අපි දෙන්නා එක් වෙනවට අම්මා කැමැතියි | සිළුමිණ

අපි දෙන්නා එක් වෙනවට අම්මා කැමැතියි

නීලක සිටින්නේ ප්‍රශ්නයකට මැදිවය. මහරාජා පැමිණ සිටින්නේ හොඳ යහපත් අදහසක් පෙර දැරිව නොවේ. මිනිසුන් ජීවිතයේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ අහඹු සිදුවීම් වල ප්‍රතිඵලයක් විලස නොවේ. රටක ව්‍යසන ජාතික ප්‍රශ්න නිර්මාණය වන්නේ අන්තර්ජාතික ප්‍රවණතාවන්ටය. අද රටක් තුළ නිර්මාණය වන ජාතික ප්‍රශ්න යැයි හංවඩු ගසන බොහෝ ඒවා විදේශිකයන්ගේ කුමන්ත්‍රණ ඇසුරෙන් නිර්මාණය වූ ඒවාය. මහාරාජා එන්ට ඇත්තේ නිකම්ම නොවන බව පැහැදිලිය.

ඇගේ රුව දුරකතනයේ සටහන් වුණි.

“ඇයි තරහයි කියල ඉඳල කතා කළේ”

“පව් කියල හිතුණා.” ඈ සිනා සුණාය.

“ඒක නෙමේ ඇත්ත”.

“දෙයක් අහන්නද?”

“දැන් ඒවා කතා කරල වැඩක් නෑ. කෝ අප්පා”.

අප්පා සීතා හංගලා හිටපු තැන් බලන්ට යන්ට හදනවා”

“නීලක මමත් එන්නද?”

“එතරම් හොඳ ලස්සන වචනයක් මම කවදාවත් අහල නෑ.”

“ඔය වචන =වලට කාලය නාස්ති වෙන්නෑ කෙළින් උත්තරයක් දෙන්න - මම එන්නද එපාද?”

“ආත්ම ගණනාවක් මඟ හැරුණත් මේ සැරේ එහෙම වෙන්න දෙන්නෙ නෑ”

“මම අම්මට කියන්නෑ?”

“ඔයාගෙ අම්මා ගැන මට කියන්ට තේරෙන්නෙ නෑ. ඔයානේ දන්නෙ. අප්පට අම්මා විශ්වාසයිනෙ.”

“අම්මා අප්පව විශ්වාස කරන්නෙ නෑ. අම්මාට අප්පාගෙන් අසාධාරණ කම් වෙලා තියෙනවා.”

“පවුල්වල ඒ වගෙ ප්‍රශ්න තියෙනවා”

“නීලකව නොදැක්කත් ඔයාට ආදරෙයි. ආත්මයක් ආත්මයක් පාසා ආදරෙන් බැ‍ඳෙන කතාව පිළිගන්නවා”

“අපි දෙන්නා එක් වෙනවාට අම්මා කැමැතියි”

“මොනවා රාජ කුමාරිකාව මට දෙන්න කැමතියි”

“ඔව්. අම්මා ඉන්නෙ සතුටෙන් නොවේ.අප්පා මාළිගාවට තරුණ ගැහැනු ගෙන්වා ගන්නවා.”

මේ ඉතිහාසයේ හැම ගැහැනියක් ම මුහුණ දුන් ඛේදවාචකයකි. විවාහ වීම යනු දරුවෙක් ප්‍රසූත කිරීමට ඇති හැකියාවට වඩා විශේෂ වූ සෞන්දර්යාත්මක බැඳීමක් විය යුතුය. පිරිමියා ගැහැනිය සමඟ නිදා පරිභෝජයෙන් පසු ඉවත ලන කෙසෙල් ලෙලි තත්ත්වයට පත් කිරීමට කැමැතිය. පැහැදිලිව අම්මා මේ මාළිගයේ ජීවත්ව ඒ අත්දැකීම් ලබා ඇත. ඇය කල්පනාවෙන් මිදී යළි ඇමතුවාය.

“මම කෝටිපති මහා රාජා කෙනෙක් බඳිනවට වඩා අශ්ව කරත්ත ට්‍රැක්ටර් එළවන කුලීකාරයෙක් එක්ක ගියත් කැමැතියි කිව්වා.”

“සොරි. තවම මට ඒවගේ රස්සාවක් වත් නෑ”

“අපි දෙන්නා එක්වෙලා ජීවත් වෙමු.” ඇය ආදරණීය ලෙස කීවාය.

“එය කොතරම් හැඟීම්බර යෝජනාවක්ද? මෙය කිසිදාක අපට සමීප විය නොහැකි මනෝමය ලෝකයක්ද? එය යථාර්ථයක් බවට පත් කිරීමට ඇය අහිංසක උත්සාහයක් දරන්නේ එහි බැරෑරුම්කම නොදැනය.

“ආ‍වොත් හිඟාකාලා හරි කන්න දෙන්නම්. ආපහු යන්ට දෙන්නෙ නෑ”

“සීතා අරන් ගිය‍ා වගේ ආපහු ගෙනියන්නට නම් දෙන්න එපා.”

