුමිණ

MOTO GP 2019 කටාර්හිදී අද ඇරැඹෙයි

ඉතා ත්‍රාසජනක සහ අතීශයින්ම ජනප්‍රිය මෝටර් සයිකල් වාර්ෂික ලෝක ශූරතාවලිය අද (10) ඇරැඹෙයි. මෙවර ලෝක ශුරතාවලිය පැවැත්වෙන්නේ 71 වැනි වරටයි. එය මෙහෙය වන්නේ අන්තර්ජාතික මෝටර් සයිකල් සම්මේලනය (එෆ්. අයි. එම්.) විසිනි.

මෙවරත් සුපුරුදු පරිදි අංශ කිහිපයක් යටතේ මෙම ලෝක ශුරතාවලිය පැවැත්වෙයි. ඒ අතරින් වැඩිම අවධානය යොමු වන්නේ මොටෝ ජී.පී. (ග්‍රෝන් ප්‍රී මෝටර් සයිකල්) අංශයටයි. මෙය මීට වසර කිහිපයකට පෙර හැඳින්වූයේ 500 සී.සී. ලෙසිනි.

වත්මන දී ලොව සුපිරිතම වෘත්තීය මෝටර් සයිකල් ක්‍රීඩා තරු සියලු දෙනා තරග කරන්නේ මෙම මොටෝ ජී.පී. අංශයටයි. මෙවර පැවැත්වෙන මුළු තරග ගණන 19කි. එහි දී සෑම අවසන් තරගයකදීම ඒ ඒ ස්ථාන සඳහා ලකුණු පිරිනමයි. වසර අවසාන දී වැඩිම ලකුණු ගණනක් හිමි කර ගනු ලබන ක්‍රීඩකයාට ලෝක ශූරතාව හිමිවෙයි.

මෙවර ලෝක ශූරතාවලිය මාර්තු 10 සිට නොවැම්බර් 17 දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම මුළු තරග 19 . රටවල් 16 ක දී පැවැත්වේ. ඒ කටාර්, ආර්ජන්ටිනාව, ඇමෙරිකාව, ස්පාඤ්ඤය, ප්‍රංසය, ඉතාලිය, නෙදර්ලන්තය, ජර්මනිය, චෙක් ජනරජය, ඔස්ට්‍රියාව, බ්‍රිතාන්‍යය, සැන් මැරිනෝ, තායිලන්තය, ජපානය, ඔස්ට්‍රේලියාව සහ මැලේසියාවේදීය. මෙවර ප්‍රථම තරගය පැවැත්වෙන්නේ කටාර් රාජ්‍යයේදීය. එමෙන්ම තරග සතරක්ම ස්පාඤ්ඤයේ දී පැවැත්වීම විශේෂත්වයකි.

මෙවර වැඩිම අවධානය යොමු වී තිබෙන්නේ ජපානයේ රෙප්සොල් හොන්ඩා කණ්ඩායමටයි. ඒ ගත වූ වසර කිහිපයේ දී ලෝක ශූරයෝ වූ සුපිරි තරු ද්විත්වයම මෙවර එම කණ්ඩායම නියෝජනය කරන බැවිනි. ඔවුන් නම් ස්පාඤ්ඤයේ 26 හැවිරිදි මාර්ක් මාර්කෙස් සහ 31 හැවිරිදි ජෝර්ගෙ ලොරෙන්සෝය.

මේ අතරින් ද මෙවරත් ලෝක ශුරයා වනු ඇති බවට බොහෝ දෙනා බලාපොරොත්තු තබා තිබෙන්නේ මාර්කෙස් වෙතටයි. ඒ ගත වූ අවසන් වසර 06 න් ලෝක ශුරතා 05 ක්ම හිමි කර ගැනීමට ඔහු සමත් වී සිටින බැවිනි. එහි දී අනෙක් ලෝක ශුරතාව හිමිකර ගත්තේ ලොරෙන්සෝය.

ගත වූ කාලයේ දී දැක් වූ විශිෂ්ට දස්කම් නිසාම මාර්කෙස් මෝටර් සයිකල් ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨයෙක් බවට පත් වී අවසන්ය. මෙම ක්‍රීඩාවේ වැඩිම මොටෝ ජී.පී., 350 සී.සී. සහ සමස්ත ලෝක ශූරතා හිමිකර ගත් ශූරයා වන්නේ ඉතාලියේ ගියා කොමෝ අගොස්තිනිය. ඔහුට (උපත 1942 ජුනි 16) ලෝක ශූරතා 15කි. මාර්කෙස්ට දැනට ලෝක ශුරතා 07 කි. එම නිසාම අනාගතයේ දී අගොස්තිනිගේ වාර්තාව හිමිකර ගැනීමට වැඩිම අවස්ථාවක් තිබෙන ක්‍රීඩකයා ලෙසට මාර්කෙස් සැලකෙයි.

