තොල්ස්තෝයි මෙන් රැවුළ වැවුවාට ලේඛකයකු විය හැකිද ? | සිළුමිණ

තොල්ස්තෝයි මෙන් රැවුළ වැවුවාට ලේඛකයකු විය හැකිද ?

“අපි හැමෝම ජීවත් වෙන්නෙ අපේම ලෝකවල. ඒ වුණාට අර තරු පිරිවරාගත් අහස දිහා ඔයා බැලු‍වොත් පෙනෙයි, ඒ කෝටි ගණන් ලෝක ඔක්කොම එකතු වෙලයි විශ්වය හැදෙන්නෙ කියලා. ඒ එකකට එකක් වෙනස්, ඒත් ඒ හැම එකක් ම එකතු වෙලයි මන්දාකිනී හැදෙන්නේ; සෞරග්‍රහ මණ්ඩලය හැදෙන්නේ.'

ඒ අපූරු පොත පාවුලෝ කොයියෝගේ අති සුවිශේෂී ම නවකතාවකි. ජීවිතේ අත්දැකීම් සුන්දර ව වියමන් කරමින් අප සැම එක් මිනිත්තුවකට හෝ ගැලෙන සිතිවිලි හා අපේක්ෂා භංගත්ව වෙන වෙන චරිතවලට ආදේශ කර අප වෙත ගෙන එන්නේ මේ අපූර්ව කෘතියයි. Veronika Decides to Die නම් කෘතිය මනරම් ව සිංහල පාඨකයා වෙත ගෙන එන්නේ ගාමිණි වියන්ගොඩ පරිවර්තකයා ය.

සාමාන්‍ය ජීවිතයේදී ගැහැනියක අපේක්ෂා කරන සියලු ම දෑ වෙරොනිකා සතු වුව ද ඈට සතුට දැනෙන්නේ නැත. ජීවිතයේ කිසියම් දෙයක අඩුවක් ඈට දැනේ. මෙවැනි කාරණා සැමට ම පොදු කාරණා වුව ද සම්මතයෙන් පිට පනින්නට පෙලඹෙන්නේ මේ අතුරින් දශම ගණනකි. ක්‍රියාවට නංවන්නේ දශම ගණනක් වුව ද මනසින් එය ක්‍රියාවට නංවන්නෝ බහුතරයක් වෙති. සමාජ සම්මත, තහංචි අෑ නන්විධ කාරණා නිසා අසම්මත දෑ ගැන බියවන බො‍හෝ දෙනකුගේ යටිහිත ඒ අසම්මත ක්‍රියාවල ගැලෙන්නේ ය. මේවා යටි සිතට දරාගත නොහැකි වුණු විට ඒ පීඩනය පුපුරා යන්නේ මනෝ වික්ෂෝතයක් ලෙසිනි. නිර්මාණකරණයේ රන්සුසු සොයා යන අප දැනගත යුතු ප්‍රධාන කරුණක් වනනේ පාඨකයාගේ මනසට වඩාත් සමීප ව අමතන්නේ කෙසේද කියා ය. මා පෙර කී අප සැම කැමති එහෙත් සමාජ සම්මතවලට බියෙන් නොකරන බොහෝ දේ පාඨක ලෝකයේදී පාඨකයා ආකර්ෂණය කර ගන්නා ප්‍රධාන සාධක පත් වන බව නිර්මාණකරුවා දනී. එවැනි නිර්මාණ අතිශය ජනප්‍රියත්වයක් ලබා ගන්නේ අප සැමගේ යටිසිතේ වන දෑ නිර්මාණකරුවා පොදු පාඨක සමාජය වෙත මුදාහරින නිසා ය. ගීත ගත්ත ද, නවකතා, කෙටිකතා මේ ආදී සෑම නිර්මාණ ඉසව්වක ම එය පොදු සාධකයක් වන බැව් පවසන්නට උදාහරණ ලියුවහොත් මේ ලියැවිල්ල උදාහරණ වලින් ම පුරවන්නට පුළුවන. පාඨක, ශ්‍රාවක අපේ පුරුදුවලට පිටින් වන, නමුත් යටිසිත ප්‍රිය කරන නිර්මාණවලට වැඩි ප්‍රසාදයක් හිමි වන්නේ ඇයි යන්න ඔබට දැන් වැටහෙනවා නොඅනුමාන ය; මෙහි ම තවත් පැත්තක් තිබේ. තමන්ට උරුමයෙන් හිමි වූ චර්යා, සම්මත වලින් පිට පැන ජීවත් වෙමින් පාදඩ යැයි, සම්මත සමාජයෙන් ලේබල් කරන ලේඛකයන්ගේ විශිෂ්ට නිර්මාණ ද ලෝක සාහිත්‍යයේ කඩ ඉම් ලකුණු විවර කරන නිර්මාණ වීම ය. ලේඛකයන්ගේ හෝ නිර්මාණකුරුවන්ගේ ජීවිතවලින් බොහෝ විට සමාජය බලාපොරොත්තු වන්නේ සාධු සම්මත චරිත ය. බොහෝ විශිෂ්ට නිර්මාණ බිහිවීමේ ලා බො‍හෝ පවුරු නිර්මාණය වන්නේ නිර්මාණකරුවන්ගේ ජීවිතවල සම්මත වියමන දෙදරා ගිය කල්හි ය. පියදෝර් දොස්තයෙව්ස්කි සියවසක් පුරා අප මවිත කළ ලේඛකයා ය. එහෙත් ඔහු සුදු, කළු චරිත මෙන්ම බේබද්දන් හා පාදඩයන් ද ඇසුරු කරමින් පාතාල ලෝකයේ බොහෝ කාලයක් විසුවේ ය. ඔහු සිරකරුවකු ලෙස සයිබීරියාවට පවා පිටුවහල් කරන ලද්දේ ය. දොස්තයෙව්ස්කිගෙන් පසු යුගය ආන්ද්‍රේ ෂිද්, ඇල්බෙයා කැමූ, ප්‍රාන්ස් කෆ්කා ආදි ලේඛකයෝ ද ජීවිතයේ සාධු සම්මත ඒකාකාරී පැවැත්ම ප්‍රතික්ෂේප කළෝ ය. ඊට මෑත භාගයට අයත් ෂන් ගෙනේ හොරකු මෙන්ම මිනිමරුවකු ද වූ අතර ඔහු සිය ජීවිතයෙන් වැඩි කාලයක් ගෙවුයේ ප්‍රංසයේ සිර ගෙවල්වල ය. ඔහු ලියූ නවකතාවක් ෂෝන් පෝල් සාත්‍රේ කියවා ලැබූ ආනන්දය නිසාම ඔහුව සිර ගෙදරින් නිදහස් කරන ලෙස කළ උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට නිදහස ලැබිණි. ඉන් අනතුරුව වුව ද සම්මත ඇගැයුම් සහගත ජීවිතයක් ගත කරන්නට ඔහුට නොහැකි විණි.

