සුජාත දරුවෝ සහ බක්මහ දිව්රුම | සිළුමිණ

සුජාත දරුවෝ සහ බක්මහ දිව්රුම

  • මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විශේෂ ව්‍යාපෘaතියක්
  • පොලීසියේ ගැටලු වෙත ජනාධිපති අවධානය
  • ජිනීවා සමුළුවට විශේෂ නියෝජිත ත්‍රිත්වයක්

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ඉකුත් 6 වැනි බදාදා මෙරටේ ප්‍රධාන මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය ආයතන වල හිමිකරුවන් හා ඒවායේ මාධ්‍ය ප්‍රධානීන් ද කොළඹ ජනාධිපති නිල මැදුරට කැඳවන ලද්දේ රටේ සමාජ, ආර්ථික, දේශපාලනය පිළිබඳ සංවාදයක් ඇති කිරීමටත්, විශේෂයෙන් ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන ජාතික සංවර්ධන ක්‍රියාදාම පිළිබඳ විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමටත් බව පැහැදිලි විය. ආණ්ඩුවේ අය-වැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ උණුසුම නැඟෙන අවස්ථාවක රාජ්‍ය නායකයා ලෙස එබඳු මාධ්‍ය හමුවක් ඇමතීම ද විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. ජනාධිපතිවරයා සිය විග්‍රහය ඇරඹුවේ 2019 අය-වැය පිළිබඳ සිහිපත් කරමින් ය. එහිදී ජනාධිපතිවරයා විසින් කරන ලද අවධාරණය වූයේ රට උග්‍ර ආර්ථික අර්බුදයක ගිලී තිබෙන අවස්ථාවක අය-වැයක් ඉදිරිපත් කිරීම අභියෝගයක් බව ය. අය - වැය පිළිබඳ ජනාධිපතිවරයා දීර්ඝ විවේචනයක් ඉදිරිපත් නොකළත්, අය-වැය සම්බන්ධයෙන් එයට පක්ෂ ව මෙන්ම විපක්ෂ ව කෙරෙන සම්ප්‍රදායික විවේචන වලට වඩා විශේෂත්වයක් තමා නොදකින බව ද කියා සිටියේය. විවේචකයන් විසින් හොඳ අය-වැයක් සකසා පෙන්වීම වඩා වැදගත් බව ද ජනාධිපතිවරයාගේ අදහස විය. 2019 අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ දීමනාව වැඩිකර ඇතත් එය ක්‍රියාත්මක කිරීම ජූලි මාසය දක්වා කල් දමා තිබෙන්නේ රටේ ආර්ථික දුෂ්කරතා නිසා බව ද ජනාධිපතිවරයා කියා සිටියේ ය.

රටේ වර්තමානය තුළ කාටත් පැහැදිලි වන එක් යථාර්ථයක් තිබෙන බවත්, ඒ අන් කිසිවක් නොව පාර්ලිමේන්තුවේ තිබෙන අස්ථාවරත්වය හා දුබලතාව බවත් ජනාධිපතිවරයාගේ අවධාරණය විය. දේශපාලන පක්ෂ භේදවලට වඩා රටේ යහපත උදෙසා සියලු දෙනා ම එක් ව ක්‍රියා කළ යුතු අවස්ථාවක් එළැඹ තිබෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ආණ්ඩුවේ ම පසු පෙළ සමහරුන්ගේ දේශපාලන බොළඳකම් ගැන ද සිනාවෙන් සිහිපත් කළේය. ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය පරාජය කරන බවට පාරම්බාන දේශපාලනඥයන්ගේ විහිලු කතා ගැන පරිණත දේශපාලන නායකයකු තුළ ඇතිවන්නේ සිනහවක් පමණි. කුමක් වුවත් අද තිබෙන අර්බුදයට එක් විසඳුමක් වන්නේ පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම බව ජනාධිපතිවරයාගේ අදහස විය. මේ වසරේ අගදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත වුවත් ඊට පෙර ඕනෑම මැතිවරණයක් පැවැත්විය හැකි බවට ජනාධිපතිවරයා පළ කළ අදහස ද කිසිවකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය.

