රාත්තල් 300ක ආදරයක් සමඟ නිල්මිණී යළිත්... | සිළුමිණ

රාත්තල් 300ක ආදරයක් සමඟ නිල්මිණී යළිත්...

අපි කවුරුත් කැමැති නැහැ අපේ ශරීරයේ අවලස්සන පෙන්වන්න. හැම වෙලාවෙම බලන්නේ තමන්ගේ සුන්දරත්වය පෙන්වන්නයි. මේ චරිතය කියන්නේ එයට හාත්පසින්ම වෙනස් දෙයක්. එය අභියෝගයක්. ඒත් මම ඒ අභියෝගයට කැමැතියි. අපි දන්නවා කොච්චර දක්ෂ කෙනකුට වුණත් මේ වගේ සිරුරක් නැත්නම් මේ චරිතය ලැබෙන්නේ නෑ. මෙය මගේ පළමු චිත්‍රපටය. මෙය මට ලැබූණු හොඳ අවස්ථාවක් කියලා හිතුවා. ඒ අනුව මට ලැබුණු මේ චරිතයට මම මගේ උපරිම සාධාරණය ඉටු කළා.

නිල්මිණී සිගේරා. ඇගේ නම අපට හුරුපුරුදු නිවේදිකාවක් ලෙසයි. ළෙන්ගතු සිනාවකින් මුව සරසා සිටිමන් ඉතාමත් ජනප්‍රිය නිවේදිකාවක ලෙස පුංචි තිරයෙන් අපේ නිවෙසට පැමිණි ඇය හිටිහැටියේම නිහඬවුණා.

ඒ දිගු නිහැඬියාවෙන් පසු සිනමා රංගන ශිල්පිනියක ලෙස ඇය යළිත් අප හමුවට එන්නට සූදානමින් සිටිනවා. ඒ අසන්ධිමිත්තා නමින්. අශෝක හඳගමගේ නවතම සිනමානිර්මාණය වන ‘අසන්ධිමිත්තා‘ හි ප්‍රධාන චරිතයට පණ පොවමින්. රාත්තල් 300ක් බර ගැහැනියක ලෙස අපූරු රංගනයක නිරත වෙන නිල්මිණී අසන්ධිමත්තා ගැන රසඳුන සමඟ කළ කතාබහයි මේ.

අසන්ධිමිත්තා කියන්නේ කවුරුද?

අසන්ධිමිත්තා කියන්නේ මේ සමාජයේ අප අතරම ජීවත් වන තවත් එක් ගැහැනු චරිතයක්. සමන් වික්‍රමආරච්චි නිර්මාණය කරපු ඒ චරිතය ප්‍රති නිර්මාණය කළේ අශෝක හඳගමයි.

නිවේදිකාවක වූ ඔබට කොහොමද මේ චරිතය ලැබුණේ?

ඒක බොහොම අපූරු කතාවක්. මම නිදහස ලැබුණු හැම වෙලාවකම චිත්‍රපට බලනවා. දවසක මම චන්න කින්නරී බලන්න තරංගනී ශාලාවට ගිය අවස්ථාවක එතැනදී ස්වර්ණා මල්ලව ආරච්චිත් අශෝක හඳගමත් මුණ ගැසුණා. ඒ අවස්ථාවේ හඳගම මගෙන් අහුවා නිල්මිණී රඟපාන්නේ නැද්ද කියලා. මම විහිළුවෙන් වගේ ඔහුට කිව්වා පර්වතනයක් වගේ මොකක් හරි චරිතයක් තියෙනවා නම් කරමු කියලා. ඔහු මගෙන් චන්ද කින්නරී කෘතිය ගැන අහලා ඒ ගැන කෙටි විස්තරයක් කිවුවා. මට ඒ ගැන ඇතිවූ උනන්දුව නිසා අසන්ධිම්ත්තා පොත අරන් කියෙව්වා. වෙනස් විදිහේ චරිතයක්. මෙය මට ලොකු අත්දැකීමක් වේවි යැයි සිතුණු නිසා ඒ චරිතයට පණපොවන්නට එකඟවුණා. නිල්මිණී අසන්ධිමත්තා වුණේ එහෙමයි.

