මේක වියදම් වවා පෙන්නපු, ආදායම් හංගපු අය-වැයක්! | සිළුමිණ

මේක වියදම් වවා පෙන්නපු, ආදායම් හංගපු අය-වැයක්!

ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂ නායකවරයා සමඟ පැවැති සාකච්ඡාව ගැන සෑහීමට පත් වනවාද?

ජනතා විමුක්ති පෙරමුණ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන්න පුළුවන් තත්ත්වයක් දැන් නිර්මාණය වී තිබෙනවා. අප විපක්ෂ නායකවරයා සමඟ සාකච්ඡා කරන්න ගියේ, ඒ කාරණය සාර්ථක කරගැනීම සඳහායි. සාකච්ඡාව සාර්ථකයි කියල හිතන්න පුළුවන් සුබවාදී තත්ත්වයක් තිබෙනවා.

විපක්ෂ නායකවරයා එකඟ වුණාද 20 වන සංශෝධනය සාර්ථක කිරීමට සහාය දෙන්න හෝ ඉදිරියට ඒ ගැන යළිත් සාකච්ඡා කිරීමට?

20 වන සංශෝධනයේ මූලික හරය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. විපක්ෂ නායකවරයාත් ප්‍රතිපත්තිමය වශයෙන් ඒ සඳහා එකඟ වන බව අපට දැන්වූවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනවල අවස්ථා දෙකකදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

20 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමේදී විධායක ජනාධිපති ධුරය හා බැඳී ඇති අනෙකුත් කරුණු සම්බන්ධව එකඟතා හෝ යෝජනා හෝ ඇති වුණාද?

විශේෂයෙන්ම ඔවුන්ගේ පැත්තෙන් මතු වුණු කරුණ වූයේ විධායකය හා ගැටගැසී ඇති 13 වන සංශෝධනයේ අඩංගු බලතල හා මැතිවරණ ක්‍රමයන් පිළිබඳවයි. අප දැනුම් දුන්නා පාර්ලිමේන්තුවට වග කියන කැබිනට් මණ්ඩලයක් අවශ්‍ය බව. විධායක ජනාධිපති ධුරය අපේ රටට නොගැළපෙන බව අප දැන් අවුරුදු 40ක් තිස්සේම පෙන්වා දී තිබෙනවා. පාර්ලිමේන්තුවට වග කියන ක්‍රමයක් සකස් කළ යුතු ආකාරය ගැන අප මෙහිදී සාකච්ඡා කළා. එය අප කියන ලෙසින්ම සිදු විය යුතු නැහැ; අනෙකුත් පක්ෂවල අදහස් හා යෝජනා අනුව එක් සන්ධිස්ථානයක් කරා මේ අදහස් යෝජනා එක් කරගන්න පුළුවන් තත්ත්වයක් ඇති කිරීමයි අපේ අපේක්ෂාව.

මෙවර අය-වැය ගැන ජනතා විමුක්ති පෙරමුණ දරන අදහස කුමක්ද?

ආර්ථික දැක්මක්, ඉලක්කයක් නැති අය-වැයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. වෙනදා වගේම වියදම් වැඩියෙන් පෙන්වපු, ආදායම් හංගපු අයවැයක් තමයි ඉදිරිපත් කළේ. ආදායම හැංගුවාට පස්සේ ඒකට ආදායම් හොයන්න වෙනවා, වියදම් පියවන්න; ඇස්තමේන්තු කරපු මුදල් වියදම් කරන්නේ නැහැ. කොහොමත් මීට වඩා වෙනස් ක්‍රම අනුව තමයි ආදායම් හොයන්න වන්නේ‍. අද වන විට මහා භාණ්ඩාගාරය තිබෙන්නේ ඍණ මට්ටමේ.

2018 නොවැම්බර් මස 30 වැනිදා වන විට කෝටි 20,000ක විතර ඍණ තත්ත්වයක් එහි තිබුණේ. ඒ වගේම ඒකාබද්ධ අරමුලේ තිබෙන්නෙත් බිලියන 225ක විතර ඍණ මට්ටමක්. එහෙම තත්ත්වයක් පවතිතිද්දී මේ විදිහට බදු නොගසා ආණ්ඩුවට මේ ගමන යන්න බැහැ. ඒත් ආණ්ඩුව එක් දෙයක් කර තිබෙනවා. ඒ, ජනතාවගේ අතේ තිබෙන හා අරමුදල්වල තිබෙන සල්ලි වියදම් කරන්න අනුබල දෙන යෝජනාක්‍රම ඉදිරිපත් කර තිබෙනවා. සමෘද්ධි ඉතිරි කිරීම් ගිණුම්වල මුදල් අවුරුද්දට නිදහස් කරගන්න පුළුවන් කියා කියනවා. ජනතාවගේ සල්ලි ගන්න ආණඩුවෙන් අහන්න ඕනෑ නැහැ. ජනතාවගේ මුදල් ජනතාව විසින්ම වියදම් කරවන තත්ත්වයක් තමයි ආණ්ඩුව මේ කරන්න යන්නේ. එයින් වන්නේ ජනතාව තවත් ණය වීම විතරයි.

