අයින්ස්ටයිනුත් පරදවමින් බුද්ධිමත් ළාබාලයන්ගේ ලයිස්තුවේ මුලටම ආ අපේ නිෂී | සිළුමිණ

අයින්ස්ටයිනුත් පරදවමින් බුද්ධිමත් ළාබාලයන්ගේ ලයිස්තුවේ මුලටම ආ අපේ නිෂී

  • තාමත් නිදා ගන්න යන්නෙ පොතක් අතේ තියාගෙන
  • ඉපදුණේ බ්‍රිතාන්‍යයේ වුණත්  හොඳට සිංහල කතා කරන්න පුළුවන්
  • තවම අවුරුදු දහතුනයි
  • පොත් කියවන්න ගත්තේ අවුරුදු තුනේ ඉදන්

බුද්ධිය උරුම වන්නේ උපතින් වුව ද ඒ බුද්ධිය ජීවිතයේ විටින් විට විවිධ විවිධ මට්ටම් වලින් මැනෙන්නේ තරඟකාරීත්වය විසින් ඇති කරන බලපෑම නිසා ය. උපදිද්දී උරුම කර ගන්නා බුද්ධියේ තරම කෙතරම්දැයි ලෝකය ඉදිරියේ පෙන්වන්නට පවා විටින් විට ඉඩ ලැබෙන්නේ ය. ලාංකේය දෙමාපියන් දෙදෙනෙකුගේ එක ම දියණිය වී එක්සත් රාජධානියේ උපන් නිෂී උග්ගල්ලට උරුම වූ බුද්ධිය ලෝකයා දැන ගත්තේ ඈ ම සොයා ගත් ඉඩක් නිසා ය.

තවමත් වයසින් දහතුන්වැනි වියවත් පසු නොකළ නිෂීගේ නම අද සටහන් වන්නේ මහා බ්‍රිතාන්‍යයේ බුද්ධිමත් ම ළාබාලතමයන්ගේ ලැයිස්තුවේ ඉහළින් ම ය. ඇය ‘මෙන්සා‘නම් බුද්ධිමතුන්ගේ සමාජයේ සාමාජිකත්වය ලබා ගන්නේ වයස අවුරුදු දහයේදී ය. මෙන්සා සාමාජිකත්වය ලබාගැනීමේ පරීක්ෂණයෙන් ඇය ලකුණු 162ක් ලබාගත්තේ එ් පරීක්ෂණයෙන් ලබාගත හැකි උපරිම ලකුණු මට්ටමට ළඟා වෙමිනි. නිෂී, මෙන්සා සාමාජිකත්ව පරීක්ෂණයෙන් ලබාගත් ලකුණු ගණන ඇල්බට් අයින්ස්ටයින් ලබා ගත් ලකුණු ගණනටත් වඩ ලකුණු දෙකකින් වැඩි ය.”‍මම මෙන්සා විභාගයෙන් ඇල්බට් අයින්ස්ටයින්ටත් වඩා වැඩියෙන් ලකුණු ගත්තා වුණත් මම ඒ ගැන ආඩම්බර වෙන්නේ නැහැ. මොකද ඇල්බට් අයින්ස්ටයින් ලෝකයට වැදගත් වෙන්නෙ බොහෝ සොයා ගැනීම් කරපු කෙනෙක් නිසයි. ඒ තැනට එන්න මට තව ගොඩක් මහන්සි වෙන්න වෙනවා.”‍ නිෂී ඒ මොහොතේ කීවේ එහෙම ය.

