සංස්කෘති සඟරාවේ නවමු මුහුණුවර | සිළුමිණ

සංස්කෘති සඟරාවේ නවමු මුහුණුවර

මෙරට නිදහස ලැබීමෙන් පසු උද්ගත වූ සංස්කෘතික පුනරුදය පදනමෙහි 1953 වර්ෂයේ දී ඇරඹෙන සංස්කෘති සඟරාව හා තත් ශාස්ත්‍රීය ව්‍යාපාරය ඊට මිහි අනන්‍යතාව ද විශද කරමින් මේ දක්වා අඛණ්ඩ ව පැවත එයි. භාෂාව, සංස්කෘතිය, ජනශ්‍රැතිය, නවකතා, කෙටිකතා, කාව්‍ය, නාට්‍ය හා චිත්‍රපට විචාරය යනාදී ක්ෂේත්‍ර කෙරෙහි පුළුල් අවධානයක් සහිත ව හරවත් ලිපි පාඨකයා වෙත ‍ප්‍රදානය කළ මේ සඟරාවේ සමාරම්භක සංස්කාරක මෙන් ම සංස්කෘති ප්‍රකාශන සංගමයේ සංවිධායක ද වූ ආචාර්ය අමරදාස වීරසිංහ 2017 ඔක්තෝබර් මස අටවැනි දින අභාවප්‍රාප්ත විය.

සංස්කෘති සඟරාව ප්‍රකාශයට පත් කිරීමේ වගකීම පූර්ණ වශයෙන් ඉටු කළ ඔහුගේ අභාවයෙන් පසු ව ද විශ්‍රාමික මහාචාර්ය ආචාර්ය ජිනදාස දනන්සූරිය ප්‍රමුඛ සංස්කෘති සදාශ්‍රයේ සාමාජිකයන් මේ කාර්යය අඛණ්ඩ ව ඉදිරියට කරගෙ යාමෙහිලා පුරෝගාමී ව සිටීම සොම්නසට කරුණකි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් සංස්කෘති සඟරාවේ 27 වන කලාපය 2018 දෙසැම්බර් -2019 අප්‍රේල් කාල වකවානුවට අදාළ ව මුද්‍රණ ද්වාරයෙන් නිකුත් ව ඇත.

මෙවර සඟරාව ඇරඹෙන්නේ අමරදාස වීරසිංහ හා සංස්කෘති සඟරාව යන මැයෙන් යුතු සංස්කාරක සටහනෙනි. සංස්කෘති සඟරාව හා සබැඳි අමරදාස වීරසිංහයන්ගේ ශාස්ත්‍රීය මෙහෙවර, එය ලාංකේය සාහිත්‍ය කතිකාව මත ඇති කළ බලපෑම මෙන් ම එහි අඛණ්ඩ ගමන් මඟ එ් සටහනෙහිලා විවරණය කෙරේ. අනතුරුව හමුවන, පළමු ලිපිය වන්නේ මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ ලියූ “සාහිත්‍ය කවුළුවෙන් සංස්කෘතියේ විවිධ ස්වරූප සමාලෝචනය” යන්නයි.

සංස්කෘතිය විචාරය නිර්වචනානුගත ව සෛද්ධාන්තික ව නොව පුද්ගලානුබද්ධ අත්දැකීම් හා සාහිත්‍ය නිර්මාණ ඇසුරෙන් ප්‍රායෝගික ව විග්‍රහ කිරීමෙහිලා දැරූ වෑයමක් එමඟින් පසක් වේ.

අමරදාස වීරසිංහයන් විසින් 1953 සංස්කෘති කලාපයට ලියන ලද, ඔහුට උපහාරයක් වශයෙන් මෙහිලා පළ කර ඇති “බොරුහර” නමැති ලිපිය සමාජයේ මුල් බැසගෙන පවත්නා පුරුෂාර්ථ විනිවිද දකින්නකි. අනුකරණාත්මක චින්තනය මෙන් ම හීනමානය ද බැහැරලා විවෘත දෘෂ්ටියකින් සමාජ මතවාද අවලෝකනය කරන්නකි.