මේ ආණ්ඩුව පවත්වා ගෙන යෑම සඳහා මන්ත්‍රීවරුන් රඳවා ගත යුතු බවත්, ඒ සඳහා ඔවුන්ට වරප්‍රසාද, තනතුරු ප්‍රතිලාභ ලබා දීමට සිදුවන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. එහෙත් එබඳු පියවරක් ගැනීමේ අනතුරක් ද තිබෙන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මේ රටේ දේශපාලනය යනු පරාර්ථයට වඩා ස්වාර්ථයට මුල්තැන දෙන එකක් බව අමුතුවෙන් කිව යුතු නැත. ගොඳුරු ලොබ කරමින් ඒ පිලෙන් මේ පිලට පනින දේශපාලන ගෙඹි සංස්කෘතියක කුප්‍රකට ආදර්ශ මේ පාර්ලිමේන්තුවේ ද ඇත. මීට පෙරත් එබඳු නිදර්ශන සුලබ ව තිබේ. මෛත්‍රී ජනාධිපතිවරයා මේ දේශපාලන යථාර්ථය හොඳින් දන්නා එය වෙනස් විය යුතු යැයි තරයේ අදහන රාජ්‍ය නායකයෙකි. ජනාධිපති ක්‍රමය සතු ඇතැම් බලතල පාර්ලිමේන්තුවට ලබා දීමට තරම් නිර්ලෝභී වූ මේ නායකයා අදත් අපේක්ෂා කරන්නේ දේශපාලන බල කඳවුරු වලට බෙදීමට වඩා එකට සිටීමේ වැදගත්කම ය.

විධායක ජනාධිපති ක්‍රමය මේ රටට හඳුන්වා දුන් එ.ජා.ප.ය විසින් ගොඩනඟන ලද සමාජ ආර්ථිකයේ බිහිසුණු හා නග්න විලාශය අද එ.ජා.ප.යේ වර්තමාන ජ්‍යෙෂ්ඨයෝ ද පිළිගනිති. මෛත්‍රී රනිල් එක්වූයේ ඒ දේශපාලනය වෙනස් කර නව ඇරඹුමක් සඳහා ය. එහෙත් සිදු ව තිබෙන්නේ කුමක්ද? 19 වැනි ව්‍යවස්ථාව ලෙස සම්මත කරගත් සියල්ල ඉවත දැමීමට යෝජනා කළ නොහැකි වුවත් එයින් උද්ගත වූ දුර්විපාක සමඟ රට හිර වී තිබෙන බව නම් අප පෙන්වා දිය යුතුය. අද මේ පාර්ලිමේන්තුව යන්තම් සන්තම් හෝ පවත්වා ගෙන යෑම විනා එය විසුරුවා හැර ජනමතය උරගා බැලීමකට අවස්ථාවක් ද නැත. ඒ ව්‍යවස්ථා විධි විධාන නමැති මහාපවුර බිඳ දැමීමට නොහැකි වීම නිසා ය. ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාවගේ අභිලාෂය වුව ද අද ඒ ප්‍රජාතන්ත්‍රවාදය ද දුර්වල කරනු ලැබ ඇතැයි දේශපාලන විචාරකයෝ ම කියති. සුළුතර ආණ්ඩුවකට රට වෙනුවෙන් යමක් කළ නොහැකි බව අද තරම් හොඳින් තහවුරු වී තිබෙන අවස්ථාවක් නැත. එහෙත් වරප්‍රසාද, තනතුරු, ප්‍රතිලාභ, ලුහුබඳින දේශපාලනයකදී අපට බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද? ආණ්ඩුවේ ම පසුපෙළ බොහෝ විට රටට පිළිබිඹු කරන්නේ ද මේ දේශපාලන බලලෝභිත්වය හා තම දේශපාලන දුගීභාවය විනා අන් දෙයක් නොවේ. ප්‍රතිපත්ති ගරුක, රට වෙනුවෙන් කැප වූ දේශපාලන ගමනක් අද සියලු දෙනාගේම අපේක්ෂාව බවට පත් කරගත යුතු යැයි මෛත්‍රී ජනාධිපතිවරයා යෝජනා කරන්නේ ද මේ විකෘතියෙන් රට ගොඩ ගැනීමට ය.

