අතට හසුවන දේ විතරක් නිර්මාණකරණයේදී යොදා ගන්න එපා | සිළුමිණ

අතට හසුවන දේ විතරක් නිර්මාණකරණයේදී යොදා ගන්න එපා

කීර්ති වැලිසරගේ කෙටිකතාකරුවෙකි; නවකතාකරුවෙකි; විචාරකයෙකි. මේ වනවිට කෙටිකතා සංග්‍රහ නවයක් ද නවකතා පහක් ද විවිධ විෂය යටතේ ලියවුණු ග්‍රන්ථ කිහිපයක් ද ඔහු අතින් රචනා වී ඇත. ඔහුගේ ප්‍රබන්ධ සාහිත්‍යය සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය, ගොඩගේ හා ස්වර්ණ පුස්තක ඇතුළු විවිධ සම්මාන රාශියක් හිමි ව ඇත. මේ සංවාදයට පාදක වන්න‍ේ සරසවි ප්‍රකාශනයක් ලෙසින් බිහි වී ඇති ‘ගිරි මුදුනක මාලිගාව’ ඔහුගේ නවතම සාහිත්‍ය විෂයයික රචනාවයි‍‍.

‘ගිරි මුදුනක මාලිගාව’ කෘතිය බිහිවූයේ කුමන පසුබිමකද?

මීට අවුරුදු ගණනකට පෙර අපේ රටේ දුෂ්කර පළාත්වලට ගිහිල්ල ඒ දුර බැහැර ප්‍රදේශවල ඉන්නා සාහිත්‍ය රසකාමීන් සමඟ අපේ අදහස් බෙදා ගන්න අවස්ථාවක් මට උදාවුණා. ඒ වගේ ම ඒ කාලෙ ‘සිළුමිණ’ පත්තරෙන් සංවිධානය කරපු තරුණ අරුණ වැඩසටහන සඳහා මම සක්‍රීය ව දායක වුණා. එතැනදී අපි සාහිත්‍ය රසකාමීන් සමඟ බෙදා හදාගත් විවිධ අදහස් හා මම පළ කරපු නොයෙකුත් අදහස් අහගෙන හිටිය එවක ‘සිළුමිණ’ ප්‍රධාන කර්තෘ සුජීව දිසානායක මහතා එම අදහස් ලිපි කිහිපයක් ලෙස පුවත්පතේ පළ කරන ලෙස මගෙන් ඉල්ලා සිටිය. ඒ අනුව මම සිළුමිණ ‘පුන්කලස’ අතිරේකයට ආරම්භයක් වශයෙන් ලිපියක් ලියුවා. එයට විශාල පාඨක ප්‍රතිචාරයක් තිබුණා. ඉන් පස්සෙ නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මම ලිපි පහක් පමණ ‘පුන්කලස’ අතිරේකයට ලියූවා. එතැනදි එවක ‘පුන්කලස’ සංස්කරණය කළ නන්දන වීරසිංහයන්ගෙන් ද මට විශාල සහයෝගයක් ලැබුණා. ඒ හැම ලිපියක් ම සරල බසින් ලියවුණ නිසා ඕනම පාඨකයකුට ඒ අදහස් ග්‍රහණය කරගන්න හැකි වුණා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍යයන්, විවිධ පර්යේෂණවල නිරත වෙලා ඉන්න නිර්මාණවේදීන්, මේ හැම කෙනෙක් අතරෙම එ් ලිපි කිහිපය සාකච්ඡාවට බඳුන් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි වර්ෂ 2002 දී ‘කෙටිකතා නිර්මාණාවලෝකන’ කෘතිය මගෙ අතින් බිහිවෙන්නෙ. එ් කෘතියට ද විශාල පාඨක ප්‍රතිචාරයක් ලැබුණා‍. පත්තරෙන් ලිපි කියවගන්න බැරි වෙච්ච අය පොත අරගෙන කියෙව්වා. ඊට පස්සෙත් මට විවිධ සඟරා හා ප්‍රකාශවලට ලිපි ලියන්න අවස්ථාව ලැබුණා. ඒ අතර සාහිත්‍ය විශේෂ කලාපය ප්‍රධානයි. මහාචාර්ය සමන්ත හේරත්ගේ ආරාධනයෙන් එ් සාහිත්‍ය විශේෂ කලාපයට වාර්ෂිකව දීර්ඝ කාලයක් ලිපි ලියුවා. මේ ලිපි තැනින් තැන තිබුණා. ඒ ලිපි කිහිපයක් හා විවිධ සඟරා හා ප්‍රකාශන සඳහා 2004 සිට මා ලියූ ලිපි 20කට ආසන්න ප්‍රමාණයක් ‘ගිරි මුදුනත මාලිගාව’ කෘතියේ නැවත සංග්‍රහ කිරීමට මම හිතුවා. මේ කෘතිය සඳහා මේ වනවිටත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. සමහර විද්‍යාර්ථීන් තමන්ගේ උසස් අධ්‍යාපන වැඩකටයුතු වෙනුවෙන් මේ කෘතිය භාවිතා කරන බව මට දන්වල තියෙනවා. ඒ ගැන මට සතුටුයි. හැබැයි මේ කෘතිය මම මීට පෙර රචනා කරන ලද කෘතිවලින් වෙනස් ලක්ෂණයක් පෙන්නුම් කරනවා.

