ගැටුම දිගටම | සිළුමිණ

ගැටුම දිගටම

‘අංක ගණිතය කියන්නෙ අහන ‍ෙදයක් දකින දෙයක් නෙමේ. මට ඔයාගෙ ලස්සන මූණ බලංඉන්ඩ ඕනැ නෑ. ඒකෙං මගාරින්ඩයි මං ජනේලෙං පිට බලං හිටියෙ. අංක ගණිතය ගැන ඕනැම ප්‍රශ්නයක් තියනව නං මගෙං අහන්ඩ. මං කන්දීගෙන හිටපු හින්ද උත්තර දෙන්ඩ දන්නව’ මං කිව්ව.

ඒක තමයි මහ දිගට ඇදිච්ච කරදරේක මුල. කරදරේ මට නෙමෙයි එයාට. අහපු ප්‍රශ්නෙට මං හරි උත්තරේ දීපු එක. එයාට ඒක විශ්වාස කරන්ඩ බැරුව ගිහිං.

‘තමුං හරි උණත් වැරදි උණත් මං තමුන්ට දඬුවම් දෙන්ඩයි යන්නෙ. මොකද ගුරුවරය පන්තියෙ උගන්නද්දි ජනේලෙං පිට බලාගෙන ඉන්න එක වැරදියි’

මාස්ටර් මාව ඉස්සරහට ගෙන්නුව. එයා දඬුවම් දෙන විදිහ මං අහල තිබුණ. එයා හරියට පර පීඩා කාමුකත්වය හඳුන්වා දීපු ප්‍රංස දාර්ශනික මාර්කේස් ඩි සාදෙ ජාතියෙ මිනිහෙක්. එයා තමුංගෙ ඩෙස් එකේ පැන්සල් පෙට්ටියක් තියාගෙන ඉන්නව. එයා ඒකෙං පැන්සලක් අරගෙන ළමයගෙ අතක ඇඟිලි අතරින් යවනව. ඉන් පස්සෙ අත මිරිකනව. මිරිකන්නෙ ඇද්ද ඇද්ද කිය කියා. මෙහෙම කරන්නෙ පුංචි ළමයින්ට! මිනිහ අන්තිම පැසිස්ට්වාදියෙක්!

ගුරුකම තෝරගන්න මිනිස්සුන්ගෙ ඔඵවෙ මොකක්දෝ වැරදි හැඟීමක් තියෙනව. ඒක සමහර විට අනුන් යටත් කර ගැනීමේ ආසාවක් වෙන්ඩ පුඵවනි. බල කාමයක් වෙන්ඩ පුඵවනි. ඒ හින්ද ඒ හැමෝම එක්තරා විදිහක පුංචි පැසිස්ට්වාදියො වගයක්.

මං පැන්සලක් දිහා බලල මෙහෙම කිව්ව. ‘මං මේ පැන්සල් ගැන අහල තියෙනව. ඔයා ඒව මගෙ ඇඟිලි අස්සෙන් දාල මිරිකන්ඩ කලිං මේක මතක තියාගන්ඩ! මේ වැඩේට ඔයාට ලොකු වන්දියක් ගෙවන්ඩ සිද්ධ වෙයි! රස්සාව පරදුවට තියන්ඩ වෙයි!’

මාස්ටර් හිනාවුණා. ඒක නිකං බියකරු හීනෙකදි මහ අමුතු සතෙක් හිනා වෙනව වගේ.

‘කවුද මාව නවත්තන්නෙ?’ ඔහු ඇහුව.

‘ඒක නෙමෙයි කාරණේ” මං කිව්ව. ‘මං අහන්නෙ මේකයි. අංක ගණිතය උගන්නද්දි ජනේලෙං පිට බලාගෙන ඉන්න එක තහනංද? උගන්නපු පාඩමෙන් අහපු ප්‍රශ්නවලට හරි උත්තර දීල තියෙද්දි ජනේලෙං පිට බලා හිටිය එක වැරදිද? එහෙම නං පන්ති කාමරේ ජනේලයක් හයි කරල තියෙන්නෙ මොකටද?’

‘තමුං කරදර කාරයෙක්!’ මාස්ටර් කිව්ව.

‘ඒ කතාව හරියට හරි’ මං හරියට උත්තර දීල තියෙද්දිත් ඔයා මට දඬුවම් දෙන්ඩ යන එක හරිද කියල මං ගිහිං ලොකු මහත්තයගෙං අහන්නං’ මං කිව්ව.

මාස්ටර්ගෙ සැර ටිකක් බාල උණා. එයා කොහොමත් යටත් වෙන්නෙ නැති ජාතියෙ කෙනෙක් කියල අහල තිබුණු හින්ද මට පුදුමත් හිතුණ.

ඊට පස්සෙ මං මාස්ටර්ට මෙහෙම කිව්ව. ‘මං යනව ඉස්කොල පාලනය කරන නගර කමිටුවෙ සභාපති හම්බවෙන්න. ඒ විතරක් නෙමේ හෙට මං පොලිස් කොමසාරිස් එක්කගෙන එනව ඉස්කෝලෙට. එතකොට එයාට පෙනෙයිනෙ මෙතන මොනවද වෙන්නෙ කියල’

මාස්ටර් වෙව්ලුව. ඒක අනිත් අයට පෙනුණෙ නෑ. අනිත් අයට නොපෙනෙන දේවල් මට පේනව.

