භාෂණයටත් ව්‍යාකරණයක් අවශ්‍යයයි | සිළුමිණ

භාෂණයටත් ව්‍යාකරණයක් අවශ්‍යයයි

රම්‍යා ශ්‍රියානි පතිරණ, 2019 වසරේ ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උලෙළේ ප්‍රශස්තතම නිවේදිකාව ලෙස සම්මානයට පාත්‍ර වූ ප්‍රවීණ නිවේදිකාවකි. 1979 වර්ෂයේ ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලියට සම්බන්ධ වන ඈ 1980 දී සහන නිවේදිකාවක් වශයෙන් නිවේදන කටයුතු සඳහා යොමු වූවා ය. ස්වදේශීය සේවය, වෙළෙඳ සේවය, සිටි එ‍ෆ්.එම්. සේවය යන නාලිකා ත්‍රිත්වයේ ම නිවේදන කටයුතු කළ ඈ රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වූයේ කාන්තා වැඩසටහන් සහ මැදිරි නිවේදන කටයුතුවලිනි. 1988 වසරේ ස්ථිර ගුවන්විදුලි නිවේදිකාවක වූ ඈ එම වසරේ සිට ප්‍රවෘත්ති ප්‍රකාශයට ද එක් වූවා ය. වසර 30කට නොඅඩු කාලයක් මුළුල්ලේ සිය හඬ පෞරුෂය ‍ඔස්සේ අනන්‍යතාව තහවුරු කරගනිමින් ගුවන්විදුලි නිවේදන කටයුතුවල ‍ නිරත වී සිටින සමඟ මෙම සංවාදය සිදු කළේ ගුවන්විදුලි සන්නිවේදනය පිළිබඳව තොරතුරු බෙදා හදා ගැනීමට ය.

ගුවන්විදුලි මාධ්‍යයේ අද නිරත වී සිටින නිවේදක නිවේදිකාවන්ගේ බස හැසිරවීම ගැන බොහෝ චෝදනා එල්ල වනවා. ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වශයෙන් ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

නිවේදන වෘත්තියේ යෙදී සිටිනවා නම් පොතපත කියවීම අත්‍යවශ්‍ය දෙයක්. වාග් කෝෂය පුළුල් වෙන්නේ ‍පොත්පත් කියවූ විටයි. ඒත් අද නිවේදන කටයුතුවල නිරත වී සිටින අයගෙන් 80%ක් විතර පොත්පත් කියවන්නේ නැහැ. ඒ නිසා නිවේදනයේදී ඔවුන්ට වචන ගලාගෙන එන්නේ නැහැ. අද සිටින අය පොත් කියවනවා වෙනුවට ඔහේ කියවන බවක් පෙනෙනවා. හිතන හිතන දේවල් කියවනවා. ඒත් එය සිද්ධ නොවිය යුතු දෙයක්.

නිවේදිකයා හෝ නිවේදිකාව ආමන්ත්‍රණය කරන්නේ ර‍ටේ ජනතාවට. එය අමතක නොකළ යුතුයි. නිවේදක නිවේදිකාවන්ට ජනතාව නොමග යවන්න පුළුවන්. මොකද ඔවුන් කියන දේ ජනතාව පිළිගන්නවා. ජනතාව විශ්වාස කරනවා. ඔවුන්ගෙන් ආභාසය ගන්නවා. ඒ නිසා නිවේදන කටයුත්තේ දී බස හැසිරවීම ගැන වගේ ම නිවේදනය කරන විෂය ගැන මනා අවබෝධයක් තිබීම ඉතා වැදගත්.

උදාහරණයක් හැටියට සෞඛ්‍ය වැඩසටහනක් කරන්න අවස්ථාව ලැබුණොත් එහි කතා කරන විෂයය ගැන දැනුම සොයාගෙන දැනුම්වත් වී ඊට සහභාගි වීම අත්‍යවශ්‍ය කාරණයක්.

ඒත් අද සිටින අය පොත්පත් කියවන්නේ නැතිකම නිසා භාෂාව වගේ ම විෂයය ගැන අවබෝධයක් නැහැ. ඔහේ හිතෙන හිතෙන දේ කියවනවා. ඒ නිසයි අද බොහෝ දෙනෙක් ඔවුන්ට චෝදනා කරන්නේ.