ජනාධිපතිවරයා මේ මාධ්‍ය හමුවේදී කළ තවත් වැදගත් හා ප්‍රබල අවධාරණයක් වූයේ මේ දිනවල ආරම්භ වී තිබෙන ජිනීවා මානව හිමිකම් කමිටු වලට රට වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමේ වගකීමය. අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට පෙර වීදි බසින විරෝධතාකරුවන් මෙන්ම ජිනීවා කමිටුව රැස්වන කාලයට ශ්‍රී ලංකාවේ බොහෝ මානව හිමිකම්කාරයෝ ද නැඟී සිටිති. ජනාධිපතිවරයාට අවශ්‍ය වී තිබෙන්නේ, මානව හිමිකම් නොතකා යන හිතුවක්කාරී ගමනක් නොව නීති ගරුක හා යුක්ති සහගත සමාජයක පුරවැසියන් ලෙස ශ්‍රී ලංකාව සහජීවනයෙන් සිටින රටක් බව ජාත්‍යන්තර ප්‍රජාවට තහවුරු කිරීම බව ඉතා පැහැදිලිය. ශ්‍රී ලංකාව වර්ගවාදි, ආගම්වාදි උමතුවකින් පෙළෙන රටක් බව පෙන්වා බටහිරෙන් ගතමනාවක් ගැනීමේ කිළිටි හා දුෂ්ට අරමුණෙන් රටට එරෙහිව ක්‍රියාත්මක වන මානව හිමිකම් සංවිධාන ගැන ජනාධිපතිවරයා මෙන්ම මේ රටේ ජනතාව ද ඉඳුරා දනිති.

ජිනීවා කොමිසමට ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයන් තිදෙනකු යැවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේද එනිසාය. ඇමතිවරුන් නොවන තිදෙනෙක් ඒ සඳහා යැවීම ස්ථිර බව ජනාධිපතිවරයා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. ඒ ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ හා උතුරේ ආණ්ඩුකාර සුරෙන් රාඝවන් යන තිදෙනාය. ලබන 22, 23 දිනවල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සල සැසිවාර වලදී ශ්‍රී ලංකාව හිරකර තිබෙන මානව හිමිකම් ගැටය ලිහා ගැනීම තම අරමුණ බවත්, ඒ සඳහා මේ නියෝජිතයන් ක්‍රියාත්මක වන බවත් මෛත්‍රී ජනාධිපතිවරයා සඳහන් කළේය.

