මත් ජාවාරමට එරෙහිව ත්‍රිවිධ හමුදාවම සටනට | Page 2 | සිළුමිණ

මත් ජාවාරමට එරෙහිව ත්‍රිවිධ හමුදාවම සටනට

ඡායාරූප යුදහමුදා මාධ්‍ය අංශය

ශ්‍රී ලංකාවේ මත් උවදුර ඉදිරි වසර 2 තුළදී සහමුලින්ම දුරු කරදැමීම පිණිස ඉදිරි දෙසතියක කාලයක සිට ත්‍රිවිධ හමුදාව විසින් ඒකාබද්ධ දැවැන්ත මෙහෙයුම් ආරම්භ කරන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ත්‍රිවිධ හමුදාපතිවරු පවසති. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය හා එක්ව නවීන තාක්ෂණය භාවිත කරමින් ඉදිරියේදී මේ මෙහෙයුම් සිදු කිරීමට නියමිතය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහත්වරු පසුගිය සිකුරාදා මාධ්‍ය හමුවකදී මේ බව පැවසූහ.

මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන්නන්, බෙදාහරින්නන් හා භාවිත කරන්නන් සඳහා වෙන වෙනම මේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, දිවයින පුරා ඇති යුද හමුදා බළ ඇණි සියල්ල මේ සඳහා සීරුවෙන් තැබෙනු ඇත. එසේම නාවික හමුදාවෙන් සම්පූර්ණයෙන්ම සාගර කලාපය ආවරණය කිරීමට කටයුතු යෙදෙන අතර, ගුවන් හමුදාව විසින් ගුවන් මඟීන් අවශ්‍ය නිරීක්ෂණ සහායන් හා ඩ්‍රෝන කැමරා සහාය නවීනතම තාක්ෂණයද සහිතව ලබා දීමට නියමිතය. විශේෂයෙන්ම යුද හමුදා බළකා වෙත නීති නිලධාරියකු යෙදවීමෙත් මේ කටයුතු වඩාත් පහසු කරගැන්මට කටයුතු යෙදෙනු බව ඔවුහු පවසති. පොලීසිය හා විශේෂ කාර්ය බළකායේ වැටලීම් සදහා අවශ්‍ය පරිදි මේ දක්වා සහාය දුන් බවත්, ඉදිරියේදී ඒකාබද්ධ වැටලීම් විශේෂ ක්‍රියාන්විත සැලසුම් සහිතව සිදු කෙරෙන බවද ඔවුහු පැවසූහ.

මත් උවදුර දුරු කිරීම පිණිස ආරම්භ කරන ලද ක්‍රියාන්විත මෙහෙයුම් සඳහා ත්‍රිවිධ හමුදාවට පිරිස් අත්අඩංගුවට ගැනීම් හා ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට තිබූ නෛතික බාධා ඉදිරි දෙසතියක පමණ කාලයකදී ඉවත් කෙරෙනු ඇති බවද ඔවුහු පවසති. ත්‍රිවිධ හමුදාවේම බුද්ධි අංශ මේ වන විට මත් ද්‍රව්‍ය සම්බන්ධ පුද්ගලයන් සෙවීම වෙනුවෙන් සීරුවෙන් තබා ඇති අතර, ඒ තොරතුරු මත ඉදිරියේදී දැවැන්ත මේ වැටලීම් සිදු කෙරෙනු ඇත. ත්‍රස්තවාදය මැඬලීමෙන් පසුව ත්‍රිවිධ හමුදාව විසින් සිදු කරනු ලබන දැවැන්තම මෙහෙයුම මෙය බවද ජනාධිපතිවරයාගේ උපදෙස් මත සිදු කරනු ලබන මේ මෙහෙයුම් යුද්ධය ජය ගත්තා සේ ජය ලබන බවද ඔවුහු පෙන්වා දුන්හ.

Comments