“රාවණා මෝඩ වැඩ කළාට ආපහු ඉන්දියාවට යන්න වෙන්නෙ චම්පා වගේ දුවෙක් එක්කයි.”

ඔවුහු සිනාසෙන්නට වුහ.

“මගෙ ඇස්වල කඳුළු පිරුණත් එක්ක. විහිළු නෙමේ මම ලංකාවට එනවා.” ඇය ස්ථිර හඬින් කීවාය.

“කොච්චර ප්‍රශ්න තිබුණත් අපිව වෙන් කරන්න පුළුවන් වෙන්නේ අපි දෙන්නාගේ මරණයෙන් විතරයි.”

“නතර කරන්න ඔය කතාව. ආත්මයක් ආත්මයක් පාසා වෙන් කරන්න බැරි නිසා නේද මේ ගමන ඇවිදින් තියෙන්නේ”.

“ඔවුනතර නිහඬ බවක් ඇතිවුණි. කතාව අවසන් වූයේ තීරණයකට එළඹීමට නොහැකිවය.

මෙම සංවාදය අවසන් වන තෙක් යසස් බලා සිටියේය.

“කුමාරි මොනවද කියන්නෙ”

“මළ කෙළියයි. එයා ලංකාවට එන්න හදනවා.”

“කවද හරි ගෙන්න ගන්න එකනෙ. ආවාවේ.”

“ගැනියෙක් ගෙනැල්ලා දුක දෙන්න බෑ. එයා රාජ කුමාරිකාවක්.”

“කුමාරි කැමැති නම් ආවාවෙ.”

“එහෙම ආවට ගියාට ගෙන්නා ගෙන බෑ නවාතැන් දෙන්න ඕනෑ හොඳට කන්න දෙන්න ඕනෑ. අනික හොටෙල් එකක තියන්න මට සල්ලි නෑ”.

“ඔව් ඒවත් ප්‍රශ්න තමා. කුමාරි ආවොත් මොනවද කරන්නෙ?”

“කිව්ව හැටියට ලොක්කත් නැති නිසා එන්ට ඉඩ තියෙනවා. මැඩම් මට කැමැතිලු”

“ගැහැනු කැමැති වෙයි කියල මම නම් දන්නෙ නෑ.”

“රාම් මොහොන් ළාබාල ගැහැනු ආශ්‍රය කිරීම ගැන අම්මා ඉන්නෙ දුකින්ලු.”

“අග බිසව හැර තවත් පරිවාර ස්ත්‍රීන් ඉඳල තියෙනවා කියල සාහිත්‍යයේ කියල තියෙනවා.”

“කොයි ගෑනිද මචං තමුන්ගෙ පිරිමියා තව ගෑනු තියාගෙන ඉන්නවට කැමැති.”

“හරි මම ඒ/සී ගෙයක් හොයල දෙන්නම්.”

“එහෙම නෙමේ උඹට බැරිද ලොක්කව ටුවර් එක එක්ක යන්න. බැරි වෙලාවත් ආවොත් ආරක්ෂා කරන්ට එපායෑ.”

* * * *

මෙතරම් සතුටින් සිටි කාලයක් රාම් මෝහන්ට මතක නැත. පැමිණි කාරණය අමතක වී ඇතැයි සිතේ. සිතට කිසි බයක් නැත. වෛද්‍යවරයා සුවපත්ව සිටියානම් ඔහු මේ ගමන්වලට සම්බන්ධ කරගත හැකිව තිබුණි. නීලකගේ මිත්‍රයා තමාට දුන් සහනය අගේ කළ යුතුය. ඔහු දුන් පානයෙන් මලබද්ධය නැතිව ගියේය. සමුද්‍රයට නුදුරින් නවාතැන පිහිටා තිබීම නිසා ත්‍රිවිලරයකින් වුවද යෑමට පුළුවන. ඉන්දියාවේ සිටියදී මෙය ගුවන් යානයක යායුතු දැවැන්ත වියදමකි. යසස් තමාට උදව් කරන්නේ නීලක වෙනුවෙනි. ඔහු බුද්ධිමත් තරුණයෙකි. ඒ ලෙස ආඩම්බරකම් පෑමේ වරදක් නැත.

“සර්. ඊයෙ බීම නිසා කරදරයක් වුණාද?” යසස් ත්‍රිවිල‍රයේ යන ගමන් ඇසුවේ.

“නෑ නෑ. ඉංග්‍රිසි, ඉන්දියන් බේත් බීලත් මට මේ තරම් පහසු‍වක් දැනුණේ නෑ.”

“සර්ට තවත් හොඳ බේතක් අරගෙන ආවා බීලම ඉන්න. මේක සිංහල බේතක් සියඹලා, සුදුලූනු දාපු විරේක බේතක්. මේක හදල දුන්නෙ නීලකගෙ අම්මා.” ලබන සතියට

අදහස්