කරුණාවට පාර කියන රසල් චින්තනය | සිළුමිණ

කරුණාවට පාර කියන රසල් චින්තනය

එදා මෙදා තුර ලොව පහළ වූ චින්තකයෝ, දාර්ශනිකයෝ ගණනාවක් ම සිටිති. ඔවුන් විසින් මිනිසාගේ චින්තනයට කරනු ලැබ ඇති බලපෑම් බොහෝ ය. විශ්වයේ ස්වභාවය, මිනිස් ජීවිතය, සමාජ අසමානතා, අසමතුලිතතා හා ප්‍රාග්ධනය ආදී වූ විවිධ ක්‍ෂේත්‍ර දෙස නව මානයකින් බලා, එළිදක්වා ඇති ඒ අවධාරණයන් අපට මාර්ගෝපදේශ සපයයි. එහෙත් ඒවා අපට සමීප වන්නේත් අපට ඒවා ආකර්ෂණීය වන්නේත් අප තුළ මුල් ඇදී ඇති අදහස්, උදහස්, මතවාද ඒවා සමඟ ගැළපී යන තරමට ය.

ලෝකය දෙස, මිනිස් වර්ගයා දෙස (එහෙත් නැතහොත් ලෝක සත්ත්වයා දෙස) දයා කරුණාවෙන් යුතුව බලන චින්තකයෝ අතළොස්සක් ද මේ අතර වෙති. බොහෝ විට ඒ ආගම් ශාස්තෘවරු ය. මනුෂ්‍ය වර්ගයාගේ යහපත සඳහා සොබාදහම ජයගත යුතු බව, මිනිස් පරිභෝජනයට සුදුසු වන පරිද්දෙන් සියල්ල ආණ්ඩුමට්ටු කළ යුතු බව මෙන් ම එහිදී සත්ත්ව ඝාතන සිදුකිරීමේ අනිවාර්ය අවශ්‍යතාව ද තර්කානුකූලව පෙන්වා දෙන්නෝ මේ අතර සිටිති. සමාජ අසමානතා තුරන් කිරීමේ දී ඒ සඳහා යන ගමනේදී වැඩිදෙනකුන්ගේ යහපත සඳහා කිසියම් කොටසක් (කණ්ඩායමක්) ඝාතනය කිරීම සාධාරණීකරණය කෙරෙන අවස්ථා ද තිබේ.

හැමදෙනාටම නොවරදින ඔසුවක් මෙතුවක් නිර්මාණය වී (නිෂ්පාදනය වී) ඇතැයි එකඑල්ලේම කිව හැකි නොවන මුත් අප ජීවත්වන මේ පෘථිවිය නොනැසී පවත්වාගෙන යාම සඳහා වර්තමාන ලෝකයට මෙන් ම අනාගත ලෝකයටත් නැතිවම බැරි වන්නේ දයාකරුණාව ම බව පැහැදිලි ය. එය මැනවින් පෙනීයන්නේ ඉතිහාසය දෙස හැරී බලන විට ය. එදා මෙදා තුර සිදුව ඇති දහස් සංඛ්‍යාත යුද්ධ, කැරලි, විප්ලව හේතුවෙන් ඝාතනයට ලක් වී ඇති නිර්දෝෂී මිනිසුන්ගේ සංඛ්‍යාව අතිවිශාල ය.

ලෝකයේ සිදු වූ දැවැන්ත විප්ලව හේතුවෙන් මිනිස් ජීවිතයේ සාධනීය වෙනස්කම් සිදු වූ තරමට ම එහි අතුරුඵල වශයෙන් නි‍ෙෂ්ධනීය තත්ත්වයන් ද උද්ගත වී තිබේ. මෙහිදී ඒ ඒ යුගයේ සමාජ අසාධාරණයට වගකිව යුත්තන් කෙරෙහි මෙන් ම ඊට කොහෙත්ම වග කිව යුතු නොවූවන් කෙරෙහි ද මුදා හැරී ඇත්තේ එක හා සමාන වූ නපුරකි. පුඵල්ව සිතා බලන කල ඇතැම්විට ඒ වගකිව යුත්තෝ ද අසරණයෝම ය. මේ පිළිබඳ එක් සරල උදාහරණයක් පෙන්වා දිය හැකි වන්නේ ප්‍රංස විප්ලවයේදී ගිලටීනයට ගෙල දුන් මාරි ඇන්ටනට් බිසවගේ චරිත කතාවෙනි. එය අතිශයින් ශෝචනීය වූ කඳුඵ කතාවකි.

