පේමතෝ නාට­්‍යයට රාගධාරී සංගීතය භාවිතා කළා | සිළුමිණ

පේමතෝ නාට­්‍යයට රාගධාරී සංගීතය භාවිතා කළා

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘පේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යයට වසර පනහයි

සංගීත අධ්‍යක්ෂ ජයන්ත අරවින්දයන්

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය සියල්ලක්ම පාහේ සංගීතවත්ය. ඒවා රසවත් ගී තනු හා තාලවලින් පිරි පවත්නා අතර, සමහරක් ගී තනු පැරැණි නාඩගම්වලින් උපුටාගත් ඒවාය. සමහරක් ගීත ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරු අතින් නිර්මාණය වු ඒවාය. එසේ නිර්මාණය වු නාට්‍යයක් ලෙස ෙප්මතෝ ජායතී සෝකෝ‘ නාට්‍යය හඳුන්වාදිය හැකියි. 1969 දි වේදිකාගත වූ ‘ෙප්මතෝ ජායතී සෝකෝ‘ නාට්‍යයට 2019 වසරට වසර පනහක් සපිරෙයි. එහි සංගීත අධ්‍යක්ෂ ජයන්ත අරවින්දයන් සමග මේ කතාබහ වෙන්වෙන්නේ ඒ නිමිත්තෙනි.

'1968 අවසාන භාගයේ එක් දිනෙක එදිරිවීර සරච්චන්ද්‍රයන් මගේ ගෙදරට පැමිණියේ ‘ෙප්මතෝ ජායතී සෝකෝ‘ නාට්‍යයේ පිටපතත් රැගෙනයි. පිටපත දුටුවාම මට තේරුණා මෙය ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව. එය අමාරු කාර්යයක් වුවත් සරච්චන්ද්‍රයන් සමග වැඩ කිරීමට ඇති කැමැත්ත නිසාම මෙම ගීත නාටක (libretto) පිටපත භාර ගත්තා. 1969දි ‘ෙප්මතෝ ජායතී සෝකෝ‘ ගීත නාටකය වේදිකාගත වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස. හරියටම 2019 වසරට මෙම නාට්‍යයට වසර පනහක් සම්පූර්ණ වෙනවා‘

1958දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ජයන්ත අරවින්ද සංගීතඥයකු ලෙසින් වේදිකාවට එන්නේ රත්නාවලී නාට්‍යයෙනි. මහාචාර්ය සරච්චන්ද්‍රයන් සමග එක් වී ගීත තිහකින් යුතු රත්නාවලී වේදිකා නාට්‍යය පේරා­‍ෙදණිය විශ්වවිද්‍යාලයේදී වේදිකාගත කරන්නේ සිංහල නාට්‍ය කලාවට විශිෂ්ට ආරම්භයක් ලබාදෙමින්ය.

‘‘පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබනා කාලයේ තමයි රත්නාවලී නාට්‍යය කෙළේ. මගේ සහෝදර සිසුන් පෙම්වන්තියන් ඇසුරු කරද්දී මම රත්නාවලී නාට්‍යයේ ගීත සඳහා සංගීත තනු නිර්මණය කළා. ඔය කාලයේදී සරච්චන්ද්‍ර මහතා සමග වැඩ කරන්නට අවස්ථාව ලැබුණා. ඉන් පසුව ෙප්මතෝ නිෂ්පාදනයත් සමග සරච්චන්ද්‍රයන් හා මා අතර ඇසුර තව තවත් සමීප එකක් බවට පත්වුණා. එතුමාගේ නිවෙසේ දින ගණන් නැවතී සිට, එතුමා සමග නිතර සංවාදයේ යෙදෙමින් අප දෙදෙනා සතුව පවතින දැනුම බෙදා හදාගත්තා. ජයලත් මනෝරත්න, මාලනී රණසිංහ, නිශ්ශංක දිද්දෙණිය, වැනි ෙප්මතෝ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් එම ගී ගයනු දකින සරච්චන්ද්‍රයන්ගේ මුහුණ සතුටෙන් පිරුණා. එහි ප්‍රතිඵලයක් ලෙස අප දෙදෙනාගේ ඇසුර වර්ධනය වී සරච්චන්ද්‍රයන්ගේ මනමේ සිංහබාහු , මහාසාර, නාට්‍යවල සංගීතය නවීකරණය කිරීමටත් මට අවස්ථාව ලැබුණා. එම නාට්‍යවලට සංගීතය සැපයූ අනික් සංගීත වේදීන් වන්නේ පණ්ඩිත් අමරදේව, සෝමදාස ඇල්විටිගල, එඩ්වින් සමරදිවාකර, එම්. එස්. බණ්ඩාර හා මමයි .