ඒ කුමක්ද?

2002 දී මම රචනා කළ ‘කෙටිකතා නිර්මාණාවලෝකන’ කෘතියෙත් 2006 දී මම පළ කළ ‘සිංහල කෙටිකතාවේ ව්‍යුහ ලක්ෂණ පරිණාමය’ යන කෘතියෙත් අඩංගු වුණේ කෙටිකතාව සම්බන්ධයෙන් ලියවුණු රචනා සමූහයක් පමණයි. නමුත් මේ කෘතියේදී ප්‍රබන්ධ සාහිත්‍යයෙහි සාකච්ඡාවන හැම අංගයක් ම පාහේ ආවරණය කිරීමට මම උනන්දු වුණා. කෙටි කතාව ඇතුළු ව නවකතාව, ජනශ්‍රැති හා පුරාණෝත්ති භාවිතය, සිංහල ජන කතා සාහිත්‍යය ඇතුළු තවත් අංශ ගණනාවකට ම එය පැතිරී ගිහින් තියෙනවා. විවිධ ක්ෂේත්‍ර පිළිබඳ සාකච්ඡාවක් මේ තුළ අන්තර්ගත වන නිසා ආධුනික පාඨකයකු හට වුවත් ඒ සම්බන්ධ අව‍බෝධයක් වැඩි මහන්සියකින් තොරව ලබාගත හැකියි.

මෙහි අන්තර්ගත වෙන්නෙ ශාස්ත්‍රීය ලිපි සරණියක් වුණත් මෙය නම් කිරීමේදී ඒ සඳහා වෙන ම පාරිභාෂිත වචනයක් යොදා ගැනීම වෙනුවට මටත් වින්දනයක් ලැබිය හැකි නිර්මාණාත්මක නමක් යොදා ගත යුතුයි කියල මම කල්පනා කළා. ඒ අනුව තමයි මම එය ‘ගිරි මුදුනත මාලිගාව’ කියල නම් කළේ. එහෙත් එය මගේ අලුත් ම නවකතාව යැයි කියා යමකුට හිතන්නට හැකියාව තියෙන නිසා ඒ නමට යටින් ප්‍රබන්ධ සාහිත්‍ය විෂයක රචනා කියල මම එයට තව කොටසක් එකතු කළා.

මේ නාමකරණය ප්‍රබන්ධ සාහිත්‍යය සඳහා ද වලංගුයි. ඇත්තට ම සාහිත්‍ය නිර්මාණයක් කියන්නෙ කඳු මුදුනක තියෙන මාලිගාවක්. ඒ මාලිගාව ප්‍රභාවත් ව, දීප්තිමත් ව යුගයෙන් යුගයට බැබළෙනවා. ඒ වගේ ම එය ඉතා ශක්ති සම්පන්නයි. කඳු මුදුනක තියෙන මාලිගාවක් වගේ ‍උසස් සාහිත්‍ය නිර්මාණයක් ද හාත්පස ආලෝකවත් කරනවා; එය කවදාවත් වැටෙන්නෙ නැහැ. ප්‍රබන්ධ සාහිත්‍යයෙහි තිබෙන ඒ අද්විතීය ගුණ ලක්ෂණය ධ්වනිත කරන්න තමයි මට ඕනෑ වුණේ. ඒ නිසා ඒ නම ඒ කෘතියට ගැළපෙනවා කියල මම හිතනවා. ඒ නාමකරණයන්හිම කිසියම් වින්දනාත්මක බවක් අන්තර්ගත වෙනවා.

