ගමේ අරපිරිමැහුම් කතාබහ | සිළුමිණ

ගමේ අරපිරිමැහුම් කතාබහ

සිරිලක පිහිටි පුරාණ ගම්වල විසූ අය තුළ තිබූ අරපිරිමැස්ස, පොදු ලක්ෂණයෙකි. සෑම ගැමිගෙදරකම ඉතිරි කර ගැනීමේ ක්‍රමවේද භාවිත විය. ගොවිතැන, ධීවර කර්මාන්තය, ගෘහඋපකරණ මෙවලම් (වළං, ලෝකුරුවැඩ) සෑදීමට වැනි කුමන වෘත්තියක යෙදුණත් ඊටම ආවේණික ඉතිරි කිරීම් සම්ප්‍රදායන් පැවතුණි. විශේෂයෙන් ම ආටෝප, සාටෝපයෙන් දුරස්වූ අතනොපා ජීවත්වීමේ පුරුද්ද අපට උරුම වූවේ බුදු දහම ඇසුරෙන්ය. ගිහිවිනයේ දහම් පණිවිඩයක් ලෙසින් සිගාලෝවාද සූත්‍රයෙහි

“එඛක්න භොගේන භුංජෙය්‍ය

දවි කමමං පයො ජයෙ

චතුතංච නිදාපෙය්‍ය

ආපදාසු භාවිසසති” යනුවෙන් ධනය පරිහරණය කළ යුතු අයුරු පවසා ඇත. පරිභෝජනයට, නැවත ආයෝජනයට හා එක් කොටසක් ආපදාවකදී ගන්නටත් වශයෙන් ඉතිරි කිරීම දක්වයි. අපේ ගම් පුරාණයේ තොරතුරු වලද ඉතිරි කිරීම් ගැන කියවෙන අවස්ථාවල මේ කරුණම පවසා ඇත.

ඉතිරි කිරීම අර පරෙස්සම ලෙස ඒ ඇත්තන් පැවසුවේය. එය ඇරඹුණේ ගෙදරින් ය. ගෙදර පවුලේ කේන්ද්‍රස්ථානයයි. ගෙයිහිමියා සකියා, ප්‍රධානියා, ගෘහමූලිකයා විය. හරිහම්බ කිරීම ඔහුගේ වගකීමයි. අඹු දරුවන්ට කන්ඩ බොන්ඩ අදින්ඩ පලදින්ඩ ඕනෑ කම් හොයා දෙන්ඩ බැරි පිරිමියා ගෑණියක්ව සලකයි. ගමේ ඇත්තන් කීවේ “ඒකා ගෑණී වාගේ ඒ කෙල්ල පිරිමි හතක් පරදා වැඩ කරනවා” කියලයි. අප්පා, තාත්තා ගෘහමූලිකයා වුණාට ගෙදර අයවැය පාලනය තිබුණේ අම්මා අතේය. ගාර්ඩිවංශයේ අය කුලවන්ත ස්ත්‍රීන්ට “අටුව, බක්කඅටුව” කීවේ ධන ධාන්‍ය ඇය බාරයේ අටුවක් ලෙස තිබූ නිසාය. අම්මා ඉතුරුම් හා විය පැහැදම් කළේය. උන්දලා නිතර කීවේ උත්සව හෝ කෑම්බීම ඇඳුම් පැළඳුම්වලටම වියදම් නොකළ යුතු බවයි. “සබ්බ සයුරම කාබාසිනා කරන්ට එපා” යයි පවුලේ සැමට සිහි කැඳවුම් කළේ අම්මා ය.

ගෙදර මුළුතැන්ගෙයි පාලනයේදී උයා පිහින සෑම වාරයකදී ම, හාල් මිටක් “මිටි හාල් මුට්ටියට” ත් තව මිටක් “පිංහාල් මුට්ටිය”ටත් දැම්මාය. මිටිහාල් එකතු කළේ හාල් හිඟයක් ඇති වූ විට ගැනීමට සහ වර්ෂයකට (පෙර කිව්පරිදි) ඉතිරුමක් පිණිස ය. පිංහාල් මුට්ටිය පිනට දහමට ඉල්ලා එන අයට නැහැ නොකියා ඕනෑම අවස්ථාවක දන් දීමටය. එකතු කර දන් දීම ඉහළින් සැලකූ උපාසක උපාසිකාවන් සම්මාදමේ එනවිට ද නැහැ නො කියා පිංහාල් දන් දුන්නේ ය. හාල් පමණක් නොව “තෙල්වරිගද” මෙසේ ටිකටික සෑම වේලකදීම එකතු කරනවා මා අත්දැක තිබේ. ඒවයෙන් පහන් දල්වයි.

