හතරදෙනාම ඉන්න දවසට තමයි අපේ කැදැල්ලට එළිය වැටෙන්නේ | සිළුමිණ

හතරදෙනාම ඉන්න දවසට තමයි අපේ කැදැල්ලට එළිය වැටෙන්නේ

නිල්මිණී කෝට්ටේගොඩ යනු මෙරට වේදිකාව, පුංචි තිරය, සිනමාව පමණක් නොව ප්‍රසංග වේදිකාවද ජය ගත් රංගන ශිල්පිනියක්. ඇය රංගන ශිල්පිනියකට අමතරව ආදරණීය දරුවන් දෙදෙනකුගේ යුතුකම් නොපිරිහෙළා ඉටු කරන දිරිය මවක් ලෙසත් හැඳින්විය හැකියි. අද වන විට එම දරුවන් ලොකු මහත් වී යෞවන වියට එළඹිලා. ඇගේ දියණිය පුංචි කැදැල්ලක් සාදාගෙන පිට වී ගොසින්. එහෙම ගියත් මව නිවෙසේ සිටී නම් ඇය බැලීමට පැමිණෙන්නට අමතක කරන්නෙ නෑ. එවැනි අවස්ථාවක් ලැබෙන තුරු මග බලමින් සිටි අප නිල්මිණීගේ නිවෙසට ගොඩවූයේ ඔවුන් නොසිතූ මොහොතකයි. එහිදී අප ආදරයෙන් පිළිගත් නිල්මිණීගේ සොඳුරු කැදැල්ලේ අප ගත කළ සොඳුරු හෝරාවක රසබර තොරතුරුයි මේ.

‘‘ඔයාල ආවෙ හොඳ දවසක. අපි හතරදෙනාම කාලෙකින් එකට ඉන්නවා. අපේ කැදැල්ලට එළිය වැටෙන්නේ ඔහොම දවසකට තමයි. නැත්නම් ඉතින් වැඩ නැති දවසට දවස ගෙවාගන්නේ හරිම කම්මැළි කමෙන්‘‘ දියණිය නිවෙසට පැමිණ සිටීමේ සතුටින් යුතුව ඇය කියාගෙන යන්නීය. දරුවන් හදා වඩා දීග තල දී සුසුම් හෙළන මවකගේ හඬක් ඇගේ වචනවල ඇතැයි මට සිතෙයි.

‘‘දැන් ගෙදර ඉන්නෙ කවුද ?‘‘

‘‘දුව බිනෝලි ජයමාලි විවාහ වී සැමියා ඉන්දික ගයාන් පුතා සමග වෙනම පදිංචිව සිටිනවා. මමත් සැමියා නන්දසිරිත් පුතා මලිදු ජයමාල් තමයි ගෙදර ඉන්නේ. දුව නිවෙසින් ගිය මුල්ම දවස්වල එයා නැති පාළුව තදින්ම දැනුණා. මොකද මම ෂූටින්වලට ගිහින් ගෙදර නැති දවසට එයා තමයි මල්ලිවයි තාත්තවයි බලා ගත්තේ. දුව ගිය පාළුව දැනෙන්නෙ නැත්තෙ ඉඳ හිට අපිව බලල යන්න එන නිසයි. අදත් ආවේ මම ගෙදර ඉන්නව කියල දැනගෙන‘‘.

දීග තල දුන් දුවකු සිටියත් ඇය තවමත් රූමත්ය. ඇයත් වයසට නොයන රංගන ශිල්පිනියක ලෙස හැඳින්විය හැකිය. එහි රහස විමසිය යුතුම වෙයි.

‘‘හැමදාමත් එකවගේ ලස්සනට ඉන්න රහස කියන්න පුළුවන්ද? ‘‘

‘‘කිසිම රහසක් නැහැ. සතුටෙන් ඉන්නවා නම්. නිකම්ම ලස්සන වෙනවා. එහෙම නැතුව නිතරම මූණ එල්ලගෙන හිටියොත් ලස්සන වුණත් ලස්සන පේන්නෙ නෑ. කලාවෙ ඉන්න හැමෝම දන්නව අපි මොන වැඩේට ගියත් එතන සතුටෙන් කියල. ඒ නිසානෙ එදා වගේම අදත් අපිට නිර්මාණවලින් අඩුවක් නැත්තේ‘‘