මෙන්සා සාමාජිකත්වය ලැබූ නිෂී අද මහා බ්‍රිතාන්‍යයේ ළාබාලතම බුද්ධි විශිෂ්ටයා බවට පත්වී ඇත්තේ ඒ වෙනුවෙන් ම වන තරගාවලියකින් ජය ගනිමිනි. තොරතුරු තාක්ෂණ විශේෂඥයකු වන නිෂීගේ පියා නීලංග උග්ගල්ල නිෂීගේ මේ ගමන ගැන අපූරු කතාවක් කියන්නේ ය.”‍මේ දේවල් අපේ මෙහෙයවීමකින් වත් අපේ වුවමනාවට වත් කරපු දේවල් නොවෙයි. දුවට යමක් කරන්න හිතුණොත්, යම් ඉලක්කයක් හිතට ආවොත් එයා ඒ ඉලක්කයට කොහොමහරි යන කෙනෙක්. අපිට ඉන්න එක ම දරුවා විදියට අපි එයාගෙන් දැකපු විශේෂ දේවල් තිබුණා. අපේ දුවට වයස මාස 18 වෙද්දි එයාට ඉංග්‍රීසි හෝඩිය සහ සමහර වචන හොඳට කියන්න පුළුවන් කම තිබුණා. සමහර වචන නම් හරියට ශබ්ද වුණේ නැහැ, ඒ වුණත් එයා හොඳට කතා කළා. වයස තුන වෙද්දි එයා හොඳට පොත් කියෙව්වා. මුලින් රෑට නිදා ගන්න යද්දි අපි කියවලා දීපු කතන්දර පස්සේ එයා ම තනියම කියෙව්වා. නිදාගන්න යද්දි පොත් කියවන පුරුද්ද තවමත් එයාට තියෙනවා. එයා පාසලේදී ගණිතය වගේ බුද්ධිය මෙහෙයවන විෂයයන් වලට වැඩි දක්ෂකම් පෙන්නන්නත් පටන් ගත්තා. ඒ නිසා අපි තේරුම් ගත්තා එයා බුද්ධිය අතින් ඉන්නෙ සාමාන්‍ය දරුවකුට වඩා ඉදිරියෙන් කියලා. ඒක අපි දැන ගත්තේ එයා නර්සරි යන කාලෙ ඉදලා. එයා එක්කම හිටපු නිසා අපිට එයාගෙ වෙනස ඉක්මනට හඳුනගන්න පුළුවන් වුණා. අහපු ප්‍රශ්න, කරපු කියපු දේවල් වලින් අනෙක් දරුවන්ට වඩා ඉස්සරහින් හිටපු බව අපිට හොඳට ම තේරුණා. ඒත් එයාව කිසිම දෙයකට අපේ උවමනාවෙන් යොමු කරන්න අපි උත්සාහ කළේ නැහැ. එයා මේ ආපු ගමන හදා ගත්තේ එයාමයි. මෙන්සා සාමාජිකත්වය ගන්න පරීක්ෂණයේදී වුණත් එයාමයි දේවල් හොයාගෙන කළේ. සාමාන්‍ය බුද්ධි මට්ටමක් තියෙන කෙනකුට මෙන්සා පරීක්ෂණයෙන් ලබාගන්න පුළුවන් වෙන්නේ ලකුණු 100ක් වගේ ප්‍රමාණයක්. මෙන්සා සාමාජිකත්වය ලබා ගන්න නම් ලකුණු 138ක වගේ ගණනක් ලබාගන්න ඕන. අපේ දුව ලකුණු 162ක් ගත්තා. ඒ ලකුණු ගණන තමයි උපරිම ලකුණු ගණන කියලා කියන්නේ.”‍

