ගඩ්ඩරිකා ප්‍රවාහය හෙවත් යන්නන් වාලේ යෑම | සිළුමිණ

ගඩ්ඩරිකා ප්‍රවාහය හෙවත් යන්නන් වාලේ යෑම

‘ඉවසුවා ඇති 'කියා ඒකාබද්ධය මහනුවර රැලියක් කළහ. 2015 මෛත්‍රී මහින්දගේ ආණ්ඩුව පෙරලන්න ගෙනාව 'ස්ලෝගන් එකත් 'ඉවසුවා ඇති' කියන එක ය. එක ම ස්ලෝගන් එකකින් දෙවරක් වෙනස් වූ ඉතිහාසයක් හමුවන්නේ නැත. එහෙත් තවදුරටත් සෙනඟ පෙන්වා දේශපාලනය කිරීමේ සරදම් සහගත ක්‍රියවලියෙන් පොහොට්ටුව මිදී නැත. උන්මාදයෙන් රැලිවලට එන පිරිස් මහපොළවේ දේශපාලනයේදී වලංගු සාධකයක් නොවන බවත්, එය කල් ඉකුත් වූ උපායක් පමණක් බවත් ඔවුන් දන්නේ නැත.මේ මොහොතේ විපක්ෂය ඉන්නේ දැඩි කම්පනයක ය. අයවැය සම්බන්ධ ව ඵලදායී විවේචනයක් ඔවුන් සතුව නැත. සාම්ප්‍රදායානුකූල ව කරන ජොබ් එක නිසා කිහිප දෙනෙක් ඔහේ නන්දොඩවමින් සිටිති. එහෙත් හරයක් හෝ අර්ථයක් නැත. ඇන්.ඇම්. කියන්නේ අමුතු නායකයෙකි. ඔහු තාර්කික දේශපාලනඥයෙකි; ආර්ථික විශේෂඥයෙකි. අවුරුදු 17ක් තිස්සේ ඔහු අය වැය 7ක් විවේචනය කළේ විපක්ෂයේ ඉඳිමින් ය. හැබැයි, 1964 ජූලි 30 වැනිදා ඔහුට සිදුවුණේ අය වැයක් ඉදිරිපත් කරන්නට ය. ඇන්.ඇම්.ගේ වම්පසින් මැතිනිය වාඩිවී සිටියදී ඇන්.ඇම්. අය වැය කීවේ ය. හෙතෙම පැය හතරහමාරක් සිය අය වැය දේශනය පැවැත්වීය. ඔහුගේ අය වැය අතරේ පොල් ගහක්, කිතුල් ගහක් මැදගෙන රා ටිකක් හදා ගැනීමට අවසර දෙන බව කීවේ ය. ඒ කාලයේ තිබුණ 'දවස' පත්තරයේ ඇන්.ඇම්.ව හැඳින්වූවේ පෙරේ 'රා' කියා ය. රට ම 'රා බද්දන්' කරන්න ඇන්.ඇම්. දත කන බව විරුද්ධවාදීන් කීය. එහෙම කියා ඇන්.ඇම්ට 'කුඩු වෙන්න' ගහන්න පටන් ගත්හ.

