අතීතය යළි ජීවමාන කළ බ්‍රිතාන්‍ය අවධියේ මහවැලි වාරි ප්‍රතිසංස්කරණ | සිළුමිණ

අතීතය යළි ජීවමාන කළ බ්‍රිතාන්‍ය අවධියේ මහවැලි වාරි ප්‍රතිසංස්කරණ

මහාචාර්ය වන්දන රෝහණ විතානාච්චි පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යනාංශය පීඨාධිපති රැ සමාජීය විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨය ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්ත සංවර්ධනය පිළිබඳව මහවැලි නිම්නය ආශ්‍රිත වාරි මාර්ග ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. බ්‍රිතාන්‍ය පාලන අවධියේ මෙම ප්‍රදේශය ආශ්‍රිත කෘෂි කර්මාන්තය සංවර්ධනය කිරීමේ කාර්යය කෙරෙහි අවධානය යොමු විය. මහවැලි කලාපය ආශ්‍රිත වාරි මාර්ග ප්‍රතිසංස්කරණයට යොමුවීම එහි මුඛ්‍ය ඉලක්කය විය.

මහවැලි නිම්නයේ වාරි නිර්මාණ සංවර්ධන ක්‍රියාවලිය තුළ බ්‍රිතාන්‍ය පරිපාලන නිලධාරින් හා මිනින්දෝරුවන් එම ප්‍රදේශය ආශ්‍රිත බොහෝ වාරි නිර්මාණ සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීම් සිදුකර ඇත. ඒ අතර පරාක්‍රම සමුද්‍රය පිළිබඳ සිදුකළ මූලික පර්යේෂණ වාර්තා කිහිපයක් ම පවතී.

අඹන් ගඟ ඇල්ලහැර නම් ස්ථානයෙන් හරවා මින්නේරිය, කවුඩුල්ල හා කන්තලේ යන වැව් වලට සම්බන්ධ වූ ඇළ මාර්ගය මේජර් ෆෝබ්ස් විසින් ප්‍රථම වරට පරීක්‍ෂා කර බලා තිබේ. මෙම ඇළ මාර්ගය 1855 දී චර්චිල්, ඇඩම්ස් හා බේලි යන තිදෙනා විසින් පරීක්‍ෂා කළ අතර එය සත්‍ය බව තහවුරු කිරීමට ඔවුන් සමත් වී ඇත. අඹන් ගඟ හරහා බැඳ තිබූ විශාල බැම්ම පිළිබඳ ව ද ඔවුන් පරීක්‍ෂා කර ඇත. මොවුන් ප්‍රකාශ කර ඇත්තේ පරාක්‍රම සමුද්‍රය යනු මහසෙන් රජු විසින් කරන ලද වාරි කර්මාන්තයක් පසුකාලීන විශාල කිරීමක් ලෙසිනි.

1890 දී පමණ අයිවර්ස් විසින් මහවැලි ගඟ ආශ්‍රිත ව ඉදිකර තිබූ මිණිපේ ඇළ නම් පැරණි වාරි මාර්ගයෙන් ලබාගත හැකි ප්‍රයෝජන පරීක්‍ෂා කර ඇත. හෙතෙම ඒ ආශ්‍රිත වැව් බැම්මක් එළි කරවන ලද බව ද වාර්තා වේ. හෙතෙම අඹන් ගඟ හරහා අඟමැඩිල්ලේ දී බැම්මක් බැඳීමට තිබෙන හැකියාව ද සොයා බලා තිබේ. හෙතෙම එහි පුරාණ අමුණ පිළිබඳ ව ද සඳහන් කර ඇත. මින්නේරිය, ගිරිතලේ හා තෝපා වැව හොරොව් අළුත්වැඩියා කිරීමට ද යෝජනා කර තිබේ.

පොළොන්නරු දිස්ත්‍රික්කයේ වාරි මාර්ග ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා මහවැලි ගඟ හා ඒ හා සම්බන්ධ වන අතුරු ජල මාර්ග ආශ්‍රිත වාරි කර්මාන්ත කෙරෙහි අවධානය යොමුකර ඇත. ඒ අතර මහවැලි ගඟ හා සම්බන්ධ වූ මල්වතු ඔය නමින් හඳුන්වන (ප්‍රධාන මල්වතු ඔය නොවේ) අතුරු ජල මාර්ගය හරස් කොට අමුණක් බැඳීමට ද යෝජනා වී තිබේ. 1873 වන විට මහවැලි නිම්නයේ තමන්කඩුව ප්‍රදේශය ආශ්‍රිත ව වැව් 139 වූ අතර ඉන් 47 ජනාවාස ආශ්‍රිත ව පැවති වැව් වූ අතර 92 අත්හැර දමන ලද වැව් බවට වාර්තා වීතිබේ.