වර්තමානයෙහි පළ වන ශාස්ත්‍රීය කෘති සම්බන්ධයෙන්, ඔබේ අදහස කුමක්ද?

ශාස්ත්‍රීය කෘති පළ වෙනවා. හැබැයි ඒ කෘති පරිශීලනය කරනවද කියන ගැටලුවක් තියෙනවා. අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාල හෝ බාහිර ආයතන හෝ වෙනත් පශ්චාත් උපාධි ආයතන තුළ සාහිත්‍ය ධාරාවෙන් කටයුතු කරන උදවිය ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා ශාස්ත්‍රීය කෘති භාවිත කරනවා ඇති. එහෙත් බාහිර සමාජය මෙවැනි කෘති සඳහා අඩු අවධානයක් ඇති බව තමයි පෙනෙන්නට තියෙන්නෙ. ඒ නිසා මම හිතනව ඉතා ගැඹුරු ශාස්ත්‍රීය කරුණු වුණත් සරල බස් වහරකින් ඉදිරිපත් විය යුතුයි කියලා. අනවශ්‍ය ප්‍රමාණයට දුරවබෝධ ස්වරයකින් ආමන්ත්‍රණය වුණොත් මේ තත්ත්වය තවත් නරක අතට හැරෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් කවියක් කියවන, නවකතාවක් කියවන, කෙටිකතාවක් කියවන අපේ රසික සමාජයට ද ආධාර උපකාර වන විදියේ ශෛලියකින් එය ඉදිරිපත් වුණොත් එය ග්‍රහණය කර ගැනීමට ඔවුන් පෙලඹේවි. ඒ නිසා තමයි මම මේ කෘතියෙදි ඉතා සරල ද නොවන ඉතා ශාස්ත්‍රීය ද නොවන මැද මාවතේ භාෂා ශෛලියක් යොදා ගත්තෙ. ඒ නිසා මම හිතනව එවැනි ශෛලියකින් විචාර කෘති පළවුණොත් ඒ වගේ ම තරුණ ප්‍රජාවගෙ වයස් මට්ටමට ගැළපෙන ආකාරයට රචනා වුණොත් ශාස්ත්‍රීය කෘති පරිශීලනයට නැවත පාඨක ප්‍රජාව ඇදිල එයි. අති සරලත් නොවී අති ගැඹුරුත් නොවී ඕනම අදහසක් අපිට කියන්න පුළුවන්. මම උත්සාහ කළේ එවැනි තැනකට පාඨකයාව රැ‍ගෙන එන්න. ඒ නිසා තමයි අන්තර්ගතය වශයෙන් ගැඹුරු වුණත් ආකෘතික වශයෙන් සරල ශෛලියක් මම අනුගමනය කළේ.

වර්තමානයෙහි වැඩි අවධානයට ලක් නොවන මඩවල එස්. රත්නායක හා මහගමසේකරගේ කෙටිකතා පිළිබඳ ඔබ දක්වන අවධානය ඉතා වැදගත්.