ඔස්ට්‍රියාවේ අධිරාජිනියගේ දූ කුමරිය වූ මාරි ඇන්ටනට්, ලෝකය දැක තිබුණේ, හඳුනා තිබුණේ මාලිගයේ සීමාමායිම් අතරේ ය. ජීවිතය පිළිබඳ අත්දැකීම්වලින් තොරවූ ඈ උදාසීන රජෙකුගේ මෙහෙසිය වී දරු දෙදෙනකුගේ මවක බවට ද පත්වූවා ය. දරුවනට දැඩිසේ ආදරය කළ මේ මව වෙතින් දරුවන් බලහත්කාරයෙන් පැහැර ගැනුණේ විප්ලවයේ එක් අවස්ථාවකදී ය. තමාගේ ඇකයෙන් වෙන් කර ඔසවාගෙන යද්දී කුඩා පුතු මහහඬින් හඬා වැළපුණු මුත් ඉතා කෙටි කලකින් ඔහු තමාට වෛර කරන්නට වූයේ යැයි මාරි ඇන්ටනට් සිය ස්වයං චරිතාපදානයෙන් අනාවරණය කරයි. මව සැතිරියක සේ දරුවන්ට ඒත්තු ගන්වා තිබුණේ ඔවුනට ලබා දී තිබූ කුරිරු අභ්‍යාසයකදී ය.

මාරි ඇන්ටනට් බිසවගේ අවසාන මොහොතේ ගිලටීනය වෙත ඇය කැඳවාගෙන යන අතරේ අලුගෝසුවාගේ ලෝගුව වැරදීමකින් පෑගී තිබේ. ‘අනේ සමාවෙන්න. හිතල කළේ නෑ’ යනුවෙන් ඇය සිය කනගාටුව ගහලයාට ප්‍රකාශ කළ බව ප්‍රකට ය. ඒ ඇය දැන සිටි, ඇයට උගන්වා තිබූ හැදියාවට සිරිත්-විරිත්වලට අනුකූලව ය.

තමන්ගේ උපත කිසිවකුටත් ඉල්ලාගත නොහැකි ය. කුමන හේතුවක් නිසා හෝ මාලිගාවල උපත ලබන බහුතර කුමර කුමරියෝ ලෝකය පිළිබඳ, සමාජ අසාධාරණය පිළිබඳ සියලු තතු දැන නොසිටිති. එහෙත් යුද්ධ, කැරළි, විප්ලව අතරේ ඔවුනට ක්රූර වධබන්ධන පමුණුවා ඇත්තේ මෙවැනි සාධක සැලකිල්ලට ගෙන නොවේ.

