සිනමා කෘතියක සංගීතමය භූමිකාව | සිළුමිණ

සිනමා කෘතියක සංගීතමය භූමිකාව

සිනමා කෘතියක් ප්‍රේක්ෂකයාගේ හදවතට සමීප වන්නේ රූපය හා ශබ්දයෙනි. මනාව සංකලනය කොට නිපදවා ගත් රූප හා හා ශබ්ද සිනමා කෘති ජනමන බැඳ ගැනීමට සමත් වේ. සිනමා කෘතියක සාර්ථකත්වයෙහිලා හා එහි රූපවල ගුණාත්මක භාවය මෙන්ම එහි හඬෙහි හැසිරීම් ද එකසේ බලපායි. එය සැමවිට ම ප්‍රතිශතයක් වශයෙන් හරි අඩක් වන්නේ නැත. යම් අවස්ථාවක රූපමය ක්‍රියාකාරීත්වයට වැඩි ස්ථානයක් හිමි වන අතරම කිසියම් අවස්ථාවක රූපය අබිබවා හඬ ඉදිරියට එනු ද දැකගත හැකිය. එය කෘතියට අදාළ ප්‍රස්තුතය හා සිදුවීම් මත පදනම් වෙයි.

සිනමා කෘතියක හඬ පාර්ශ්වය නියෝජනය කරන ප්‍රධාන අංග කිහිපයකි. එනම් දෙබස් ස්වාභාවික ශබ්ද සහ සංගීතය යි.

An Introduction to Film කෘතියෙන් සිනමා සංගීතය කොටස් දෙකකට බෙදා විග්‍රහ කරයි. ඒ පසුබිම් සංගීතයය හා පෙරබිම් සංගීතය යනාදි වශයෙනි.

ප්‍රේක්ෂකයාගේ අවධානය දිනාගනිමින් එය රඳවා තබා ගැනීමටත් කලා නිර්මාණයේ රසවින්දනාත්මක තත්වය හා ගුණාත්මකභාවය වැඩිදියුණු කරගැනීමටත් සිනමා නිර්මාණකරුවා විසින් භාවිත කරන උපක්‍රමය පසුබිම් සංගීතයයි. එය යම් සිනමා නිර්මාණයක් සඳහා සුවිශේෂී ලෙස නිර්මාණය කරගැනීමට හැකිවන අතර වෙනත් මුලාශ්‍රයකින් උපුටා ගත් සංගීතයක් ද නිර්මාණයට ගැළපෙන ලෙස භාවිත කළ හැකිය. සිනමාකරණයේදී විවිධ ප්‍රතිරූප ගොඩනඟා ගැනීමටත් විවිධ චරිතවල විවිධ අවස්ථාවන්හිදී ඇතිවන හැඟීම් හා හැසිරීම් රටා ලෙස පෙන්නුම් කිරීමට පසුබිම් සංගීතය ඉවහල් වේ. පෙරබිම් සංගීතය යනු ප්‍රේක්ෂකයාගේ අවධානය ග්‍රහණය කර කරගැනීමටත්, කලා නිර්මාණය සදා නොමැකෙන සේ ප්‍රේක්ෂකයා තුළ රඳවා තැබීමටත් නිර්මාණකරුවා විසින් භාවිත කරන ශිල්ප ක්‍රමයකි. සිනමා නිර්මාණවලදී සංගීතඥයෝ මේ සංගීතය යොදා ගනිමින් එ් නිර්මාණයේ සාර්ථක භාවය උපරිමයෙන් දක්වා ගෙන යෑමට උත්සාහ දරති. මේ සඳහා වාදනය මෙන්ම ගායනය ද යොදාගනු ලැබේ. සිනමා නිර්මාණයේ තේමාව හා චරිත වල ප්‍රබල බව උද්දීපනය වන අයුරින් නිර්මාණය කරන ලද ගීත මනාව ගැළපෙන ගායකයන් ගේ කටහඬ හා සුසංයෝග කොට ගැයෙන ගීත නිර්මාණ සිනමා නිර්මාණයේ දී බහුල ලෙස යොදා ගැනේ.