ලංකාවේ නිශ්චල දේපළ අයත් ව සිටින ලාංකේය නොවූ සමාගම්වලින් ධන බද්ද වෙනුවට එහි ආදායමෙන් සියයට දහයක බද්දක් අය කිරීම, ඒ බදු අතරින් සුවිශේෂී වේ. මැණික් රේගු බද්ද, පුවත්පත් වෙළෙඳ දැන්වීම් බද්ද, ඒජන්සි හවුස් පාලනය කිරීම, දින පහේ සතියක් ඇති කිරීම, දේශීය ආදායම් කොමසාරිස්වරයාගේ බලතල පුළුල් කිරීම, ගොවීන්, ධීවර කාර්මිකයන්, සුළු ව්‍යාපාරිකයන් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සඳහා පහසු කොන්දේසි මත ණය මුදල් ලබාදීමට පහසුවන පරිදි රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීම, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, 1965 වර්ෂය සඳහා බාලාංශ සිසුන්ට අතක් බර පොතක් ශත 25 බැගින් ලබා දීම වැනි ප්‍රගතිශීලී යෝජනා ගොන්නක් ඇන්.ඇම්. ගෙනාවේ ය. හැබැයි, 'රා' විරෝධය හින්දා ඇන්.ඇම්ගේ අය වැයේ තිබ්බ ප්‍රගතිශීලී යෝජනා හැංගුණේ ය. එකක්, ආණ්ඩුවේ උපාය මාර්ගික ශක්‍යතාව සාර්ථක ව තිබේ. අනෙක ඇමැති මංගලගේ නිර්මාණශීලී ගතික බව සාර්ථකත්වයට හේතුවී තිබේ. අනූහතරේ ආවේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව ය. අෂ්රොෆ් නොවන්නටත්, ගාමිණී දිසානායක අෂ්රොෆ් හමුවෙන්න යෑම පමා නොවන්නටත් චන්ද්‍රිකාගේ ආණ්ඩුව නොහැදෙන්නට තිබුණේ ය. පොදු පෙරමුණ දින්නේ ඒ තරම්ම තියුණු ඡන්ද සටනකින් ය. අන්තිමට චන්ද්‍රිකා පොදු පෙරමුණු ආණ්ඩුව හැදුවේ එක් ආසනයක් වැඩියෙන් තියාගෙන ය. එහෙම හදපු ආණ්ඩුව දෙදාස් එක වෙනතෙක් චන්ද්‍රිකා ඇදගෙන ආවේ මහින්දගේ තුනෙන් දෙකේ ආණ්ඩුවටත් වඩා පහසුවෙන් ය. ඒ මදිවට චන්ද්‍රිකා දෙවරක් ම ජනාධිපති විය. දෙවතාවේ ම දිනුවේ මෙතෙක් කිසිම ජනාධිපතිවරයෙක් නොදින්න ප්‍රතිශතයක් අරන් ය. "එක ආසනයකින් අටවා ගත් ආණ්ඩුවක් මෙහෙම ඇදගෙන ආවේ කොහොමද?"

සමහරු එහෙම ඇහුවේ පුදුමයෙනි.

එහෙම වෙන්න මුල් වෙච්ච හේතු දෙකක් තිබ්බේ ය. එකක් සමෘද්ධියයි. ජනසවිය සමෘද්ධිය බවට හරවා එය ජනසවියට වඩා සමීපව කරගෙන ගියේ ය. එහි නියාමකවරු ආණ්ඩුවේ පැවැත්මට බිම්මට්ටමේ ජවයක් දුන්නේ ය. පොදු පෙරමුණත් සමෘද්ධි නියාමකයෝත් දෙකක් නොව එකක් තරම් සමීප විය.

ඊළඟට චන්ද්‍රිකා සතුව තිබ්බ අනෙක් තුරුම්පුව මංගල ය.

පොදු පෙරමුණ රැකගන්න මංගල 'මාරාන්තික' මැදිහත්වීමක් කළේ ය. සුදු නෙළුම මංගලගේ වැඩකි. සාහසික යුද්ධයක් මැද පවා එය පෙරට ගියේය. සංවේදී මිනිසුන් කොටස් ආණ්ඩුව වෙත ආකර්ෂණය කරගන්නට ඒ ව්‍යාපෘතිය හයියක් විය. ඊටත් වඩා විපක්ෂය දුර්වල කිරීමේ වැඩේ මංගල තරම් සැහැල්ලුවෙන් කරන්නට පුළුවන් කවුරුවත් ඒ ආණ්ඩුවේ හිටියේ නැත.

එක්සත් ජාතික පක්ෂයට බලය ලබාගැනීම දශක ගාණක් 'ඈතින් තැබීමේ' වැඩේ කළේ මංගල ය. ප්‍රතිවාදියා සොයාගන්නට බැරි තරම් ඈත් කිරීමට ඔහු සමත් වුණේය. ඒ හරහා ආණ්ඩුවට 'නිදැල්ලේ' වැඩ කරන්නට පුළුවන් වටපිටාව හදන්නට ඔහු සමත් වුවේය.

