කසිණ භාවනාව මනෝ ප්‍රතිකාරයක් ලෙස | සිළුමිණ

කසිණ භාවනාව මනෝ ප්‍රතිකාරයක් ලෙස

එෂාමා කාරියකරවන ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා

බුදු දහමේ භාවනාවට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. භාවනා වර්ග දෙකකි. එනම් සමථ භාවනා සහ විදර්ශනා භාවනාවයි. කසිණ භාවනාව අයත් වන්නේ සමථ භාවනා ගොනුවටය. කසිණ භාවනාවෙහි ප්‍රභේද දහයකි. එනම්

1) පඨවි කසිණය -

පොළොව අරමුණු කර බවුන් වැඩීම

2) ආපෝ කසිණය -

ජලය අරමුණු කර බවුන් වැඩීම

3) තේජෝ කසිණය -

ගින්දර අරමුණු කර බවුන් වැඩීම

4) වායෝ කසිණය -

වාතය අරමුණූ කර බවුන් වැඩීම

5) නීල කසිණය -

නිල් පැහැය අරමුණු කිරීම

6) පීත කසිණය -

කහ පැහැය අරමුණු කිරීම

7) ලෝහිත කසිණය -

රතු පැහැය අරමුණු කිරීම

8) ඕදාත කසිණය -

සුදු පැහැය අරමුණු කිරීම

9) ආලෝක කසිණය -

ආලෝකය අරමුණු කිරීම

10) ආකාශ කසිණය -

ආකාශය අරමුණු කිරීම යනුවෙනුයි

 

කසින භාවනාව වැඩීමේදී ඇති විශේෂත්වය නම් භාවනා අරමුණ මෙවලමක් ඇසුරෙන් ගැනීමයි. එය කසිණ මණ්ඩල යනුවෙන් හඳුන්වයි. යෝගියා ඉදිරිපිට කසිණ මණ්ඩලය තබාගෙන එය දෙස බලාගෙන කසිණයේ නම සජ්ඣායනා කරමින් එම අරමුණේ සිත පිහිටුවීමයි. කසිණ මණ්ඩලය ස්ථාවරව හෝ එහා මෙහා ගෙන යා හැකි ජංගම එකක් ලෙසද සාදාගත හැකිය. එක් එක් කසිණය සඳහා නිශ්චිත වූ කසිණ මණ්ඩලයක් ඇත.

යෝගියාට රුචිකර වූ කසිණයක් තෝරාගනිමින් එයට අදාළ කසිණ මණ්ඩලය සකස් කරගෙන කසිණ භාවනාව වැඩීමට හැකිය. බාහිර කරදරවලින් බැහැර වී බෞද්ධයකු නම් තෙරුවන් වන්දනා කොට සිත ශීලයෙහි පිහිටුවා භාවනාව ආරම්භ කළ යුතු වේ. භාවනාවේදී කසිණ මණ්ඩලය සාදා ඇති ද්‍රව්‍යයන් අරමුණු නොකර කසිණය අරමුණු කළ යුතුය. යෝගියා වඩන්නේ නීල කසිණය නම් කසිණ මණ්ඩලය සාදා ඇති රෙදි කැබැල්ල හෝ ඒ වටා ඇති දේවල් හෝ බඳුනේ ඇති මල් හෝ රේණූ නටු හෝ නොව නිල් පැහැය අරමුණු කරමින් “නීල නීල“ යනුවෙන් සජ්ඣායනා කරමින් කසිණයේ නිල් පැහැයම අරමුණු කළ යුතු වෙයි.

“සමසතළිස් කර්මස්ථාන භාවනා“ කෘතියේ නා උයනේ අරියධම්ම නා හිමියෝ භාවනාවට සූදානම් විය යුතු ආකාරය සහ භාවනාව වැඩිය යුතු ආකාරය මෙසේ පහදා දෙති.

