පසුගිය කාලයේ වෙන්න තියෙන හැමදේම වුණා | Page 2 | සිළුමිණ

පසුගිය කාලයේ වෙන්න තියෙන හැමදේම වුණා

සචිනි අයේන්ද්‍රා පුංචි තිරයේ මෙන්ම සිනමාවේ සිටින දක්ෂ, රුවැති රංගන ශිල්පිනියක්. ඇය කලාව තුළ සෙමෙන්, සාර්ථක ගමනක් යන රංගන ශිල්පිනියක ලෙසත් හැඳින්විය හැකියි. සචිනි පසුගිය කාලයේ වෙනස් අත්දැකීමකට මුහුණ දී සිටියා කියා අපට ආරංචි වුණා. ඒ ගැන විමසන්න කතාකළ විට ඇය ‘හිත පිරෙන හීන‘

විශේෂාංගයට කීවේ මෙවැනි කතාවක්.

මොකක්ද සචිනිට පසුගිය කාලයේ වුණේ...

නිෂාන්ත සාන්තදේව අධ්‍යක්ෂණය කළ ‘ගර්භාශය‘ චිත්‍රපටයේ රූපගත කිරීම් තිබුණා මහනුවර ප්‍රදේශයේ. එහි මට තිබුණේ ‘මණිමේකලා‘ නැමැති මරාගෙන මැ‍ෙරන LTTE සාමාජිකාවකගේ චරිතයක් නිරූපණය කරන්න. ඉතින් ඒ චරිතය කරන්න ගිහින් මට වෙන්න තියෙන හැම දේම වුණා.

හැමදේම වුණා කිව්වේ...

ගුටි කන්න සිද්ද වුණා. ශාරීරිකව සහ මානසිකව පීඩනයට පත්වුණා. දෙමළ භාෂාව හසුරුවන්න සිදුවුණා. එම චරිතයට කොයිතරම් අනුගත වුණාද කියනව නම් අවසානයේ මානසික වෛද්‍යවරයෙක් ළඟටත් යන්න සිදුවුණා.

‘ගර්භාශය‘ තිරගත වෙන්නේ කවදාද?

ඒක මට හරියටම කියන්න අමාරුයි. තව මාස කිහිපයකින් තිරගත වේවි කියා සිතනවා.

එතරම් කැපවීමෙන් රඟ පෑ චිත්‍රපටය ගැන සතුටෙන්ද ඉන්නෙ...

ගොඩක් සතුටුයි. ඇගයීමක් ලැබෙයි කියල බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මේ දවස්වල මොකද කරන්නේ...

මේ දවස්වල නම් අලුතෙන් භාරගත්ත වැඩ නැහැ. තව මාස දෙකකින් විතර ප්‍රංසයේ රූගත කෙරෙන ලාංකේය සිනමාපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒක තමයි ඊළඟට සම්බන්ධවෙන්න හිතාගෙන ඉන්නෙ.

සචිනි දැන් සිනමාවටම සීමා වෙලාද?

එහෙම නැහැ. ටෙලි නාට්‍ය රඟපාන්නත් කැමැතියි. නමුත් හොඳ පිටපතක් නැතුව ටෙලි නාට්‍ය රඟපාලා වැඩක් නෑ. පසුගිය කාලයේ බූඩි කීර්තිසේනගේ ‘රූ මස්සල‘ කියන ටෙලි නාට්‍යයේ රඟපෑවා. මහේන්ද්‍ර පෙරේරා, සමනලී, දසුන්, සහ සරත් කොතලාවල සමග. එම ටෙලිනාට්‍යය ඉදිරියේදී දකින්න ලැබෙයි.

වෘත්තීය රංගන ශිල්පිනියකට පුළුවන්ද තෝරාගත් චරිත පමණක් රඟපාන්න?

අනෙක් අය ගැන කියන්න මම දන්නෙ නැහැ. මම රඟපාන්නෙ චරිත තෝරාගෙන. විශේෂයෙන් නිර්මාණයකට අඬ ගැහුවම මට ලැබෙන චරිතයට සාධාරණයක් කරන්න පුළුවන්ද බලනවා. ඒ වගේම එහි කතාව මගේ හිතට හරියන්න ඕනෑ. අපි කොතරම් හොඳට රඟපෑවත් එහි කතාව අසාර්ථක නම් අපේ මහන්සියත් අපතේ යනවා. එවැනි නිර්මාණවලට සම්බන්ධවෙනවට වඩා හොඳයි නිකන් ඉන්න එක. මගේ වෘත්තිය රංගනය වුණාට මුදලට වඩා මම නිර්මාණයේ වටිනාකම ගැන බලනවා.

