අයවැයේ ඉලක්ක සහ ඉලක්කම් | සිළුමිණ

අයවැයේ ඉලක්ක සහ ඉලක්කම්

මැතිවරණ ඉලක්ක කොට ජනතාවට සහන ලබාදීමට ඉදිරිපත් කළ අයවැයක් ලෙස වසර 2019 අයවැය ලඝු කිරීමට තමා එකඟ නොවන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

එපමණක් නොව ‍රටේ ආර්ථික අර්බුදයක් පවතින වටාපිටාවක ඉදිරිපත් කළ අයවැයක් ‍යැයි නැ‍ඟෙන හඬට තමා එකඟ නොවන බව අමාත්‍යවරයා පවසයි.

විවෘත වෙළෙඳපොළ ක්‍රමය රටට හඳුන්වා දුන් දා සිට, ඊට මානුෂීය මුහුණුවරක් ගෙන එනවා යැයි කියූ යුග පසුකරමින් පැමිණි වසර 40 ඉක්මවූ කාලපරිච්ඡේදයේ වඩාත් ප්‍රබල ලෙස සමාජ ආර්ථික වෙළෙඳපොළ ක්‍රමයක් බිහිකිරීමට ගෙන ආ හොඳ ම ජනතාවාදී යෝජනා මෙවර අයවැයේ අඩංගු වී ඇති බවට අමාත්‍ය මංගල සමරවීර පෙන්වා දෙයි.

සමාජයේ විවිධ පිළිසරණ ලැබිය යුතු ජනකොටස් හා කණ්ඩායම් වෙත උපරිමයෙන් සුබසාධනය හා රැකවරණය සලසන යෝජනා ඇතුළත් මෙවර අයවැය සුබසාධනය, මැදි හා දිගුකාලීන ආර්ථික සංවර්ධනය හා පොදුවේ ව්‍යවසායකත්ව ශ්‍රී ලංකාවක් බිහිකරන ඉලක්කගත වැඩපිළිවෙළක පෙර දැක්ම බව ඇමැතිවරයාගේ අදහසයි.

