‘පෑන් කේක්’ කන ගමන් අහන්න | සිළුමිණ

‘පෑන් කේක්’ කන ගමන් අහන්න

ගායක සමන්ත කරු

පෑන් කේක් යනු ඉතාම රසවත්, ප්‍රණීත ආහාරයක්. මේ රසය ගීතයකින් විඳ ගන්නට ඇත්නම් කොතරම් මිහිරිද? එයත් පෑන් කේක් තරමටම රසවත් නම්... ළඟකදි සිට පෑන් කේක් තරමටම රසවත් ලස්සන ගීතයක් විෂුවල් සමගින් බලන්නට අවස්ථාව ලැබී තිබෙනවා. එම ගීතය ගායනා කරන්නේ සමන්ත කරු . සමන්ත ‘පෑන් කේක්‘ ගැන කියුවේ මෙවැනි කතාවක්.

මොනවද මේ පෑන් කේක්...

මම ගායනාකරන පස්වැනි ගීතය තමයි ‘පෑන් කේක්‘ කියන්නේ.

ඇයි මේ වගේ ගීතයක් ගායනා කරන්න හිතුවේ..

මගේ යාළුවා චාමර ෆොන්සේකා තමයි යෝජනා කළේ මේ ගීතය ගායනා කරන්න කියල. ඔහුම තමයි ගීතයේ පද රචනය ලියුවේ. ෂයින් ප්‍රනාන්දු මිත්‍රයා ළඟ තිබුණු ට්‍රැක් එකකට චාමර ලියපු ගීතය හොඳින් ගැළපුණා. ඉසුරු ප්‍රනාන්දු මියුසික් වීඩියෝව කළා. අවසානයේ වෙනස්ම ආරක ලස්සන ගීතයක් බිහිවුණා.

ඔබ ගීතය ගායනා කරමින් නර්තනයෙනුත් සම්බන්ධ වෙනවා..

මියුසික් වීඩියෝව කළ ඉසුරු ප්‍රනාන්දුට තමයි මාව ඩාන්සර් කෙනෙක් කරන්න ඕනෑ කිව්වේ. ඔහු නර්තන අධ්‍යක්ෂ නලින් ළඟට මාව ට්‍රේනින් කරන්න ඇරියා. ඔවුන්ට තමයි ස්තූතිවන්ත විය යුත්තේ මගේ නර්තන හැකියාව පෙන්වන්න අවස්ථාවක් ලබා දුන්නට.

ගීතය ජනප්‍රිය මියුසික් වීඩියෝව නිසාද?

ගායනය වගේම මියුසික් වීඩියෝවත් බලපෑවා. මියුසික් වීඩියෝවට රංගනයෙන් දායක වන්නේ මිහිර සිරිතිලක සහ රංගන ශිල්පිනී නටාෂා, බුද්ධික, නලින් ඇතුළු නර්තන කණ්ඩායම. එය ඇත්තටම බලන්න ලස්සන මියුසික් වීඩියෝවක්.

මියුසික් වීඩියෝවට ලොකු මුදලක් වැයකර තිබෙනවා..

ඔව්. ඒ සඳහා කීයක් වැය වුණාද කියාවත් මා දන්නෙ නෑ. මගේ යාළුවා චාමර තමයි ඒ සියලු වියදම් දැරුවේ. පාණදුර පොළේ දිනක රූගත කිරීමක් කළා. මිහිරව අල්ලගන්න සෑහෙන කාලයක් බලන් හිටියා.

‘පෑන් කේක්‘ යූ ටියුබ් එකෙත් ජනප්‍රියයි..

ඔව්. මේ වන විට ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් බලලා තියෙනවා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

සමන්ත ගායනයට එන්නෙ කුඩා කාලයේ සිටමද?

මගේ ගම මහනුවර, පූජාපිටිය. පාසල් ගියේ අංකුඹුර පරාක්‍රම මහා විද්‍යාලයට. පාසලේදී සංගීතය හැදෑරුවේ නැතත් කුඩා කාලයේ සිටම සංගීතය ඇඟේ තිබුණා. පාසල් අධ්‍යාපනය අවසන් කර යාළුවො ටික එකතුවෙලා පොඩි බෑන්ඩ් එකක් හදා ගත්තා. ඔය කාලයේදි නිමල් ප්‍රනාන්දු මහතාගෙන් සංගීතය හැදෑරුවා. ඔහුගෙන් තමයි සංගීතය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. පස්සේ බෑන්ඩ් එකේ යාළුවො විසිරිලා ගියා. මම විතරක් සංගීතයේ තනි වුණා.

තනියම කොහොමද මේ ගමන එන්නේ..

මගේ නැන්දා කෙනෙක් පොඩි මුදලක් දුන්නා මියුසික් ක්ලාස් එකක් පටන් ගන්න කියලා. ඒ මුදල්වලින් ‘සුසර සංගීතායතනය’ නමින් බටහිර සංගීතය උගන්වන්න පන්තියක් පටන් ගත්තා. මුල් කාලයේ ළමයි එක්කෙනයි, දෙන්නයි. දැන් සිසුන් බොහෝ පිරිසක් මගෙන් බටහිර සංගීතය ඉගෙන ගන්නවා. ඒ අතරම ත්‍රි පීස් බෑන්ඩ් එකකුත් පවත්වාගෙන යනවා.

‘පෑන් කේක්‘ පළමු ගීතයද?

නැහැ. 2006 වසරේදී ශාන්ත ජයලත් තිසේරා සමග ගීතයක් කළා. එම ගීතය කරන කාලෙ සංගීත ක්ෂේත්‍රය පිළිබඳව ලොකු දැනුමක් තිබුණේ නැහැ. ඒ නිසා එම ගීතය වැඩිය රසිකයන් අතරට ගියේ නැහැ. ඉන් පසුව‘ මහ මෙරක් තරම් ‘ගීතය කළා. එම ගීතයටත් මියුසික් වීඩියෝවක් කළා. ඉන් පසුව ‘ආදරේ කී දෑස‘, ‘ආය නම් බෑ‘ ගීත ගායනා කළා.

අනාගත බලාපොරොත්තු..

හොඳ ගීත ගායනා කර රසිකයන් අතරට යන එක වගේම මගේ මියුසික් බෑන්ඩ් එක සහ සංගීත ඇකඩමිය දියුණුකර ගැනීම.

කවුරුද මේ දේවල්වලට අත දෙන්නෙ..

මගේ නිවැසියන් සහ යහළුන්. 0773105484 දුරකථනයෙන් මා ඇමැතිය හැකියි.

 

 

අදහස්