එය ස්ථූල කාන්තාවකගේ චරිතයක්..

අපි කවුරුත් කැමැති නැහැ අපේ ශරීරයේ අවලස්සන පෙන්වන්න. හැම වෙලාවෙම බලන්නේ තමන්ගේ සුන්දරත්වය පෙන්වන්නයි. මේ චරිතය කියන්නේ එයට හාත්පසින්ම වෙනස් දෙයක්.

එය අභියෝගයක්. ඒත් මම ඒ අභියෝගයට කැමැතියි. අපි දන්නවා කොච්චර දක්ෂ කෙනකුට වුණත් මේ වගේ සිරුරක් නැත්නම් මේ චරිතය ලැබෙන්නේ නෑ. මෙය මගේ පළමු චිත්‍රපටය. මෙය මට ලැබූණු හොඳ අවස්ථාවක් කියලා හිතුවා. ඒ අනුව මට ලැබුණු මේ චරිතයට මම මගේ උපරිම සාධාරණය ඉටුකළා.

ඇතැමුන් කියනවා ඇගේ ශරීරය පරිගණක ඇසුරින් නිර්මාණය වුවක් කියලා?

(සිනාවෙමින්) එක බොරු කතාවක්. ඒ මගේ ශරීරයේ සැබෑ ස්වරූපය තමයි. මේ චරිතය නිසාම මගේ බර තවත් කිලෝ දහයකින් වැඩිකර ගත්තා.

ඇත්තටම ඔබ රාත්තල් තුන්සීයක් බරද?

අපෝ නෑ. පහුගිය කාලයේ කිලෝ අනූනවයක් තිබුණා. දැන් එය බොහොම අමාරුවෙන් අසූනවය දක්වා අඩුකරගෙන ඉන්නේ.

ඒ බර ඔබට වදයක් නෙමෙයිද?

ගොඩක් දෙනෙක් ඔය දේ මගෙන් අහනවා. සමහරු කියනවා ව්‍යායාම කරන්න ආහාර පාලනය කරන්න කියලා. ඒත් මම චොක්ලට් කෑම නම් නතර කරන්නේ නෑ. වේලක් බත් නොකා චොක්ලට්වලින් ඉන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා මම වැඩිපුර කෑම ගන්නෙත් නෑ. වයසත් එක්ක දැන්නම් පඩි නැගීමේදී එහෙම පොඩි පොඩි අපහසුතා තියෙනවා. ඒත් මෑතක් වනතුරුම මගේ බර මට දැනුණේ නෑ..

ඔබ ප්‍රවීණ නිවේදිකාවක්. හිටිගමන් නිහඬ වුණේ ඇයි?

1984-85 අවධියේදී තමයි මම නිවේදන කලාවට එන්නේ. මම වෘත්තියෙන් ගුරුවරියක් නිසා පසුකාලීනව උගුරේ අාබාධයක් ඇතිවුණා. එනිසා සිකුරාදා වෙද්දී මගේ හඬ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ප්‍රවෘත්ති නිවේදනයට අමතරව ලොතරැයි නිවේදන කටයුතුවලට සම්බන්ධ වෙලා හිටියේ. ඒ අසනීප තත්ත්වයත් එක්ක අඛණ්ඩව එයට යන්නට අපහසු වුණු නිසා ඒ අවස්ථාව තව කෙනකුට හිමිවුණා..

මෙය එක් හේතුවක්. ඒත් මූලිකව බලපෑවේ වෙනස් සිදුවීමක්. මම අඳින පලඳින විදිහ ඔවුන්ට නොගැළපෙනවාය කියලත් කතාවකුත් තිබුණා. දක්ෂතාවට වඩා අසම්මතයන්ට තමයි එහි වැඩි සැලකීම තිබුණේ. මම ඒවාට අනුගත නොවුණු නිසා නොදැනුවත්වම මම ඉන් කැපිලා ගියා.

කොහොමද ඔබ නිවේදන කලාවට පිවිසෙන්නේ?