වර්ෂ 1897 දී බ්ලෙයාර් නම් මිනින්දෝරු තැන ප්‍රධාන පිරිසක් සමඟ මින්නේරිය හා මහවැලි ගඟ අතර ප්‍රදේශය ආශ්‍රිත මිනුම් කටයුතු සිදුකර ඇත. මිනින්දෝරු අධිකාරි වූ ග්‍රීන් ලිංටන් 1897 දී නිකුත් කළ වාර්තාවේ මිනුම් කළ මෙම ප්‍රදේශයේ පුරාණ වාරි මාර්ග සොයාගැනීම එහි පරමාර්ථයක් වූ බව දක්වා තිබේ. එම මිනුම්වල ප්‍රතිඵලයක් ලෙස 1898 වනවිට මහවැලි ගඟේ ශාඛා ගංඟාවක් වූ අඹන් ගඟේ බැඳ තිබූ විශාල අමුණු තුනක් සොයාගැනීමට හැකි වූ බව වාර්තා කර ඇත. එයින් ප්‍රධාන වූයේ ඇළහැර අමුණ බව ද සඳහන් කර තිබේ.

මහවැලි ගඟ හරස්කොට ඉදිකර තිබෙන මිණිපේ ඇළ පිළිබඳ ව ශ්‍රීමත් හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා ද වාර්තාකර තිබේ. මහවැලි ගඟ ආශ්‍රිත මිණිපේ ඇළ මාර්ගය සෙවීමට පළමුවෙන් ම උත්සාහ ගෙන ඇත්තේ ඇඩම්ස් හා බ්‍රෝඩ් දෙපළ විසිනි. අංගම්මැඩිල්ල ඇළ මිණිපේ ඇළේ ම කොටසක් ලෙස පළමුවරට ප්‍රකාශ කර ඇත්තේ මෙම දෙපළ විසිනි.

දාස්තොට ට කි.මී. 6 පමණ ඉහළින් කාලිංග දූපත නමින් දූපතක් මහවැලි ගඟ මධ්‍යයේ පිහිටා තිබේ. එය ආසන්නයේ පුරාණ අමුණක් ඉදිකර තිබූ අතර එම ස්ථානයේ දී ගඟේ දෙපසින් ම ඇළ මාර්ග ආරම්භ වී තිබී ඇත. එයින් වම් ඉවුරේ ඇළ මාර්ගය වංසකතාවේ දැක්වෙන අචිරවතී ඇළ ලෙසිනි. දකුණු ඉවුරේ ඇළ මග ගෝමතී ඇළ යැයි විශ්වාස කරනු ලැබේ. දකුණු ඉවුරෙන් ඇරඹෙන ඇළ මාර්ගය හියු නෙවිල් විසින් ‘කාලිංග ඇළ’ ලෙසින් හඳුන්වා ඇත. එය අඹන් ගඟේ පහළ සීමාව ඔස්සේ ගමන් කොට ත්‍රිකුණාමලය දක්වා ම විහිදී තිබූ බව විද්වත්හු පවසති. මෙම ඇළ මාර්ගය පිළිබඳ සාක්‍ෂි වර්තමානයේ ද හඳුනාගැනීමට පුළුවන.

මහවැලි ගඟ හා එහි අතු ගංඟා ආශ්‍රිත මහවැලි නිම්නයේ පැරණි වැව් අමුණු මෙන් ම පශ්චාත් කාලීනව ගොඩනැගූ වාරි කර්මාන්තයෝ ද රාශියක් වෙති. ඒ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹේවල බ්ලැක්පූල් හි කන්දේ ඇළ වැව 1947 දී ඉදිකරන ලද්දක් විය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් අටබාගේ ඔය අමුණ ගොඩනගා ඇත්තේ 1953-54 වර්ෂයන් හි දී ය. ගම්පොළ හා නාවලපිටිය අතර පිහිටි පැරණි වාරි නිර්මාණයක් වූ ‘ගම්පොළ වෙළ රජ ඇළ අමුණ’ 1938 දී ප්‍රතිසංස්කරණය කර තිබේ.