හමුදා, පොලීසි මෙන් ම කැරලිකරුවන් හා විප්ලවවාදීන් විසින් ද ක්රූරත්වය මුදාහරිනු ලැබ ඇත්තේ ම්ලේච්ඡ ලෙස ය. විප්ලවයේ පසුකාලීන කතා බෙහෙවින් වේදනාකාරී වන්නේ ඒ නිසා ය. බොහෝ විප්ලවවාදීන්ගේ අදහස වන්නේ ‘ආගම්‘ ලෝකයට බිහිනොවූයේ නම් ලෝකය වඩා යහපත් වන බව ය. ඒ, නිදහසේ සිතන්නට ඉන් අවකාශයක් විවර වන නිසා ය. ‘කාර්ල් මාක්ස් ආගම අබිං’ යැයි පුඵල් අර්ථයෙන් කළ අවධාරණය සරලව ගනිමින් ඇතැමුන් විවිධ තර්ක ඉදිරිපත් කළ ද ආගම්වලින් තොර ලෝකයක, අනාගමික සමාජයක ක්රූරත්වය හා ප්‍රචණ්ඩත්වය ද වර්ධනය වීමට ඇති අවකාශය විශාල යැයි අපි සිතමු. ඒ, ‘මිනිසා’ යනු අසම්පූර්ණ සත්ත්වයකු වන නිසා ය. මිනිසාට පූර්ණත්වයට පත්වීම සඳහා ඔහුගේ ආයුකාලය සෑහෙන්නේ නැත. අනෙක් අතට සෑම මිනිසකු තුළම තිරිසන් ස්වභාවයක් අඩුවැඩි වශයෙන් නිදන්ගතව පවතී. නීතියට ඔහු අවනත වන්නේ බිය නිසා මිස අවංකව හෝ හෘදසාක්ෂිය හේතුවෙන් හෝ නොවේ. පෙර කල විවෘත ස්ථානයකදී සොරුන් එල්ලා මරනු බැලීමට රැස්වූ පිරිස අතරේ සිටි ඇතැමුන් ඒ පිරිස වෙතින්ම යම් යම් දේ සොරකම් කළ බව අප අසා තිබේ. මෙය නීතියේ අංගවිකලභාවයට දෙස් දෙන ඉතා ප්‍රකට නිදසුනකි.

ආගම සමඟ මිනිසුන් කරන ගනුදෙනුව තරමක් දුරට හෝ ඊට වඩා වෙනස් ය. එය හෘදසාක්ෂිය සමඟ ද කිසියම් දුරකට බැඳීගත්තකි. මෙය බුද්ධිය හා මුග්ධභාවය පිළිබඳ ප්‍රශ්නයක් ලෙස ලඝුකොට තැකිය යුතු නොවන්නේ ක්රූරත්වය හා ඝාතනය පිටුදැකීම ඒ සියල්ලට වඩා ප්‍රමුඛ වන නිසා ය. මේ සඳහා අත්‍යවශ්‍ය පසුබිම් සාධකය වන්නේ මෛත්‍රීකරුණාව ම බව මේ වන විට මුඵ ලොවම ඒත්තු ගනිමින් සිටී.

මේ අදහස අතැඹුලක් කරගත් මෑතකාලීන චින්තකයා ලෙස අප හඳුනාගන්නේ සමාජවාදියකු තරමටම සාමවාදියකු ද වූ බි්‍රතාන්‍ය ජාතික බර්ට්‍රන්ඩ් රසල් (1872-1970) ය. ‘ඉතිහාසය සහ දැනුම පිළිබඳ රසල්ගේ මතය’ නම් වූ අගනා කුඩා ග්‍රන්ථය කියවන ඕනෑම කෙනෙකුට අප මුලින් කී සියල්ල පිළිබඳ යම් යම් ඉඟි සැපයෙනු ඇතැයි අපි සිතමු.

රසල් සිය ජීවිතයේ අවසාන කාලය ගතකළේ වේල්ස්හිදී ය. අවුරුදු 98 ක දීර්ඝ හා අර්ථවත් දිවි ගමන මුඵල්ලේ, මියයන මොහොත දක්වාම මනා සිහිකල්පනාවෙන් යුතුව පසු වූ රසල්, ඊශ්‍රායලය විසින් මැද පෙරදිග කලාපයේ සිදු කරනු ලැබූ ආක්‍රමණය හෙළා දකිමින් හා ඊශ්‍රායලය ආක්‍රමණකාරීව නතුකරගත් ප්‍රදේශවලින් ඉවත්විය යුතු බව අවධාරණය කරමින් යට දැක්වෙන ප්‍රසිද්ධ ප්‍රකාශය නිකුත් කළේ මරණයට දින දෙකකට පෙර ය.