අද දවසේ ඇතැම් ගුවන් විදුලි නාලිකා තුළ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී ලේඛන වහර යටපත් වී භාෂණ වහර ඉස්මතු වන බව පෙනෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබට යමක් පැවසිය හැකිද?

ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සාමාන්‍ය වැඩසටහන්වලට පවා අප යොදා ගන්නේ ලිඛිත සහ වාචික අතර භාෂාවක්. ප්‍රවෘත්ති වාර්තාකරණයේදී නම් අපි ලිඛිත භාෂාව යොදා ගන්නවා. අද සමහර ගුවන්විදුලි නාලිකා නම් ප්‍රවෘත්ති ප්‍රකාශය සඳහා වාචික වහර යොදාගන්නා ආකාරය අපට ඇහෙනවා. ඒත් මගේ අදහස නම් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී ලේඛන වහරින් ඉදිරිපත් කළ යුතු බව. මොකද ප්‍රවෘත්ති කියන්නේ වෙනමම ශෛලියක්. එය ප්‍රමිතියකින් යුතුව ඉදිරිපත් කිරීම ඉතාමත් වැදගත්. ඒ වගේ ම ප්‍රවෘත්ති කෙරෙහි අසන්නාගේ විශ්වාසය ඇති වන්නේ එය ලේඛන වහරින් ඉදිරිපත් කළ විටදීයි. ඒ නිසා ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී ලිඛිත භාෂාවෙන් ප්‍රකාශ කිරීම වැදගත් බවයි මගේ අදහස.

වර්තමානයේ සම්මුඛ සාකච්ඡා මෙහෙයවීමේදී ගුවන් විදුලි නිවේදක නිවේදිකාවන් තුළ තිබිය යුතු සංයමය ගිලිහී ඇති බව දැනෙනවා. එනම් සම්පත් දායකයන් යටපත් වී නිවේදන ශිල්පියා ඉස්මතු වීමට උත්සාහ දරන ආකාරය පෙනෙනවා. ඒ චෝදනාවට ඔබ දෙන පිළිතුර කුමක්ද?

අපි නිවේදක නිවේදිකාවන් විදිහට පැමිණි කාලයේ ගුවන්විදුලි අභ්‍යාස ආයතනයෙන් අපව පුහුණු කළා. ඒ පුහුණුවීමේදී ප්‍රවෘත්ති, මැදිරි නිවේදක කටයුතු, සම්මුඛ සාකච්ඡා මෙහෙයවන ආකාරය ‍අපිට හොඳින් කියා දුන්නා. අදටත් ශ්‍රී ලංකා ගුවන් විදුලියේ නිවේදක නිවේදිකාවන් පුහුණු කරනවා. ඒ පුහුණුවේදී අපිට කියා දෙනවා ආරාධිත අමුත්තාට වැඩි ඉඩක් ලබාදිය යුතු බව. ඒ වගේ ම කෙටි ප්‍රශ්න අහන්න, ප්‍රශ්න වැල් අහන්න එපා කියලා අපට කියා දෙනවා. ඒත් අද එවැනි පුහුණුවීම් නොලබන නිවේදක නිවේදිකාවන් සම්පත්දායකයාගේ කතාවට ඉඩක් නොදී ඔවුන් මතු වෙනවා. එය වැරදි දෙයක්. අපි නිවේදන කටයුතු කරන්නේ ජනතාව වෙනුවෙන්. අපි ජනතා නියෝජිතයන් බව අමතක කරන්න හොඳ නැහැ.

නිවැරැදි භාෂාවට සහ ගුණාත්මක පක්ෂය රැක ගනිමින් ගුවන් විදුලි වැඩසටහන් ඉදිරිපත් කරන ශ්‍රී ලංකා ගුවන් විදුලිය අද වන විට ශ්‍රාවකයන්ගෙන් ඈත් වී තිබෙන්නේ ඇයි?

මම හිතන්නේ අපේ සමාජ පරිහානිය තමයි ඊට මුල් වී තිබෙන්නේ. ප්‍රමිතිගත වැඩසටහන් ශ්‍රවණය කරන පිරිසක් තවමත් ශ්‍රී ලංකා ගුවන්විදුලියට සිටිනවා. අපි පෙර පරිදි ම ගුණාත්මක තත්ත්වය රැකගෙන ආවා.