අද අපි කියනවා අපේ කෙටිකතාව ඉතා දියුණු තලයක පවතිනවා කියලා. එහෙත් වර්තමාන කෙටිකතාවෙ ස්වභාවය තීරණය වීමට පුරෝගාමී වූ විශාල පිරිසකගෙ දායකත්වය අද අමතක වෙලා තිබෙනවා. ඔවුන් අතුරින් දෙදෙනෙක් තමයි සේකර හා මඩවල. මේ අය අමතක කරල අපිට කෙටිකතාව ගැන ආපසු හැරී බලන්න පුළුවන්කමක් නැහැ. මඩවල එස්. රත්නායක විසින් කෙටිකතා කෘති 9 ක් පමණ රචනා කර තිබෙනවා. ඒ හැම කෘතියක ම එන හැම කෙටිකතාවක් ම වගේ කෙටිකතාවේ ශිල්පීය පක්ෂය, අන්තර්ගතය, ක්‍රමවේද, භාෂාව හා පරිකල්පනය යොදා ගත් ආකාරය යන හැම කරුණක් ගැන ම අප අවධානය යොමු කළොත් එමඟින් ළඟා කර ගත හැකි දැනුම විශාලයි. නමුත් මෙවැනි කරුණු පිළිබඳ වර්තමානයෙ කවුරුත් හොයා බලන්නෙ නැහැ. ඒ අනුව කෙටිකතාව පිළිබඳ කතා කරන කොට මඩවල ගැන සඳහන් නොකිරීම බරපතළ කාරණයක්.

මඩවල හා සංසන්දනය කරන කොට සේකර අතින් ලියවෙලා තියෙන කෙටිකතා සංඛ්‍යාව ප්‍රමාණාත්මක ව අඩුයි. සේකර විවිධ අංශයන්හි දරපු කීර්ති කදම්භය නිසා කෙටිකතාව සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක කාලයක් යොදා ගන්න බැරි වෙන්න ඇති කියල මම හිතනවා. ඒ වුණත් ඔහු නිර්මාණය කරපු කෙටි කතා කිහිපය තුළ අපූරු ප්‍රතිභාවක් දක්නට පුළුවන්. ඒ කතා අධ්‍යයනයෙන් ද අපිට අලුත් වින්දනයක් ලබා ගැනීමට හැකිවෙනවා. ඒත් සේකර නිර්මාණකරණය යෙදුණු 70 දශකයේ ඇතිවුණු විවිධ සමාජ චලනයන්ගෙ ආලෝකය තම සාහිත්‍ය ධාරාවෙ ප්‍රකාශනයක් සඳහා යොදා ගැනීමට ඉඩක් නොලබා මිය යෑම විශාල කණගාටුවක්.‍ ඔහු තවදුරටත් ජීවත්වුණා නම් විශේෂයෙන් ඔහුගෙ කෙටිකතාව තුළ 70 දශකයෙ සමාජ චලනයන්ගෙ ආලෝකය ලබාගන්න හැකියාව තිබුණා. ඒ දෙස බලා තමන්ගෙ කෙටිකතාව පෝෂණය කළ හැකිව තිබුණා.

මොවුන් දෙදෙනා හැරුණු විට අපේ කෙටිකතාව පෝෂණය කළ පූර්වගාමී නිර්මාණකරුවන් රාශියක් සිටිනවා. නමුත් මඩවල හා සේකරගෙ කෙටිකතා පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු නොවන නිසා එය සටහන් කිරීමට මට අවශ්‍ය වුණා. මොකද අතීතය අමතක කරල අපට ගමනක් යන්න පුළුවන් කමක් නැහැ.

ඔබගේ විග්‍රහයට අනුව අපේ නවකතාව මේ ගත කරන්නෙ පස්වන පරිණාමීය යුගය.

