අලුත් අලුගෝසුවා කාටත් රහසක් | සිළුමිණ

අලුත් අලුගෝසුවා කාටත් රහසක්

  • අලුගෝසු තනතුරට අලුතින් ආ අයෙක් එල්ලුම්ගහ දුටු හැටියේ රස්සාවත් දාලා පැනලා ගිහින්අලුගෝසු තනතුරට අලුතින් ආ අයෙක්එල්ලුම්ගහ දුටු හැටියේ රස්සාවත් දාලා පැනලා ගිහින්
  • ලුවිස් සිංඤෝ පහත කාමරයට බහින්නේ එල්ලා මරපු සිරකරුගේ කකුල් දෙකේ එල්ලිලාලු
  • උසාවියෙන් තින්දුව දුන් පමණින් කෙනෙකු එල්ලා මරා දමන්නට බැරිය. ඒ සඳහා වෙනම ක්‍රියාපිළිවෙතක් ඇත.

මොන තරම් ප්‍රශ්න කරදර වැඩ රාජකාරි තිබුණද මරණ දඬුවමයි, එල්ලුම් ගහයි, අලුගෝසුවා ගැනයි කතා කරන්නට කිසිවෙක් අමතක නොකරයි. එල්ලුම් ගහයි අලුගෝසුවායි දැන් පොදු මාතෘකාවක් බවට පත්ව ඇත.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තවමත් සාකච්ඡා මට්ටමේය. අලුගෝසු තනතුරේ පුරප්පාඩු පිරවීම සඳහා ඉල්ලුම් පත් භාර ගැනීම දැන් අවසන්ය. ඒත් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම තවම ආරම්භ කර නැත. සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කළ ද අලුගෝසු තනතුර සඳහා තෝරාගන්නේ කවුදැයි යන්න හෝ තෝරාගත් අයගේ තොරතුරු සමාජයට හෙළි නොකිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැඩි තීරණයක් ගෙන ඇත. එසේ තීරණය කර ඇත්තේ එම පුද්ගලයාගේ පෞද්ගලිකත්වය රැකීම සඳහාය යන්න බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

“ මීට පෙර අලුගෝසු තනතුරේ සිටි පුද්ගලයා ගැන ඔහුගේ බිරිද කිසිවක් දැනගෙන ඉඳලා නැහැ. මාධ්‍ය මඟින් එය හෙළි කළාට පසුව තමයි ඇය දැනගෙන තිබෙන්නේ. එසේ දැන ගත්තාට පසුව ඇය මානසික ආබාධයකට ලක් වුණා. ඔහුට වෙනත් තැනක රැකියාව ලබා දුන්නත් ඇයගේ රෝගී තත්ත්වය සුව වූයේ නැහැ. අලුගෝසු තනතුරට බදවාගන්නා අය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බඳවා ගන්නේ කම්කරු ලෙසයි. එල්ලුම් ගහ තවමත් ක්‍රියාත්මක නොවන නිසා ඔහුට තියෙන්නේ එහිදි පවරන කාර්ය කරගෙන සිටීමටයි.”

අලුගෝසු තනතුරේ දැන් ස්වාභාවය විමසූ විට උසස් නිලධාරියෙකු පැවැසුවේ එවැනි කතාවකි.

වැලිකඩ හා බෝගම්බර බන්ධනාගාර යන බන්ධනාගාර දෙකේම එල්ලුම් ගස් තිබිණි. බෝගම්බර බන්ධනාගාරය දුම්බරට ගෙන යෑමත් සමඟ බෝගම්බර තිබූ එල්ලුම් ගහ ඉවත් කරන ලදි . දැන් ලංකාවටම ඇත්තේ එක් එල්ලුම් ගහක් පමණි. ඒ වැලිකඩ බන්ධනාගාරයේ ඇති එල්ලුම් ගහයි.

කෙසේ වුවත් බෝගම්බර හා වැලිකඩ බන්ධනාගාර ගැනත් එල්ලුම් ගහ ගැනත් අලුගෝසුවා ගැනත් කතා කරන විට නිතැතින්ම සිහිපත් වන්නේ ලුවිස්සිංඤෝය. ලුවිස්සිංඤෝ කලක් එල්ලුම් ගහ ක්‍රියාත්මක පුද්ගලයාය. අලුගෝසුවා යැයි කියූ විට කෙනෙකුගේ සිතේ හැඩි දැඩි සැර පරුෂ මිනිසෙකුගේ රුවක් මැවෙන්නට බැරි නැත. ඒත් කලක් එල්ලුම්ගහේ වැඩ කළ ලුවිස් සිංඤෝ බොහෝ කෙසඟ අහිංසක පෙනුමැති පුද්ගලයෙකි.