සත්තකින්ම අද අපට අවශ්‍ය සාමයට හා සංහිඳියාවට අවංකව ම කැපවී සිටින රාජ්‍ය නායකයා මෛත්‍රී බව උතුරේ ජනතාවද පිළිගෙන ඇත. පැරණි තුවාල පාරා නොගෙන ඒවා දයා දියෙන් සිහිල්කර ගත යුතු බවත්, මනුෂ්‍යත්වයට ගෞරව කරන පතිරූප දේශයක් ගොඩ නැඟීම සියල්ලන්ගේ ම අපේක්ෂාව විය යුතු බවත් ජනධිපතිවරයා කියා සිටියි. රටේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ තීන්දු ගැනීමට රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයාට බාධාවක් නැති බව මෙහිදි ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපතිවරයා අපේක්ෂා කරන සාධාරණ සමාජයට බාධාකරන, කුහක පිරිසක් ජාත්‍යන්තරයට ගතු කේලාම් කියන බව අපි දනිමු. අවසන් වූ යුද්ධයෙන් උතුරේ ජන ජීවිතවල අපේක්ෂා සිඳි ගිය ආකාරය කිසිවකුට ප්‍රතික්ෂේප කළ නොහැකි ය. තම උපන් ගම් බිම් අහිමිව කඳවුරු වලට සීමා වූ අපේම උතුරේ නෑයන්ගේ වේදනාබර සිතිවිලි වල බර, ගැඹුර අපට දැනේ. උතුරට යන ජනධිපතිවරයා වට කරගන්නා ඒ අම්මලා ගේ දෑස් වල කඳුළු මොනතරම් වේදනාකාරී දැයි අපට අමුතුවෙන් කියාදිය යුතු නැත. තම දරුවන් පැහැර ගෙන ගිය ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයට ශාප නොකර ප්‍රභාකරන් වෙනුවෙන් පහන දල්වන උතුරේ අවස්ථාවාදී දේශපාලනය අවසන් කිරීම අද අත්‍යාවශ්‍ය දෙයකි. මෛත්‍රී ජනාධිපතිවරයා ඒ අශීලාචාර දේශපාලනය නඩත්තු කරන දෙමළ ඩයස් පෝරාවෙන් හා බටහිරෙන් කුලිය ලබා ගන්නා ඇන්ජීඕ හඬ නොඉවසන්නේ ද එනිසාය. එතැනදි අපටද කොන්දේසි විරහිතව මෛත්‍රී ජනාධිපතිවරයා සමඟ එකට සිටගත හැකිය. මානව හිමිකම් යනු ප්‍රජාතන්ත්‍රවාදී රටක අත්‍යවශයෙන් ම ආරක්ෂා විය යුතු උතුම් මානව ධර්මතාවකි. ඒ ධර්මතාව ස්වාර්ථය සඳහා යොදා ගන්නා වුද එයට ආවරණය වෙමින් රට අගාධයට තල්ලු කරන්නා වු ද ඇන්ජිඕ හඬ පරාජය කළ යුතු බව අපි ද ඉඳුරා කියමු. මෙවර ජිනීවා යන ජනාධිපතිවරයාගේ විශේෂ දූත මණ්ඩලයට ඒ ශක්තිය ලැබේවා යන්න අපගේ ප්‍රාර්ථනාව ය. සිංහල, දෙමළ මෙන්ම මුස්ලිම් අන්තවාදයෙන් ගිලන් වූ මනසක් සහිත දේශපාලන චරිත වලට ද අප යෝජනා කරන්නේ තව දුරටත් මේ දුෂ්ට භේද වැපිරීම හා ඒවා නඩත්තු කිරීම ජාතික අපරාධයක් බවය. 2015 ඇරඹුණු මෛත්‍රී යුගයත් සමඟ රටේ එබඳු බරපතල ගැටුම් කිසිවක් සිදු නොවූ බව ජගත් ප්‍රජාවද දනිති. එනිසා මේ රට මානව හිමිකම් කඩන, ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් නොතකන, වල්මත්වූ රටක් ලෙස ජාත්‍යන්තරයට ඒත්තු ගැන්වීමට කිසිදු සාක්ෂියක් නැති බව අපගේ අදහස ය. එහෙත් දෙමළ ඩයස් පෝරාවට අවශ්‍ය ඒ සොඳුරු චිත්‍රය විකෘති කිරීමත් මෙරටේ ත්‍රස්තවාදය පරාජය කළ අය දංගෙඩියට රැගෙන යෑමත් බව නිසැක ය. කිසිදු දේශප්‍රේමියකුට, මානව හිතවාදියකුට එබඳු ක්‍රියාදාමයක් අනුමත කළ හැකිද?