සැබැවින් ම දුප්පතුන්ට රැකවරණය, ආර්ථික දියුණුවට ශක්තිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව පාරාදීසයක් කරා යන ගමනට ශක්තිය, ජවය අයවැයෙන් සපයා ඇතැයි පොදු මහත් ජන සමාජයේම අදහස ය. වසර 2019 සඳහා වූ අයවැය මේ වන විට ජනතාවගේ කතා බහට ලක් වෙමින් පවතින මාතෘකාවක් වී හමාර ය. රජයේ ආදායම අභිබවා රජයේ වියදම් අධික ව පවතින මොහොතක ජනතාවට, රටට වඩාත් වාසිදායක සහන පිරිනමමින් මෙවර අයවැය ඉදිරිපත්වී තිබේ. එය එසේ නොවේ යැයි ඇතැමෙක් පවසති. ඒ කරුණ කෙසේ වෙතත් අප රට ජනතාවට කෙටි කාලීන අවශ්‍ය සහන රාශියක් ලෙස සිතා රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම, විශ්‍රාමිකයන්ගේ දීමනා වැඩි කිරීම, විශේෂ අවශ්‍යතා ඇති සමාජයේ ජීවත්වන සරණ ලැබිය යුතු පිරිසට සරණ වීම විශේෂයෙන් වකුගඩු රෝගීන්ට මාසිකව ගෙවන දීමනාව රුපියල් 3000 සිට රුපියල් 5000 දක්වා වැඩිකිරීම, වැන්දඹු සහ විශේෂ අවශ්‍යතා ඇති කාන්තාවන්ගේ ආර්ථිකය දියුණු කිරීමට නව යෝජනා එක්කිරීම කැපී පෙනෙයි. ජාතික අයවැයකින් ජනතාවට කෙටිකාලීන සහන ලබාදීම පමණක් නොව දිගුකාලීනව රටේ ආර්ථිකය නව ජවයකින් ඉදිරියට ගෙන යෑම ඉලක්ක කළ යුතුය. ඒ අනුව උතුරු, නැගෙනහිර ඇතුළු පසුගාමී පළාත්වල ආර්ථික දියුණුවට නව ආයෝජන කැඳවන දිරිදීම් මෙවර ලබාදී ඇත. එපමණක් නොව කෘෂිකර්මය, කර්මාන්ත සහ සේවා යන අංශවල යටිතල පහසුකම් සහ ඒවායේ නියළී සිටින ජනතාවගේ ව්‍යවසායකත්වය දියුණු කිරීමට ගම්පෙරළිය වැඩසටහන සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන වැඩපිළිවෙල සවිබල ගන්වා ඇත. එම ප්‍රධාන යෝජනා ක්‍රම දෙක ඔස්සේ නව ව්‍යවසාකයන් රටපුරා බිහිකිරීම රජයේ අරමුණ වී ඇත. ඊට අමතරව මෙවර අයවැයෙන් සෞඛ්‍ය, අධ්‍යාපනය, තරුණ කටයුතු, නිවාස, වාරිමාර්ග, ජලසම්පාදන, පුනර්ජනනීය බලශක්තිය, ප්‍රධාන ආර්ථික සහ මහජන උපයෝගීතා පහසුකම් වැඩිදියුණුවට යෝජනා එක්කොට තිබේ. ශ්‍රී ලාංකික පුරවැසියන් සියලු දෙනාගේම ශක්තියෙන්, කැපවීමෙන් තම තම යුතුකම් ඉටුකොට රට දිනවිය යුතු මඟ කියාදී තිබේ. මේ සියලු අයවැය යෝජනා සාර්ථක ප්‍රතිඵල අත්කරදෙමින් ජයගනුයේ දුප්පත්කම, විරැකියාව, ඇති නැති පරතරය අවම වූ විටකය. ඒ අනුව මෙවර අයවැයෙන් ජනතාවට ලැබුණු සහන පිළිබඳ ව ගැන පමණක් නොසිතා රටේ දිගුකාලීන ආර්ථිකය නඟා සිටුවන මාර්ගය පිළිබඳව ව්‍යාපාරික, ආයෝජක, ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ විශ්වාසය ගොඩනැංවීමට සුදුසු වැඩපිළිවෙලක් එළිදැක්වූවේ දැ යි විමසා බැලීම වටී. මේ පිළිබඳ ව අප ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතාගෙන් කරුණු විමසා සිටියෙමු.

පී. සමරසිරි මහතාට අනුව ලෝකයේ දියුණු සහ දියුණු වන බොහෝ රටවල රජය විසින් වාර්ෂික අයවැය ඉදිරිපත් කරන විට දුගී පවුල් වල සිට මහා පරිමාණ ආයෝජකයන් දක්වා විවිධ සහන අයවැයෙන් බලාපොරොත්තු වෙති. ඒ නිසාම බලාපොරොත්තු වූ සහන නොලැබුණු විට රජය සමඟ උරණ වෙති. සමහර අවස්ථාවල ඒ රජයන් පෙරළී යනු ඇත.

ඕනෑම රටක සාමය රැකීම රජයේ වගකීමයි. ඒ සඳහා නීති සහ ආරක්ෂණ පද්ධතියක් රජය විසින් ක්‍රියාත්මක කෙරේ. එසේම සෑම කෙනෙකු ම කියන්නේ රට දියුණු කිරීමට ද රජය කටයුතු කළ යුතු බවයි. ඒ සඳහා විශාල රාජ්‍ය ආයතන රාමුවක් පවතී. මේ සියලු දෙය කිරීමට රජය මුදල් වියදම් කළ යුතුය. ඒ සඳහා රජය මුදල් සොයාගත යුතුය. මුදල් මුද්‍රණය කොට එ් වියදම් කළොත් වැඩි කලක් රජය හෝ රටවල් පවතින්නේ නැත. ඊට හේතුව, අධික මුදල් තොගය හේතුකොට මුදල් පිළිබඳ මහජන විශ්වාසය බිඳී මූල්‍ය සහ බැංකු ක්‍රමය කඩා වැටීම ය.

