හොලිවුඩ් බොලිවුඩ් | සිළුමිණ

හොලිවුඩ් බොලිවුඩ්

ප්‍රියංකාට හැදුණු කටකතාවට මවගෙන් පිළිතුරක්

නික් ජොනාස් සමඟ තෙමසකට පෙර යුගදිවි ගමන් ඇරැඹූ ප්‍රියංකා චොප්රා ආපසු ඔහු සමඟ ඇමරිකාවේ සිට මවුරටට පැමිණියා. ඒ, තම බාල සොහොයුරු සිද්ධාර්ත් සහ ඔහුගේ මනාලිය, ඉෂිටාගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවයට සහභාගි වෙන්නයි. ඒ සමඟම, විවාහ මංගල උත්සවයට කලින් පැවැත්වූ ‘රොකා’ උත්සවයටද නික් සහ ප්‍රියංකා එක්වූවා. ප්‍රියංකා, නික් සමඟ එක්වී නව යුවළට සුබ පැතුම් ද එක්කර තිබුණා.

මවුරටට පැමිණෙන්නට පෙර ප්‍රියංකා ගැන කට කතාවකුත් පැතිරී ගොස් තිබුණා. එලෙස ළැව් ගින්නක් සේ පැතිර ගියේ ප්‍රියංකා දරු සුරතල් බලන්න සූදානම් වෙනවාය කියන ආරංචියයි. මේ ගැන තවත් කට කතා ගෙතෙමින් යද්දී එයට ප්‍රතිචාර දැක්වූයේ ප්‍රියංකාගේ මව, මධු චොප්රා මහත්මියයි. ඇය කීවේ පසුගියදා පැවැති ‘නිව්යෝක් මෝස්තර සතියට’ සහභාගි වූ ප්‍රියංකාගේ ඡායාරූපයක් මේ බොරු ආරංචියට මුල් වූ බවයි.

“ඔය පින්තූරය අරගෙන තිබුණේ වැරදි කෝණයකින්. ප්‍රියංකාගෙ ඇඳුමක ලස්සන පෙන්නන්න ගිහින් එයාව වැරදි විදිහට හුඟ දෙනෙකුට පෙනිලා. මේ අය දැකල තියෙන්නෙ ප්‍රියංකාට දරුවෙක් ලැබෙන්න ඉන්නව වගේලු.” ආරංචියෙහි අසත්‍ය බව පහදමින් ප්‍රියංකා‍ ගේ මව එලෙස කියා සිටියා.

------------

ජයග්‍රාහි සම්මානයෙන් පසු රාමී ඇදවැටෙයි

19 වැනි ඔස්කා සම්මාන උලෙළේ දී හොඳ ම නළුවා ලෙස අබිසෙස් ලද්දේ ‘බොහිමින් රැප්සඩ්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ රාමී මලෙක්. තමන්ට හිමි සම්මානය ප්‍රවීණ නිළි ඇලිසන් ජැනී වෙතින් ලබාගත් රාමී, වේදිකාවෙන් නික්මෙද්දී නොසිතූ ලෙස ඇද වැටුණා. ඒ වන විට මෙම උත්සවය සජීවී ව රූපවාහිනී චැනලයන් ඔස්සේ විකාශය වෙමින් තිබුණා. රාමී ඇද වැටෙනවාත් සමඟ ම ඔහු වෙත යොමු වී තිබූ කැමරා ක්ෂණයෙන් වෙනත් අතකට හැරවුණේ එයින් ඔහුට සිදුවන අපහසුතාව මඟ හරවා ගන්නටයි. මේ අනපේක්ෂිත සිද්ධියත් සමඟ ම එතැනට ඉක්මනින් ම පැමිණි නළු නිළියන් කිහිප දෙනකු සහ සෞඛ්‍ය සේවකයන් රාමීව වේදිකාවේ පසු පසට රැගෙන ගියා. ඔහුට කිසිදු තුවාලයක් ‍සිදු වී තිබුණේ නැහැ.

37 වියැති රාමී ගේ මවුපියන් ඊජිප්තු ජාතික යුවළක්. ඔවුන් 1978 දී ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී තිබෙනවා. රාමී උපත ලබා ඇත්තේ එක්සත් ජනපදයේයි. ඔහු ලැබූ ජයග්‍රහණය ඇසූ ඊජිප්තුවේ සිටින ඥාතීන් සහ

හිතවතුන් ප්‍රීති ඝෝෂා කළ බවයි ආරංචි.