ජයන්ත අරවින්දයන් සංගීත කලාවට ප්‍රවිශ්ඨ වීමට ඔහුගේ පියා ගෙන් මහත් පිටිවහලක් ලැබුණි. 1951දී ගුවන්විදුලියේ රාගධාරි සංගීතය පිළිබඳව රසාස්වාදය වැඩසටහනකින් දිනකට එක රාගයක් පිළිබඳව සංවාදයේ යෙදෙන්නේ වින්සන් සෝමපාලයන්ය . පුතු ජයන්ත එම ගීතයට වයලීනය නාද කරමින් සංගීතය සපයයි.

'1959දී රත්නාවලී නාට්‍ය නිෂ්පාදනයෙන් වසර 10කට පසුව 1969 නිෂ්පාදනය වු ෙප්මතෝ නාට්‍ය දින 6ක් එක දිගට දර්ශනවාර දෙක ගණනේ පේරාදෙණිය සරසවියේ සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේදි වේදිකාගත කළා. ෙප්මතෝ නාට්‍යයේ සංගීතය පිළිබඳව කතා කිරීමේදි රාගධාරි සංගීතයෙන් රාග 40ක් පමණ මෙහි ගීත සඳහා පාවිච්චිකර තිබෙනවා. ප්‍රේමසර කේමදාසයන් අග්නි ඔෆෙරාවත්, මකුළුඔළුව ජන සංගීතයත් යොදා ගනිද්දී මම ෙප්මතෝ නාටකයට රාගධාරි සංගීතය භාවිතා කළා‘

ජයන්ත අරවින්දයන් මේවනවිට අසූ එක් වියැතිය. එහෙත් ඔහුගේ මතකය සහ දැනුම තරුණය. තමන්ගේ සංගීත ඥානයෙන් නිමැවුණු ‘‍ෙප්මතෝ ජායතී සෝකෝ‘ නාට්‍යයට පණස් වසරක් සපිරෙන මෙම අවස්ථාවේදී ඔහු අලුත් වැඩකට සැරසෙයි. ඒ අතීතයේ මිහිරි මතකයන්ද කැටිකොටගෙන නැවතත් පේරාදෙණිය සරසවියට පිය මැන නිශ්ශංක දිද්දෙණිය, මනෝරත්න, ආදි ප්‍රවීණයන් පිරිවරාගෙන සරසවි සිසුන් සමග එක්වී සමරු වැඩසටහනක් පැවැත්වීමයි.

එතුමාගෙන් සිංහල නාට්‍ය කලා සංගීතයෙහි ප්‍රවර්ධනය සඳහා ඉටුවූයේ විපුල මෙහෙයකි. එතුමා සතුව පවතින සංගීත දැනුම මෙරට නාට්‍ය කලාවේ අනාගතයට රැක ගැනීමත්, නාට්‍ය ගී තනු සංරක්ෂණයකර ගැනීම හා ඒවායේ ඇතුළත් ගැඹුරු දර්ශනයන් හා අගය අභාවයට යා නොදී වත්මන් පරපුරට එකී ශාස්ත්‍රිය දැනුම රැකගැනීම අප සතු වගකීමකි.

‘1950 න් පසුව මුද්‍රා නාට්‍ය පිළබඳව මගෙන් පසුව දන්නා කිසිවකු මෙරට කලාව තුළ නෑ. මම දැනටත් සංස්කෘතික අමාත්‍යංශයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කරමින් හැකි අයුරින් මා සතුව පවතින සංගීත දැනුම ලබාදෙනවා. එහෙත් මට දැන් වයෝවෘධ , අසනීප ගතියෙන් පසුවන නිසා මට ඕනෑ මගේ දැනුම අනාගත පරපුරට දායාද කිරීම සඳහා සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවල ඇතුළත් ගී තනු සංරක්ෂණය කිරීමටයි. ඒ වගේම සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යය සංරක්ෂණාගාරයක් තැනීමටත් . සී. ඩී පුස්තකාලයක් ස්ථාපිත කිරීමටත් , වගකිව යුත්තන්ගේ අවධානය යොමුකරනවානම් හොඳයි.

අදහස්