සුරංගනා ලෝකෙක ඉඳන් සිහින මාලිගා හදන අය-වැයක් | සිළුමිණ

සුරංගනා ලෝකෙක ඉඳන් සිහින මාලිගා හදන අය-වැයක්

මෙවර අය-වැය පිළිබඳ ‍ඔබ මොකද හිතන්නේ?

මේ අය-වැයත්, ඉකුත් වසර හතර තුළ ඉදිරිපත් කළ අය-වැයත් ජනතාවට සහන සැලසීමට ඉදිරිපත් කළ ඒවා නොවෙයි කියන-එක සාක්ෂි සහිතව පෙන්වා දෙන්න පුළුවන්. මෙයින් පැහැදිලිව පෙනෙනවා රජයට ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට නොහැකි බව. රජය සුරංගනා ලෝකෙක ඉන්නේ; සිහින මාලිගා හදන්න තමයි මේ අය-වැය ඉදිරිපත් කර ඇත්තේ. මේ ආණ්ඩුව මහින්ද රාජපක්ෂ රජයට වඩා 133 ගුණයකින් බදු අය කර තිබෙනවා. ඒ විතරක් නොවෙයි, තව පැත්තකින් ආණ්ඩුවේ නාස්තිකාර පැත්ත වැඩි කරමින් සමස්ත රාජ්‍ය වියදම 70%කින් වැඩි කරගෙන තිබෙනවා. අනෙක් කාරණය: මෙවර සෑම සහනයක්ම 'ප්‍රකාශ' විතරයි. 'දෙන්න බලාපොරොත්තු වෙනවා', 'සැලසුම් කර තිබෙනවා.' මෙහි ලැබෙන සහන හෝ පෙනෙන සහනයක් නැහැ.

මේ දිනවල මැතිවරණ කිහිපයක් පිළිබඳ කතා-බහ කරනවා. ඔබ හිතන්නේ කුමන මැතිවරණයක් පළමුව එයි කියලාද?

මේ මොහොතේ අවශ්‍ය වන්නේ මහා මැතිවරණයක් කියන-එකයි මගේ මතය. ඒත් එය පැවැත්වීමට රජයේ කිසිම සූදානමක් නැහැ. අනෙක් අතට දැනටමත් වසර එකහමාරක් පමණ කල් ගත වී තිබෙන පළාත් සභා මැතිවරණය වහා පවත්වන්න ඕනෑ. එය පවත්වන්නත් රජය සූදානම් නැහැ. ඒ වගේම රජය ජනාධිපතිවරණයද පැවැත්විය යුතුයි. ජනාධිපතිවරණය කල් දැමීම සඳහාත් කුමන ක්‍රමවේදයක් යොදාගත යුතුද කියලා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය අසාර්ථක උත්සාහයක නිරත වෙමින් සිටිනවා. මෙලෙස මැතිවරණ තුනක් පැවැත්විය යුතුව තිබුණත්, සමස්ත මැතිවරණ ක්‍රියාවලියම විකෘති කිරීමේ දැඩි ප්‍රයත්නයක රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය යෙදී සිටින බව අද ජනතාව තේරුම් ගෙන සිටිනවා.

ජිනීවා මානව හිමිකම් සැසිය සඳහා මෙන්ම ශ්‍රී ලංකාවට එල්ල වී ඇති ‍චෝදනා සම්බන්ධව ක්‍රියාත්මක වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් දෙදෙනකු ඇතුළු තිදෙනකු ජිනීවා නුවරට යැවීමට පියවර ගෙන තිබෙනවා. කුමක්ද එහි සිදු වන්නේ?

