ඛේමාගේ කොලුවාගේ අය-වැය | සිළුමිණ

ඛේමාගේ කොලුවාගේ අය-වැය

මෙවර අය-වැය ඉදිරිපත් කිරීම පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී සිදු වූ අතර, මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඒ සඳහා පැය දෙකහමාරකට ආසන්න කාලයක් වෙන් ක‍ළේය. මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසියේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පෙනෙන පරිදි සිය ඇය-වැය අඩංගු ලිපි ගොනු බහාලුම ප්‍රදර්ශනය කරමිනි. වර්තමාන රජය බලයට පත් වූ පසු අය-වැය දක-බලාගැනීමට ජනාධිපතිවරයා පසුගිය වර්ෂ කිහිපයේදීම පැමිණියද මෙවර ඔහු අය-වැය ඉදිරිපත් කරන අවස්ථාවේ පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.

අය-වැය රැස්වීමට පෙර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සභාගැබ විශේෂ සෝදිසි කිරීමට ලක් කළේ පොලිස් නිල සුනඛයන් යොදවමිනි. කථානායක අසුන, මන්ත්‍රීවරුන්ගේ පුටු-මේස, නිලධාරීන්ගේ කාමර මෙන්ම මහජන ගැලරි මෙසේ අවස්ථා කිහිපයකදීම පරීක්ෂාවට ලක් කෙරිණි.

මුදල් ඇමැති මංගල සමරවීරගේ අය-වැය කතාව අසන්නට මෙවර විශේෂ අමුත්තෝ රැසක් පැමිණි සිටියහ. ඒ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා මෙන්ම විදේශීය තානාතිපතිවරුන් රැසක්ද පැමිණ සිටි අතර, හිටපු ජනාධිපතිනිය අය-වැය අවසාන වන තෙක්ම මහජන ගැලරියේ රැඳී සිටිනු දක්නට හැකි වීම විශේෂත්වයකි. ඇය අය-වැය කියවීම අවසානයේ මුදල් ඇමැතිවරයාගේ තේ පැන් සංග්‍රහයටද එක්ව සිටියාය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ මේ තේ පැන් සංග්‍රහයට එක් වීමෙන් වැළැකී සිටි අතර, ඔවුන් පැවැසූයේ තමන් ඊට එක් නොවුණේ අය-වැය පිළිබඳ තම පක්ෂයට කිසිදු විස්වාසයක් නැති නිසා බවයි.

ඛේමාගේ කොලුවා

කෙසේ වෙතත් අය-වැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අය-වැය විවාදය ආරම්භ විය. අය-වැය විවාදයට එක් වූ විපක්ෂයේ බොහෝ දෙනෙක් මේ අය-වැය පිළිබඳ කිසිදු ප්‍රසාදයක් තමන්ට නැති බව පවසමින් අය-වැය දැඩි සේ විවේචනය කරන්නට වූහ. අය-වැය විවාදයට දින කිහිපයකට පෙර මංගල ඇමැතිවරයා විසින් ‘ඛේමාගේ කොලුවා, නමින් නිකුත් කළ පොත බොහෝ දෙනකු සිය මතවාද ඉදිරිපත් කිරීමේදී උදාහරණයට ගනු දැකිය හැකි විය. විපක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද බොහෝ දෙනකු මේ අය-වැය හැඳින්වූයේ ‘ඛේමාගේ කොලුවාගේ අය-වැය‘ ලෙසිනි. ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති:

“ඛේමාගේ කොලුවාගේ කතාව එතුමා ඉදිරිපත් කළා. මෙය ඛේමාගේ කොලුවාගේ සිහින අය-වැයක්. මෙයින් සමාජයේ අවධානයට යොමු නොවූ දේවල් අවධානයට යොමු වී තිබෙනවා. සුනඛයන්, කාන්තාවන් ගැන විවිධ යෝජනා ඉදිරිපත් කරලා. අලුත බැඳපු ජෝඩුවලට ‘ස්වීට් හෝම්ස්‘ ගෙනැල්ලා. මේවා යථාර්ථවත්ව ක්‍රියාත්මක කළ හැකිද?“

යනුවෙන් විමසු අතර, අය-වැය පිළිබඳ එවැනි තටත් විග්‍රහයක් කළේ හිටපු ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතාය.