ශ්‍රී ලංකාව බටහිරෙන් හා වෙනත් ශිෂ්ටාචාරවලින් ආනායනය කළ වටිනාකම්වලට වඩා උතුම් සම්ප්‍රදායන් සහිත සාරගර්භ, හරවත් සංස්කෘතික සාරභූමියක් බව අපි සෘජු ව ම සඳහන් කරමු. බුදුදහම ඒ සංස්කෘතික ආධ්‍යාත්මයේ තිරසර පදනම බව අප කියන්නේ වෙනත් ආගම්වලට නිසි ගෞරවය ද පිරිනමමින් ය. අපගේ ආධ්‍යාත්මික වටිනාකම්, උරුමයන් සියවස් ගණනාවක් තිස්සේ අඛණ්ඩ ව ගලා එන සුනිල දිය ධාරාවක් වැන්න. අද මේ සත්‍යය වෙනත් ආගමික නායකයෝ ද පිළිගනිති. රංජිත් මැල්කම් කාදිනල්තුමා එයට එක් සාක්ෂියක් පමණි. මානව හිමිකම් පිළිබඳ අපට බටහිරෙන් හෝ වෙනත් විශේෂඥයන් හෝ අමුතුවෙන් ඉගැන්විය යුතු නැතැයි කීමට මැල්කම් රංජිත් කාදිනල්තුමා නිර්භය විය. සමහරු එයටද නොයෙක් ආඩපාලි කීහ.

කෙසේ හෝ අද මෛත්‍රී ජනාධිපතිවරයා මූලිකව ආරම්භ කරන ලද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ උතුම් ක්‍රියාදාමයෙන් ද ජාත්‍යන්තරයට සන්නිවේදනය කරන්නේ පෙරදිග රටවල් සමූහයක් බැඳී සිටින විශිෂ්ට බෞද්ධ සම්ප්‍රදාය හා එයට පදනම් වූ ත්‍රිපිටකයේ විශිෂ්ටත්වයයි. පෙරදිග ලෝකයෙන් නැගුනු ඒ ත්‍රිපිටකාභිවන්දනාව ලෝක උරුමයක් බවට පත්කරලීමට ක්‍රියා කළ ප්‍රථම පෙරදිග රාජ්‍ය නායකයා වන්නේද මෛත්‍රී ජනාධිපතිවරයායි. මහා මනුෂ්‍ය ඝාතනයකින් පීඩාවට පත් තම හෘදය සාක්ෂියට සැනසීම ළඟා කළ බුද්ධ වචනය දේශ දේශාන්තර වලට ප්‍රචලිත කළ පළමු නායකයා අශෝක රජුය. මෛත්‍රි ජනාධිපතිවරයා ඒ බුද්ධ භාෂිතය අඩංගු ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කළ ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස ඉතිහාසයට එක්වනු නිසැක ය. පෙරදිග චින්තනයේ මූලධර්ම, සදාචාරාත්මක වටිනාකම් ඉඳුරා දත් දේශපාලන නායකත්වයක් අද මේ රටට ලැබී තිබෙන බව ජිනීවා සමුළුවට අලුතින් සන්නිවේදනය කළ යුතු නැතත් එය සිහිපත් කිරීම සුදුසු ය.