මුල් කාලයේ නිහඬ චිත්‍රපට කලාව ඇරඹුණි. එහි දී චිත්‍රපට දිග හැරෙන අවස්ථාවේදී කිසියම් හෝ සංගීතමය නාදයක් එහි නොතිබූ අතර, පසුව චිත්‍රපටය තිරගත කිරීමේ දී චිත්‍රපට ශාලාවේ ඉදිරිපස එක් කෙළවරක වාදන ශිල්පීන් කිහිපදෙනෙක් පියානෝව සහ ඕගනය ආදී සංගීත භාණ්ඩ පෙරටුකොටගෙන චිත්‍රපටයට සජීවී සංගීතය සැපයීම ආරම්භ විය. මේ සංගීතය විටෙක ප්‍රිය ජනක වුවද බොහෝ අවස්ථාවලදී රූප රාමු වලට නොගැළපෙන ඒකාකාරී සංගීතයක් වීම නිසා ප්‍රේක්ෂකයාට එ් සංගීතය නීරස විය. නිර්මාණශීලී බවින් හීන වීම හේතුවෙන් එයට සවන් දීම ප්‍රේක්ෂකයාට පීඩාකාරී අත්දැකීමක් විය. ඉන් දශක කිහිපයකට පසුව චිත්‍රපටයේ පිටපතට අනුව සංගීත රචකයා සංගීතය නිර්මාණය කොට රූපවලට අනුකූලව සජීවී සංගීතය සැපයීමට කටයුතු සලසා ගන්නා ලදී. තාක්ෂණයේ දියුණුවත් සමඟ ම හඬ වාර්තාකරණය සිනමා විෂය ක්ෂේත්‍රයට ඇතුළත් වන අතර ඉන්පසුව ක්‍රමානුකූලව රචනා කරන ලද සංගීත රචනය වාදන මණ්ඩලයක් නව ශබ්දාගාරයක් තුළ පටිගත කොට චිත්‍රපටයට එකතු කිරීමට සමත් විය.

චිත්‍රපටයේ සංගීතයට ඇති ස්ථානය තවමත් අපේ නිෂ්පාදකයන් විසින් තේරුම් ගෙන නැති අතර එය යෙදිය යුතු ආකාරය පිළිබඳ නියම දැනීමක් ද බොහෝ සංගීත අධ්‍යක්ෂවරුන්ට නැත. එය දෘශ්‍යමාන ඡායා මඟින් විනිශ්චය කළ හැකි දෙයක් නොවේ. එය තව කනින් අසා සිතෙන් විඳ අවබෝධ කරගත යුත්තකි. චිත්‍රපටයේ පින්තූරවල දක්වන අවස්ථාවන් උජ්ජ්වලිත කිරීමට සංගීතයට පුළුවන. එවිට එයින් රූපයක් සමඟ වින්දනයක් ගෙන දේ”

අද වන විට සිනමා සංගීත විෂය ක්ෂේත්‍රය පුළුල් වී ඇත. එනම් චිත්‍රපට සංගීතය රචකයා ස්වර රචනයේ සිට සම්පූර්ණ කරන ලද හඬ පටය නිකුත් කිරීම දක්වා වන ක්‍රියාකාරීත්වයේ සෑම අවධියේ ම නියෝජනය කිරීම වැදගත් වේ. සංගීත රචකයා ඊට අදාළ තාක්ෂණික දැනුමින් සන්නද්ධ වී සිටීම එය සාර්ථකව නිමකර ගැනීම උදෙසා මහත් රුකුලක් වේ.