‘‘මොනවද මේ දවස්වල අලුතෙන් කෙරෙන නිර්මාණ‘‘

‘‘උදයකාන්ත වර්ණසූරියගේ 'ගින්දරී දෙක' සිනමාපටයට සම්බන්ධ වුණා. එහි දිව්‍යාංගනාවකගේ චරිතයක් තමයි කෙළේ. වෙනස්ම ආකාරයේ අත්දැකීමක්. ඒ වගේම බාගෙට කළ ටෙලිනාට්‍ය කිහිපයක් තියෙනවා. ඒවායේත් රූගත කිරීම් කෙරෙනවා. තව ගුවන්විදුලියේ විකාශය කෙරෙන 'ආදර වෙඩිල්ල' නාට්‍යයේ හඬ කවනවා. මගේ දුවත් එහි හඬ කවනවා. ඒකත් මේ දවස්වල රසිකයන් අතර ජනප්‍රියයි. මට ගොඩක් ලැබෙන්නේ ප්‍රහසන චරිතනේ. එහෙමයි කියලා, ඒ චරිත ඒකාකාරියි කියලා භාර නොගෙන ඉන්නේ නෑ. මොකද රංගනය මගේ වෘත්තිය. ඒක නොකොළොත් මට කොහෙන්ද ජීවත්වෙන්න සල්ලි. ඒ නිසා ලැබෙන ඕනෑම චරිතයක් සතුටෙන් කරනවා‘‘

‘‘ඔබ රංගනයට එන්නෙ පාසල් වේදිකාවෙන්?‘‘

‘‘ඔව්, මම අධ්‍යාපනය ලැබුවෙ කළුබෝවිල මහා විද්‍යාල‍යේ. එහි විදුහල්පති ඩී. ඩබ්. විජේසිංහ මහතා, සමරසිංහ, ඩල්සි, ගුරුවරුන් සහ චන්ද්‍රරත්න නැටුම් ගුරුතුමා මට පාසල් වේදිකාවට ඉඩ සලසා දුන්නා.

 

ඒ කාලෙ සිටම ගායනයට, රංගනයට, නර්තනයට දක්ෂ වුණත් අපේ මවුපියන්ට ලොකු තේරුමක් තිබුණේ නෑ අපිව ඒ ඒ මාර්ගවලට යොමු කරන්න. නමුත් ඒ දෙන්නටම ඕනෑ වුණා මාව ලොකු කෙනෙක් කරන්න. ඒ නිසා ප්‍රදේශයේ මොන උත්සවය තිබුණත් සින්දු කියන්න, නටන්න යවනවා. පාසල් වේදිකාවේ මා කළ රංගනයක් දුටු ගුරුවරියක් මගේ දක්ෂතාව දැකලා දුටු ගැමුණු නාට්‍යයේ අත්වැල් ගායනාවලට අඬ ගැහුවා. ඉන් පසුව ලයනල් රංවලයන්ගේ 'සරදම' වේදිකා නාට්‍යයේ ගායනය සමග රංගනයකට කතා කළා. එතැනින් මනෝරත්නයන්ගේ 'අන්දරේලා' නාට්‍යයේ රජ බිසවගේ චරිතය ගායනය සමගින් රඟපාන්න අවස්ථාව ලැබුණා. එම අවස්ථාව තමයි මගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය.

1993 නොවැම්බර් 23 තමයි මුලින්ම ‘අන්දරේලා‘ නාට්‍යය වේදිකාගත වුණේ. රත්නා ලාලනී, අජිත් ජිනදාස, සුමින්ද සිරිසේන, සම්පත් තෙන්නකෝන් වැනි අද සිටින ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් සමග එදා මම නවක රංගන ශිල්පිනියක ලෙසින් කළ රඟපෑම රටේම කතාබහට ලක්වුණා. ඉන් පස්සේ තරුණ හුවමාරුව වැඩසටහනට කොළඹ කලාපයෙන් තේරිලා කැනඩා සංචාරයට යන්නට මට හැකිවුණා.‘‘

එක්වරම නිල්මිණී යමක් මතක් වී නිවෙස තුළට දිව යයි. මමද ඇය පසුපස ගියෙමි. මේ ඇගේ මුළුතැන්ගෙයයි. එහි තාත්තා, පුතා, දුව ලොකු වැඩකය. පලතුරු කිහිප වර්ගයක්ම ළංකරගෙන ඒවායේ රස විඳිමින්ම මොනවාදෝ හදන්නට සැරසෙයි. නිල්මිණී හනිකට එතනට ගොස් “ඔයාල අයින් වෙන්න මම හදන්නම් ‘‘යැයි පවසමින් කොමඩු ගෙඩියක් දෙපළු කරයි.

‘‘මොනවද ඔය හදන්නේ‘‘

‘‘පලතුරු සැලඩ් එකක්. හැදුවම කාල බලල රස කියන්නකෝ.‘‘ ඇය අනෙක් පලතුරු ලතාවට කපාගෙන යන්නීය.

‘‘රූගත කිරීම්වලට ගියාම කවුද ගෙදර උයන පිහන වැඩ කරන්නේ ‘‘

මගේ පැනයට ඇය පිළිතුරු දුන්නේ සැමියා නන්දසිරි දෙස සෙනෙහෙබර ලෙස බලමිනි.

