මහා මාර්ග රතු පලසකින් වසන ක්‍රිස්මස් දූපතේ රතු කකුළුවන්ගේ සංචරණය | සිළුමිණ

මහා මාර්ග රතු පලසකින් වසන ක්‍රිස්මස් දූපතේ රතු කකුළුවන්ගේ සංචරණය

ක්‍රිස්මස් දූපත (Christmas Island) යනු ඕස්ට්‍රේලියාවට අයත් දූපතක්. වර්ග කිලෝමීටර් 135කින් යුතු මෙම දූපත ලාංකිකයන් අතර ප්‍රසිද්ධ වී තිබෙන්නේ බෝට්ටුවෙන් නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට ගමන් කරන්නන් හසුවූ විට ඔවුන්ව රඳවා තබාගන්නා කඳවුරක් තිබෙනා නිසායි. නමුත් ලොව පුරා මෙම දූපත ප්‍රසිද්ධ වී තිබෙන්නේ මෙහි වාසය කරන සුවිශේෂී සත්ත්ව පිරිසක් නිසායි. ඒ තමයි ක්‍රිස්මස් දූපතේ වෙසෙන රතු කකුළුවන් (Red Crab). මිනිසුන් 1400ක පමණ සුළු ජනගහනයක් තිබුණත් රතු කකුළුවන් නම් මිලියන 50ක් පමණ මෙම දූපතෙහි වාසය කරනවා. ඕස්ට්‍රේලියාවෙන් වයඹ දෙසට වන්නට ඉන්දියන් සාගරයේ පිහිටා තිබෙන මෙම දූපතේ වැසි කාලයට රතු කකුළුවන් බිත්තර දැමීම සඳහා සංචරණය කිරීම සත්ත්ව ලෝකයේ විශේෂ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි.

Gecarcoidea natalis නම් විද්‍යාත්මක නමින් හඳුන්වන මෙම කකුළුවන් සෑම වසරකම ඔක්තෝබර් සහ දෙසැම්බර් කාලයේදී එනම් වැසි කාලය ආරම්භ වන විට දූපත තුළ තිබෙන වනාන්තරයේ සිට මුහුදු වෙරළට පැමිණෙනවා. මෙලෙස දින ගණනාවක දීර්ඝ ගමනක යෙදී උන් වෙරළට පැමිණෙන්නේ වර්ගයා බෝකිරීම සඳහා බිත්තර දැමීමටයි. උන්ගේ මෙම සංචරණය සඳහා කාලය තීරණය වීමට චන්ද්‍රයාගේ බලපෑමක් පවතිනවා. ඒ තමයි පසළොස්වක පොහෝ දිනට පසුව එළඹෙන වඩදිය අවස්ථාවට පෙර ගැහැනු කකුළුවන් අනිවාර්යයෙන් කකුළු බිත්තර ජලයට නිදහස් කළ යුතු වීම. මේ කාලය හා ගැළපීමට වැසි වැටීම ආරම්භ වූ විට එනම් බිත්තර නිදහස් කරන දිනට සති 4කට හෝ 5කට පෙර කකුළුවන් වෙරළ වෙත ගමන් කිරීම ආරම්භ කරනවා. වනාන්තරය, වළ ගොඩැලි, මහා මාර්ග ආදී සියල්ලම පසු කරමින් සති දෙකක් පමණ වැය කර සාගරය වෙත පැමිණි පසු ප්‍රථමයෙන්ම ඔවුන් සිදු කරන්නේ ඔවුන්ගේ සිරුරේ තෙතමනය හා ලවණ ප්‍රමාණය නැවත ලබා ගැනීමට හොඳින් මුහුදු ජලයේ ස්නානය කිරීමයි.

ඉන්පසුව පිරිමි කකුළුවන් විසින් වෙරළේ ගුල් සාදන්නේ තමන්ගේ සහකාරිය වෙතයි. ගුල තුළදී සහකාරිය සමඟ එක්වූ පසු පිරිමි කකුළුවන් නැවතත් ඔවුන්ගේ සුපුරුදු නිවහන වන වනාන්තරය තුළට ගමන් කරනවා. මේ අතර ගැහැනු කකුළුවන් විසින් සති දෙකක් පමණ ගුල තුළට වී එම බිත්තර රැකබලා ගන්නා අතර ඉහත කී වඩදිය අවස්ථාවේ ඉර උදාවට පෙර එම බිත්තර ජලයට මුදාහැර වනාන්තරය වෙත ගමන් කිරීමට පටන් ගන්නවා. මෙම බිත්තර පිපිරී එළියට පැමිණෙනා කීටයා ඉතා ඉක්මනින් මිලිමීටර් 5ක පමණ ප්‍රමාණයේ කුඩා කකුළුවන් බවට පත් වන අතර, ඉන්පසුව ඔවුනුත් වෙරළ අතහැර තම මවුපියන් මෙන් වනාන්තරය වෙත ගමන් කරනවා.

මෙම සම්පූර්ණ ක්‍රියාවලියම කාලගුණය හා චන්ද්‍රයා මත රඳා පවතින්නේ සොබාදහමේ විස්මිත බව පෙන්වමින්. යම් හෙයකින් වැසි ලැබීම ප්‍රමාද වුවහොත් කකුළුවන් එම පසළොස්වක පොහොය මඟහැර ඊළඟ පූර්ණ චන්ද්‍රයා පැමිණෙන දිනය ඉලක්ක කරගෙන වෙරළ වෙත ගමන් කිරීමට ඔවුන්ගේ සංචරණය ප්‍රමාද කරනවා. මේ සඳහා උන්ට ලැබී ඇති ඉව සැබැවින්ම පුදුම සහගතයි!

මෙම සංචරණ කාලය තුළදී කකුළුවන් රථ වාහන අනතුරුවලට ලක් වීම වැළැක්වීම සඳහා මෙහි වෙසෙන්නන් ගන්නේ උපරිම වෙහෙසක්. මහාමාර්ග - වලින් එතෙර වීමට පාලම් හා උමං මාර්ග කකුළුවන්ට සාදා දී තිබෙන අතර සමහර මාර්ග මෙම සංචරණ කාල සීමාවේදී වසා දැමීමට පවා ඔවුන් කටයුතු කරන්නේ මුළු මාර්ගයම රතු පලසක් එළා තිබෙන ආකාරයට කකුළුවන්ගෙන් වැසී යන නිසායි.

 

 

අදහස්