අාචාර්ය කපුරුබංඩාර ජයතිලක “නුවර කලාවියේ වරිග රටාව හා වරිග සභාව”යන ලිපිය මඟින් නුවර කලාවිය යන ප්‍රදේශීය පර්යේෂණ සීමාව මත පිහිටා පොදු වරිග බෙදීම්වලින් වෙනස් ව යථෝක්ත ප්‍රදේශයේ එ් බෙදීම ක්‍රියාත්මක වන ආකාරය ලිඛිත මූලාශ්‍රය මෙන් ම සම්මුඛ සාකච්ඡා ඇසුරෙන් ගවේෂණය කරයි. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එස්. වී. පී. සිරිසේන ලියූ “වහරනුසෙරෙන් සපයා” යන ලිපියෙන් සිදත් සඟරාව මුළුල්ලෙහි ම එ් පාඨයෙහි ගැබ්වන අදහස අන්තර්ගත ව පවත්නා අයුරු විමර්ශනය කෙරෙයි.

එමෙන් ම විශ්ව කෙටිකතාවක හා විශ්ව කාව්‍යයක පරිවර්තනය ද මේ සඟරාවෙහි ඇතුළත් ය. ගෞරි ෂන්කර් ගෝවර්ධන්දාස් ජොසීගේ කෙටිකතාවක් සීලවතී මැණිකේ පියසේන ලියුම නමින් සිංහලට පරිවර්තනය කර ඇති අතර සූර්ජිත් පේටැර්ගේ කාව්‍ය නිර්මාණයක් ජිනදාස දනන්සූරිය වස්දණ්ඩ හා සංහිඳියාව නමින් සිංහලට පරිවර්තනය කර ඇත.

කෙටිකතාවෙන් අලී නම් මහල්ලා සිය දියණියගෙන් බලාපොරොත්තු වන ලියුමක් පාදක කරගනිමින් පිය සෙනෙහසේ මානුෂීය වටිනාකම ඉස්මතු කෙරෙන අතර කවියෙන් බටකැලෑව, සුළඟ, පොළොව, හිරු, වැස්ස යන ස්වාභාවික තත්ත්වයන් ඇසුරෙන් සංකේතාර්ථයෙන් යුද ගිනි නිවී සංහිඳියාවේ මහ වරුෂාව ඇදහැලීම පිළිබඳ ව ධ්වනිත කෙරේ.

මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස මෙවර සංස්කෘති සඟරාවට සපයා ඇති “පේමතෝ ජායතී සෝකෝ නාට්‍ය පෙළ විමර්ශනය “ලිපියෙන් මේ වන විට අ.පො.ස. උසස් පෙළ විභාගයට ද නිර්දිෂ්ට ව පවත්නා තත් නාට්‍යයෙහි ප්‍රබලතාව සඳහා සද්ධර්මාලංකාරයේ මුල් තථා වස්තුව ප්‍රබන්ධ වක්‍රතාවට බඳුන් කිරීමෙහි කලාත්මක ස්වභාවය ඉවහල් ව ඇති අයුරු අවධාරණය කෙරේ. විශ්‍රාමික මහාචාර්ය ටී.බී. කාන්ගහආරච්චි ලියා ඇති “සිංහල සාහිත්‍යයේ බෞද්ධ - හින්දු මත සංකලනය” යන මැයෙන් කන්දක් ගිනි ඇවිළෙන්නේ නවකතාව විමර්ශනය කරමින් ලියා ඇති ලිපිය තත්කාලීන සමාජ - ආර්ථික - සංස්කෘතික විපර්යාසයන්හි යථා ස්වරූපය අදාළ කෘතියෙහි නිරූපිත ව ඇති අයුරු විශ්ලේෂණය කරන්නකි.

තව ද ජිනදාස දනන්සූරිය බුද්ධ බහුත්වය හා ඒ ආශ්‍රීත සංස්කෘතිය” යන ලිපියෙන් මුල දී සුළු සංඛ්‍යාවකින් ඇරඹී ක්‍රමයෙන් අසංඛ්‍ය තත්ත්වයකට වර්ධනය වූ බුදුවරුන් පිළිබඳ මූලාශ්‍රයානුගත විග්‍රහයක යෙදෙයි.

මේ අයුරින් සංස්කෘතික - සමාජ විමර්ශන, නාට්‍ය, භාෂාව, ආගම යනාදී ක්ෂේත්‍රයන් පිළිබඳ සාරගර්භ ලිපිවලින් සංගෘහිත සංස්කෘති නව කලාපය පාඨකයා ගැඹුරු ඥාන ගවේෂණයක් කරා මෙහෙයවන්නක් බව නොපැකිළ කිව හැකිය.

අදහස්