‘‘මහත්තයා තමයි ගොඩක්ම උදවු කරන්නෙ. ඔහු දැන් විශ්‍රාමිකව සිටින නිසා නිවෙසේ වැඩ සොයා බලා කරනවා. මහත්තයා උයන සමහර කෑම මට හරියන්නේ නෑ. එයා ගොඩක්ම හදන්නේ වෙද කෑම. කොළ වර්ග, විවිධ අල වර්ග. මට කට්ට කරවල කෑල්ලක් බැදල බත් ටිකක් බෙදා ගත්තම බඩ පැළෙනකම් වුණත් කන්න පුළුවන්.‘‘ ඇය කියාගෙන යන ආකාරයට මට කට්ට කරවල බැදුමේ රස දැනෙයි.

‘‘නිල්මිණී විලාසිතා කරන හැටි දැනගන්න අපේ පාඨකයන් කැමැති ඇති‘'

‘‘මම ඉතින් රැල්ලට විලාසිතා කරන කෙනෙක් නෙමෙයි. විලි වැහෙන්න, කැත නොපෙනෙන්න ඇන්දනම් ඇති. අපේ ශරීරාංග හැදිල තියෙන විදිහට ඕනනේ ඇඳුම් අඳින්න. ලස්සන සිහින් සිරුරුවලට ඔබින ඇඳුම් අපිට හරියන්නෙ නෑ. අපිට ගැළපෙන ඇඳුම් අපි අඳින්න ඕනෑ. කණපාට නොවන කහ, රතු, නිල් වගේ වර්ණවත් ඇඳුම් අඳින්න කැමැතියි.‘‘

අපේ සංවාදය අතරේ නිල්මිණී වරින් වර බිම බලයි. මගේ නෙත් ඒ දෙසට යොමුවුණේ නිතැතිනි.

පූසකු ඇගේ කකුලේ වෙළෙමින් මොනවාදෝ කියයි. '‘ ආ.. මට කියන්න බැරි වුණානේ අපේ බින්දු ගැන. එයා තමයි ඔය ඇවිත් මට සැර දාන්නෙ. මගේ හැම ආටිකල් එකකම වගේ බින්දු ගැන කියලා තියෙනවා. මෙයාට මාළු පෙන්නන්න බැහැ. මාළු කාපු ගමන්ම ගෙදරින් මාරු. එයාට තියෙනව තව ගෙවල් දෙකක් මුර කරන්න ඒකයි. අපි හරියට එයාගේ ගෙදර ඉන්නව වගේ තමයි අපිට සැර දාන්නේ.‘‘

ඇය සිනාසෙමින් බින්දු දෙඅතට ගෙන සුරතල් කරයි.

ඈ කෙතරම් නිරහංකාරද? අමිත් ඡායාරූප සියල්ල ගෙන අවසන්ය. අප ඔවුනට සමුදී එතැනින් ආපසු එන්නට සැරසුණෙමු. ඇය අප සමග පසුපස පැමිණියේ ආදරණීය ඔබට පණිවිඩයක් දෙන්නැයි ඉල්ලීමටය.

‘‘මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ව ආදරයෙන් මතක් කරන්න. ඒ අය නිසයි අපි මෙතැන ඉන්නේ. සමාජයේ මොන වැඩේට ගියත් ඒ අය අපිට උදවු කරනවා. එයාල තමයි අපි හම්බ කළ ධනය. එහෙනම් ගිහින් එන්න. ආපහු දවසක සැලඩ් කමු‘‘ කියමින් ඇය අපට සමු දුන්නාය.

**************

‘‘ නිල්මිණී පලතුරු සලාදය හදන හැටි‘‘

කොමඩු, අන්නාසි,කෙසෙල්, අඹ, ඇපල් සෝදා පොඩියට කපා ගෙන බෝල් එකකට දා ගන්නවා. කජු, මුද්දරපලම්, මිදි සිහින්ව කපා රට ඉඳි දිගු අතට තීරු වන සේ කපා පලතුරු දැමු භාජනයටම දානවා. එයට දෙහි යුෂ, සහ කැමැති නම් ලුණු කුඩු ස්වල්පයක්, සීනි ස්වල්පයක් එක් කර කලවම් කරනවා. සැලඩ් එක කප්වලට දමා පිළිගන්වන අවස්ථාවේදි එයට ටින් කිරි ස්වල්පය බැගින් සහ සාදාගත් ජෙලි කැබැලි එක් කරනවා. මම නම් සීනි සහ ලුණු එකතු කරනවා අඩුයි. ඒවා එකතු කිරීමෙන් සලාදය වඩාත් රසවත් කර ගත හැකියි.‘‘

 

 

අදහස්