සංගීතය සංකීර්ණ සන්නිවේදන මාර්ගයකි. විශේෂයෙන් ම චිත්‍රපටයක සංගීතය භාවිත කරන්නේ හිස්තැන් පිරවීම වශයෙන් නොවේ. එනම් සමස්ත කෘතියේ අරුත ප්‍රකාශ කිරීම අරභයා සංගීතය ඉතා වැදගත් සම්මාදමක් දරයි. සෑම චිත්‍රපටයක ම නිහඬ සංගීතයක් ඇත. එය ගොඩනැ‍ඟෙන්නේ අධ්‍යක්ෂකවරයා සිය කැමරා චලනය, සංස්කරණ, ද්විත්ව නිරාකරණය, බහුත්ව නිරාවරණය, සම්මිශ්‍රිත ආලෝකකරණය ආදිය තුළින් ගොඩනඟා ගන්නා රිද්මයෙනි. කෘතියට ආයෝජනය කරන ‘ජීවිතය’ පණ ගන්වන්නේ රඟපෑම ඔස්සේ ය. චරිත ගොඩනැඟීම බොහෝවිට සංධ්වනියක පියවර මෙන් එක් පියවරකින් තවත් පියවරකට ආදී වශයෙන් කූටප්‍රාප්තිය කරා ළඟා වේ. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා මේ ක්‍රියාවලිය සියුම් ව අවබෝධ කරගත යුතු වේ. චිත්‍රපටයේ සංඥාකරණය රඳා පවතින්නේ රූපය හා ශබ්දය භාවිත කිරීම මත ය.

සිනමා සංගීතය සැමවිට ම රූප ඉක්මවා නොයා යුතුය. එසේ වූ කල සිනමා කෘතියේ අරුත විකෘති වීමට එය ඉවහල් වේ. චිත්‍රපටයේ දිගහැරෙන රූප වලට අනුරූපව සංගීත රචකයා සංගීතය නිර්මාණය කරගත යුතු අතර එහිදී සංස්කරණය සහ ආලෝකකරණය වැනි කරුණු කෙරෙහි ද දැඩි අවධානය යොමු කිරීම වැදගත් වේ. සිනමා කෘතිය පුරාවට සංගීතය අවශ්‍ය වන්නේ නැත. අදාළ ස්ථානයට පමණක් සංගීතය යොදා අවශ්‍ය ස්ථාන නිහඬ ව තැබීම කළ යුතුය. විටෙක සංගීතයෙන් මනෝභාව තීව්‍ර කරන අතර නිහැඬියාව මනෝභාව තව තවත් තීව්‍ර කිරීමට සමත් ක්‍රමවේදයක් ලෙස සැලකිය හැකිය.

සිනමා සංගීත රචකයාට විවිධ ශානර නියෝජනය කරන සිනමා කෘති සඳහා සංගීතය සැපයීමට සිදු වේ. කලාත්මක සිනමා කෘති හා වාණිජමය සිනමා කෘති ලෙස ප්‍රධාන වශයෙන් මේවා ප්‍රභේද වේ. ඒ අතර සංග්‍රාමීය, ඓතිහාසික, ආගමික, ශෘංගාරාත්මක, විද්‍යා ප්‍රබන්ධ හා මනංකල්පිත යනාදී විවිධ ප්‍රස්තුත ඔස්සේ සිය රචනය දිග හැරීමට සිදු වේ. මේ සියලු ශානර නියෝජනය කිරීමට සංගීත රචකයා සංගීතයේ මෙන්ම සිනමාවේ ද පෘථුල දැනුමකින් හෙබි පුද්ගලයකු ද විය යුතුය. නැතහොත් නිෂ්පාදනයකයාට හෝ අධ්‍යක්ෂවරයාට අවශ්‍ය දායකත්වය සංගීත රචකයාගෙන් නිසියාකාරව ලබා ගැනීමට අවකාශ නොලැබේ. එමෙන්ම සිනමා කෘතිය අසාර්ථක වීමට හේතු වේ.