මෙම ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රමුඛ පන්තියේ ලෝක ශුරතා 05 ක් හෝ ඊට වඩා හිමිකර ගත් ශූරයෝ සිටින්නේ සිවු දෙනෙක් පමණකි. ඒ ඔස්ට්‍රේලියාවේ මික් ඩුහන්, ඉතාලියේ අගොස්තිනි, වැලෙන්ටිනෝ රොසි සහ මාර්කෙස්ය.

මාර්කෙස්ගේ ක්‍රීඩා වීරවරයකු ලෙස සැලකෙන ඩුහන් (උපත 1965 ජුනි 04) ලෝක ශුරතා (500 සී.සී.) 05 ක් හිමි කර ගත්තේ පිට පිටමය. ඒ 1994 සිට 98 දක්වාය. හෙතෙම 1989 සිට 99 දක්වා අන්තර්ජාතිකව තරග කළේය.

මෙම ක්‍රීඩා ඉතිහාසයේ වෙනස් කාණ්ඩයන් 03 කින් ලෝක ශුරතා හිමි කරගත් ශුරයන් සිටින්නේ සිවුදෙනෙකි. ඒ බ්‍රිතාන්‍යයේ මයික් හෙයිල්වුඩ්, ෆිල් රීඩ්, වැලෙන්ටිනෝ රොසි සහ මාර්කෙස්ය.

මයික් (උපත 1940 අප්‍රේල් 02 - විපත 1981 මාර්තු 23) අන්තර්ජාතිකව තරග කළේ 1958 – 67 දක්වාය. රීඩ් (උපත 1939 ජනවාරි 01) මෙම දස්කම කළ ප්‍රථමයාය. ඒ 1961 – 76 අතර කාල‍යේදීය. ඒ 125 සී.සී., 250 සී.සී. සහ 500 සී. සී. කාණ්ඩයන්ගෙනි. රොසි 2000 සිට තවමත් තරග කරයි.

මේ වන විට මෙම ක්‍රීඩාවෙන් (මොටෝ ජී.පී.) වාර්තා රැසක්ම හිමි කරගත් ළාබාලතමයා බවට පත් වී සිටින්නේත් මාර්කෙස්මයි.

මෙම සියලුම වාර්තා ප්‍රමුඛ පංතියේ ඉසව්වලිනි. වයස අවුරුදු 20 දින 63 ක දී තරගයක් ජය ගැනීමය. අවුරුදු 20 දින 266 දී ලෝක ශුරයාය. ලෝක ශුරතා 05ක් හිමිකර ගත්තේ අවුරුදු 25 දින 246 කදීය . වාරයක දී වැඩිම තරග ගණනක් ජය ගත්තේය. ඒ 2014 වසරේ දී තරග 13කි. මෙය පොදු වාර්තාවකි. වාරයක දී වැඩිම තරග ගණනක් (12) ජය ගත් ළාබාලතමයා ය. එවිට ඔහුට අවුරුදු 21 දින 251 කි.

වාරයක දී පිට පිට තරග 04 සිට 10 දක්වා ජය ගත් ළාබාලතමයාය. වාරයක දී තරග 11ක් ජය ගත්තේය. එවිට අවුරුදු 21 දින 205 කි. පිට පිට ලෝක ශුරතා 02ක් හිමකර ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 21 දින 237 කි.

පිට පිට තරග 04 ක් වාරයක දී ජය ගත් ප්‍රථම නවකයාය. ඒ 2013 වසරේදීය. වැඩිම තරග ප්‍රමාණයක් ජය ගත් නවකයාය. ඊට තරග 06කි. වැඩිම ලකුණු ගණනක් හිමි කරගත් නවකයාය. ඊට ලකුණු 334කි.

පිට පිට ලෝක ශුරතා 02ක් හිමි කරගත් ප්‍රථම සහ එකම ස්පාඤ්ඤ ජාතිකයාය. ලෝක මෝටර් සයිකල් ක්‍රීඩා ඉතිහාසයේ මුළු තරග 50 සිට 70 දක්වා ජය ගත් ළාබාලතමයාය.

මාර්කෙස් අයත් වන්නේ ස්පාඤ්ඤයේ කැටලෝනියා කලාපයටයි. සුප්‍රකට බාර්සිලෝනා ක්‍රීඩා සමාජයත් එම කලාපයටම අයත්ය. වසර ගණනාවක සිට කැටලන් කලාපය වෙනම පාලනයක් උදෙසා අරගලයක් කරමින් සිටියි.