මෛත්‍රී ජනාධිපතිවරයා එ් මාධ්‍ය හමුවේදී සුවිශේෂයෙන් සඳහන් කළ තවත් ව්‍යපෘති කීපයක්ද විය. ඉන් ප්‍රමුඛතාව හිමි වූයේ ජනාධිපතිවරයාගේ දේශපාලන සමාජ න්‍යාය පත්‍රයේ අංක එක බවට පත් ව තිබෙන මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සඳහා වූ ව්‍යාපෘතියට ය. ත්‍රිවිධ හමුදාව, පොලිසිය සුරාබදු හා වෙරළාරක්ෂක සේවය ඇතුළු විවිධ ආයතන පෙළ ගස්වා ඒකාබද්ධ ව සිදු කෙරෙන මහ ව්‍යාපෘතියක් ලෙස මෙම මත්ද්‍රව්‍ය මර්දනය හා නිවාරණය හැඳින්විය හැකිය. මෙහි සුවිශේෂී පියවර දෙකක් ලෙස ‘බක්මහේ දිව්රුම’ හා ‘සුජාත දරුවෝ’ සමාජ ගත කිරීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරයි. මේ කාර්ය සම්බන්ධයෙන් මෛත්‍රී ජනාධිපතිවරයා රටට ලබා දී තිබෙන්නේ අතිශය සාධනීය ප්‍රතිඵල සමූහයකි. මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් අත් අඩංගුවට ගැනීමට මෙන්ම මත්කුඩු තොග අල්ලා ගැනීමටද පොලිසිය ඇතුළු ඒ කටයුතු සිදු කරන ආයතන විශාල ප්‍රගතියක් දක්වා ඇති බව රටට ම පෙනේ. ජනාධිපතිවරයා සඳහන් කළේ ඒ කාර්ය සිදු කර ඇත්තේ කිසිදු නවීන උපකරණ පහසුකම් හෝ නොමැතිව බව ය. දැනට ඇමෙරිකාව හා ඊශ්‍රාලය වැනි රටවල් වල තිබෙන නවීන තාක්ෂණික උපකරණ අපේ පොලිසියට ලබා දෙන බවද ජනාධිපතිවරයා කියා සිටියේය. අද මෙරටේ ග්‍රාමීය ප්‍රදේශ වල ව්‍යාප්තව තිබෙන කසිප්පු ඇතුළු මෙරටේ ම නිෂ්පාදනය කෙරෙන මත්පැන් සම්පූර්ණයෙන් ම විනාශ කළ යුතු බව ජනාධිපතිවරයාගේ අදහස ය. ලබන වෙසක් පෝයට පෙර කසිප්පු උවදුර අවසන් කළ යුතුය යන විධානය ජනාධිපතිවරයා විසින් මේ වන විට ද පොලිසියට ලබා දී ඇත. මත් ජාවාරම්කරුවන්ට එරෙහිව දණ්ඩනය ක්‍රියාත්මක කිරීම යළිත් අවධාරණය කළ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සඳහා පුනරුත්ථාපන වැඩ පිළිවෙලක් අවශ්‍ය බව ද පැවසීය. රාජ්‍ය අංශය පමණක් නොව පෞද්ගලික අංශය ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා විද්වතුන් ද මේ වැඩපිළිවෙලට එක්කර ගන්නා බව ජනාධිපතිවරයා කියයි. අද මුහුණු පොත් මඟින් සංවිධානය කෙරෙන රහස් හමුවීම් මඟින් වැපිරෙන මත්ද්‍රව්‍ය වලින් දරුවන් මුදා ගැනීම අත්‍යාවශ්‍ය දෙයකි. ‘සුජාත දරුවෝ’ ලෙස පාසල් මට්ටමින් ඇරඹෙන සාධනීය සැලැස්ම රට පුරාම ක්‍රියාත්මක කිරීම ද යහපත් ය. දරුවන් සුරැකීම මෙන්ම පරිසරයට ආදරය කරන පරපුරක් බිහි කිරීම ‘සුජාත දරුවෝ’ හි තේමාව වී තිබේ. මත්ලෝලීන් පුනරුත්ථාපනය සඳහා 2019 අයවැයෙන් කඳුවුරු පිහිටුවීමට ප්‍රතිපාදන වෙන් කරන බව ද සඳහන් විය.