යූ.එන්.පී. කාරයන්ට ඒ යුගයේ මංගල තරම් පෙනෙන්නට බැරි වෙන කෙනෙක් හිටියේ නැති තරම් ය. ඒ පෙනෙන්නට බැරිවීම කොච්චරක් තදට යූ.ඇන්.පී කාරයන්ගේ හිත්වලට කා වැදී තිබ්බාද කීවොත් ඔහු එක්සත් ජාතික පක්ෂයට ඇවිත් වසර ගාණක් යනතුරුම 'ආගන්තුකයෙක්' වගේ සිටියේ ය.

'බලය රඳවා ගැනීම වෙනුවෙන්' වන රාජකාරිය ඔහු අකුරට ඉටු කළේය. ජනමාධ්‍ය ඇමැති ලෙස ඔහු රජයේ ප්‍රචාරක යාන්ත්‍රණය ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් තිතට ම භාවිත කළේ ය.

එස්.බී. ඇතුළු පළුවක්ම චන්ද්‍රිකා ආණ්ඩුවෙන් නික්ම යනවිට මංගල අසරණ විය. එහෙත් ඔහු 'ගේම' අතෑරියේ නැත. ජවිපෙ එකතු කරගෙන පරිවාස ආණ්ඩුව හදන්න මුල් පෙළේ 'කපුකම' කළේ මංගල ය. ජවිපෙ එක්ක ජන්මාන්තර වෛර චන්ද්‍රිකා පවා ඒ වැඩේට නම්මා ගන්න මංගල ශූර විය.

මහින්දගේ ආණ්ඩුවේ විදෙස් ඇමැතිකම මංගලට ලැබුණත් ඔහුගේ වැඩත් එක්ක මහින්ද හිටියේ 'නොහොඳින් ය'. රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී මහින්දගේ ස්වරූපය මංගලගේ ස්වරූපය එක්ක පෑහුණේ නැත. අන්තිමට මංගල ඇමැතිකම දමා එළියට බැස්සේ ඒ ආණ්ඩුව හදන්න දැවැන්තම හයියක් වූ ශ්‍රීපති සමඟ ය.

මංගල, රාජපක්ෂ ආණ්ඩුවෙන් නික්ම යෑම දේශපාලනිකව තීරණාත්මක 'බිඳී යෑමක්' වුණත් මහින්ද ඒක පෙන්නුවේ නැත. එහෙත් මංගල ගැන දන්න අය හිතුවේ 'රාජපක්ෂ ආණ්ඩුවේ පල්ලම් බැසීම' මංගලගේ නික්ම යෑමෙන් ආරම්භ වූ බව ය.

'මංගල ගියාට මොකෝ, මේක පර්වතයක් වගේ ආණ්ඩුවක්'

මහින්දවාදීන් එවක එහෙම කියද්දීත් මංගලව ආපහු ගන්න පණිවිඩ පිට පණිවිඩ එවුවේ මහින්ද ය.

ඒ මංගල කවුද කියා මහින්ද දන්න නිසා ය.

අන්තිමට පර්වතය පෙරළන වැඩේ නියමුවන් අතර මංගලත් සිටියේ ය.

මංගලට 'බනින' කිසිවෙක් මංගල හොරෙක් කියා කියන්නේ නැත. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක හා සන්නිවේදන අංශය බාරගත් මංගල වසර දෙක තුනක් යනවිට 'රාජපක්ෂ ආණ්ඩුව වෙනස් කිරීමේ මාධ්‍ය මෙහෙයුම ශක්තිමත් කළේය. අන්තිමට නතර වුණේ පෙරළන්න බැරි පර්වතය පෙරළලා ය. මේ අය වැය පිටුපස හිටියේ ද ඒ මංගල ය. මේ අයවැයට ගහන්න විපක්ෂයට හරිහමන් තර්කයක් හෝ හමුවී නැත. ඒ නිසා ඔවුන්ට ඉතිරි ව තිබෙන්නේ 'සෙනඟ' පෙන්වන කලාව පමණි.