මෙහිදී පලස්තීන ජාතිකයන් මුහුණ පා සිටින ඛේදවාචකය වන්නේ විදේශ බලවේගයක් විසින් ඔවුන්ගේ රට තුළ වෙනත් ජාතියකට රටක් ගොඩනගා ගැනීමට ඉඩදී තිබීමය. එහි ප්‍රතිඵලයක් ලෙස සිය දහස් ගණන් අසරණ මිනිසුන් ස්ථීර ලෙස තමන්ගේම වූ රටක් නැති පිරිසක් බවට පත්වී තිබේ.

සෑම ගැටුමක් අවසානයේදී ම මෙම සංඛ්‍යාව වර්ධනය වේ. හිතුවක්කාර ලෙස ක්‍රියාත්මක කරනු ලබන මෙම ක්රූරත්වය කෙතරම් කලක් ලෝකයට ඉවසා සිටිය හැකිද? යුදෙව් සරණාගතයන්ට ඔවුන් ආරම්භයේදී පලවා හරිනු ලැබූ දේශයට ආපහු යාමට අයිතියක් තිබෙන බව සක් සුදක් සේ පැහැදිලිය. කෙළවරක් නැතිව සිදුවන මෙම ගැටුම්වලට මුල්වී ඇති ප්‍රධාන හේතුව වී තිබෙන්නේ එම අයිතිය අහිමි කර තිබීමය. මෙලොව ජීවත්වන කිසිවෙක් තමන් උපන් දේශයෙන් තොග ගණනින් පලවා හරිනු ලැබීම පිළිගන්නේ නැත. ඒ කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් අන් කිසිවෙක් නොඉවසන සුඵ දඬුවමක් පලස්තීන ජාතිකයන් මත පැටවීම ඔවුන් විසින් භාරගැනීමට සූදානම් යයි පිළිගත හැක්කේ කෙසේද? මැදපෙරදිග කලාපයේ උද්ගතව වී තිබෙන මෙම ගැටුමට අවංක වූත්, තිරසර වූත් විසඳුමක් ලබාදිය හැක්කේ සරණාගතයන්ගේ අර්බුදයට විසඳුමක් ලබාදීමෙන් පමණි. එනම්, ඔවුන්ට, ඔවුන්ගේ මුල් දේශයේ යළි පදිංචිවීමට අවකාශය සලසා දෙන ස්ථිරසාර හා සාධාරණ විසඳුමක් ලබාදීමෙන් පමණි. යුරෝපයේ වෙසෙන යුදෙව් ජාතිකයන් නාසිවාදීන්ගේ පීඩනයට ලක් වන නිසා ඊශ්‍රාලයට සහයෝගය ලබාදිය යුතු බවට යුරෝපයේ ජීවත්වන අපට නිතර කියනු ලැබේ. එනමුදු, අද ඊශ්‍රායලය කරන දේවල්වලට ඔවුනට සමාව දීමට අපට නුපුඵවන. වර්තමානයේ සිදුකෙරෙන බිහිසුණු ක්‍රියා සාධාරණීකරණය කිරීම පිණිස අතීත සිදුවීම් හේතුවක් කර ගැනීම අශීලාචාර කුහක පිළිවෙතකි.

(ඉතිහාසය සහ දැනුම පිළිබඳ රසල්ගේ මතය කෘතියේ බර්ට්‍රන්ඩ් රසල් පිළිබඳ හැඳින්වීමෙනි)

මේ අවසාන වැකිය මුඵමහත් ලෝකයටත් අපටත් අමිල වූ ආදර්ශ පාඨයකි. වර්තමානයේදී අප එක තැන කැරකෙමින් සිටින්නාක් මෙන් හැඟෙන්නේ මේ අශීලාචාර කුහක පිළිවෙත නිසාම වන බව නිසැක ය.