මෙවැනි සම්මත චර්යාවලින් පිට පැනීමට හේතුවන්නේ දැඩි සංවේදී සිතිවිලි විසින් නිර්මාණකරුවන්ගේ අධ්‍යාත්මය පීඩනයට ලක් කිරීමයි. එවැනි අවස්ථාවල නිදහස පිළිබඳ සංකල්පය දැඩි ලෙස දැනෙන්නට පටන් ගනී. සිතුම් පැතුම්, ඇවතුම් පැවතුම් ආදි මූර්ත නිදහසක බලාපොරොත්තුවකින් ඔවුන්ගේ මනස දැල්වේ. සමහර නිර්මාණකරුවන්ගේ බාහිරය පවා වෙනස් වන්නට පටන් ගන්නේ එකල්හි ය. එහෙත් වරදවා වටහා නොගත යුතු කරුණක් තිබේ.

ඒ, කලාකෘති සාර්ථක වන්නට හේතු වූයේ ඔවුන් ගත කරන අසම්මත ජීවිතය යැයි සිතීම ය. බාහිර පෙනුම විසින් කිසි විටෙක අභ්‍යන්තරය ශක්තිමත් කරන්නේ නැත. කොණ්ඩය වැවු පමණින්, දිගු ලෝගුව ඇඳි පමණින්, කලාකරුවකු නොවන්නේ ඒ නිසා ය. එය හරියට තොල්තොයිගේ වැනි දිගු රැවුළක් තිබීමෙන් ශ්‍රේෂ්ඨ ලේඛකයකු විය නොහැකි සේම ලෙනින්ගේ වැනි රැවුලක් තිබීමෙන් එවැනි චින්තකයකු හෝ රාජ්‍ය තාන්ත්‍රිකයකු නොවන්නා සේ ය. ප්‍රතිභාව කියන්නේ ඒ එකකටවත් නොවන බව ඔබ දැනටමත් දනියි.

නිර්මාණකරණයේ රන්සුනු සොයා යන අප දැන ගත යුතු කරුණක් වන්නේ ලේඛනයේදී හෝ වෙන ඕනෑම නිර්මාණකරණයකදී ඇතුළු හදට අමතන ක්‍රමවේද කුමක් සඳහා ද යන්න ගැන අපට අවබෝධයක් තිබිය යුතු බව ය. ඒ ගැන දැනගන්න නම් නිරන්තරයෙන් මිනිසුන් ඇසුරු කළ යුතු ම ය. පාරේ තොටේ කරක් ගැසිය යුතු ම ය. බොහෝ දේ ලැබෙන්නේ සොයා යන්නාට ය. දොර ඇරෙන්නේ තට්ටු කරන්නාට යැයි ගමේ ගොඩේ කතාවක් තිබෙන්නේ නිකම් ම නොවේ.

[email protected]

අදහස්