එක කාලෙක ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති විකාශයේ ගිය තේමා වාදනය කාලයකට අමතක නොවන එකකි . ‘ඇන් ඇම්ට පුළුවන්ද රජය පෙරළන්න’

යන අර්ථය එහි වන බව සමහරු කීහ. ඒ කතාව වෙනස් කරගෙන දැන් කියන්නට තියෙන්නේ ‘සෙනඟකට පුළුවන්ද ආණ්ඩුව පෙරළන්න’ කියලා ය.

ජේ ආර් කියන්නේ අමුතු මිනිහෙක් ය. විරෝධතා දැක්වීම සඳහා ‘පා ගමන්’ යොදා ගැනීමේ ආරම්භකයා ඔහු ය. බණ්ඩාරනායක ආණ්ඩු කරන කාලයේ නුවරට පා ගමන් ගිය ජේ ආර් 70 - 77 කාලයේ රට පුරා සත්‍යග්‍රහ පැවැත්වීය.

හැබැයි ඒ කාලයේ ආණ්ඩුව තුට්ටුවකට කලබල වුණේ නැත. 77 මැතිවරණය එන්නේ ජේ ආර් පා ගමන් ගිය හින්දා නොව, ඉන්දියාවේ ගාන්ධිලාත් මැතිවරණයට යන්න පාර්ලිමේන්තුව විසිරුවපු හින්දා ය. එවක සිරිමා ආණ්ඩුව වැඩ කළේ ඉන්දිරා හුස්ම ගන්න තාලයට ය.

ප්‍රේමදාසගේ කාලයේ මහින්දලා ‘පාද යාත්‍රා’ගියහ. හැබැයි ආණ්ඩුව අවුරුදු ගාණක් යනකම් හෙල්ලුණේ නැත. සෙනඟ ගෙන්වා ආණ්ඩුව හෙල්ලූ අනෙක් සමීපතම අවස්ථාව වාර්තා වෙන්නේ එජාපය කළ ‘ජනබල මෙහෙයුමෙන්’ය. දෙවුන්දර තුඩුවේ සිට කොළඹට එදා ජන බල මෙහෙයුම ගෙනාවේ ‘ජනාධිපතිවරණයක්’ ඉල්ලා ය. ඒ කියන්නේ සටන පටන් ගත්තේ දකුණෙන් ය. එවක ජනපති චන්ද්‍රිකා ය; විපක්ෂනායක රනිල් ය; හැබැයි එජාපයේ ජනබල මෙහෙයුමට ආශිර්වාද කළේ මහින්ද ය.

ඉක්මන් ජනපතිවරණයක් ඔහුට ඕනෑ විය. මැතිවරණ කොමසාරිස් ජනාධිපතිවරණයට දින නියම කළේය. ඒ වෙනකොට රනිල් ජන බලය පෙන්වා සිටියේය. ඒ මහා සෙනඟක් කොළඹට ගෙන්වා ය. ජනපතිවරණය ගැනීමේ ‘වීරයා’ රනිල් බව හැමතැනම කතා විය. අන්තිමට සෙනඟ පෙන්වූ රනිල් පරාජය වී පැත්තක සිටිය මහින්ද දිනුවේය.