මෝටර් සයිකල් මෝටෝ ජී.පී. (500 සී.සී.) ලෝක ශුරතාව හිමි කරගත් දෙවැනි කැටලන් ක්‍රීඩකයා මර්කෙස්මයි. එහි ප්‍රථමයා ඇලෙක්ස් ක්‍රිවිය. හෙතෙම (උපත 1970 මාර්තු 04) අන්තර්ජාතිකව තරග කළේ 1987 සිට 2001 දක්වාය. හෙතෙම 1999 ලෝක ශුරයාය.

ස්පාඤ්ඤය වෙනුවෙන් මොටෝ ජී.පී. ලෝක ශුරතාව හිමිකර ගත් තෙවැනියාත් මාර්කෙස්ය. එහි ප්‍රථමයා ඇලෙක්ස් ක්‍රිවිය. දෙවැනියා ජෝර්ගෙ ලොරෙන්සෝය. සමස්තයක් ලෙස ගත් විට මේ ක්‍රීඩාවේ සාර්ථකම කැටලන් සහ ස්පාඤ්ඤ ක්‍රීඩකයා මාර්කෙස් වේ.

මාර්ක් මාර්කෙස් ඇලෙන්ටා උපත ලැබුවේ 1993 වසරේ පෙබරවාරි මස 17 වැනි දාය. ඒ කැටලන් හෙවත් කැටලෝනියා කලාපයේ සෙර්විරා නුවරදීය. ඔහුට අපූරු නාම දෙකක් පටබැඳී තිබේ. ඒ සෙර්විරා ඇසු‍ෙරනි.

ඒ සෙර්විරාවේ කූඹියා සහ සෙර්විරාවේ ගිගුරුමය. ඔහුගේ පියා ජුලියා මාර්කෙස්ය. මව රෝසර් ඇලෙන්ටාය. මාර්කෙස්ට බාල සහෝදරයෙක් සිටියි.

මේ පවුලම මෝටර් සයිකලයට ළැදිය. වයස අවුරුදු 04 දී මාර්කෙස්ට සිය ප්‍රථම මෝටර් සයිකලය ලැබුණි. ඒ නත්තල් තෑග්ගක් ලෙසටයි.

තම සොහොයුරාගේ ගමන් මග යමින් ඇලෙක්ස් ද මෝටර් සයිකල් තරගවලට යොමු විය. හෙතෙම (උපත 1996 අප්‍රේල් 23) මොටෝ3 ලෝක ශුරතාව හිමිකර ගැනීමට සමත් වූයේය. ඒ 2014 වසරේදීය. ඒ සමගම මෙම සොහොයුරෝ සුවිශේෂී ලෝක වාර්තාවක් පිහිටුවූහ. එනම් මෝටර් සයිකල් ලෝක ශුරතා හිමිකර ගත් ප්‍රථම සොහොයුරන් වශයෙනි.

ක්‍රම ක්‍රමයෙන් සාර්ථකව ඉදිරියට යාමට මාර්කෙස්ට හැකි වුයේය. ඒ අනුව 2010 වසරේ දී ඔහු 125 සී.සී. ලෝක ශූරතාව හිමිකර ගත්තේය. 2012 වසරේ දී මොටෝ 2 ලෝක ශුරතාවයත් හෙතෙම හිමිකර ගැනීමට සමත් වූයේය.

2013 වසරේ සිට ඔහු මොටෝ ජී.පී. ලෝක ශුරතාවලියට තරග කරයි. ඒ හොණ්ඩා කණ්ඩායම නියෝජනය කරමිනි. මේ වන විට මුළු තරග 108 කට සහභාගි වී ඇත. එහි දී ජයග්‍රහණ 44කි. දෙවන සහ තෙවැනි ස්ථාන 33 කි. මුළු ලකුණු 1855කි.

දැනට ඔහුට මොටෝ ජී.පී. ලෝක ශුරතා 05කි. ඒ 2013, 14, 16, 17, සහ 18 වසරවලදීය. මින් ප්‍රථම ලෝක ශුරතාව 2013 වසරේදීය.එහි දී පැවැති තරග ගණන 18 කි. මාර්කෙස්ට ජයග්‍රහණ 06කි. දෙවැනි ස්ථාන 06කි. තෙවැනි ස්ථාන 04 කි. ඔහුට ලකුණු 334 කි. එවර අනුශුරයා වූයේ ජෝර්ගෙ ලොරෙන්සෝය. ජපානයේ යමහා කණ්ඩායම නියෝජනය කළ ලොරෙන්සෝට ලකුණු 330 කි. ස්පාඤ්ඤයේ ඩැනි පෙඩ්රෝසා (උපත 1985 සැප්තැම්බර් 29) හොණ්ඩා කණ්ඩායම නියෝජනය කරමින් තෙවැනියා වූයේ ලකුණු 300 ක් ලබා ගනිමිනි.