වත්තේගම සමීපයේ තිබෙන උඩගොඩ බණ්ඩාර ඇළ අමුණ 1938 දී ඉදිකරන ලද්දකි. හඟුරන්කෙත සමීපයේ පිහිටි මුරපොළ ඇළ අමුණ ගොඩනගා ඇත්තේ 1948-51 අතර කාලයේ දී ය. තෙල්දෙණිය සමීපයේ රංගල්ලේ පිහිටි වීරපිටිය මහ ඇළ අමුණ 1897 වර්ෂයේ දී තහවුරු කිරීම සිදුකර තිබේ. හේවාහැටට තරමක් සමීපයේ පිහිටි මා ඇළ අමුණ වර්ෂ 1900 දී ප්‍රතිසංස්කරණය කර ඇත. රිකිල්ලගස්කඩට සමීපයේ පිහිටි කිතුල්පේ ඇළ අමුණ තහවුරු කිරීම 1935 දී සිදුකර තිබෙන අතර වැඩිදියුණු කිරීම් 1950 සහ 1955 වර්ෂවල සිදුකර තිබේ. මෙම වාරි නිර්මිතය මහනුවර රාජධානි සමයට අයත් වූවක් විය.

පදියපැලැල්ල, මතුරට ප්‍රදේශයට ආසන්නයේ පිහිටි වඩුවාවෙල අමුණ 1887 වර්ෂයේ දී නැවත ගොඩනැගීමත් 1951 දී ද සිදුකර ඇත. පදියපැලැල්ල සමීපයේ ලැමසූරියගම පිහිටි ලැමසූරියගම අමුණ 1893 දී ඉදිකරන ලද්දක් වන අතර එහි වැඩි දියුණු කිරීම් 1893 සිදුකර තිබේ. වලපනේ සමීපයේ පිහිටි දිකිලියැද්ද අමුණ තහවුරු කිරීම 1957 දී සිදු විය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ දඩුපුස්සැල්ලාව රුපහා ප්‍රදේශයේ මඩුල්ලු ඔය හරහා ඉදිකළ කීනවෙල අමුණ 1908 ඉදිකරන ලද අතර එහි වැඩිදියුණු කිරීම් 1963 දී සිදුකොට ඇත. හක්ගලට පහළින් ගලා බසින උමා ඔයේ ඉහළ කොටස ආශ්‍රිත ව ඉදිකරන ලද උමා ඇළ අමුණ 1900 දී ගොඩනගන ලද්දක් විය.

ඌව පළාතේ බණ්ඩාරවෙලට සමීපයේ පිහිටි මහතොටිල්ල ඔය අමුණ ඉදිකිරීම සිදුකොට ඇත්තේ 1961 වර්ෂයේ දී ය. බදුල්ලට තරමක් සමීපයේ පිහිටි බදුලුපිටිය අමුණ ප්‍රතිසංස්කරණය කිරීම 1897 දී සිදුකර ඇත. බදුල්ල මීගහකිවුල මාර්ගයේ පිහිටි තල්දෙන අමුණ ප්‍රතිසංස්කරණය කර තිබෙන්නේ 1888 වර්ෂයේ දී ය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ප්‍රතිසංස්කරණය කරන ලද බදුලු ඔය අමුණ කන්දකැටිය සමීපයේ පිහිටා ඇත.

බිබිල අලුත්නුවර සමීපයේ පිහිටි පුරාණ වැවක් වන මාපාකඩ වැව ප්‍රතිසංස්කරණය කිරීම 1952-53 වර්ෂවල දී සිදුකර තිබේ. මහියංගනය සමීපයේ පිහිටි සොරබොර වැව මහවැලි ගඟට සමීප පුරාණ වාරි නිර්මාණයකි. මෙය 1876 වර්ෂයේ දී ප්‍රතිසංස්කරණයට ලක්කර ඇත. පැරණි වාරි නිර්මාණයක් වන මිණිපේ යෝධ ඇළ ප්‍රතිසංස්කරණය 1941 දී ප්‍රථමවරට සිදුකරන ලද බව වාර්තා වේ. මහවැලි ගඟට සම්බන්ධ වන අඹන් ගඟේ ශාඛාවක් වන කළු ගඟ හරහා ඉදිකර තිබූ පැරණි අමුණක් වන හත්තොට අමුණ 1952-57 වර්ෂවල දී යළි තහවුරු කිරීමට ලක්කරන ලදි. ඇළහැරට ගිණිකොන දෙසින් පිහිටි කඳුරුගහවෙල වැව ප්‍රතිසංස්කරණය 1956 දී සිදුකොට ඇත. අඹන් ගඟේ ශාඛාවක් වන නාලන්දා ඔය හරස් කොට නාලන්දා ජලාශය ඉදිකිරීම සිදුකොට ඇත්තේ 1947-57 අතර කාලයේ දී ය. අඹන් ගඟ හරස් කොට බෝවතැන්න අමුණ 1895 දී ගොඩනගා තිබෙන අතර එහි අලුත්වැඩියා කටයුතු 1925 දී සිදුකර තිබේ. ලංකාවේ පුරාණතම අමුණ ලෙස වංසකතාවේ සඳහන් වන ඇළහැර අමුණ රජවරුන් ගණනාවකගේ ම ප්‍රතිසංස්කරණයට ලක් වූ අතර යළි 1887 ප්‍රතිසංස්කරණයටත්, 1945 දී පුනරුත්තාපනය කිරීමත් සිදුකර ඇත. අඹන් ගඟ හරහා අතරගොල්ලෑව අමුණ ඉදිකරන ලද්දේ 1957-60 අතර කාලයේ දී ය.