සෙනඟ ආව පලියට ආණ්ඩු පෙරළෙන්නේ නැත. දේශපාලනය යනු බල අරගලයකි. මැකියාවෙලී ‘කුමාරයා’ හි ලියූ පරිදි එය බලය ලබාගැනීමට අරගල කිරීම, බලය ලබාගැනීම, බලය පවත්වාගෙන යෑම වැනි බල ක්‍රියාන්විතයකි. ඒ උදෙසා නොයෙක් උපාය, උපක්‍රම භාවිත කිරීම දේශපාලන සංවිධානවල අනවරත ක්‍රියාදාමයකි. චිරාත්කාලයක් තිස්සේ එය දේශපාලනයේ අත්‍යන්ත ස්වභාවයකි. පෝස්ටර්, අත්පත්‍රිකා, දැන්වීම්, පෙළපාලි මැතිවරණ සමග සහසම්බන්ධ කාරණා ය. කරුණු කාරණා කෙසේ වෙතත්, මැතිවරණ රැළි සහ සෙනඟ මෙරට සමාජය තුළ මුල්බැසගෙන ඇත්තේ ‘ජනප්‍රිය’ අර්ථකථනයකිනි. කිසියම් රැළියක් සඳහා පැමිණෙන සෙනඟ අතිමහත් උජාරුවකින් උලුප්පා දක්වමින් සමාජගත කිරීමට වෑයම් කරනුයේ ‘මැතිවරණය ජයගන්නා හෝ පරාජය වන’ නියැදිය ය. එහෙත් ඒ වූ කලී හුදු භ්‍රමණයක් පමණක් බවට උදාහරණ ඕනෑ තරම් ගත හැකිය.

77 මහ මැතිවරණය වන විට එක් අතකින් එක්සත් ජාතික පක්ෂයත් අනෙක් අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දැවැන්ත ජනහමු පැවැත්වීය. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රැලිවලට සේම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රැලිවලට ද උතුරන්නට සෙනඟ පැමිණියහ. කවුරුන් දිනාවිදැයි සිතාගත නොහැකි තරමට රැලිවල සෙනඟ ය.

එහෙත් එජාපය මැතිවරණය ජයග්‍රහණය කළේ හයෙන් පහක බලයක් ලබාගෙනය. දෙවැනි ජනාධිපතිවරණය අවස්ථාවේ මෙරට සමාජයේ තිබුණේ රැස්වීමක් තබා දැන්වීමක්වත් ප්‍රදර්ශනය කළ නොහැකි වාතාවරණයකි. භීෂණයේ හස්තය රට පුරා ව්‍යප්තව පැවැතිණ. අපේක්ෂකයින් ජනහමු ඇමතුවේ ‘යකඩ කටට’ පින්සිදු වන්නට ය. රැලිවලට මිනිස්සු පැමිණියේ නැත. එහෙත් රණසිංහ ප්‍රේමදාස මැතිවරණය දිනුවේ ය. සෙනඟ පෙන්වූ තරමට ඡන්ද දිනන්නට නොහැකි බවට ආසන්නම උදාහරණය ගත හැක්කේ ඉකුත් ජනාධිපතිවරණයෙනි.

එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රැලිවලට සෙනඟ රැස් කළේ දස දහස් ගණනින්ය. ඇතැම් රැලිවලට ලක්ෂයක පමණ සෙනඟක් රැස්කොට තිබිණි. අනුරාධපුරයේ පැවැත්වූයේ එවැනි රැලියකි. එවක මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ මංගල ජනරැලිය අනුරාධපුරයේදී පැවැත්වූ අතර ඊට ලංගම බස්රථ 1,200ක සංඛ්‍යාවකින් ජනතාව කැඳවා තිබුණි.

ඒ අනුව ඒවා ජන රැලිවලට එහා ගිය බස් රැලි බවට පත් ව තිබුණි. අනුරාධපුර එම රැස්වීම් භූමියේදී ජනතාව තෙරපීමට ලක්වීම හමුවේ 6 දෙනෙක් පමණ ක්ලාන්තව සිහිසුන් වූහ. ඊට පෙර 2009 දකුණු පළාත් සභා මැතිවරණ සමයේදී මැදමුලන දන්සල් භූමියේදී බත් පැකට් ලබාගැනීමට ජනතාව පොරකෑමේදී පෑගීමෙන් එක් අයෙක් මිය ගියේ ය. එහෙත් ප්‍රතිඵලය වූයේ අනුරාධපුරය මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීම ය.