ඒ අනුව සිය ප්‍රථම තරගවාරයේදීම මොටෝ ජී.පී. ලෝක ශුරතාව හිමිකර ගත් දුලබ ශුරයන් අතරටත් මාර්කෙස් එක් වූයේය. ඔහුට පෙර අවසන් වරට එම දස්කම දක්වා තිබුණේ ඇමෙරිකාවේ කෙනී ‍රොබට්ස් විසිනි. ඔහු (උපත 1951දෙසැම්බර් 31) එසේ ශූරයා වුයේ 1978 වසරේදීය.

2014 වසරේ දී මාර්කෙස් සිය දෙවන ලෝක ශුරතාව සතු කර ගත්තේ තරග 18ක දී ලකුණු 362ක් සමඟින් ය. එහි දී ජයග්‍රහණ 13කි. දෙවන ස්ථානයකි. එවර අනුශුරයා යමහා කණ්ඩායමේ වැලෙන්ටිනෝ රොසිටයි. ඔහුට (උපත 1979 පෙබරවාරි 16) ලකුණු 295කි. එවර ලොරෙන්සෝට තෙවන ස්ථානයයි. ඔහුට ලකුණු 263කි.

2016 වසරේදීත් පැවැති තරග ගණන 18කි. ලකුණු 298 ක් ලැබූ මාර්කෙස්ට සිය තෙවැනි ලෝක ශුරතාවයයි. එහි දී ජය 05කි. දෙවන ස්ථාන 04කි. තෙවන ස්ථාන 03කි. එවර රොසිට ලකුණු 249 සහ ලොරෙන්සෝට ලකුණු 233කි.

මාර්කෙස් තම සිවුවැනි ලෝක ශුරතාව හිමි කර ගැනීමට සමත් වූයේ 2017 වසරේදීය. එවරත් තරග 18 කි. ජයග්‍රහණ 06 කි. දෙවැනි ස්ථාන 04කි. ලකුණු 298 කි. ඉතාලියේ ඩුකාටි කණ්ඩායමේ ඉතාලි ජාතික ඇන්ඩ්‍රියා ඩොවිෂියොසෝ (උපත 1986 මාර්තු 23 ) එවර අනුශුරයාය. ඔහුට ලකුණු 261 කි. ස්පාඤ්ඤයේ මැව්රික් විනාලෙස්ට (උපත 1995 ජනවාරි 12) තෙවැනි ස්ථානයයි. ඔහුට ලකුණු 230කි.

ගිය වසරේ දී පැවැති තරග ගණන 19 කි. මාර්කෙස්ට ජයග්‍රහණ 09 ක් සමඟ 05 වැනි ලෝක ශුරතාවයයි. එහි දී ලකුණු 321 කි. එවරත් අනුශුරයා වූයේ ඩුකාටි කණ්ඩායමේ ඩොවිෂියොසෝය. ඔහුට ලකුණු 245 කි. යමහා කණ්ඩායමේ රොසිට තෙවැනි ස්ථානයයි. ඔහුට ලකුණු 198 කි.

2015 වසරේ දී මාර්කෙස්ට හිමි වූයේ තෙවැනි ස්ථානයයි. ඒ තරග 18 ක දී ලකුණු 242 ක් සමගින්ය.

එවර ලෝක ශුරයා වූ යමහා කණ්ඩායමේ ලොරෙන්සෝට (උපත 1987 මැයි 04) ලකුණු 330 කි. එම කණ්ඩායමේ රොසි අනුශුරයාය. ඔහුට ලකුණු 325 කි. එවර මාර්කෙස්ට ජයග්‍රහණ 05 කි.

2018 වසරේ තරග වාරය නිමා වන විට මාර්කෙස් උරහිස් ආබාධයකට ලක්ව සිටියේය. එම නිසාම දෙසැම්බර් මාසයේ දී සැත්කමක් සිදු කර ගැනීමට ඔහුට සිදු විය.

“මේ සැත්කම නිසා මෙවර මගේ පුහුණුවීම් වෙනස් කර ගන්න සිදු වුණා. පෙර වසරවල වගේ පුහුණු වෙන්න බැරි වුණා. ඒ වුණත් මම සියයට සියයක් සුවය ලැබීමට ආසන්නයටම ඇවිත් සිටිනවා. මගේ මෙවර බලාපොරොත්තුවත් කිරුළ රැක ගැනීමටයි.” මාර්කෙස් පවසයි.

මාර්කෙස්ට 2014 වසරේ දී විශේෂ සම්මාන 02 ක් හිමි වුයේය. ඒ ලෝරියස් සම්මානය සහ වසරේ ස්පාඤ්ඤ ක්‍රීඩකයා සම්මානයයි.

ප්‍රශාන්ත ඇල්පිටිය

අදහස්