ඔව්. විවිධ යුග පහු කරගෙන ඇවිල්ල අපි මේ වෙනකොට සිංහල නවකතාවෙ පස්වන පරිණාමීය යුගය ගත කරනවා. ඒ යුගය එතෙක් පැවැති විකාශනයට වඩා සාධනීය ලක්ෂණ පෙන්නුම් කරන යුගයක් බවට පත්වෙලා තියෙනව‍‍ා. එක අතකින් චිරන්තන සාහිත්‍යයෙන් කෙරිල තියෙන බලපෑම. අනෙක් අතින් කාලයක් තිස්සේ අපට ලැබුණු රුසියානු, ප්‍රංස, ඉංග්‍රීසි, පරිවර්තන සාහිත්‍යය මෙන් ම වර්තමානයේ බහුලව පෙනෙන ලතින් ඇමෙරිකානු, අප්‍රිකානු හා ජපන් වගේ ම ඉන්දියානු සාහිත්‍ය ශානරයන්ගෙන් අපට ලැබිල තියෙන ආභාසය. ඒ වගේ ම පශ්චාත් නූතනවාදී විචාර මාර්ගයක් ඇතුළු අනෙකුත් විවිධ විචාර මාර්ගයන්ගෙන් අපට ලැබිල තියෙන ආභාසය මේ හැම සාහිත්‍ය විධික්‍රමයක ආභාසයෙන් තමයි වර්තමාන නවකතාව බිහිවෙලා තියෙන්නෙ. මම කියන්නෙ නැහැ එය සියයට සියයක් ම සාර්ථකයි කියලා. ඒ වගේ ම අපේ නවකතාව උපරිම තලයට ළඟා වෙලා තියෙනව කියලා. නමුත් නවකතාව අද වෙනකොට අතිසරල ඒකමානීය කථා ප්‍රවෘත්තියෙන් ඔබ්බට ගිහින් තියෙනවා. එය බහු අරුත් දනවන බහු ශාබ්දික නිර්මාණයක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා වර්තමාන නවකතාව පුළුල් වියමනක් සහිතයි. ඒ පිළිබඳව මේ මේ කෘතියෙහි ලේඛකයන් කිහිප දෙනෙකුගේ නිර්මාණ උදාහරණයට ගෙන සාකච්ඡා කර තිබෙනවා. එහිදී වැදගත් ලේඛකයන් හැම කෙනෙක් පිළිබඳ ව ම කතා කරන්න ඉඩ ප්‍රස්ථාව නැහැ. එහ‍ෙත් මෙහි දෙවැනි මුද්‍රණයන් හිදී මට මේ කෘතියෙ සාකච්ඡා කරන්න බැරි වුණු තවත් කිහිපදෙනෙකුගෙ නවකතා පිළිබඳ මම කතා කරන්න හිතාගෙන ඉන්නවා.

නිර්මාණකරුවකු විචාරකයකු වීම බරපතළ කරුණක් නොවේද?

ඔව්. ඒත් අපිට ඒ අංශ දෙකෙහි ම නිරත වෙච්ච ප්‍රධාන පූර්වගාමීන් කිහිප දෙනකු සිටිනවා. ඒ වගේ ම වර්තමානයෙ ද නිර්මාණ කටයුතුවල නිරත වන ගමන් ම විචාරයෙ යෙදෙන ඉතා වැදගත් පුද්ගලයන් කිහිප දෙනෙකු ද සිටිනවා. ඔවුන් හා සම කරන කොට මම කරන්නෙ ඉතා සුළු මැදිහත්වීමක් කියලයි මට හිතෙන්නෙ. සැමදාම පවතින උස් මිනිසුන් නෙළාගත් ඵල විෂයයෙහි අඟු‍ටුමිට්යකු අත එසවීමක් වැනි කාර්යයක් තමයි මම කරන්නෙ.

මම විචාරයට ප්‍රවිෂ්ට වෙන්නෙ රසිකයකුගෙ මට්ටමෙන් මිසක් නිර්මාණකරුවකුගෙ මට්ටමෙන් නොවෙයි. කෘතියක් පිළිබඳ අදහසක් දැක්වීමේ අයිතිය මට තිබෙනවා. එහෙත් එවැනි අදහසක් පළ කරන කොට මම ඉතා පරිස්සම් වෙනවා. ඒ වගේ ම තමයි වර්තමානයෙ පවා නිර්මාණකරණය පිළිබඳ අධ්‍යයනයෙහි යෙදෙන පර්යේෂණ කරන ඒ වගේ ම කැපවීමකින් එහි නිරත වන අලුත් පරම්පරාවක් ද අපට දැකගත හැකියි. එහෙම නොවී ක්ෂණිකව නිර්මාණයකරණයට එළැඹෙන අයට මට කියන්න තිබෙන්නෙ ඉහත මම සඳහන් කරපු ලක්ෂණ සහිත තම සමකාලීන සගයන්ගෙන් යම් ආභාසයක් ලබාගෙන තම දෘශ්‍යමානයේ ඇති අතට අසුවන සුළු මෙවලම් පමණක් භාවිත නොකොට දෘශ්‍ය මානය අතික්‍රමණය කරන ලෙසයි.‍

 

අදහස්