එසේ නම් රජයන් මුදල් සොයාගන්නේ මහජනයාගෙන් විවිධාකාරයේ බදු අයකිරිමෙනි. රජයේ වියදමට වඩා බදු අදායම අඩු වූවොත් මහජනයාගෙන් ණය ලබා ගැනීමට සිදු වෙයි. එබැවින්, රාජ්‍ය අයවැයක් කියන්නේ ඉදිරි වර්ෂය තුළ මෙසේ රජය කිරිමට සැලසුම් කරනු ලබන වියදම, ආදායම සහ ණය ගැනීම පිළිබඳ ඇස්තමේන්තුවයි. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රජයේ මුල්‍ය පාලනය පාර්ලිමේන්තුව සතු බැවිනි.

බොහෝ අය අසන ප්‍රශ්නයක් වන්නේ සහන නිසා අයවැයට ඇති බලපෑම කුමක්ද යන්න ය. ඒ පිළිබඳ ව පී. සමරසිරි පවසන්නේ සහන නිසා අයවැය හිඟය ඉහළ යනු ඇති බව ය. ඊට හේතුව සෑම සහනයක් ම රජයට වියදමක් වන බැවිනි. පාරිභෝගික සහන සහ ආර්ථික සහන යනුවෙන් සහන කොටස් දෙකකි. පාරිභෝගික සහන දෙනුයේ මහජනතාවගේ ජීවන වියදම අඩු කිරීමට හෝ මුදල් ආධාර ලබාදීම සඳහා ය. ආර්ථික සහන යනු නිෂ්පාදන සහ රැකියා නියුක්තිය වැඩි කිරීම සඳහා දෙනු ලබන දිරි දීම් ය. විවිධ ආයෝජන සහ ව්‍යාපාර සඳහා දෙන බදු සහන මීට නිදසුන් ලෙස දැක්විය හැකිය. ඇමෙරිකාව වැනි දියුණු රටවල කලින් කලට බදු අනුපාත පොදුවේ අඩු කිරීම ඉතා ප්‍රචලිත ආර්ථික ප්‍රතිපත්තියකි. ආර්ථික සහන නිසා රටේ ආදායම සහ සේවා නියුක්තිය වැඩි වී රජයේ බදු අදායම අනාගතයේ වැඩි වන බැවින් එම සහන ආර්ථික සහන ලෙස හැඳින්වෙයි. එමඟින් අනාගතයේ පාරිභෝගික සහන පහළ යාමක්ද සිදුවනු ඇත. කෙසේ වුවද, අඩු අදායම් ජන කොටස් වලට පාරිභෝගික සහන ලබාදීම ඕනෑම රජයක මහජන වගකීමකි. වර්තමානයේ මේ සියලු සහන ව්‍යාපාර සහ වෙනත් අදායම්ලාභීන්ගෙන් බදු අය කිරීමෙන් හෝ ණය ලබාගැනීමෙන් පියවා ගත යුතුය.

ඉහත දැක්වූ ලෙස අාදායමට වඩා වියදම් කිරීමෙන් අයවැය හිඟයක් ඇතිවෙයි. වියදම් වැඩිවන අතර නිසි බදු අාදායම නොලැබේ නම් අයවැය හිඟය වැඩි වෙයි. සමහර කාලවල රජය ඕනෑකමින් ආර්ථික ප්‍රතිපත්තියක් ලෙස අයවැය හිගය වැඩි කරයි. එසේ කරන්නේ රජය විසින් ආර්ථික පසුතල පහසුකම් වැඩිකිරීම වැනි ආයෝජන වියදම් වැඩිකිරීම තුළින් ආර්ථිකයේ ඉල්ලුම වැඩිවී නිෂ්පාදනය සහ සේවා නියුක්තිය ගුණාකාර ලෙස වැඩිකිරිමටය. මෙය කේන්ස්වාදී ආර්ථික ප්‍රතිපත්ති ලෙස හැදින්වෙයි. බටහිර රටවල් 1930 ගණන්වල පැවති මහා ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට මේ ප්‍රතිපත්තිය අනුගමනය කරන ලදී. 2007/09 දී හටගත් ලෝක මූල්‍ය අර්බුදයෙන් ඇතිවූ ආර්ථික පසුබෑමෙන් ගොඩ එ්ම සඳහා පසුගිය දශකය පුරා බටහිර රටවල් අනුගමනය කළේ ද මේ ප්‍රතිපත්තියයි.