“කොතනද මීය එතැන වෙයි බිඟු රාසී

කොතනද පාත එතැනට වෙයි දිය රාසී

කොතනද පහන එතැනට ‍පළගැටි රාසී

කොතනද කා සී එතැනටමයි හැම වාසී”

හැම දෙයකින් ජය සතුට ලැබීමට යම් පමණකට මුදල් හදල් ඉතිරි කර ගත යුතු බව දුවා දරුවන්ට කීවේ මේ කවි උපදේශන කියා දෙමින්ය. හරිහම්බ කර ගැනීමට වෙහෙස මහන්සි නොවන්නාට “හරි උරුට්ටුවක් නැති අයෙකුට” තම දියණියන් පාවා දීමේදී අකමැත්ත දැක්විය. එසේම නාස්තිකාර යෙහෙළියන් දරුවන්ට දීග ගෙන ආවොත් “තියනදේත් දාලා ගියාවාගේ” වුනාකියා කියමනක් ද පවතියි. ඒ අයටත්, වැඩිහිටියෝ කීවේ (තමන්ග්ම දරුවකුටවුවත්) යමක් දුන්නාම හරි කළමනා කිරිමෙන් වැඩි කර ගන්නවා වෙනුවට “ග‍ඟේ මුහුදේ දැම්මා වාගේ” වෙන බවයි.

ගමේ ඇත්තන් ඉතිරි කර ගැනීම පුරුදු පුහුණු කළේ නොයෙක් උපහැරණ කියා දීමෙන් ය. ඔවුන් තුළ සමබර ආර්ථික රටාවක් තිබුණි. අවශ්‍ය අනවශ්‍ය දේ ඉතා කුඩා කාලයේදී ම දරුවන්ට කියා දුන්නේ ය. අර පරෙස්සමයි මසුරුකමයි හොඳින් තේරුම් ගෙන තිබූ බව “ලෝබයාගේ දේ කුහුඹුවෝ කනවා” කීමෙන්ම පැහැදිලි වෙයි. කිසිදු කල එළියක් නැති, දනට පිනට නොදෙන, අසරණයකුට පිහිට නොවන අය කොන්කර තැබුවේ “මසුරු සිටලා” යන පටබැඳි නාම දීමෙන්ය. ඒ අය නොකා නොබී මියැදෙන්නන් ලෙසට සැලකීය.

අම්මලා ගෙදර ලුණුමුට්ටිය, හාල්මුට්ටිය, පිසදාලාම ගැනීම මූ දේවි කැඳ වන මූසල කමක්ව සැලකුවේය. එසේම “ඇතිදාට කාලා බීලා නැතිදාට අතපෑමත්” හෙලා දැක්කේය. අපේ ගම්වරිගක්කාරයින් අතර පරිස්සම ඉතිරි පුහුණු කළේ ගොවිතැනට ඕනෑ බීජ ශ්‍රමය, හරකුන්, උපකරණ, ගැන ගොඩනග‍ාගෙන තිබූ ප්‍රතිපත්තිවලින්ය. සෑම පුද්ගලයකු ලඟම වී, කුරහන්, මේනේරි ආදී ධාන්‍ය බීජ අටුව තිබුණි. එළවළු, බඩඉරිඟු වැනි ඇට, ඇටි ඉතිරි කරගත් “ඇටා ඇටි මල්ලක්” ද තිබුණි. තම පවුල නඩත්තුවට තරම් අවශ්‍ය ද් හබ්බ නොකරණ පුද්ගලයන් උපහාසයට ලක්කළේ “පිනිබාලත්” (වැව් පිරෙනවාදැයි ඔවුන්ගෙන් ම ප්‍රශ්න කිරීමෙන් ය.