මෙම කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත්තේ අධ්‍යාපනය පිළිබඳ රසල්ගේ මතය සතුට වැනි රසල්ගේ වෙනත් සාරගර්භ කෘතීන් ද සිංහල පාඨකයාට හඳුන්වා දුන් ප්‍රවීණ පරිවර්තක කේ.ඒ.එන්. පෙරේරා ය. මෙහිදී පරිවර්තකයා පොතට සපයන දීර්ඝ පෙරවදන බර්ඩ්‍රන්ඩ් රසල් හඳුනාගැනීම සඳහා විශාල අවකාශයක් විවර කර දෙයි. ලෝක ස්වභාවය හෙවත් විශ්වීය දර්ශනය පිළිබඳ රසල්ගේ නිරීක්ෂණ එහි ඉතා පැහැදිලිව දැක්වෙන අතර එය අපගේ චින්තනයේ නිම්වළලු ප්‍රසාරණය කරයි. රසල්ගේ (සිහින හා සැබෑව) නම් වූ ලිපියෙන් අපරිමිත විශ්වය තුළ මිනිසාගේ ජීවිතය පිළිබඳව ඔහු දුටු යථාව පැහැදිලි සිංහල භාෂාවෙන් පරිවර්තකයා ඉදිරිපත් කර ඇත්තේ මෙසේ ය.

මිනිසුන් පුද්ගලිකව හෝ කණ්ඩායමක් වශයෙන් දකින සිහින, බොහෝ විට හාස්‍යජනකය. එහෙත්, සමස්තයක් වශයෙන් ගත් කල මනුෂ්‍ය වර්ගයාගේ සාමූහික සිහින අප දකින්නේ ශෝකී අත්දැකීම් ලෙසිනි. ඊට හේතුව අප ද ඒ මිනිස් සංහතියේම කොටසක් වීම ය. තාරකා විද්‍යාවට අනුව විශ්වය යනු නිශ්චිත සීමා මායිම් දැක්විය නොහැකි තරමට සුවිසල් වූත් අපරිමිත වූත් සංසිද්ධියකි. නිරීක්ෂණ සඳහා දුරේක්ෂ යොදා ගත හැකි සීමාවට ඔබ්බෙන් තව කෙතරම් නම් ග්‍රහලෝක වේදැයි අපි දැන නොසිටිමු. ඒ සමඟම අපේ පරිකල්පනයට හසු කර ගත හැකි නොවන තරම් වූ අප්‍රමාණ ග්‍රහලෝක සංඛ්‍යාවක් තිබෙන බව අපි දැන සිටිමු. දෘෂ්‍යමාන ලෝකය තුළ ක්ෂීර පථය යනු සමස්ත විශ්වයේ ඉතා කුඩා කොටසකි. මේ කුඩා කොටස තුළ පිහිටි සෞරග්‍රහ මණ්ඩලය යනු ක්ෂුද්‍ර අංශුවකි. ඒ තුළ, අප ජීවත්වන මේ ග්‍රහලෝකය හෙවත් පෘථිවිය යනු අන්වීක්ෂයකින් පමණක් දැක බලා ගත හැකි කුඩා තිතකි. මෙම කුඩා තිතෙන් නිරූපිත මහපොළොව මත තරමක් දුරට අසාමාන්‍ය භෞතික හා රසායන සංයුතියකින් යුක්තව සංකීර්ණ ව්‍යුහයන් ලෙස සකස් වූ ප්‍රමාණයෙන් ඉතා කුඩා පුංජ සමූහයක් බඳු කාබන් හා ජල අංශු විශාල ප්‍රමාණයක් වසර කිහිපයක් වූ කෙටිකාල සීමාසීමාවක් තුළ සැරිසරන්නේ එම අංශූ දියවී, සංයුතිය වෙනස්වී, ඒවා සකස් වී ඇති මූලද්‍රව්‍ය සමුච්චිතයට යළි එකතුවන තුරුය. මෙම පුංජ සමූහය, ජීවත්ව සිටින කෙටි කාලය තුළදී තමාගේ ජීවිතය අවසන්වීමට නියමිත මොහොත ටික කලකට හෝ දීර්ඝ කර ගැනීමට මෙන්ම තමා නියෝජනය කරන සත්ව කොට්ටාශයටම අයත් අන්‍ය ජීවිතවල අවසන් මොහොත කඩිනම් කිරීමේ උමතු අරගලයක යෙදී සිටී. ඔවුන් අතරින් දස දහස් සංඛ්‍යාත වූ විශාල කොටසක් කලින් කලට සිදුවන ස්වාභාවික විපත් හේතුවෙන් විනාශ වේ. තවත් විශාල සංඛ්‍යාවක් ලෙඩරෝග වලින් අකාලයේ මියැදේ. මෙම තත්වයන් මිනිසුන් විසින් හඳුනාගනු ලබන්නේ අවාසනාවන්ත සිදුවීම් ලෙසය. එසේවුව, එවැනි ස්වාභාවික විපත්වලින් සිදුවන විනාශයට නොදෙවෙනි හානියක් තමන්ගේම ක්‍රියාකාරකම් ඔස්සේ සිදුවන යම් යම් අවස්ථාවලදී ඔවුහු ප්‍රීති ප්‍රමෝදයට පත්වෙති. දෙවියන්ට තුති පුදති! සෞරග්‍රහ මණ්ඩලයේ ආයුකාලය හා සැසඳීමේදී පෘථිවිය මත මිනිසාගේ ජීවිත කාලය යනු සුඵ මොහොතකි. මෙම සුඵ මොහොත අවසාන වීමට පෙර ද එකිනෙකා ඇනකොටා ගැනීමෙන් ඔවුන්ගේ ජීවිත කාලය නිමවීමට ඉඩ තිබේ. මෙම ස්වභාවය මේ ආකාරයෙන් පැහැදිලි ලෙස හඳුනාගත හැකිවන්නේ ලෝකයට පරිබාහිරව සිට මනුෂ්‍ය ජීවිතය දෙස බැලීමේදීය.