-----------

ටයිගර් - ඩිෂා පෙම්වතුන්ට මවුපිය ආශීර්වාදය

2018 වස‍ෙර්දී බොලිවුඩ් නළු නිළියන් කිහිපදෙනකු යුගදිවිය ඇරැඹුවා. දැන් 2019 ඇරැඹෙන්නේත් තවත් යොවුන් යුවළකගේ සුබ සිහින සැබෑ කරමින්. ආරංචිවල හැටියට නම් මේ පෙම්වතුන් යුවළ පසුගිය වැලන්ටයින් දිනයේදී විවාහ ගිවිස ගත්තාලු.

ළඟදීම විවාහ මංගල උත්සවයකදී මනාල යුවළක් වන්නට පෙරුම් පුරන මේ දෙදෙනා තමයි, ටයිගර් ශ්රොෆ් සහ ඩිෂා පටානි. ටයිගර් ශ්රොෆ්ගේ පියා බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවෙක්. ඔහු තමයි, ජැකී ශ්රොෆ්. දැනට 28 වැනි වියෙහි පසුවන ටයිගර්, මුලින් ම සිනමා රංගනයට එක්වූයේ 2014 දී තිරගතවූ ‘හේරෝපාන්ටි’ නම් වූ හාස්‍යමය චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමෙන්. එම රඟපෑම වෙනුවෙන් වසරේ නැගි එන නවක නළුවාට හිමි වන ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මානය ද ඔහු දිනාගත්තා.

දැනට 26 වැනි වියෙහි පසුවන ඩිෂා, තම සිනමා දිවිය ආරම්භ කළේ 2015දී තිරගත වූ ‘ලෝෆර්’ නම් වූ තෙළිඟු චිත්‍රපටයේ රඟපෑමෙන්.

ටයිගර් සහ ඩිෂා ගේ පෙම්කතාව ඇරැඹුණේ වසර කිහිපයකට කලින්. ඔවුන් දෙදෙනාගේ පෙම් සබඳකමට දෙපාර්ශ්ව‍යෙන් ම කිසිදු විරෝධතාවක් පැන නැඟුණේ නැහැ. ඩිෂා, ටයිගර් සමඟ පෙමින් බැඳුණු මුල් කාලයේ පටන් ම ටයිගර්ගේ මවුපියන් වන ජැකී සහ අයේෂා යුවළ හොඳින් දැන හඳුනාගෙන සිටියා.

 

-----------

ඉගෙනුමට අදක්ෂ වූ දක්ෂතම නිළිය

“ඉස්කෝලෙ යන කාලෙ ඉඳල ම නිළියක් වීමේ අදහසක් මගේ හිතේ තිබුණෙ ම නැහැ. රඟපෑම කියන්නෙ කවදාවත් කරන්න බැරි දෙයක්. එහෙත් නැතිනම් සිහිනයක් විදිහටයි මගේ හිතේ රැඳිල තිබුණෙ.”

මෙහෙම කියන්නේ මෙවර හොඳ ම නිළිය ලෙස ඔස්කා සම්මානයෙන් පිදුම් ලද ඔලිවියා කෝල්මන්. ඇයට මේ ජයග්‍රහණය හිමි වූයේ පසුගිය වසරේ තිරගතවූ ‘ද ෆේවරිට්’ නම් වූ චිත්‍රපටයේ නිරූපණය කළ ප්‍රධාන චරිතයටයි.

සිනමා නිළියක ලෙස ‍ගෝල්ඩන් ග්ලෝබ් ඇතුළු සම්මාන කිහිපයකින් ද ඔලිවියා පිදුම් ලබා තිබෙනවා. මෙවැනි ඉහළ ජයග්‍රහණයක් ලැබුණත් පාසල් කාලයේදී අදක්ෂ ශිෂ්‍යාවක වී සිටිය බවයි ඇය පවසන්නේ.

“මම මුහණ දුන්නු විභාග අසමත් වීම නිසා මට වැඩිපුර අවුරුද්දක් ඉස්කෝලෙ යන්න සිද්ධ වුණා. පාසල් කාලයෙන් පස්සෙ තමයි මට රඟපාන්න ආසාවක් ඇති වුණේ.” ඔලිවියා නිහතමානීව පැවසුවා.

අදහස්