සිනමා නිර්මාණකරණ පරම්පරාවේ පැරණිතම නිර්මාණය ලෙස සැලකෙන්නේ මහා කාව්‍යයෝ ය. මේ සඳහා හොඳ ම උදාහරණය පැය තුනක නිහඬ චිත්‍රපටයක් වූ ‘ගියෝවානී පැස්ටුන්’ ලෙස සැලකේ. එය ආගමික යුද්ධ පිළිබඳ ව කියැවෙන නිර්මාණයක් වන අතර එයින් ලබාගත් ආභාසය අනුව ‘ඩී ඩබ්ලිව් ග්‍රිෆිත්’ විසින් නිහඬ මහා කාව්‍ය චිත්‍රපට රැසක් නිර්මාණය කරන ලදි. මේ නිර්මාණය (1960) ගණන් වන විට ජනප්‍රියත්වයේ ඉහළ ම තලයට පැන නඟින අතර හොලිවුඩ් නිර්මාණකරුවා විදෙස් චිත්‍රාගාර වල සහයෝගය ලබාගෙන ස්පාඤ්ඤය සහ මොරොක්කෝව ඇතුළු තවත් රටවල් ඉතා චමත්කාර ජනක දර්ශන වල තල භාවිත කරමින් මහාකාව්‍ය සිනමා නිර්මාණ බිහි වූ ගම්භීර කාල පරිච්ඡේදයේ අවසාන භාගය සටහන් වන්නේ Cleopara :1963, The Fall Of Roman Empire :1964 Dr. Shivago’ හා (1965) යන සිනමා නව නිර්මාණවලිනි.

එහෙත් මේ ගණයේ චිත්‍රපට වරින් වර කරළියට පැමිණි අතර අමරණීය මතක සටහන් තැබූ චිත්‍රපටයක් වන්නේ War and Peace චිත්‍රපටයයි. එය ස්කාර්ලින්කලින් බොන්ඩාඩුක් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර (1968) දී පෙර පැවති සෝවියට් සමූහාණ්ඩුවේ බිහිවූ නිර්මාණයකි. එ් කාලයේ දී වැඩි ම වියදමක් දරා නිර්මාණය කරන ලද චිත්‍රපටයක් ලෙස මෙය ඉතිහාසයට එක්ව ඇත. මහා කාව්‍ය සිනමා නිර්මාණ නිෂ්පාදනය දිගට ම වරින්වර සිදු වූ අතර පරිගණක තාක්ෂණයේ දියුණුවත් සමඟ ම දහස් ගණන් නළු නිළි පිරිස වෙනුවට පරිගණක ශිල්ප ක්‍රම භාවිත කිරීම සුලබ විය. 1950 ගණන්වල සිට මේ චිත්‍රපට වඩා පුළුල් පරාසයක විවිධ දිශානතිවල නාට්‍යමය අත්දැකීම් ලබාගත හැකි පරිදි රූගත කිරීම් සිදුකරන ලදී.

සංගීතය ශ්‍රී ලාංකේය හා ඉන්දීය සිනමා සංගීතය අධ්‍යයනයේ දී දැකගත හැකි විශේෂ ලක්ෂණයක් වන්නේ සිනමා ගීත කලාවයි. හොලිවුඩ් සිනමාවේද ගීත භාවිත වන අතර ඉන්දියාවට හා ලංකාවට සාපේක්ෂව ඔවුන් ගීත යොදා ගන්නා තරම් ය. මෙම තත්ත්වය වඩාත් දැකගත හැක්කේ වාණිජ සිනමා නිර්මාණවල ය. ඉන්දියාවේ සිනමාවට ඇත්තේ ඉහළ ස්ථානයකි. සිනමාශාලාවක ප්‍රවේශ පතක් වෙන් කරවා ගැනීමට පවා නොහැකි තරම් ප්‍රේක්ෂක ආකර්ෂණයක් ඊට ඇත. එයට ප්‍රධාන ම හේතුවක් ලෙස ඒවායේ සංගීත සංයෝජනය හා ගීත සඳහන් කළ හැකිය.

චිත්‍රපට ප්‍රදර්ශනය වීමට පෙර ගීත ප්‍රචාරය ආරම්භ කරන අවස්ථාද දක්නට ලැබේ. එම ගීත ප්‍රචාරක මාධ්‍යයක් ලෙස ඔවුන් යොදාගනු ලබයි. එ් ඉන්දියානු ආභාසය ලංකාවටත් බලපා ඇත. 1950 ගණන්වල පටන් අද දක්වා ම ශ්‍රී ලංකාවේ සිනමා සංගීතයට ඉන්දියානු සමාගම් බලපෑම් සිදු කොට ඇත. එහෙයින් ලංකාවේ දී බොහෝ සිනමා නිර්මාණවලවල ගීත ඇතුළත් කර තිබීම දැකිය හැකිය.