පියා කියන ලෙසට නිෂී තමන්ගේ බුද්ධිමය හැකියාවෙන් ඉදිරියට විත් අැත්තේ ඇය ම ජීවිතයට එකතු කර ගත් ඉලක්කයක් නිසා ය. නිෂීට කවදත් වැඩි උනන්දුව ඇත්තේ භෞතික විද්‍යාව ගැන ය. භෞතික විද්‍යාවේත් කළු කුහර ගැන වූ විද්‍යාත්මක හෙළිදරව් කිරීම් ගැන ය. ස්ටීවන් හෝකින්ස් විසින් කළු කුහර ගැන හෙළි කරගත් සියලු රහස් ගැන ලියවුණු සෑම පොතක් ම පාහේ නිෂී කියවා ඇත්තී ය. බ්‍රිතාන්‍යයේ ළාබාලතම බුද්ධිමත් දරුවා තෝරාගැනීමේ තරගාවලියේදී තම වැඩිම කැමැත්තක් ඇති ක්ෂේත්‍රය ලෙස නිෂී ලබා දී තිබුණේ ද භෞතික විද්‍යාවේ කළු කුහර ගැන වූ සොයා ගැනිම් ය. කළු කුහර ගැන ඈව ප්‍රශ්න කිරීම් වලට ලක් කළ අවසන් තරගයේ මුල් වටයේදී ලකුණු විස්සෙන් විස්ස ම ලබා ගැනීම නිෂීගේ ඉලක්කය වුවත් ඈ අතින් සිදුවූ සුළු අතපසු විම් නිසා ඇයට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 16කි. එහෙත් අවසන් තරග අවස්ථාවේදී මුලින් ම ලකුණු 10ක් සම්පූර්ණ කරමින් බුද්ධි කිරුළ දිනා ගැනීමට නිෂී සමත් වූවා ය. සිය මව ශිරෝමි ජයසිංහ සහ පියා නීලංග ඉදිරියේ ලැබූ මේ ජය ගැන නිෂී කතා කළේ වැඩි ආඩාම්බරයකින් නම් නොවෙයි. ”‍මම මේ ජය ගැන සතුටු වෙනවා. ඒත් ඒක ගොඩක් ආඩම්බර වෙන්න ඕන දෙයක් නෙමෙයි. මට විශ්වාසයක් තිබුණා මට මේ කිරුළ දිනාගන්න පුළුවන් වේවි කියලා; මට ඉලක්කයක් තිබුණා.ඒ නිසා අවසන් තරගෙට යන්න කලින් ම මම තාත්තට කිව්වා මට මේ තරගයේ කුසලානය තියාගන්න මගේ කාමරයේ තැනක් හදලා දෙන්න කියලා. මම පුංචි කාලෙ ඉදලා ගොඩක් පොත් කියවන කෙනෙක්. මම හිතන්නේ මට දැනුම ලැබුණෙ මම කියවන ඒ පොත් වලින්. එහෙම වුණා කියලා මම පොත් කියවන එක ම විතරක් නෙමෙයි කරන්නේ, මම සංගීතය කරනවා, යාළුවන්ගේ ගෙවල් වලට යනවා; මට යාළුවො ගොඩක් ඉන්නවා. මට මේ බුද්ධි කිරුළ ලැබුණු එකට මම සතුටු වෙන්නේ දේවල් කිහිපයක් නිසා. එකක් මේක මම ම හදා ගත්ත මගේ ඉලක්කයක්; අනෙක් දේ තමයි මම ගැහැනු ළමයෙක් ඒ නිසා මට මේ ජයග්‍රහණය වටිනවා. අනෙක මම කළු හමක් තියෙන කෙනෙක්. මට දැනෙන විදියට ඒකත් විශේෂයි. මම කැමති මේ විදියට ම ඉලක්කයක් ඇතිව ඉස්සරහට ගිහින් අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට ම යන්න.”‍ඒ නිෂී කියනා දේ ය.

තවමත් පුංචි දැරියක වන නිෂී දැනුමෙන් සේම බුද්ධියෙන් සිටින්නේ සම වයසේ දරුවන්ට වඩා ඉදිරියෙන් වන් නමුත් ඈ තවමත් මවගේත් පියාගේත් සුරතලිය ම ය. ගණකාධිකාරීවරියක වන නිෂීගේ මව ශිරෝමි කියන්නේ ඒ ගැනයි. ”‍අපි පවුලක් විදියට නිතර ම එකට ඉන්නවා. අපිට ඉන්න එක ම දරුවා නිසා දුව අපි එක්ක හරි එකතුයි. දැනුම හොයාගන්න ගමන යන්නේ එයාමයි. අපි කරන්නේ උදව් කරන එක. අපි නිවාඩු ලැබෙන හැම වෙලාවෙම පවුලක් විදියට එකට ඉන්නවා; ඇවිදින්න යනවා; සැහැල්ලු‍වෙන් ඉන්නවා. දරුවෙක් කොයි තරම් බුද්ධිමත් වුණත් ඒ දරුවාට නිදහස, සැහැල්ලු‍ව, ආදරය කියන දේවල් අඩු නැතිව ලැබෙන්න ඕන කියලයි අපි හිතන්නේ.

නිෂීගේ දෙමාපියන් පාදුක්ක ප්‍රදේශයේ හැදී වැඩී ඇති අතර උසස් අධ්‍යාපනය ලැබීමෙන් පසුව 2001 වසරේ බ්‍රිතාන්‍යයට පැමිණ ඇත. නිෂී උපන්නේ බ්‍රිතාන්‍යයේ වන නමුත් ඇයට හොඳින් සිංහල බස තේරුම් ගැනීමටත් කතා කිරීමටත් හැකියාව ලැබී ඇත්තේ දෙමාපියන් නිසා ය. ඇගේ ලාංකේය සම්භවය නිසා ඇය ගැන අපි ආඩම්බර වන්නෙමු. ඇගෙන් සේම ඇගේ දෙමව්පියන්ගෙන් ද උගත යුතු දේ බොහෝ නොවේ දැ යි සිතීම නම් අරුමයක් නොවන්නේ ය.

අදහස්