අයවැයට හිගය පියවීමට ගන්නා ඕනෑම ණයක් රටකට බරකි. ඊට හේතුව එ් ණය ඵලදායී ලෙස යොදවා අාදායම් ලබා එමඟින් අනාගතයේ නියමිත පරිදි ආපසු ගෙවිය යුතු බැවිනි. රජය විසින් ණය ලබාගෙන ආර්ථික පසුතල ආයෝජනය මෙන්ම සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සාමය රැකීම වැනි නොයෙක් සමාජීය වියදම් කරනුයේද අනාගත අාදායම් සහ රැකියා උත්පාදනය සඳහාය. මෙහිදී රජය ණය වියදම් කළ ද ණය ආපසු ගෙවිය යුත්තේ අනාගතයේ මහජනයාගෙන් බදු අය කිරිමෙනි. එබැවින්, ණයවල ආර්ථික උපයෝජනය අඩු නම් අනාගත බදු අාදායම් ණය ගෙවීමට ප්‍රමාණවත් ලෙස ඉහළ නොයන බැවින් ණය මහජනයාට බරක් වෙයි. එවිට, ණය ගෙවීම සඳහා නව ණය ගැනීමට සිදුවනු ඇත. එවිට, මුළු රට ම ණය උගුලකට හසු වී ණය පැහැර හැරීම් ද සිදුවිය හැකිය. ලෝකයේ දියුණු යැයි සිතූ ග්‍රීසිය වැනි යුරෝපීය රටවල් කිහිපයක් ද පසුගිය දශකයේ ණය පහර හැරීම් සිදුකොට ඇත. එබැවින්, ණය ගැනීම, ණය කළමනාකරණය සහ උපයෝජනය රාජ්‍ය අයවැයෙහි ප්‍රමුඛස්ථානය ගත යුතුය. ඊට හේතුව, වර්තමාන වැඩිහිටි පරපුර ණය මුදල් භුක්ති විඳ එය ගෙවීමේ බර දු දරුවන්ට භාරදී මිය යෑමයි. එය ඉතාමත් සමාජයීය අකටයුත්තකි.

දැනට අප රටේ ගෙවීමට ඇති රාජ්‍ය ණය තොගය මහජනයාට බරක් වී ඇති බව නොරහසකි. ඊට හේතුව ණය ගෙවීමට රාජ්‍ය අාදායම ප්‍රමාණවත් නොවන බැවින් තව තවත් ණය ගැනීම නොකොට රජය ගෙනයා නොහැකි තත්වයට පත්වී තිබීමයි. මෑතදී රජයේ ණය අපසු ගෙවීමේ හැකියාව පිළිබඳ අන්තර්ජාතික තත්ත්වය ද (ණය ශ්‍රේණිය) පහළ ගොස් ඇත. ණය ලබා ගැනීමේදී ඇතිවී ඇති මහා පරිමාණ වෙළෙඳ වංචා සහ එමඟින් අනිසි ලෙස රාජ්‍ය ණය බර වැඩිවීම පිළිබඳව ද නොයෙකුත් විමර්ශන සිදුවෙමින් පවතී. එබැවින්, රාජ්‍ය අයවැය ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්ත්වයකට පත්වී ඇති බව කිව හැකිය.