ටිකිරි මොළේ!

“මේ අය-වැයේ හැමදේම තියෙනවා; දුරු-තුන-පහ හැම දේම තියෙනවා. අම්මපා මරු ඛේමාගේ කොල්ලාගේ ටිකිරි මොළේ!“ යනුවෙන් පවසද්දී බොහෝ දෙනකුට සිනාව නවත්වාගත නොහැකි විය.

රත්නපුරේ ජනක වක්කුඹුර මහතා අය-වැය විවාදයේදි අය-වැය ගැන කතා කරනවාට වඩා කාලයක් වෙන් කළේ අගමැතිවරයා පෙර දිනයක කළ ප්‍රකාශයකට ප්‍රති-උත්තර දෙන්නටය.

“අගමැතිතුමා කියලා තියෙනවා හයවැනි පරාක්‍රමබාහු රජුගෙන් පසු රට ස්වයම්පෝෂිත කළේ එතුමා කියලා. අම්මපා මාර කතාවක් නේ ඒක! එහෙම නම් එතුමා පළමුවැනි වික්‍රමසිංහ වෙන්නැති!“ යැයි කීවේ ඇඟට-පතට නොදැනීමය.

බන්දුලගේ ඉල්ලන් කෑම

දත්ත සංඛ්‍යාලේඛන ඇතුළු ආර්ථික විග්‍රහයන් ඉදිරිපත් කරන මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාට මංගල ඇමැතිවරයාගේ අය-වැය විවාදය ආරම්භයේදීම ඒ අවස්ථාව ලැබුණෙන් ඔහු ලුණු-ඇඹුල් ඇතිව අය-වැය විවේචනය කරන්නට විය. ආණ්ඩුව මෙවර ඉදිරිපත් කළේ පටාචාරා පන්නයේ අය-වැයක් යනුවෙන් හැඳින්විය හැකියැයි කී බන්දුල මන්ත්‍රීවරයා මේ අය-වැයෙන් ජනතාව දුකින් සිටින බවද පැවැසීය. කෙසේ වෙතත් ඊට නිසි පිළිතුරු දුන් ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා බන්දුලගේ ආර්ථික විග්‍රහය නිර්දය ලෙස විවේචනය කරමින්, බන්දුල රටත් මේ සභාවත් නොමඟ යවන බවද පැවැසීය.

අය-වැය විවාදයේදී කිරිපිටි සම්බන්ධ ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නට සූදානම් වූ බුද්ධික පතිරණ නියෝජ්‍ය ඇමැතිවරයාට නොසිතූ දෙයකට මුහුණ දෙන්නට සිදු විය. ඔහු මයික්‍රෝෆෝනය ගන්නට සූදානම් වූ අවස්ථාවේ එය ක්‍රියා විරහිතව තිබිණි. “මට හරි කරදර“ යනුවෙන් ඔහු තට්ටුවක් දමද්දී කථානායකවරයා “ඔබතුමා හරි පාරේ යන්න. ට්‍රක් එක පැන්නාම ඔහොම දේවල් වෙනවා. ඔබතුමා ටිකක් ඉවසන්න පුරුදු වෙන්න. තාම ළාබාලයි නේ...“ යැයි පැවසූ අතර, “කලබල නොවී පුළුවනැයි? කලබල නොවුණොත් පෙරහර ගිහින් තියේවි!“ යැයි බුද්ධික මන්ත්‍රීවරයා ඊට පිළිතුරු බැන්දේය. එවිට කථානායකවරයා පැවැසූයේ “මම අරහම කිව්වට තරහා වෙන්න එපා..“ යනුවෙනි.