ඔබ කලාවට එන්නේ නිරූපිකාවක විදිහට...

ඔව්. 2001 වසරේදී නිරූපිකාවක් ලෙසින් කලාවට එනවා.

ඉන් පසුව 2002දී ‘ආදරණීය වස්සානය‘ චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව ලැ‍ෙබනවා.

එතකොටත් මම පාසල් යනවා. කොහොමත් මගේ පුංචි කාලයේ සිටම හීනය වුණේ රංගන ශිල්පිනියක් වීමයි.

පාසල් කාලයේදීත් නිරූපිකාවක ලෙස ප්‍රසිද්ධයි කියන්නෙ ඇත්තක්ද?

මගේ පාසල මහනුවර හිල්වුඩ් විද්‍යාලය. පාසලේ පැෂන් ෂෝ, මියුසිකල් ෂෝ, නාට්‍ය සියල්ලටම සම්බන්ධ වුණා. වෙනත් අය මොඩ්ල් කරන්නෙ පාසලෙන් පිටත වුණත් මට පාසලේදීම මොඩ්ල් කරන්න වාසනාව ලැබුණා. ඒ නිසාම මහනුවර උසස් බාලිකා විදුහලෙත් විලාසිතා දැක්වලට පෙනී සිටින්න අවස්ථාව ලැබුණා.

නිරූපිකාවක නිසාද රුව ගැන ඔච්චරටම සැලකිලිමත්...

මම කොහොමටත් මගේ රුව ගැන සැලකිලිමත්. ඒ සඳහා අවශ්‍ය ව්‍යායාම කරනවා, ආහාර පිළි‍ෙවළට ගන්නවා. පුංචි කාලයේ සිටම ලස්සනට ඉන්න කැමැතියි.

සමහරු කියනවා දරුවන්ගේ වැඩත් එක්ක රුව ගැන හිතන්න වෙලාවක් නෑ කියා...

ඒක මම පිළිගන්නෙ නැහැ. මටත් දරුවන් ඉන්නවා. නමුත් මම දරුවන් ගැන වගේම මගේ ගැනත් සැලකිලිමත්. තමන්ට වුවමනාව තිබෙනව නම් කරන්න බැරි දෙයක් නෑ. සමහරු තමන්ගේ රැකියාවට යන්නෙත් සතුටෙන් නෙමෙයි කම්මැළිඑකමෙන්. ඒත් මම මගේ රැකියාවට ආදරෙයි. ඒ නිසයි මේ තරම් කාලයක් මේ ක්ෂේත්‍රයේ රැකිලා ඉන්නේ. ගොඩක් අය මේ ෆීල්ඩ් එකට අහම්බෙන් ආවට දිගටම රැඳිල ඉන්න ආසාවක් නැහැ. එහෙම අය තමයි ටික දවසකින්ම ෆීල්ඩ් එකෙන් හැලිලා යන්නේ.

කලාවට ඇවිත් කොච්චර කාලයක්ද?

අවුරුදු පහළොවක් වෙනවා. බොහොම හෙමින් ගමනක් තමයි ආවෙ. ටෙලි නාට්‍ය 30කත්, චිත්‍රපට 20කත් මේ වන විට රඟ පා තිබෙනවා.

සතුටුයිද තවමත් පෙම්වතියගෙ චරිතය ලැබෙන එක ගැන...

පෙම්වතියගේ චරිතය තරුණ අයට පමණක් සීමා වෙලා නෑ. අපි මැරෙනතුරු පෙම්වතියො වෙලා ඉන්න පුළුවන්. ඒ නිසා මට තවමත් පෙම්වතියගේ චරිතය ලැබෙනවා කියන එක අරුමයක් නෙමෙයි.

අනාගත බලාපොරොත්තු...

මැරෙන තුරුම රංගන ශිල්පිනියක ලෙස වැඩ කරන එක තමයි. මම පුංචි කාලෙ ඉඳන්ම හීන මැව්වෙ රංගන ශිල්පිනියක වෙන්න. ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගත්තා. මගේ කියල කලාවට සම්බන්ධ කිසිවකු නැහැ. මම මේ වෘත්තියෙ නියැළෙන්නෙ හරිම ආසාවෙන්.

Comments