(ඉතිහාසය සහ දැනුම පිළිබඳ රසල්ගේ මතය - 39-40 පිටු)

‘ඉතිහාසය’ නම් විෂයයෙහි පවත්නා සර්වකාලීන වැදගත්කම අවධාරණය කරමින් බර්ට්ට්‍රන්ඩ් රසල් අවධාරණයෙන් කියා සිටින්නේ අධ්‍යාපනයේ උත්කෘෂ්ට පරමාර්ථයක් වන්නේ ප්‍රබුද්ධ මනසකින් යුතු සංවේදී මිනිසකු බිහිකිරීම වන බව ය. ‘විද්‍යා’ හා ‘කලා’ වශයෙන් විෂයයන් බෙදා දැක්වීමේ පටුසීමා අතික්‍රමණය කළ යුතු බව පෙන්වා දෙමින් ගණිතය, විද්‍යාව, දර්ශනය, භෞතික විද්‍යාව, ආර්ථික විද්‍යාව, ඉතිහාසය, සාහිත්‍යය, දේශපාලනය ආදී එකිනෙකට වෙනස් විෂයයන් හදාරන්නට යොමු වූ රසල් දැනුම, දැනුම ලෙස පැවතීම යහපත් වන මුත් ජීවිතය පිළිබඳ පුඵල් දැක්මක්, මානව දයාවක්, මානවීය තෙතමනයක් ගොඩනැගීම සඳහා දැනුමින් උත්තේජනයක් ලබා ගත යුතු යැයි විශ්වාස කළේ ය. මිනිසා තුළ අත්‍යන්තයෙන් ම තිබිය යුතු මේ අදහස ලෝක මට්ටමින් ගත් කල අභාවයට යමින් පැවතීමේ ඛේදවාචකය පිළිබඳව ද නිරන්තර අවධානය යොමු කළේ ය.