නිමල් සිරිපාලගේ වැසිකිළි ඡන්ද

පාර්ලිමේන්තු අය-වැය විවාදයේදී අදහස් දැක්වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා, අය-වැයේ යම් යම් කරුණු පිළිබඳ ඉතා සාධනීයව අදහස් දැක්වූ අතර, තවත් අවස්ථාවල එහි වූ යම් යම් කරුණු විවේචනය කරන්නට විය. “මම ඒ දවස්වල වැසිකිළි 30,000ක් රිදීමාලියැද්දට හදලා දුන්නා. ඒත් ඡන්ද ගණන් කිරීමේදී මට ඡන්ද 30,000ක් වත් ලැබුණේ නැහැ! ඔන්න ඕක තමයි තත්ත්වය. ඡන්ද බලාගෙන නෙමෙයි මේ දේවල් කළේ. ජනතාවට ප්‍රතිලාභ දීමට ගත් පියවර හොඳයි. ඒත් ආර්ථිකය ශකිත්මත් කරන්න කිසිවක් මේ අය-වැයේ නැහැ.“

අය-වැය ආරම්භයත් සමඟ පාර්ලිමේන්තුවේ වූ මාධ්‍යවේදීන්ගේ විවේක කාමර දෙක අහිමි කිරීම පිළිබඳ දැඩිව මතවාදයන්ට ලක් වූ අතර, අය-වැය විවාදයේදීද මේ පිළිබඳ යම් යම් විමසීම් පාර්ලිමේන්තු සභාව තුළද සිදු වන්නට විය. හිටපු ඇමැතිවරයකු වන දයාසිරි ජයසේකර මහතා මේ පිළිබඳ විමසීම් කරද්දී එය අනුමත කරමින් කිරිඇල්ල මහතා “මාධ්‍යවේදීන් සමඟ සාකච්ඡා නොකර මෙසේ අගුළු දැමීම වැරදියි. මම අවුරුදු 30කට පෙර පාර්ලිමේන්තුවට එන විටත් මේ කාමර දෙක තිබුණා. කවුරු මේ දේ කළත් වැරදියි. මෙය සොයා බලන්න..“ යැයි පැවැසීය. ජෙෆ්රි බාවා පාර්ලිමේන්තුවේ සැලසුම් සකසද්දී ඔහුගේ සැලසුමේ පවා මේ කාමර දෙක මාධ්‍යවේදීන් සඳහා සැලසුම් කර තිබිණි.

බුද්ධ සාසන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා මංගල ඇමැතිවරයාගේ මේ අය-වැය හැඳින්වූයේ ‘මංගලගේ මඟුල් අය-වැය‘ වශයෙනි. “මේක මංගලගේ මඟුල් අය-වැයක් විදියටයි මම දකින්නේ; තරුණ-තරුණියන් සංවර්ධනයට යොමු කරවන අය-වැයක්. බලන්න: අද ලක්ෂ 6කට සමෘද්ධිය දෙනවා. හැම ආසනයකටම දෙන්නේ පක්ෂ භේදයක් නැතුව. හැබැයි අල්ලේ කන සීනි වගේ නෙවෙයි...“ යනුවෙන් පවසද්දී විපක්ෂයෙන් යම් යම් බාධා එල්ල වන්නට විය.

පොතේ ‘මැක්කා,

අය-වැය තෙවැනි වර කියවීමේ දිනය යෙදී තිබුණේ කාන්තා දිනයද යෙදුණු මාර්තු මස 8 වැනිදාටය. ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සිය අය-වැය විවාදයේ මාතෘකාව යොදාගෙන තිබුණේද අය-වැයේ වූ ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳවය.