ගමේ ඇත්තන්ද ඉතා දියුණු යයි සම්මත සමාජසේම සංඛ්‍යා ලේඛන මඟින් අයවැය තැබීය. ඒ අනුව ග‍ඟේ මුහුදේ දැම්මත් ගානක් මිම්මක් ඇතිව කළ යුතු බව කීවේය. මේ කථාවට ගමරාල ඇත්තෝ කොපමණ දුන්නත් ගත්තත් ලාහෙන්, කුරණියෙන් මැනලා ගනුදෙනු ‍කරපල්ලායයි කීවේ ය.

අපේ කොටු ගම්වල ඇත්තෝ මිල මුදල් ධනධාන්‍ය සේම ශ්‍රමය ද ඉතිරි කර ගත්තෝ ය. තමන්ට වැඩපළක් තනිවම කර ගැනීමට අපහසු නම් ඔහු අනෙක් අයගේ වැඩ දින ගනිමින් කර දෙයි. “අත්තම්” දෙයි. අවසානයේ ඒ එකතු කර ගත් අත්තම් ඇතන්ට එකදිනක පැමිණ තම වැඩ කරදීමට දැනුම් දෙයි. මෙය ම හිලව් අත්තම යයි කීවේ ය. තමා ඉතිරි කරගත් ශ්‍රමයට වටිනා කමක් දුන්නාය.

පුරාණ ගම්වලද නැති බැරිකම් පිරිමහ ගැනීමට කීවේ “ණයතුරුස්” වීමයි. තමුන් මිල මුදලට අමතරව හැකි පමණට කැලෑ කොටා ගෙන අස්වද්දා කුඹුරු, ගොඩඉම්ද රැස් කර ගත්තේ, අපහසු විටෙක කෙනකුට තාවකාලිකව, උකස් හෝ කන්න බද්දට දී තම අවශ්‍යතා පිරිමසා ගැනීමටයි. එසේම ගමේ ම මිල මුදල් වැඩි පුර හරි හම්බ කරගත් අය ද සිටියෝය. ඒ ඇත්තන් ළඟ තම කන කර අභරණ ආදිය වුවත් අද මෙන්ම උකස් කළේය. ඒ ඇත්තන් හෙට්ටිගෙදර, හෙට්ටිඋන්දෑ යනුවෙන් හැඳින්විය. හැබැයි ඒ ඇත්තන් අද මෙන් තළාපෙළා හූරාගෙන නොකෑවෝය. ගමරාළලා හෙට්ටි උන්ඳලා ලාභ ලෝබ නොතකා පිරිමැහුම් කළේය. ගමේ කමේ එකමුතු කම, සාමූහික ක්‍රියාවේ වටිනාකම් දැන කටයුතු කළේය.

“දුප්පත් කම කොයි කාටත් ඇතිවීම

ඇත්තක්මය ඒ ගැන ඇයි දුක්වීම

එක්සත්කම තිබුණොතින් ගුණදාම

දුප්පත් කම මැකෙයි රිවි දුටු පිණිසේම”

අපේ ගම්වල නැති නාස්ති වන විදිහට උයා පිහා අපතේ නොදැම්මේ ය. හැම ගෙදරකම අමුත්තකු පැමිණියහොත් දිය හැකි පමණට බත ළිපේ ඉදුණේය. එසේම බතත් ඉතිරි වුවහොත් රාත්‍රී නම් පසු දින “හීල්බත” ලෙස නැත්නම් ඖෂධීය ගුණ ඇත “දියබත්” ලෙස කෑවේය. නැත්නම් අව්වේ වියළා අග්ගලා ආදී රසකැවිලි‍ලෙස කෑවේය. මේලෙසම, පලතුරු හා ඇතැම් එළවලු තම්බාවේළා, හෝ යුෂ, ඇඹුල් වශයෙන් අහරට ගත්තේ ය.

“යට වී මුතුමැණික් ගොමරිති උඩ එනවා

හතුරා ලන් උනොත් උගුලක් ඇට වෙනවා

නැතිදා අතේ ඇති නෑයොත් පිට යනවා

ඇති කාලයට නැති නෑයොත් ගෙට එනවා”

මේ බව ගම්මු දැන සිටියහ. එදා ගමේ තිබූ අරපිරිමැහුම් කතාබහේ වටිනාකම් අදටත් අපට යොදාගතහොත් යහපත්, ප්‍රතිඵල ලබාගත හැකියයි සිතන්නෙමු.

 

අදහස්