පවතින ක්‍රමය යටතේ එය කළ නොහැකි යැයි ඇතැමෙක් කියති. ඊට හේතුව, රජය ඉදිරිපත් කරන බොහෝ අයවැය ඉලක්කම් සැකසීමක්, ගැළපීමක් සහ හොඳ වචන මාලාවක් පමණක් වන බැවිනි. රජයක් ඉදිරියට ගෙන යෑමට කෙසේ හෝ අයවැය ඉලක්කම් අයවැයක් අවශ්‍ය ය; පවතින ක්‍රමවේදය එයයි. එහෙත්, කිසිම අයවැය ක්‍රමවේදයක ඒ ඒ රාජ්‍ය ආයතනවල සහ ප්‍රතිපත්තිවල ආර්ථික ඵලදායිතාව පිළිබඳ ඉලක්ක හෝ පසුවිපරම් කිරීමට ක්‍රමයක් නැත. රාජ්‍ය ආයෝජන සඳහා යොදාගන්නා ණය හෝ ආර්ථික සහනවල හෝ ආර්ථික ඵලදායිතාව (ආදායම් සහ රැකියා වර්ධනය) ඇස්තමේන්තු කිරීමට ක්‍රමයක් නැත. මෙහිදී රටේ සාර්ව ආර්ථික දර්ශක වලට වඩා රාජ්‍ය අංශයේ ඇති ආර්ථික ඵලදායිතාව සහ මූල්‍ය කළමනාකරණය ඇගයීම සහ පසුවිපරම් කිරීම කළ යුතුය. සමස්ත ආර්ථික දර්ශක අඛණ්ඩ ව ඉහළ නම් එහි වාසිය රාජ්‍ය අයවැය/මූල්‍ය ප්‍රතිපත්තියට ද ගත හැකි වුවද එය යෝග්‍ය දෙයක් නොවේ. සාර්ව ආර්ථික දර්ශක ඕනෑ විදියට අර්ථ නිරූපණයටත් හේතු දැක්වීමටත් ආර්ථික වියතුන් ඉතා සමත් ය. සමහරු එය මුදල් ඇමැති සහ රජය සතුටු කිරීම සඳහා පුරුද්දක් වශයෙන් කරන බව සෑම අයවැය කටම පසුව දැකිය හැකිය. ආර්ථික වර්ධනය පහළ යෑම හෝ උද්ධමනය ඉහළ යෑම හෝ ණය ඉහළ යෑම හෝ රටට උචිත බවට මානසික තර්ක දැක්විය හැකිය.

පවතින ආර්ථික ව්‍යුහය තුළ රාජ්‍ය අයවැයෙහි ආර්ථික දායකත්වය ගැන කිසිම විවාදයක් නැත. රජයේ වියදම් ජාතික වියදමෙන් බොහෝවිට සියයට 20 සිට සියයට 30 පමණ වූ අතර අයවැය හිඟය සියයට 5 සිට සියයට10ක් පමණ වී ඇත. රාජ්‍ය ණය තොගය ජාතික අදායමින් සියයට 78 දක්වා 2017 දී ඉහළ ගොස් තිබිණ. එමඟින් ඇති කෙරෙන රැකියා, නිෂ්පාදන සහ අදායම් ප්‍රමාණය ඉමහත්ය. රාජ්‍ය වියදම් අඩු කරන්නේ නම් එ් වියදම් හිඟය දැරීමට පුද්ගලික අංශය සුදානම් විය යුතුය. එසේ නැත්නම් ආර්ථිකය කඩා වැටෙනු ඇත. එහෙත්, මෙහිදී විමසිය යුත්තේ අයවැය ප්‍රතිපත්ති තුළින් ලෝකයේ හෝ ආසියා කලාපයේ තරගකාරී නැඟී එන රටක් බවට මෙරට පත්කිරීමට අසමත් වී ඇති බවයි. අයවැය ඉලක්කම් එහා මෙහා වීම පිළිබඳ ව වාද විවාද කිරීමෙන් පලක් නොමැත. එසේම, රාජ්‍ය අාදායම අඩු වෙමින්, ණය ඉහළ යමින්, ආර්ථික වර්ධනය පහළ යමින්, විදේශ යෝජනා ආපසු යමින්, මුදල් හිඟයකට මුහුණ දෙමින්, මිල පාලනය සහ පාරිභෝගික සහන තුළින් උද්ධමනය පහළ තබා ගනිමින් පවතින විට හොඳ අයවැය ගැන වර්ණනා කළ නොහැකිය. කළ හැකි එකම වර්ණනාව අයවැයෙන් ලබාදෙන සහන මල්ල ගැනයි. නමුත් තිරසාර ආර්ථික දියුණුවක් අපේක්ෂා කරන රටක් ගොඩනැඟීමට විවිධ අභියෝග මැද අයවැයෙන් ගනු ලබන අසීරු තීරණ සාර්ථකව ක්‍රියාත්මක වූ විට ජනතාවට ප්‍රීතිය, සෞභාග්‍ය පිරි යුගයක හිමිකරුවන් විය හැකිය.

ඡ‍ායාරූපය - සුලෝචන ගමගේ

අදහස්