අලුගෝසු තනතුර සඳහා 1935 සිට පරම්පරාවෙන් පිය පුතු දෙදෙනෙක් සේවය කළෝය. ඒ අතර එක්දහස් නවසිය හතළිස් නවයේ දී ඔවුන්ගේ අත්උදව්වට පැමිණි ඥාති කොලු ගැටයෙක් පසු කලෙක අලුගෝසු තනතුරට පත්වූයේය. ලුවිස් සිංඤෝ එක්දහස් නවසිය හැත්තෑ නවය වන තුරුම වැලිකඩ හා බෝගම්බර බන්ධනාගාර දෙකේම අලුගෝසුවා ලෙස සේවය කළේය. එම රස්සාව පරම්පරාවෙන් පැමිණි එකකි. එ් නිසා අද මෙන් අලුගෝසු තනතුර සඳහා ඉල්ලුම් පත් කැඳවීමේ අවශ්‍යතාවක් එදා නොතිබිණි.

මරණ දඬුවම පිළිබඳ සම්මත වූ ආඥා පනත අනුව එක්දහස් හත්සිය හැත්තෑ නවයේ සැප්තැම්බර් 23 සිට ප්‍රාණය නිරුද්ධ වන තුරු ගෙලෙන් එල්ලා වරදකරුවන් මැරීමේ නීතිය ක්‍රියාත්මක වූ අතර මුල්ම එල්ලා මැරීම වාර්තා වන්නේ 1812 පෙබරවාරි 10 දිනය.

එසේ එල්ලා මරනු ලැබූයේ ඉංග්‍රීසින්ට විරුද්ධව කටයුතු කර වැරැදිකරු වූ ඉංගිරියේ කළුඅප්පු නමැත්තාය. එකල එළිමහන් පෝරකයක් වූ කැලණිය පෑලියගොඩ තිබූ පෝරකය ඒ සඳහා භාවිත කර ඇත. ඒ කාලයේ අලුගෝසුවාට ගෙවු මුදල පවුම් 3කි. අලුගෝසුවාගේ නිල ඇඳුම සඳහා පවුම් දහයක් ද මරණයට ලක් කරන ලද කළුඅප්පුගේ විශේෂ ඇඳුම සඳහා පවුම් හතරක් ද වැය කර ඇත.

උසාවියෙන් තින්දුව දුන් පමණින් කෙනෙකු එල්ලා මරා දමන්නට බැරිය. ඒ සඳහා වෙනම ක්‍රියාපිළිවෙතක් ඇත.

මරණ දඬුවම නියම කළ පුද්ගලයා බන්ධනාගාරයට පැමිණීමේ දී බාරගනු ලබන්නේ ජේලර්වරුන් දෙදෙනෙකු විසිනි. සිරකරුවා එල්ලා මරණ දිනයේ දී එම ජේලර්වරුන් දෙදෙනා හෝ එක් අයකුවත් සිටිය යුතුය. මරණ දඬුවමට නියම වූ සිරකරු එල්ලා මරා දැමීමට පෙර දිනයේ සිරකරුගේ උස හා බර මැනිය යුතුය. එමෙන්ම එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට පෙර එහි තත්ත්වය විමසා බැලිය යුතුය.

එල්ලුම් ගහේ තෙල් හෝ ග්‍රීස් ගල්වා තිබේදැයි බැලීම මෙන්ම සිරකරුගේ බරට සමාන බර ඇති වැලි ගෝනියක් හා මිනී පෙට්ටියක් සූදානම් කරන ලෙස ප්‍රධාන ජේලර් විසින් ගබඩා භාරකරු වෙත දැනුම් දීම ද කළ යුතුය. මේ සියල්ල කැරෙන අතරතුරේ වධකයා හෙවත් අලුගෝසුවාට අයත් කාර්ය භාරයක් ද වේ.

සිරකරුවකු එල්ලා මැරීමේ දී අත්‍යවශ්‍ය ආම්පන්න ඇත. අලුගෝසුවා විසින් පාලනාධිකාරියේ දැනුවත් කිරීම් මත ගබඩාවෙන් ලබාගත යුතු දේ අතර කඹය, අත්බැඳීමේ උපකරණය, තොප්පිය හා විශේෂ ඇඳුම, ඇඳුම් සහිතව සිටින සිරකරුගේ බර හා සම බරක් සිටින සේ වැලි පිරවිය හැකි මල්ලක්, රට හුනු කෑල්ලක්, නොකැඩී තොණ්ඩුව රඳවා තැබීමට පමණක් ශක්තිමත් නූලක්, හම් කකුල් පටියක් මෙන්ම මැනුම් පටියක් හෝ මැනුම් පොල්ලක් ද තිබිය යුතු ය.