“අන් අයට නොපෙනෙන පහසු තැනක නැඟෙනහිරට හෝ උතුරට හෝ මුහුණලා වාඩි වන සේ එක් වියත් සතරඟුල් පා ඇති සැප ආසනයක් පනවාගත යුතුය. වඩා උස් වූ ආසනයක වාඩි වීමෙන් ග්‍රීවය නවා කසිණය බැලිය යුතු වෙයි. අඩියකට වඩා උස අඩු අස්නෙහි වාඩි වීමෙන් දණ දෙක රිදීමට පත් වෙයි. එ් නිසා අඩියක් පමණ උස ආසනයක වාඩි වීමට සුදුසුය. දෙරියන් හමාරක ප්‍රමාණය ඇතුළත කසිණ මණ්ඩලය බිම ඇතිරිල්ලක් මත සමතලාව තබාගත යුතුය. ආසනයේ ඉදිරිපස කෙළවරේ සිට කසිණ මණ්ඩලයේ අග කෙළවර තෙක් ප්‍රමාණය අඩි තුනකුත් අඟල් නවයක් ඈත් වන සේ තබාගත යුතුය. එයට වඩා ඈත් වීමෙන් කසිණ මණ්ඩලය නොපැහැදිලි වේ. ඉතා ආසන්න වීමෙන් කසිණ දොස් පෙනේ. සිල් පිරිසුදු කරගත යුතුය“.

“එසේම අභ්‍යන්තර බාහිර පවිත්‍රතාව සපුරා සිල් පිරිසුදු කොට භාවනාවට අවශ්‍ය උපචාර විධි සියල්ල සම්පූර්ණ කරගත යුතු වේ. මල් පහන් සුවඳ ආදියෙන් තෙරුවන් වැඳ පුදා පූර්ව කෘත්‍යය සම්පාදනය කොට කාමයන්හි ආදීනවයත් නෛෂ්ක්‍රම්‍යයෙහි ආනිසංසත් නුවණින් මෙනෙහි කළ යුතුය. බුද්ධාදි රත්නත්ත්‍රයේ ගුණ ආවර්ජනා කොට ප්‍රීති සෝමනස්සය උපදවා, මේ උත්තම භාවනා ප්‍රතිපත්තිය වනාහි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ, ආර්‍ය්‍යයන් වහන්සේලාගේ නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිපදාව යයි ප්‍රතිපත්තිය කෙරෙහි ගෞරවය උපදවා, ඒකාන්තයෙන් මේ භාවනා ප්‍රතිපදාවෙන් ධ්‍යාන, මාර්ගඵල, නිර්වාණ සම්පත්තිය ලබන්නේ වෙමියි අධිෂ්ඨාන පිහිටුවා ගත යුතුය“.

“ඇස අධිකව දල්වා නොබැලිය යුතුය. ඉන් ඇස වෙහෙසට පැමිණේ. කසිණ මණ්ඩලයද පමණට වඩා වෙනස්ව පෙනේ. එය උද්ග්‍රහ නිමිත්ත පහළ කරගැනීමට බාධාවකි. ඇස බාගෙට පියාගෙන ද නොබැලිය යුතුය. අඩ ඇසින් බැලීමේදී කසිණ මණ්ඩලය මනාව නො පෙනේ. සිත ද නින්දට බර වේ. කැඩපතකින් මුහුණ බලන්නා සේ සම ආකාරයෙන් ඇස ඇර කසිණ මණ්ඩලය බැලිය යුතු වේ. කසිණ මණ්ඩලයේ තමන් දෙසට ඇති කෙළවරේ සිට දකුණෙන් දකුණට සිත යවමින් බලා මණ්ඩල හරි මැද ඇසින් බලා සිත පිහිටුවා ගත යුතුය. ඇස ඇර බලමින් වචනින් සජ්ඣායනා කළ යුතුය. ඇස පියා සිතින් මෙනෙහි කළ යුතුය. සජ්ඣායනා කිරීමේදී ඉක්මන් නොවී පමා නොවී ශබ්ද නොනඟා තමන්ට පමණක් ඇසෙන සේ සජ්ඣායනා කළ යුතුය. කසිණ මණ්ඩලයේ වර්ණය ගැන නොසිතිය යුතුය. කසිණ දෝස ගැන නොබැලිය යුතුය. අරුණුවන් පාටින් යුක්ත පඨවි කසිණ මණ්ඩලයෙහි පඨවි යන සංඥාව පිහිටුවා එම පඨවි යන ප්‍රඥප්තිය අරමුණු කොට පඨවි - පඨවි - පඨවි කියා හෝ පඨවි කසිණය - පඨවි කසිණය කියා හෝ සජ්ඣායනා ද මනසිකාරය ද කළ යුතුයි“

මනෝ උපදේශනයේදී ප්‍රතිකාරයක් ලෙස කසිණ භාවනාව යොදා ගැනීම මනෝ උපදේශනයේදී ප්‍රතිකාරයක් ලෙස කසිණ භාවනාව යොදා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ඇත. එනම්

 

සේවාලාභියාගේ ගැටලුවේ ස්වභාවය

සේවාලාභියාගේ මානසික සහ චිත්තවේගික ස්වභාවය

එම මානසික සහ චිත්තවේගික ස්වභාවයේ තීව්‍රතාව

යම් යම් භීතිකා තත්ත්ව ඇති සේවාලාභීන්ට එමඟින් බලපෑමක් ඇතිවේද යන්න

භාවනාවට බාධා පමුණුවන කායික ගැටලු ඇද්ද යන වග

ඉහත කරුණූ පිළිබඳ උපදේශකයා මනා ලෙස සැලකිලිමත් වීම වැදගත්ය.