ඒ වුවත් අලුත විවාහ වන අයට පවා නිවාස හදාගන්න ණය යෝජනාක්‍රම ඉදිරිපත් කර තිබෙනවානෙ...

අලුත කසාද බඳින අයට විවාහ සහතිකය ඉදිරිපත් කළ විගස ණය දෙන විදිහට තමයි මුදල් ඇමැතිවරයා කතා කරන්නේ! බැංකු ණය දෙන්නේ ඇපකරුවන්, ඉඩම් ඔප්පු ආදිය බලලා, බැංකුවල නීති-රීති අනුවයි. ඒ වගේම විදේශයන්හි සේවය කරන අයටත් සැලකිය යුතු මුදලක් එවා තිබුණොත් පමණයි ඔවුන්ටත් ඒ ‘සිහින මාලිගා‘ ගැන සිතන්න හැකි වන්නේ. ඒ එක්කම ආණ්ඩුව විදෙස් ගමන් බලපත්‍ර මිල වැඩ කර තිබෙනවා. මේක හරියට වම් අතින් දීලා, දකුණු අතින් ගන්නවා වගේ වැඩක්.

අලුතින් සමෘද්ධිලාභීන් ලක්ෂ 6ක් උදෙසා සහන දීමට කටයුතු කර තිබෙනවා. ඒ ගැන වත් ජවිපෙ යම් ආකාරයක සතුටක් පළ කරන්නේ නැද්ද?

මෙහිදී අපට සිතන්න වන්නේ කරුණු දෙකකින් එකක් පමණයි. එකක්: ආණ්ඩුව මේ දක්වා සමෘද්ධිය ලබා දිය යුතු මට්ටමේ පවුල් ලක්ෂ 6ක් නොසලකා හැර තිබෙනවා. එහෙමත් නැත් නම්: පවුල් ලක්ෂ 6ක් මධ්‍යම පාන්තික මට්ටමේ හෝ ආදායම් සහිත තත්ත්වයේ සිට මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති නිසා දරිද්‍රතාවෙන් පහළ රේඛාවට වැටී තිබෙනවා.

ජනතාව ඔබ පක්ෂය සලකන්නේ විනය ගරුන පක්ෂයක් ලෙසයි. ඒත් ලාල්කාන්ත මහතා පසුගිය දිනක මත්වතුර පානය කර රිය අනතුරක් සිදු කර තිබෙනවා...

රිය අනතුරක් වූ විගස පක්ෂයක විනයගරුක බව නැති වන්නේ නැහැ. එහෙත් මෙහිදී අනතුර වූ සැණින් සියල්ල චිත්‍රපටයක් මෙන් දිගහැරුණා. මෙතැන අනතුරක් සිදුව ඇත්තේ වාහන දෙකක් ගැටීමෙන්. එහෙත් අනෙක් පාර්ශ්වය සම්පූර්ණයෙන්ම නිවැරැදි ලෙසිනුයි සියලු කතා ගොඩනඟා ඇත්තේ.

අනෙක් පාර්ශ්වය කෙසේ වුවත්, මෙහිදී ලාල්කාන්ත මහතා මත්වතුර පානය කර සිටි බව දක්වා තිබෙනවා. ඔහුට එරෙහිව යම් විනය ක්‍රියාමාර්ගයක් ගන්නවාද?

අපේ පක්ෂයේ පහළ සිට ඉහළටත්, ඉහළ සිට පහළටත් විනය ක්‍රියාදාමයක් තිබෙනවා. ඒකට ලොකු-පොඩි වෙනසක් නැහැ.

පොල්ගම්පොළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උපයෝගි කරගෙන පුද්ගලයකු ජපානයට ගෙන ගියා. අප ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් පවා ඉවත් කළා. ඒ, පොලීසිය දන්වා වත්, මාධ්‍ය පවසා වත් නොවෙයි; පක්ෂයේ විනය ක්‍රියාමාර්ග අනුවයි.

අදහස්