ජිනීවාවලදී මේ සියලු ප්‍රශ්න මතු වන්නේ ඇමරිකාව සමඟ 30/1 කියන යෝජනාව සම-අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉදිරිපත් කිරීම සමඟයි. ප්‍රථමයෙන් ආණ්ඩුව කළ යුත්තේ 30/1 එතනින් ඉවත් කිරීමයි. එය ඉවත් කරගැනීම සඳහා බාධකයක් නැහැ. හේතුව: එයට සම-අනුග්‍රාහකත්වය දක්වපු ඇමරිකාවත් අද එයින් ඉවත්ව තිබෙනවා. රජයට මෙය කිරීමට කශේරුවක් නැහැ. ඒකට හේතුව තමයි මේ රජය ත්‍රස්තවාදී සංවිධාන සමඟ අත්වැල් බැඳගෙන ඉන්නේ. අද ලංකාවේ එල්ටීටීඊ ත්‍රස්තවාදය ක්‍රියාත්මක නොවුණාට, එහි සෙවණැලි ඕනෑ තරම් ක්‍රියාත්මක‍ වෙනවා. ඒ අරමුණු ඉටු කරගැනීමට උත්සාහ දරන උතුරේ දෙමළ සංවිධාන, දේශපාලන නායකයන් ක්‍රියාත්මක වී සිටිනවා. මේ රජය උතුරු-නැ‍ඟෙනහිර තිබෙන ඡන්ද ප්‍රමාණය බලාපොරොත්තුවෙන් ඒ අවශ්‍යතා ඉටු කරනවා.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සෑම වසරකම මාර්තු සහ සැප්තැම්බර් මාසවල ක්‍රියාත්මක වෙමින් අප රට බේරාගත්ත රණවිරුවන් දණගස්වා ඔවුන්ට නොයෙක් චෝදනා දිගින් දිගටම එල්ල කරමින් ක්‍රියාත්මක වෙනවා. මේ වන විට දේශීය වශයෙන්ද මේ ක්‍රියාවලිය සිදු වනවා. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමට නොයෙක් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙන්නේ මේ යටතේ තමයි.

මේ තත්ත්වයෙන් රට මුදාගන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වෙනම කණ්ඩායමක් යවනවා. මා හිතන්නේ මෙවර රණවිරුවන්ට, රටට යහපතක් වනු ඇතැයි අපට බලාපොරොත්තු තබාගත හැකියි.

රැකියා විරහිත උපාධිධාරීන්, වර්තමාන සරසවි ශිෂ්‍ය-ශිෂ්‍යාවන් මෙන්ම වෘත්තීය සමිති රැසක් මේ වන විට උද්ඝෝෂණ කරමින් සිය අයිතීන් ලබා-දෙන ලෙස රජයට බල කරමින් සිටිනවා. මේ තත්ත්වය දිනෙන් දින වැඩි වනවා. කුමක්ද මෙයට ඔබ යෝජනා කරන විකල්පය?

2012න් පස්සේ අපේ ර‍ටේ උපාධිධාරීන්ට රැකියා දී නැහැ. යම් යම් බඳවා ගැනීම් දේශපාලන වාසි වෙනුවෙන් පමණක් සිදු කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ උපාධිධාරීන් 54,000කට රැකියා දීමට සමත් වුණා. මේ රජය 2017 පවසනවා උසස්පෙළින් ඉහළ ප්‍රතිඵල ගත් ශිෂ්‍ය-ශිෂ්‍යාවන් පිටරට විශ්වවිද්‍යාලයන්ට යවනවා කියලා. ඒ ‍යෝජනාවලිය මෙවරත් ඉදිරිපත් කර තිබෙනවා. ඒක හොඳ වැඩක්. හැබැයි එහෙම යවන්න ක්‍රමවේදයක් තිබෙනවා. ‘ඔක්ස්ෆ්ඩ්’ විශ්වවිද්‍යාලයට ළමයකු ඇතුළත් කරගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ කිහිපයක්ම තිබෙනවා. ඒවාට මුහුණ දීමෙන් තමයි ඇතුළත් කරගත හැක්කේ. රජය ඒ පිළිබඳ කිසිදු සඳහනක් නොකරමින්, ළමයින් මෙලෙස පිටරට අධ්‍යාපනයට යවනවා කියන්නේ සිහිනයක්. ඒත් රැකියා විරහිත උපාධිධාරින් 76,000ක් ලංකාවේ සිටිනවා. ඔවුන්ට රැකියා දීමේ කිසිදු වැඩපිළිවෙළක් මේ අය-වැයෙන් ඉදිරිපත් කර නැහැ. මේ නිසා තරුණ පරපුර සහ විරැකියාවෙන් පෙළෙන, ආර්ථික වශයෙන් වැටී සිටින ජනතාව මේ රජයට නිසි දඬුවම වේලාව පැමිණි විගස ලබා දේවි.

ඒකාබද්ධ විපක්ෂයේ සහ පොහොට්ටුවේ නායකයන් අතර අර්බුදයක් ඇති බවට රජයේ මැති-ඇමැතිවරුන් ප්‍රකාශ සිදු කරනවා. ඇත්තක්ද මේ කියන්නේ?

මැතිවරණයක් පැමිණි විගස මේ සඳහා උත්තර ලැබෙයි. එත‍කොට ආණ්ඩුවට පෙනෙයි අපි අතර කිසිදු අර්බුදයක් නොතිබූ බව.

 

අදහස්