නිදසුන් ලෙස

1) අධ්‍යාපනය ලබන සිසුවකුට ඉතා යෝග්‍ය කසිණය වන නීල කසිණය වැඩීම ලබා දිය හැකිය. එහෙත් එම සිසුවා නිල්පැහැය සම්බන්ධව හෝ කසිණ මණ්ඩලය සාදාගැනීමට ගන්නා ද්‍රව්‍ය පිළිබඳ භීතිකා තත්ත්වයක් ඇත්තකු නම් නීල කසිණය ලබාදීම ප්‍රයෝජන රහිතය.

2) සෑම ගැටලුවකටම භාවනා ප්‍රතිකාරයක් ලෙස ලබාදිය නොහැකිය. සයිකෝසීය වර්ගයේ මානසික රෝග ඇත්තවුන් සඳහා භාවනා ප්‍රතිකාර වශයෙන් ලබාදීම අසීරුය. සමහර රෝගීන්ගේ රෝගය සියලුම දේ සැක කිරීම බැවින් එවන් රෝගියකු හට භාවනාව නිෂ්ඵල වීමට ඉඩ ඇත.

ඉහත නිදසුන්වලට අනුව සේවාලාභියාගේ ගැටලුවට අදාළව සායනික ප්‍රතිකාර ලැබීම අනිවාර්ය වේ නම් ඖෂධ ප්‍රතිකාර ලබාදී රෝගයේ තීව්‍රතාව අඩු කර, ගැටලුවේ විසඳා දීමට හැකි පාර්ශ්ව විසඳාගැනීමට උපදෙස් ලබාදීමෙන් අනතුරුව භාවනාවට යොමු කිරීම ප්‍රතිඵලදායක වේ.

කසිණ භාවනා සුදුසු සේවාලාභීයෝ

කසිණ භාවනාව වඩාත් උචිත සේවාලාභීන් වන්නේ ප්‍රතිකාර ලැබිය යුතු සේවාලාභීන්ට වඩා ගැටලුවට පමණක් මුහුණ දී පීඩා විඳින සේවාලාභීහුය. ප්‍රතිකාර මඟින් භාවනාවට සුදුසු මට්ටමකට සුවය ලැබූ රෝගීන්ද භාවනාවට යොමු කළ හැකිය.

මෙහිදී කසිණ භාවනා වඩාත් සුදුසු වන්නේ පහත ආකාරයේ සේවාලාභීන්ටය.

1) සිත නිරන්තරයෙන් විසිරෙන ස්වභාවය ඇති සේවාලාභීන්ට

2) විභාග ගැටලු, පාඩම් අමතක වීම්, පාඩමට හිත යොමු කිරීම අසීරු සිසුන්ට

3) විවිධ අරමුණු හා ගැටෙමින් ප්‍රපංච ගොඩනඟමින් අතීතයට සහ අනාගතයට සිත යවමින් තැවෙන්නන්ට

4) මනසින් අරමුණු ගෙන භාවනා වැඩීමට අසීරු පුද්ගලයන්ට

නූතන මනෝවිද්‍යාවේදී

 

කාංසා (Anxiety),

Generalized Anxiety Disorder(GAD),

ග්‍රස්ථිය (OCD),

ආතතිය( Stress),

සරල විශාදය ( Mild or Moderate level Depression)

 

වැනි නියුරෝසීය රෝග සහිත සේවාලාභීන්ට කසිණ භාවනා ඉතා සුදුසුය.

නාඋයනේ අරියධම්ම හිමියෝ “සම සතළිස් කර්මස්ථාන භාවනා“ කෘතියේ කසිණ භාවනාවේ අනුසස් මෙසේ වදාරති.