මෛත්‍රී ජනාධිපතිවරයා මේ හමුවේදී පොලිසියේ අභ්‍යන්තර ගැටලු, දුක් වේදනා සමනය කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව ද කියා සිටියේ ය. නිල ඇදුමේ මතු පිටට පෙනෙන තත්ත්වයට වඩා ඉඳුරා වෙනස් ශෝකාන්ත ඒ පොලිස් නිල ඇදුම යට තිබෙන බව ද රහසක් නොවේ. රත්ගම සිදුවීම වැනි සාහසික ක්‍රියා අනුමත නොකළ යුතු අතර ම, පොලීසියේ පහළ නිලධාරීන්ගේ දුක් ගැනවිලිවලට විසඳුම් දීමේ අවශ්‍යතාව ද අප පිළිගත යුතුය. පොලිස් කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ගැන තමන් සතුටු වන බවත් ඒවායේ කාර්ය භාරය පිළිබඳ නිවැරදි වීම් අවශ්‍ය බවත් ජනාධිපතිවරයාගේ අදහස විය. පොලිස් කොමිසම සංවේදී ලෙස පොලිසියේ අභ්‍යන්තරය දෙස බලා තේරුම් ගැනීමට ක්‍රියා කළ යුතුය. දෙමළ භාෂාව කතා කරන පොලිස් නිලධාරීන්ගේ හිඟය ගැන ද ජනධිපතිවරයා මෙහිදී කළ සඳහන ඉතා අගනේ ය. දෙමළ හා මුස්ලිම් ජාතිකයන්ගේ සේවය ඒ සඳහා ලබා ගත යුතුය. ජනාධිපතිවරයා මෙම හමුවේදී අවධාරණය කළ තවත් කරුණක් වූයේ වකුගඩු රෝගය මෙරටින් තුරන් කිරීමේ අවශ්‍යතාවයි. වකුගඩු රෝග නිවාරණයට අවශ්‍ය රෝහල මෙන්ම සෞඛ්‍ය සේවා ප්‍රතිකාර ලබා දීමට ජනාධිපතිවරයා ව්‍යාපෘති කීපයක් ම ආරම්භ කර තිබේ. සිය මැතිවරණ කටයුතු සඳහා ලැබුණු මුදල් ආධාර වලින් ආරම්භ කළ වකුගඩු නිවාරණ අරමුදලින් මේ වන විට මිලියන 1500 ක් පමණ ජනතා සුවසෙතට ලබා දී තිබෙන බව ජනාධිපතිවරයා කීවේය. රත්නපුරයේ අතිරේකව ගලා යන ජල ධාරාව උතුරට ලබා දීම තම අරමුණ බව ජනාධිපතිවරයා සඳහන් කළේ අද උතුරේ ජනතාව පෙළෙන ජල හිඟයට සාධනීය විසඳුමක් ලෙස බව අමුතුවෙන් කිව යුතු නැත. මොරගහකන්ද වැනි ව්‍යාපෘතිවලින් තමන් සැලසුම් කළේ ඒ ජල අර්බුදය විසඳීම බව ද එහිදි ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදිම මැද පෙරදිග කාන්තාර ඔස්සේ තෙල් හා ජලය ලබා දී තිබේ නම් අපටද එබඳු ක්‍රම උපයෝගි කර ගනිමින් අනුරාධපුරය, වව්නියාව හරහා උතුරට ජලය රැගෙන යාමට බාධාවක් නැත.

ජනාධිපති හා මාධ්‍යවේදීන්, හිමිකරුවන් එක්ව රටේ සමාජ ආර්ථික, දේශපාලන අර්බුද මෙන්ම රටට හා ජනාතාවට අවශ්‍ය සේවා සම්පාදනය පිළිබඳව මෙබඳ කතිකාවක් සිදු කිරීමද අතිශය වැදගත් ය. දේශපාලනය සමාජ සාධනය සඳහා කැපවූ සද් ව්‍යාපාරයක් බවට පත් කර ගත යුතුය යන මෛත්‍රී දැක්ම මෙම මාධ්‍ය හමුව තුළින් මනාව තහවුරු විය. මහජන සේවයෙන් හා පරාර්ථචාර්යාවෙන් ඈත්ව දේශපාලනයක් සිදු නොකළ යුතු යන ඒ මෛත්‍රී දැක්ම කිසිවකුට බැහැර කළ නොහැකි සාධණීය එකක් බවද අවසන් වශයෙන් සඳහන් කළ යුතුය. අප්‍රේල් 3 වනදා සිදු කෙරනෙ ‘බක්මහ දිව්රුම’ සමඟ සිදුවන අලුත් වෙනස දෙස අපි බලා සිටිමු.

පක්ෂය, පාට නොතකා යා හැකි එකට

දැක්මක් අවැසි යුගයකි මේ මව් බිමට

වික් මැති පුතුනි අභිමානෙන් යුතු රටට

එක්වව් සැවොම ඒ ‘බක්මහ දිවුරුම’ ට

 

අදහස්