සාමාන්‍ය පාඨකයන් වෙනුවෙන් ඉතිහාසයට කළ හැක්කේ කුමක් ද? කළ යුත්තේ කුමක් ද යන ප්‍රශ්නය ඉතා ගැඹුරින් හා සරල ලෙසින් සාකච්ඡාවට ගැනෙන්නේ ‘ඉතිහාසය කලාවකි’ මැයෙන් රසල් විසින් කරන ලද දේශනයෙහි ය.

ඉතිහාසය කියවීමෙන් පෞද්ගලිකව මා තුළ ඇතිවූ හැඟීම් හා අත්දැකීම් ප්‍රකාශ කිරීම දුෂ්කර වුවද, ඉන් සමහරක් මෙහිලා සඳහන් කිරීමට මම උත්සාහ කරමි. පළමුවෙන්ම එය පෞද්ගලිකව ජීවිතයට නව මානයක් හා ගැඹුරු අරුතක් ලබාදීමට එනම්, දැඩි සීමාවකට කොටු වූ හුදකලා පුද්ගලයකු නොව අඛණ්ඩව ඉදිරියට ගලායන මහාමේඝයක කොටස්කරුවකුය යන උදාර හැඟීමක් මා තුළ ඇති කිරීමට හේතු විය. උපත හා මරණය අතර පවතින කෙටි සීමාව තුළ සිදුවන දේ කෙරෙහි පමණක් උනන්දුවක් දක්වන පුද්ගලයකුගේ දැක්ම සීමා සහිතය. ඉදිරි දැක්ම හා ආකල්ප සීමිතවීම හේතුකොට ගෙන ඔහුගේ අපේක්ෂාවන් හා ආශාවන්වල විෂයපථය පටුවීම නොවැළැක්විය හැකිය. කිසියම් පුද්ගලයකුට අදාළ වන මෙම කාරණය ජනසමාජයට ද එකසේ අදාළය. ඉතා කෙටි ඉතිහාසයකට උරුමකම් කියන ජන සමාජවල එක්තරා ආකාරයක හුදෙකලා බවක් හා සීමිත බවක් පවතින්නේය යන කුතූහලය මුසුවූ හැඟීමක් යුරෝපීය ජාතීන් තුළ පවතී.

ජීවමාන අතීත උරුමයකට නෑකම් කියන සහ අතීත යුගවලද සෙමින් අත්පත් කරගත් දුෂ්කර සාධනයන් පිළිබඳ දැනීමෙන් අනාගතය ආලෝකවත් කරගත හැකි ජනසමාජයකට අයත් පුද්ගලයන් මෙන් නොව එවැනි උරුමයක් නොමැති ජනසමාජයකට ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන්ට සම්ප්‍රේෂණය කිරීමට අපේක්ෂා කරන උරුමය නිසරු සහ චිත්තවේගී වශයෙන් දිළිඳු ස්වරූපයක පැවතීම නොවැළැක්විය හැකිය.

(ඉතිහාසය සහ දැනුම පිළිබඳ රසල්ගේ මතය - 74-75 පිටු)

සම්පූර්ණ විවේක කාලය හා ජීවිතයේ උතුම් පරමාර්ථ සියල්ල නිරර්ථක තරගයක ඉදිරියෙන් සිටීම හෙවත් පළමුවැනියා වීම පිණිස කැපකිරීමේ ව්‍යාධියෙන් පෙළෙන ජනසමාජයකට ලබාදිය හැකි නිවැරදිම මග පෙන්වීම ලෙස රසල් දකින්නේ ඉතිහාසය පිළිබඳ (අතීතයේදී මිනිසුන් ජීවත්වූ ආකාරය පිළිබඳ) අවබෝධයක් ඔවුනට ලබාදීම ය. දිනුම් කණුවක් නැති ධාවන තරගයක යෙදී සිටින නූතන මිනිසාට ඉතා වැදගත් වනු ඇතැයි අපට සිතෙන බොහෝ අවධාරණ මීට ද ඇතුළත් වෙයි.

අදහස්