“අද කාන්තා දිනය. ඒ වගේම මගේ අම්මගේ උපන්දිනය. මේ නිසා මම කතා කරන්නේ අය-වැයේ ස්ත්‍රී-පුරුෂ භාවය ගැන. මංගල ඇමැතිවරයා හැම අවුරුද්දකම ලස්සන මාතෘකා අය-වැයට දානවා. මේ අවුරුද්දේ ‘නීලහරිත‘ අමතක වෙලා. මේ පොතේ ‘මැක්කා‘ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා. මේ ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා‘ කටයුතු කරන්න මම හිතන්නේ සේවක-සේවිකාවන් 50,000ක් වත් මදි වෙයි. අද ස්ත්‍රී-පුරුෂ භාවය ගැන කිව්වට මේ පොතේ ඒ ගැන කිසිම දෙයක් නැහැ. අද ගෙවල්වල ගෑනු ළමයි ඉන්නවා රැකියා නැතුව. ඒත් ගාමන්ට්වල ‘ඇබෑර්තු ඇත‘ කියලා තියෙනවා. මට වාර්තා වුණා මාධ්‍යවේදීන්ගේ විවේකාගාරයත් නැති කරලා තියෙනවා කියලා. මේක නැවත ලබා දෙන්න කියලා මම ඉල්ලන ගමන් මම කියනවා: කාන්තාවන්ට හානි සිදු නොවී ලියන හැටි ගැන කියලා දෙන්න මාධ්‍යවේදීන්ට අය-වැයෙන් මුදලක් වෙන් කරන්න කියලා...“

ෆොන්සේකාගේ විශ්‍රාම කතාව

කවදත් උණුසුම්ව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සිය අදහස් ඉදිරිපත් කිරීමට ප්‍රථම මූලසනාරූඪ මන්ත්‍රීවරයා සමඟ කාලය පිළිබඳ උණුසුම් වචන හුවමාරුවක යෙදුණේය. ඉන් අනතුරුව ඔහු අය-වැය ගැන ප්‍රශංසාත්මකව කතා කළ අතර, මහින්ද චින්තනය ගැන සිය කතාවේදී වැඩිපුර අදහස් දැක්විය.

“අපේ රටේ රෑට පාන් බාගයයි පරිප්පුයි කන අය හුඟාක් ඉන්නවා. එත් රු. 10ට තිබුණු පාන් භාගය දැන් රු. 60ට ගිහින්. එදා ජනතාවට කන්න නැති වුණත් චින්තනය පෙව්වා. ටොයිලට් යන්නෙත් චින්තනයෙන්; හෝදන්නෙත් චින්තනයේ පිහිටෙන්. ඒත් ජනතාව හිටියේ විශාල ආර්ථික පීඩනයකින්. එදා මම විශ්‍රාම යන කොට හොඳ වෙලාවට මගේ දරුවෝ දෙන්නා බැඳලා ගිහින්! ඒ නිසා යාන්තමට මටයි මගේ බිරියටයි ජීවත් වෙන්න හැකි වුණා. මගේ විශ්‍රාම වැටුප රුපියල් 55,000යි. යාන්තමට මේකෙන් ලයිට් බිල් ගෙවා ගන්න ඇති. ඒත් අද රජය විශ්‍රාමිකයන් දෙස බැලුවා. අද එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය වැඩියෙන්ම අරගෙන තියෙන්නේ අපේ පොහොට්ටුවේ සාමාජිකයන්ගේ හිතවතුන්. අපේ අඩු-පාඩු ගැනත් මම හිතට එකඟව කතා කරනවා. සංවර්ධනයේ ප්‍රතිලාභ සාධාරණව බෙදී යනවාද කියා ප්‍රශ්නයක් තිබෙනවා. එහෙම වුණොත් අප නියෝජනය කරන ජනතාවට සාධාරණයක් ඉටු නොවෙන්න පුළුවන්,“ යැයි සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා අදහස් පළ කළේ මූලසනාරූඪ මන්ත්‍රීවරයා සමඟ කාලය පිළිබඳ හබ කරමිනි.

 

අදහස්