ඒත් අද බිහි වී තිබෙන ඇතැම් පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවල ප්‍රමිතිය බැහැර වී තිබීමෙන් ඒ වෙත යොමු වී සිටින ශ්‍රාවකයන්ගේ රසවින්දන මට්ටම පහත වැටිලා. සමහර විට ඒ ගුවන්විදුලි නාලිකාවල ‘ඔයා’ කියලා අසන්නන් අමතන්නේ.

එවිට ශ්‍රාවකයන්ට එම ගුවන්විදුලි නාලිකා සමීප බවක් දැනෙනවා ඇති. ඒත් සමහර පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවල නිවේදක නිවේදිකාවන්ගේ අවර ගණයේ, බාල විහිළු කතා අහගෙන ඉන්න පුළුවන්ද? ඒත් ඒ නාලිකාවල තිබෙන ප්‍රමිතියෙන් ඈත් වීම යන සාධකය නිසා ම ශ්‍රාවකයන් ඒ වටා එක් රොක් වෙනවා.

ශ්‍රී ලංකා ගුවන් විදුලිය ගුණාත්මක අගය රැකගන්නා නිසා ම ශ්‍රාවකයන් දුරස් වෙනවා. ඒත් ශ්‍රී ලංකා ගුවන්විදුලිය තක්සලාවක් වුණා කියලා කියන අය කීදෙනෙක් ඉන්නවාද? ඒත් හරසුන් කතාබහෙන් දෙයක් උකහා ගත් අය ඉන්නවාද? එහෙම කියන අය නැහැ.

නිවේදන කාර්යයට ව්‍යාකරණය කොතෙක් දුරට වැදගත් ද?

නිවේදනයට ව්‍යාකරණය අවශ්‍යයි. අප බොහෝ විට ලේඛන වහරට පමණයි ව්‍යාකරණ අවශ්‍ය බව හිතන්නේ. ප්‍රවෘත්ති නිවේදනය ඇතුළු ලේඛන වහර යොදාගෙන කෙරෙන නිවේදන කාර්යයේදී වගේ ම භාෂණයේදීත් ව්‍යාකරණ අවශ්‍ය වෙනවා. උදාහරණයක් හැටියට ‘මට ලැබුණා’ කියන තැනකට “මම ලැබුණ” කියන්නේ නැහැනේ. “මම ගියා” කියන තැනට “මට ගියා” කියන්නේ නැහැ. භාෂණයටත් ව්‍යාකරණයක් අවශ්‍ය බව එයින් ම පැහැදිලියිනේ.

රූපවාහිනිය සහ සමාජ මාධ්‍ය ජාලා ගුවන් විදුලි මාධ්‍යයට තර්ජනයක් ද?

කිසිම තර්ජනයක් නැහැ. රූපවාහිනිය සහ සමාජ මාධ්‍ය ජාලා නැරඹීමට වෙනම කාලයක් වැය කළ යුතුයි. ඒත් රෙදි හෝදන වෙලාවෙත් මිදුල අතුගාන වෙලාවෙත් ගුවන් විදුලියට සවන් දෙන්න පුළුවන්.

අනෙක ගුවන් විදුලියේ යමක් විට ශ්‍රාවකයාට චිත්ත රූප මවා ගන්න පුළුවන්. ඉස්සර මුවන්පැලැස්ස ගුවන්විදුලි නාට්‍යයට සවන් දෙන විට ගම, කැලෑව, කදිරාගේ රෞද්‍ර පෙනුම අපි හිතෙන් මවා ගත්තා. අපිට ඒ නිදහස තිබුණා. රූපවාහිනියේ, සමාජ මාධ්‍ය ජාලාවල යමක් නරඹන විට අපි පෙන්වන රූපය දිහෑ බලාගෙන ඉන්නවා මිසක් හිතෙන් මවා ගත්ත දෙයක් නැහැ. දැන් බලන්න, ගීතවලට පෙන්වන රූපණ දිහෑ අපි බලාගෙන ඉන්නවා.

ඒත් අපි එම ගීතයට සවන් දීමේදී ඊට හාත්පසින්ම වෙනස්, සුන්දර රූපයක් මවා ගන්නවා. රූපවාහිනියේ රූප පෙන්වන නිසා ප්‍රේක්ෂකයා ඒ වෙත ඇදී ගියත් එය ගුවන් විදුලියට තර්ජනයක් නොවෙයි.

 

අදහස්