අවිවාහක කාන්තාව | සිළුමිණ

අවිවාහක කාන්තාව

විමල් දිසානායක කවියාගේ දසවන කාව්‍ය සංග්‍රහය ඉතිහාසය සිනාසෙයි නමින් සරසවි ප්‍රකාශනයක් ලෙස පාඨකයන් අත පත්වී තිබේ. කල්ප විනාසය (1965) කාව්‍ය සංග්‍රහයේ පටන් 2017 වර්ෂයේ පළ කරන ලද ජයසිරිගේ සමුගැනීම (ආඛ්‍යාන කාව්‍යය) තෙක් නිර්මාණ සංග්‍රහ අතර, විවිධ සම්මාන උලෙළ (රාජ්‍ය සාහිත්‍ය හා ගොඩගේ) සම්මානිත කාව්‍ය සංග්‍රහ රැසකි. ඉතිහාසය සිනාසෙයි නම් ඔහුගේ නවතම කාව්‍ය සංග්‍රහය අපූර්වත්වයෙන් යුත් කලාත්මක පද්‍ය නිර්මාණ රැසක් හමු වන විශිෂ්ට කාව්‍ය සංග්‍රහයක් ලෙස හඳුන්වනු කැමැත්තෙමි. කාව්‍ය සංග්‍රහය ආරම්භයේදීම කාව්‍ය රචනයක් අගය කළ යුත්තේ කෙසේද යන ප්‍රශ්න දහයක් අතර වූ මේ ප්‍රශ්නයට පිළිතුරු සැපයේ යැයි හැඟෙන නිර්මාණයක් කවි සමයට එක් වේ. අදාළ ප්‍රශ්නය මෙසේය. ‘සංකීර්ණ අත්දැකීම් හා වින්දන මතුකොට දැක්වීමට කවියාට හැකිවේද” යන ප්‍රශ්නයට අවිවාහක කාන්තාව නම් මේ පද්‍ය කාව්‍යයෙන් පිළිතුරු සොයා ගැනීමට හැකිවේය යන්න මගේ හැඟීමයි. මේ ප්‍රශ්නයට මෙන් ම කවියා නගන අනෙක් ප්‍රශ්නවලට ද පිළිතුරු අඩු වැඩි වශයෙන් මේ නිර්මාණය සපයයි.

ජනෙල් පියන් හැර හෙමිහිට

එබී බලයි ලෝකය දැන්

තිලකා දෙස විමසිල්ලෙන්

තනිකම තුළ ඈ ගිළිලා

පාළුව පැතිරෙයි සැඬ ලෙස

ගංවතුරක් විලාසයෙන්

ගිය සතියේ අල්ලපු ගේ

විසි හැවිරිදි වියට පිවිසි

කුමාරි උත්සවයක් මැද

විවාපත් වුණා සතුටින්

තිලකා තිස් පස් හැවිරිදි

තනිකම තව නොබිඳ සිටියි

පියා මහත් දුකින් සිටියි

ඊතල මත වචන එවයි

මව දුක සේ සුසුම් අතර

සඟවාලයි වචන එමට

ඔබ පමණයි එක දියණිය

අප නැති කල ඔබ රකින්නෙ

කවුද කියා සිතන්න දුව

ඇයගේ මව හා පියා ද

නිතර කියත් මෙබස් කටුක

තිලකා න‍ෑ විවාහයට

කැමති බවක් පෙන්වන්නේ

ගිය මාසෙත් සොයා ආව

මනමාලයා බැහැර කළා

ඉන්ද්‍රඛීලයක් සේ දැඩි

නොසැලේ ඇගෙ දැඩි අදිටන

ඇයගේ මිතුරියන් එමට

විවාහ වී විඳිනා දුක්

ලෝදිය පිරි නිරයේ දුක්

දැක දැක ඈ විවාහයට

පයින් ගැසුම පුදුමයක්ද?

කවුළු පියන් වසා සෙමින්

ලෝකය යයි හිස සලමින්

ඇති තතු මෙහි වටහාගෙන

පිළිගන්නට බැරි මුත් එය

තනි යහනෙහි මහලු වෙමින්

ඈ දින දින කාලය මැද”

කවියෙන් නිරූපිත කතා නායිකාව තිලකා තිස්පස් හැවිරිදි ය. අවිවාහකය. විවාහය ප්‍රතික්ෂේප කරන්නියකි. නිසි කල විවාහ වීමට අවස්ථාව නොලැබෙන කාන්තාවන් පිළිබඳ පුවත් අපූර්ව නොවේ. සුලබයි. එහෙත් කවියාගේ විෂයගත කාන්තාව විවාහය ප්‍රතික්ෂේප කරන්නියකි. දෑවැදි ප්‍රශ්න, වෙනත් සමාජීය ප්‍රශ්න චරිතය පිළිබඳ වැනි ප්‍රශ්න මත විවාහය පමා වන කතුන් හා එවන් ප්‍රශ්න නොවී ද විවාහය ප්‍රතික්ෂේප කරන කාන්තාවන්ගේ ප්‍රශ්නය වෙනස් ය. සංකීර්ණයය. කවියා එම සංකීර්ණ අත්දැකීම තෝරා ගනී. කවියා තිලකා නොදකී. ලෝකය ඈ දෙස බලන අයුරින් ඇගේ ජීවිතය පාඨකයනට දකින්නට සලස්වයි. ජනෙල් පියන් හැර හෙමිහිට තිලකා දෙස එබී බැලූ ලෝකය කවුළුපියන් සෙමෙන් වසා හිස සලමින් යයි.