මම විශ්වවිද්‍යාලයේ ඉන්න කාලයේ රූපවාහිනී දැන්වීමක් දැක්කා උපාධියක් හිමි අවුරුදු 25ට අඩු නිවේදක නිවේදිකාවන් ගන්නවා කියලා. ඒත් ඒ කාලයේ තිබුණු වාතාවරණයත් එක්ක කැම්පස් එකෙන් පිට වෙන්නේ අවුරුදු 7-8 ක් ඉඳලා.

ඉතිං 25ක වයසක කෙනෙක් හොයා ගන්න බෑ. ඒ නිසා ආසාව තිබුණත් එයට මම ඉල්ලුම් කළේ නෑ. නැවත වතාවක් උසස් පෙළ කරපු සම්මාන ඇති අය බඳවා ගන්නවා කියලා පුවත්පත් දැන්වීමක් දැම්මා. ඒ සඳහා මම අයදුම් කළා. සම්මුඛ පරීක්ෂණවලින් ස්වාධීන රූපවාහිනියට සහ ජාතික රූපවාහිනිය යන දෙකටම මාව තේරුණා. ඒත් මට යෑමට පහසුම තැන ජාතික රූපවාහිනිය නිසා මම එය තෝරා ගත්තා.

ඔබේ පෞද්ගලික තොරතුරු මොනවාද?

මම වෘත්තීමය ගුරුවරියක්. දැනට සිරිමාවෝ විද්‍යාලයේ සේවය කරන්නෙ.

වසර 28ක් ලුම්බිණි විද්‍යාලයේ සේවය කළා. ගුරුවරියක් වගේම ආදරණීය මවක්. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔවුන් විදෙස්ගත වෙලයි ඉන්නේ.

රංගනය සඳහා දිගුකාලීනව ඇරියුම් ලැබුණොත්?

මේ ශරීරයෙන් මේ ආකාරයේ චරිත කරන්නට නම් මගේ අදහසක් නෑ. එහෙම ආරාධනා ලැබෙයි කියන්නත් බැහැ. මට ගැළපෙන චරිතයක් ආවොත් සලකා බලනවා.. ඒ ගැන නිශ්චිතව කියන්නට අමාරුයි.

මෙ ඔබේ පළමු රංගන අවස්ථාවද?

සෝමලතා සුබසිංහ මහත්මියගේ ‘විකෘති‘ වේදිකා නාට්‍යයෙන් තමයි ප්‍රේක්ෂකයන් මාව හඳුනා ගන්නේ. ඉන් පසුව නිර්මාණ කිහිපයක් සඳහා ඇරියුම් ලැබුණා. 1990දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවරගිර සිනමා පටය සඳහා ඇරියුම් ලැබුණත් නිවේදන වෘත්තිය නිසා ඒ ආරාධනය ගෞරවනීය ලෙස ප්‍රතික්ෂේප කළා.

නාලක ස්වර්ණ තිලකගේ දඟමල්ල, ඊ.එම්. ඩී. උපාලි ගේ ඉඩමේදී විකිණේ, දස්කොන් වැනි ටෙලි නාට්‍ය කිහිපයක රංගන දායකත්වය ලබා දීලා තිබෙනවා.

ඒ අතරින් අසන්ධිමිත්තා ඔබට සුවිශේෂ...?

ඇත්තටම අසන්ධිමත්තා මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ­්‍යයක් වුණා කීවොත් නිවැරැදියි. මේ නිසා මට ලැබුණු දේවල් බොහොමයි. අන්තර්ජාතික සිනමා උලෙළවල් සඳහා සහභාගී වන්නටත් එම චිත්‍රපට නැරඹීමටත් මට අවස්ථාව ලැබුණා. දකුණු කොරියාවේ බුසාන්වලදි තමයි අසන්ධිමිත්තා සිනමා පටය මා මුලින් දුටුවේ. හිතාගන්නවත් බෑ. ඉතාම හොඳ ප්‍රතිචාර තිබුණා. ලොකු සතුටක් වගේම වෙනස්ම විදිහේ අත්දැකීමක් ලබන්න මට හැකියාව ලැබුණා. මේ ගැන මම අශෝක හඳගමට ස්තූතිවන්ත වෙනවා. ඔහුගේ තෝරා ගැනීම නිසා තමයි මට මේ සියලු අවස්ථා හිමිවුණේ...

අදහස්