දෙවන අග්ගබෝධි රජු විසින් කරවන ලද වාරි නිර්මිතයක් වන ගිරිතලේ වැව පරාක්‍රමබාහු රජුගෙන් පසු යළි ප්‍රතිසංස්කරණය කිරීම 1905 දී ය. එය යළි විශාල කොට තහවුරු කිරීමත් 1949-52 වර්ෂවල දී සිදුකර තිබේ.

මහසෙන් රජුගේ ප්‍රධාන වාරි කර්මාන්තයක් වූ මින්නේරි වැව පළමුවන පරාක්‍රමබාහු රජු යළි තහවුරු කළ නමුදු 1903 වර්ෂයේ දී ප්‍රතිසංස්කරණයට ලක්කරන ලදී. එය විශාල කොට තහවුරු කිරීම 1953 දී සිදුවිය. මින්නේරිය වැවෙන් ඇරඹෙන පුරාණ ඇළ මාර්ගයක් වන මින්නේරිය-කන්තලේ යෝධ ඇළ ප්‍රතිසංස්කරණය කිරීම 1955 දී කර තිබේ. පුරාණ වාරි නිර්මිතයක් වන කවුඩුල්ල වැව ප්‍රතිසංස්කරණය කිරීම 1958 දී සිදුකොට ඇත. පළමුවන පරාක්‍රමබාහු රජුගේ ප්‍රධාන වාරි කර්මාන්තයක් ලෙස වංසකතාවේ සඳහන් වන පරාක්‍රම සමුද්‍රය යළි ප්‍රතිසංස්කරණය කිරීම 1948-52 අතර කාලයේ දී සිදුකොට තිබේ.

මහවැලි ගඟට සම්බන්ධවන අතු ගංඟාවක් වූ මින්නේරිය ඔය හරස් කර ඉදිකර තිබූ පුරාණ අමුණක් වූ ගල් අමුණ 1956 දී යළි ප්‍රතිසංස්කරණය කර ඇත. මනම්පිටිය සමීපයේ පිහිටි රොවක්කුලම වැව හා මාවක්කුලම වැව වාරි මාර්ග දෙපාර්තමේන්තුව මඟින් 1950 දශකයේ දී ප්‍රතිසංස්කරණයට ලක්කර තිබේ. සේරුවාවිල ව්‍යාපෘතිය වාරි මාර්ග දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන ලද ප්‍රධාන වාරි කර්මාන්තයක් ලෙස සැළකේ.

මහවැලි ගඟේ ශාඛාවක් වන වෙරුගල් ඔය හරස් කොට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ. පුරාණ වාරි නිර්මාණයක් වන සේරුවාවිල වැව 1890 වර්ෂයේ දී යළි ප්‍රතිසංස්කරණය කර ඇත.

ඉලක්කන්නිකුලම වැව ප්‍රතිසංස්කරණය සිදුකර ඇත්තේ 1891 දී ය. යටත් විජිත සමයේ දී මෙරටට වාරි මාර්ග සංවර්ධන කටයුතු සිදුකොට ඇත්තේ 1887 ඉදිරිපත් කරන ලද පණතක් මගින් පිහිටවූ පළාත් වාරි කමිටුව (Provincial Irrigation Board) සහ මධ්‍යම වාරි කමිටුව (Central Irrigation Board) මගිනි. මින්නේරිය, ගිරිතලේ වැව් ඇතුළු විශාල ප්‍රමාණයේ වැව් ගණනාවක් ම මධ්‍යම වාරි කමිටුවේ ප්‍රධානත්වයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ. මහවැලි නිම්නයේ බොහෝ වාරි නිර්මාණ යළි පුනරුත්තාපනය කිරීමේ කාර්යය වැඩි වශයෙන් ඉටුකර තිබෙන්නේ 1900 ආරම්හ කරන ලද වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙනි.

අදහස්