පාතාලයට අවි සපයන, උතුරේ මැර කල්ලියක්! | Page 2 | සිළුමිණ

පාතාලයට අවි සපයන, උතුරේ මැර කල්ලියක්!

උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල වළ දමා ඇති අවි-ආයුධ සහ පතොරම් ගොඩ ගෙන දකුණේ පාතාල කල්ලිවලට අලෙවි කිරීමේ හා ඒ පාතාල කල්ලිවල කොන්ත්‍රාත් ලෙස මිනිස් ඝාතන සිදු කිරීමේ නිරතව සිටින එල්ටීටීඊයේ හිටපු සාමාජිකයන්ගෙන් සැදුම් ලත් අපරාධ කල්ලියක් ගැන තොරතුරු හෙළි කරගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් සමත්ව තිබේ.

මේ කල්ලියට සම්බන්ධ 10 දෙනකු මේ වන විට අත්අඩංගුවට ගැනීමට මේ විශේෂ පොලිස් කණ්ඩායමට හැකිව ඇත. අනුරාධපුර ගුවන්හමුදා කඳවුරට 2007 වසරේ ඔක්තෝබර් 22 වැනිදා එල්ල කළ ප්‍රහාරයට සම්බන්ධ වී දිවි ගලවාගත් එල්ටීටීඊ සාමාජිකයකු මේ කල්ලියට නායකත්වය දෙන බව හෙළි වී තිබේ.

'වේදන්' නමැති ඒ කල්ලි නායකයාද, නාවික හමුදාවේ හිටපු සෙබළකු හා තවත් අයෙක් සිටින බව ආරංචි මාර්ග අනාවරණය කළේය. අත්අඩංගුවට ගැනීමට තවත් 16 දෙනකු පමණ සිටින අතර, ඔවුන් මේ වන විටත් හඳුනාගෙන ඇත. ඒ අය අතර පොලිස් නිලධාරීන් කිහිප දෙනකුද සිටින බව සඳහන්ය. මේ කල්ලිය සතුව තිබී අවි ආයුධ රැසක්ද මේ වන විට සොයාගෙන තිබේ. බන්ධනාගාරගතව සිටින පාතාල කල්ලි නායකයකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව මේ කල්ලිය පසුගිය වසරේ මාර්තු 25 දා අතුරුගිරියේ ව්‍යාපාරිකයකුගේ නිවෙසකටද වෙඩි තබා ඇතැයි හෙළි වී තිබේ. බන්ධනාගාරගතව සිටින පාතාල කල්ලි නායකයාට කප්පම් නොදීම එම වෙඩි තැබීමට මුල් වී ඇතැයි පරීක්ෂණවලින් අනාරණය වී ඇත.

මුල්ලේරියාවේදී 2017 වසරේ ජනවාරි මාසයේදී සිදු වුණු මිනිස් ඝාතනයක්ද කර ඇත්තේ මේ කල්ලිය විසිනි. එයද පාතාලයේ කොන්ත්‍රාත්තුවකි. බන්ධනාගාරයේ සිට මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේද නිරතව සිටින මේ පාතාල කල්ලි නායකයාගේ ගෝල-බාලයන් රැසක් පසුගිය වසර දෙක තුළ ගම්පහ පොලීසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් අත්අඩංගුවට ගෙන, ටී56 අවි 10කට වැඩි ප්‍රමාණයක් සොයාගනු ලැබිණි.

ඒ අවිද උතුරෙන් ඔවුන්ට ලැබී ඇතැයි විමර්ශනවලදී පෙනී ගොස් තිබේ. මඩකලපුව වව්නතිව් පොලිස් මුරපොළේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු පසුගිය වසරේ නොවැම්බර් 30 දා ඝාතනයටද මේ කල්ලියේ සම්බන්ධයක් ඇතැයි සැකයක් මේ වන විට ඇතිව තිබේ. ඒ සම්බන්ධයෙන්ද මේ වන විට පුළුල් විමර්ශනයක් පැවැත්වෙමින් ඇතැයි ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.

 

Comments