‘ඔයා පිළිගත්තෙ නැතිවුණාට ඔයා වෙව්ලනව මං දැක්ක. හොඳයි අපි බලමු. ඔක්කෝටම කලිං මං ලොකුමහත්තය ළඟට යනව’ මං කිව්ව.

මං ඉස්කෝලෙ ලොකු මහත්තය හම්බවෙලා පැමිණිලි කෙරුව.

‘මං දන්නව මිනිහ ළමයින්ට වද දෙනව කියල. ඒක අනීතිකයි. ඒ වුණාට මට ඒ ගැන මොකුත් කියන්ඩ බෑ. මොකද එයා තමයි ටවුමෙ ඉන්න පරණම ඉස්කෝල මාස්ටර්. ඔය ශිෂ්‍යයො හැමෝගෙම වාගෙ ආච්චි සීයලත් එයාගෙං ඉගෙනගෙන තියෙනව. ඒ හින්ද කිසි කෙනෙක් එයාට විරුද්ධව ඇඟිල්ලක් උස්සන්නෙ නෑ’ ලොකු මහත්තය කිව්ව.

‘මං ඒව ගණං ගන්නෙ නෑ. අපේ තාත්තයි සීයයි දෙන්නත් එයාගෙන් ඉගෙනගෙන තියෙනව. මට ඒවයිං වැඩක් නෑ. ඇත්තම කියනව නං මං ඒ පවුලට අයිති කෙනෙක් නෙමේ. මං ජීවත් වුණේ පිට. මං මෙහාට පිටස්තරයෙක්’ මං කිව්ව.

‘ඔය ළමය අමුතු කෙනෙක් කියල මට පේනව. ඒත් දරුවො ඕන් නැති කරදර ඇඟේ දාගන්ඩ එපා! මිනිහ වද දෙයි!’ ලොකු මහත්තය කිව්ව.

‘ඒක ලේසි වෙන්නෙ නෑ. ළමයින්ට වද දෙන එක නතර කරනකං මං හැප්පෙනව’ මං එහෙම කියල මගෙ පුංචි අත මිට මොළෝල මේසෙට ගහල මෙහෙමත් කිව්ව. ‘ඔය අධ්‍යාපනය වගේ දේවල් මං ගණං ගන්නෙ නෑ. ඒත් මං මගෙ නිදහස ගණං ගන්නව. කිසි කෙනෙකුට බෑ නූමනා විදිහට මට වද දෙන්ඩ! ඔයාට සිද්ධවෙනව මට අධ්‍යාපන ප්‍රඥප්තිය පෙන්නන්ඩ. මට කියවන්ඩ තේරෙන් නෑ. ඒත් ළමයෙක් ගුරුවරය අහපු සේරම ප්‍රශ්නවලට හරියට උත්තර දීල තියෙනව නං ඒ ළමය ජනේලෙකින් පිට බලපු එක නීති විරෝධියි කියල ඕකෙ ලියල තියෙනවද කියන එක මට කියන්ඩ!’

‘ඔය ළමය හරියට උත්තර දිල තියෙනව නං කොහෙ බැලුවත් ප්‍රශ්නයක් නෑ’ ලොකු මහත්තය කිව්ව.

‘එහෙනං එන්ඩකො මාත් එක්ක යන්ඩ’ මං ඔහුට කිව්ව.

ඔහු ආවෙ අධ්‍යාපන ප්‍රඥප්තියත් අතේ තියාගෙන. ඒක එයා හැම තිස්සෙම අතේ තියාගෙන හිටිය පරණ පොතක්. මං හිතන්නෙ නෑ කිසි කෙනෙක් ඒක කියවල ඇති කියල. මුල් ගුරුවරය මාත් එක්ක පන්තියට ගිහිං තනි ඇහැට මෙහෙම කිව්ව. ‘මේ ළමයට හිරිහැර නොකර ඉන්නව නං හොඳයි. මොකද වැඩේනොපිට පෙරළෙන්ඩයි යන්නෙ. එයා ලේසියෙං අරින පාටක් නෑ’

ඒත් තනි ඇහැ ඒ ජාතියෙ මිනිහෙක් නෙමේ. ඒක අහල මිනිහ තවත් මුරණ්ඩු වුණා.

‘ඔහේ කරදර වෙන්ඩ එපා! මං මේ ළමය ගැන බලා ගන්නං. අනික කවුද ඔය ප්‍රඥප්ති ගණං ගන්නෙ? මං මගෙ ජීවිතේම මේකෙ ඉගැන්නිල්ලට කැප කරපු කෙනෙක්. එහෙව් එකේ මේ ළමය මට ප්‍රඥප්ති ගැන උගන්නන්ඩ එනව!’ තනි ඇහැ කිව්ව.

‘හෙට එක්කො ඔයා මෙහෙ නෑ. නැත්තං මං මෙහෙ නෑ. අපි දෙන්නට ම මේකෙ එකට ඉන්ඩ බෑ. බලමුකො හෙට වෙනකං’ මං තනි ඇහැට කිව්ව.

ලබන සතියට

අදහස්