තත්ත්වය එසේ වුවද බොහෝ විට තවමත් සමහරු ‘සෙනඟ’ පෙන්වා මැතිවරණ ප්‍රතිඵල අනුමාන කිරීම සිදු කරති. විශේෂයෙන්ම ස්වකීය දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ක්‍රියාත්මක මාධ්‍ය, මැතිවරණ රැලිවල සෙනඟ පෙන්වීමට දන්නා සියලු උපක්‍රම භාවිත කරති. ඇතැමුන් මේ රැලිවලට සහභාගි වන්නේ සිය කුඩා දරුවන් ද කරපින්නාගෙන ය. එයින් සිදු වන පීඩාව ගැන තැකීමක් නොකරන ඔවුහු රැලිවලට එක්වෙති. බොහෝ රැලි සඳහා සෙනඟ ගෙන්වීමේ ක්‍රියාන්විතය ‘කුඩා ප්‍රමාණයේ’ යුද්ධයක් තරමේ කටයුත්තකි.

බස් යොදවා සෙනඟ කැන්දවා, බත් පැකැට් පිරිනමා, බොන අයට ඒ අඩුවැඩියද සපයා ‘සූර්’ වූ පිරිසක් උන්මාදයෙන් මෙන් ගෙන්වීම සුලබ ව සිදුවන්නකි. සවිඥානික ව රැලියක සිටින්නන් සොයාගත හැක්කේ දුලබ ව ය. ඒ අනුව බොහෝ දෙනෙකුට රැලිවලට සහභාගි වීම ‘ආතල්’ ගැනීමකට යෑමක් වැනි ය. හිට්ලර් ජර්මනියේ සිටි ආඥාදායකයෙකි. ඔහුගේ රැලිවලට සෙනඟ පැමිණියේ ලක්ෂ ගණනින් ය. එමතු නොව ඔහුට උන්මාදයෙන් මෙන් ‘ආදරය’ පෙන්වන කෘත්‍රිම ‘රටාවක්’ හිට්ලර්ගේ මාධ්‍ය විසින් ගොඩනංවා තිබිණි. එහෙත් තීරණාත්මක මොහොතක හිට්ලර්ගේ ආධිපත්‍ය දියවී ගියේය.

කෘත්‍රිම මවාපෑම්වල අවසානය එබඳු ය. රැලිවලට සහභාගි වීම, දේශපාලනික කාරණා පිළිබඳව දැනුම්වත් වීම වරදක් හෝ ගැටලුවක් නොවේ. එහෙත් රටක පාලන තන්ත්‍රය වෙනස් කරනුයේ හෝ බිහි කරනුයේ උන්මාදයෙන් රැලිවලට යන මිනිසුන්ට වඩා, කල්පනාකාරීව තීන්දු ගන්නා මිනිසුන් ය. 2015 වසරේ සිදු වූයේ එවැන්නකි. වගේ වගක් නැතිව ඔහේ යන එකට කියන්නේ ‘ ගඩ්ඩරිකා ප්‍රවාහය’ කියලාය. එදා මෙදාතුර ගිය ඕනෑම පාගමනකට, විරෝධතාවකට ඉලක්කයක් තිබුණි. නමුත් මහනුවර රැලියට ඉලක්කයක් තිබ්බේ නැත. මීට වසරකට පෙර මීටම සමාන පාගමනක් කොළඹට ආවේ නාමල් රාජපක්ෂ මුල් කරගෙන ය. ඒකත් ‘ ගඩ්ඩරිකා ප්‍රවාහය’ක ය.

බැටලු දෙනක් පසුපස විචාරයකින් තොරව ඔහේ ගමන් ගන්නා බැටළු රංචුව හඳුන්වනුයේ ගඩ්‍රිකා ප්‍රවාහය කියායි. බැටලුවන්ට මොළයක් නැත. මහ බැටලුවාට ද මොළයක් නැත. ඒ නිසා යන්නේ කොහිද, කරන්නේ මොනවාද කියා ගඩ්ඩරිකා ප්‍රවාහයේ යෙදෙන බැටලුවන් දන්නේ නැත. තැනක් නොතැනක් නැතත් දහස් ගාණක් ඔහේ ඇවිදිමින් සිටිති. ඒ ඔවුන් බැටලුවන් නිසා ය. මිනිස්සුත් එහෙම වෙනවා නම් ඉතින් දෙයියන්ගේම පිහිට ය.

 

අදහස්