“උද්ග්‍රහ නිමිත්ත අරමුණු කොට මෙසේ භාවනා වඩද්දී අනුපිළිවෙළින් පඤ්ච නීවරණ ධර්ම යටපත් වෙයි. කෙලෙස් ගති සංසිඳෙයි. උපචාර සමාධියෙන් සිත සමාධි ගත වෙයි. ප්‍රතිභාග නිමිත්ත උපදී. පරියුට්ඨාන කෙලෙස් සංසිඳී යෙයි“

එසේම මඩිහේ පඤ්ඤාසීහ නාහිමියන් “සමසතළිස් කර්මස්ථාන භාවනා“ කෘතියට පූර්විකාවක් සපයමින් භාවනාවේ අවශ්‍යතාව සහ අනුසස් මෙසේ සඳහන් කරති.

“වර්තමාන සමාජයේ අපරාධ වැඩි වීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ බොහෝ දෙනාට කාමකෝප ඉවසන්නට ශක්තියක් නැතිකම බව නුවණින් කල්පනා කරන කාට වුවද වැටහෙනවා ඇත. මේ අපරාධ අඩු කරගැනීමට ඉන්‍ද්‍රිය සංවරයට හා චිත්තදමනයට උපකාර වන ඉහළ සිල් රැකීම හා භාවනා ඉතා අවශ්‍ය ය. කාමකෝප ඉවසීම නම් වූ උතුම් මිනිස් ගුණය ඇති කරගැනීමට හා සමාජයේ අපරාධ අඩු කරගැනීමට ද භාවනාව ඉතා අවශ්‍ය ය“.

“භාවනා කිරීමෙන් හිත පිරිසුවෙයි. හිත පිරිසුදු වී‍මෙන් ශරීරගත ලේ ද පිරිසුදු වෙයි. ලේ පිරිසුදු වූ විට ලෙඩ අඩු වෙයි. ශරීරය ද පැහැපත් වෙයි. අන්‍යයනට ප්‍රිය ද වෙයි. බෞද්ධයන්ගේ පරමාර්ථය සසර දුකින් නිදහස් වීමයි. නිවන් සුව ලැබීමයි. එය කළ හැක්කේ කෙලෙසුන් නැති කිරීමෙනි. කෙලෙස් නම් සිත පිළිබඳ නරක ගතියි. ඒ නරක ගති නැති කරගත හැක්කේ සිත දමනය කිරීමෙනි. සිත දමනය කිරීමෙහි ප්‍රධානම මාර්ගය භාවනා කිරීමයි“.

මේ අනුව බලන කළ කුමන හෝ භාවනාවකට පුද්ගලයා යොමු වීමෙන් පෞද්ගලිකව ඔහුටද පොදුවේ සමාජයටද සිදු වන යහපත් ඉතා ඉහළය.

කසිණ භාවනාව මනෝ ප්‍රතිකාරකයක් සඳහා යොදා ගැනීමේදී සේවාලාභීයාට අත් වන සුවය පහත ආකාරයෙන් දැක්විය හැකිය.

1) සිත එකඟ කරගැනීමේ හැකියාව - එමඟින් අධ්‍යාපන කටයුතුවල මනාකොට නියැළීමට හැකි වීම

2) අවධානය, මතකය, තර්කනය, හේතුවාදී චින්තනය ආදි ප්‍රජානන හැකියා සංවර්ධනය වීම

3) අතීතය අනාගතය අතර දෝලනය වෙමින් ප්‍රපංච ගොඩ නඟමින් අකුසල කර්ම ගොඩ නොනැඟීම.

4) සිතට, මනසට සැහැල්ලුවක් ඇති වීම.

5) කායික පීඩා මානසික පීඩා අඩු වීම

6) සේවාලාභියාගේ සුවපත් වීම ඔස්සේ පවුලට, රැකියාවට සහ සමාජයට වක්‍රාකාරව ලැබෙන සහනය

7) සේවාලාභියාගේ ඵලදායිතාව වර්ධනය වීම

8) ඉලක්ක සහ අරමුණු වෙත ළඟා වීමේ හැකියාව වර්ධනය වීම.

මේ අයුරින් කසිණ භාවනාව හරහා කාංසා (Anxiety), Generalized Anxiety Disorder(GAD), ග්‍රස්ථිය (OCD), ආතතිය( Stress), සරල විශාදය ( Mild or Moderate level Depression) ඇති රෝගීන්ට මහත් මෙහෙයක් සිදු කළ හැකි බව පෙන්වා දිය හැකිය.

සේවාලාභියාගේ කැමැත්ත අනුව ගැටලුව විසඳාගැනීමෙන් අනතුරුව තවදුරටත් භාවනාවේ ඉදිරියට ගමන් කර සාංසාරික වශයෙන් ඇති වන ගැටලුවල නිමාවක්ද දැකිය හැකිය.

අදහස්