චිත්‍රපටයකට ගීතයක් ඇතුළත් කිරීම විවිධ පරමාර්ථ මුල් කරගෙන සිදු කරයි. අඛණ්ඩ ව පවත්වාගෙන යෑම, කාල තරණය කිරීම, ඒකාකාරීත්වයෙන් මුදා ගැනීම, අවශ්‍ය අවස්ථා නිරූපණය ආදී කාරණා හේතුකොටගෙන චිත්‍රපටයක ගීත ඇතුළත් කරයි. නමුත් ඇතැම් වර්තමාන සිනමා නිර්මාණයන්හි චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු උදෙසා ගීත ඇතුළත් කර තිබීම ද දැක ගත හැකි ය. ගීත අවභාවිතය චිත්‍රපටයේ ගුණාත්මකභාවය හීන කිරීම කෙරෙහි සෘජු ව ම බලපායි. ඒ අනුව සිනමා කෘතිවලට ගීත ඇතුළත් කිරීමේදී එය තිර රචනයට අනුකූලව සිදු විය යුතුයි. අනවශ්‍ය ලෙස ප්‍රස්තුතයට හා කතාවේ ගලා යෑමට හානි නොවන පරිදි කෘතියට ප්‍රයෝජනවත් වන පරිදි එය ඇතුළත් කිරීමට වග බලා ගත යුතුයි.

2000 වර්ෂයේදී නිර්මාණය Gladiator චිත්‍රපටයෙන් පසුව එ් දශකය පුරා මහා කාව්‍යමය සිනමා ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් සිදු වු බව The Roman Of Ephic Film ” කෘතියේ කර්තෘ Andrew Elliot ’ මහතා සිය කෘතියේ දක්වා ඇත. තව දුරටත් ඔහු පැහැදිලි කරන්නේ 1950 - 1960 දශක වල බටහිර වීර කතා පදනම් කර මහා කාව්‍ය සිනමා කෘති නිර්මාණය වු බවයි. 90 දශකයෙන් පසු එය බටහිර නොවන අාපදාන , වීර කතා හා ආදර කතා පසුබිම් කොට ගෙන නිර්මාණය කරගෙන ඇති බවයි.

ඊට සාපේක්ෂව සිනමා සංගීතයේද බොහෝ විපර්යාස සිදු වීමට පටන් ගත්තේය. බටහිර චිත්‍රපට තාක්ෂණික ක්‍රමශිල්ප දියුණු වීමත් ඊට සමගාමීව සිනමා ශාලාව අංග වැඩි දියණු වීමත් දැකගත හැක. 2-1 ක්‍රමයෙන් Dts Dolby, Dolby Atmos ආදී Surrounding තාක්ෂණය ඔස්සේ වර්තමාන චිත්‍රපට සංගීත රචකයාට සිනමාවට අදාළ ව සංගීත රචනය හා නිෂ්පාදනය සිදු කිරීමට සිදු විය. ප්‍රේක්ෂකයාට නවීන (Real) අත්දැකීමක් ලබා දීමට කටයුතු කිරීමට වග විය යුතුය. රූප සහ හඩ දියුණුවත් සමඟ ප්‍රේක්ෂකයා ඊට තව තවත් ආකර්ෂණය විය.

මේ නව යුගය ගැන සැලකීමේදී ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ යම් පසුබෑමක් දක්නට ලැබේ. එයට ප්‍රධාන හේතුව ඉන්දියාවට හා බටහිරට සාපේක්ෂව ලංකාවේ සිනමා කර්මාන්තයට යොදන ප්‍රාග්ධනය අල්ප වීමත්, සිනමා ශාලා නිසියාකාර නඩත්තු නොකිරීමත්, ඒවාගේ තාක්ෂණික මෙවලම් හා ක්‍රම ශිල්ප යාවත්කාලීන නොවීම හේතුවෙන් ප්‍රේක්ෂකයා සිනමා ශාලාවෙන් දුරස් වීම සිදු විය.

අදහස්