ලෝකය පිටව යන්නේ කෙසේද? අවිවාහක කාන්තාව පිළිබඳ, පිළිගන්නට නොහැකි වුවත් ඇගේ ජීවිතය පිළිබඳ තතු වටහාගෙන ය. අතිශය සංකීර්ණ පුද්ගල මනෝ භාවයක තතු විමසමින් එම චරිතයට අත්වන ඉරණම දකින්න යැයි වැනි ඉල්ලීමක් කවියා විසින් කරනු පෙනේ. තිලකා නම් වූ කවියා විසින් නිර්මිත අවිවාහක කාන්තාව පාඨක අනුකම්පාවට ලක්වේ. පාඨකයා ලබන්නේ සොම්නස් සහගත වින්දනයක් නොවූවත්, හුදෙකලාව ප්‍රිය දැඩි සිතැති මේ ගැහැනිය කෙරෙහි දයානුකම්පාවක් ඇති වනු දැනේ.

කවියාට සුපුරුදු ශෛලිය වන සංකල්ප රූප මඟින්, රූපකාර්ථවත් භාෂා භාවිතයෙන් කවියෙහි මුඛ්‍යාර්ථය කුළු ගන්වනු පෙනේ. තනිකම තුළ ඈ ගිළිලා, පාලුව පැතිරෙයි ගං වතුරක් විලස, යෙදුම් හුදෙකලාවක වෙසෙන කාන්තාව පිළිබඳ අපූරු චිත්‍රයක් මැවීමට සමත් වෙයි.‍ අසල්වැසි, ඇයට වඩා වයසින් අඩු යෞවනියෝ විවාහ වෙති. එහෙත් තිලකා තනිකම නොබිඳ සිටියි. පියා හා මවට, තනි වී සිටින්නට කැමති දියණිය ප්‍රශ්නයකි.‍ ඔවුහු ඇගේ අනාගතය පිළිබඳ බිය වෙත්.

‘ඔබ පමණයි එක දියණිය

අපි නැති කල ඔබ රකින්නෙ

කවුද කියා සිතන්න දුව

ඇ‍යගේ මව හා පියා ද

නිතර කියත් මෙබස් කටුක

ඔවුන් ඈ වෙතට ගෙනෙන මනාලයන් බැහැර කරන්නේ ඉන්ද්‍රඛීලයක් ලෙසින් සිත දැඩි කරගෙනයි. විවාපත් ඇගේ මිතුරියන් විවාහ වී ලෝ දිය පිරි නිරයක මෙන් දුක් විඳින බව හේතු ලෙස දක්වන ඇය විවාහයට පයින් ගැසීම පුදුමයක් දැයි ප්‍රශ්න නගනු පෙනේ. සංකීර්ණ වූ මානුෂික ප්‍රශ්නය දෙස බලන කවිය ඊට විසඳුම් ඉදිරිපත් නොකරයි. එහෙත් ඈ කෙරෙහි, තිලකා නම් අවිවාහක කාන්තාව වෙත දයාර්දු බැල්මක් හෙළයි.

තනි යහනෙහි මහලු වෙමින්

ඈ දින දින කාලය මැද

තනි යහන කාන්තාවකගේ පැතුම් නොඉටු වූ ජීවිතයක සංකේතයක් වැන්න. ඈ කාලය සමඟ දිනෙන් දින මහලු වීම දකින්නට පාඨකයන් අකැමැතියි. අත්දැකීමෙහි සංකීර්ණ බව කිහිප අංශයකින් නිර්මාණය වේ. තනි වී ජීවත්වන ගැහැනිය, ඈ නිසා දුකට පත්ව සිටින මවුපියන්, එකම දියණිය වූ තිලකාගේ අනාගත ජීවිතය, ඔවුන් නොමැති කල කිනම් රැකවරණයක් වේද යන සිතිවිල්ල විවාහය පිළිකෙව් කිරීමට තිලකා දක්වන හේතු තුළ ඇති සාධාරණත්වය ආදිය සංකීර්ණ චිත්‍රයේ දෘශ්‍ය රූප වේ. කවියාගේ පරිකල්පනීය ගුණයේ ප්‍රභාව මෙන් ම භාෂාවෙහි ජීව ගුණය ද කවියේ ජීවිතානුභූතිය අර්ථවත් කරයි.

පියා මහත් දුකින් සිටියි

ඊතල මත වචන එවයි

මව දුක සේ සුසුම් අතර

සඟවාලයි වචන එමට

විමල් දිසානායක කවියාගේ බොහෝ පූර්ව පද්‍ය නිර්මාණ තුළ පාඨකයන් අත්විඳි කාව්‍යමය ප්‍රතිභාව, ගුණය යළි විඳින්නට සමත් නිර්මාණයකි.

අදහස්