සිරකරු එල්ලා මරා දැමීමට නියමිත දිනයට පෙර දිනයේ දහවල් දොළහ වන විට අලුගෝසුවා රාජකාරියට වාර්තා කළ යුතු ය. නැවත පසු දා සිරකරු එල්ලා මරා දැමීම අවසන් වන තුරු ඔහුට බන්ධනාගාරයෙන් බැහැර යෑමට අවසර නැත. එල්ලුම් ගහ සහ අවශ්‍ය අනෙකුත් උපකරණ සියල්ල හොඳ තත්ත්වයෙන් තිබේදැයි යන්න පිළිබඳ ජේලර් අලුගෝසුවා සමඟ ගොස් පරීක්ෂා කර බැලිය යුතු වේ.

එල්ලා මැරීම සිදු කරන දා හිර ගෙදර නිහඬය. සෙසු සිරකාරයන්ට ද මරණ බිය මෙන්ම තමන් සමඟ එකට සිටි මිතුරාගේ වෙන්ව යෑම දැනෙයි. සාමාන්‍යයෙන් උදෑසන පහේ සිට නවය වන තුරු හිරගෙදර ඝණ්ටාරය හැඬවෙන්නේ නැත. උදෑසන අටයි පහට සිරකරු එල්ලා මැරීමට නියමිතය.

“ලුවිස් සිංඤෝ කියන්නේ කාර්යාල කාර්ය සහායකයෙක් කියලා තමයි මම අහලා තියෙන්නේ. ඔහුට පළපුරුද්දෙන් කියන්න පුළුවන් ලු මිනිහෙක් එල්ලුවට පස්සේ කඹේ අල්ලා බලලා ඒ පුද්ගලයාගේ පණ ගිහිහිල්ල ද නැද්ද කියලා. ඒ වගේම තමයි ඔහු මිනිහෙක් එල්ලන්න පෙර හීන් අඩියක් ගහලා එනවාලු.”

පැරැණි නිලධාරියෙක් පැවැසුවේය. ලුවිස් සිංඤෝ පිළිබඳ තොරතුරු සෙවිමේදි දැනගන්න ලැබුණු කතා බොහෝය.

ඇතැම් විට එල්ලා මරා දැමු පුද්ගලයාගේ ද සිරුර සමඟ ඔහු කඹය දිගේ පහළ මේසය ඇති කාමරයට ම බසිනා බව ද ඒ කතාවලින් කියැවේ. එහෙමත් නැත්නම් එල්ලා මරා දැමුණු මිනිසාගේ කකුල් දෙකේ එල්ලී ඔහු ද පහළ කාමරයට බැස ඇත.

ලුවිස් සිංඤෝ එවැනි චරිතයක් වුවද පසුගිය කාලයේ බඳවාගන්නා ලද පුද්ගලයන් ඊට හාත්පසින් වෙනස්ය. අලුගෝසු තනතුර සඳහා බඳවා ගන්නා ලද එක් අයෙකු පැදුරටත් නොකියා පලා ගියේ වැඩ පුහුණු කරන්නට ගත් දිනයේමය.

ඔහු මුලින්ම රැගෙන ගියේ චැපල් වෝඩ් එකේ සී3 කාමරයේ ඇති එල්ලුම් ගහ පෙන්වීම සඳහාය. නව අලුගෝසු තනතුරු ලැබු පුද්ගලයා එල්ලුම් ගහ දැක්කේ දොරේ ඇති හිඩැස් අතරිනි. ඒ දැකීමෙන්ම ඔහු පැදුරටත් නොකියා රැකියාව දමා පලා ගියේය.

මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම් ගහට නියම වූ පිරිස තුන්සියයකට වැඩිය. ඒ අතරින් අභියාචනා ඉදිරිපත් කළ අය ද වෙති. එල්ලුම් ගහ ක්‍රියාත්මක වන්නේ යැයි වචන මාත්‍රයෙන් ඇසූ පමණින්ද මරණදඬුවම නියම වී සිටින්නෝ නොසන්සුන් වෙති.

දැන් සියලු කතා පරණය. අද හෝ හෙට අලුගෝසු තනතුර සඳහා නවකයන් දෙදෙනෙකු බඳවා ගැනීමත් සමඟ නව පිටුවක් පෙරළෙනු ඇත. නමුදු ඔවුන් කවුදැයි යන්න සැමට රහසක් වනු ඇත.

අදහස්