දශක හතරකට පෙර නැඟෙනහිර මහ වන මැද නිට්ටෑවන්ගේ අඩවියේ හුදකලා වූ අඩවි වන නිලධාරියෙකුගේ ඇසින් දුටු සාක්ෂිය | සිළුමිණ

දශක හතරකට පෙර නැඟෙනහිර මහ වන මැද නිට්ටෑවන්ගේ අඩවියේ හුදකලා වූ අඩවි වන නිලධාරියෙකුගේ ඇසින් දුටු සාක්ෂිය

  • කුරුමිනිසා පලා ඇවිත් සැඟවෙන්නෙ ලඳු කැලෑවක
  • ලඳු කැලෑව පුරා ගල් තලාවක පටු විවර සහිත ගල් බෙන
  • වටපිටාවේ හැම තැන විසිරී තිබුණු කුඩා සතුන්ගේ ඇටකැබලි
  • පලා එන්න හදද්දි ගල් ප්‍රහාරයක්

මගේ පියා සිය ජීවිත කාලයෙන් තිස් වසරකටත් වඩා වැඩි කාලයක් කැප කළේ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි වෙනුවෙනි. රාජකාරි ජීවිතයෙන් වසර කීපයක් හැරුණු කොට අනෙක් සියලු අවස්ථාවල ඔහු සේවය කළේ කොළඹින් දුරබැහැර පෙදෙස්වලය. එයින් ද වැඩි කාලයක් ඔහු අනුයුක්තව සිටියේ වනගතව සේවා කටයුතු සිදු කළ යුතුව තිබු සැබවින්ම දුෂ්කර සේවා ක්‍රියාන්විත ආශ්‍රිතවය. අද කාලයේ නම් ඈත පළාතක පිහිටි රජයේ පාසලක හෝ රෝහලක සේවය කිරීමත් දුෂ්කර සේවයක් මෙන් සලකන පදනමක එදා ඔවුන් මහා වනගහනය තුළ තාවකාලික කඳවුරු තනාගෙන වනසතුන්ගෙන් එල්ල වූ අපමණ තර්ජන හා ජීවිත අනතුරු මැද, වනාන්තරයේ නීතිවිරෝධි ක්‍රියාවල නිරත වූ ආයුධ සන්නද්ධ ජාවාරම්කරුවන්ට මුහුණ දෙමින් කළ සේවය අද කාලයේ නම් බොහෝ දෙනෙකුට සුරංගනා කතාවක් තරමටම දුරස්ය.

විශේෂත්වය වුණේ ඔහු සිය රාජකාරි කටයුතු සැලකුවේ අනතුරුදායක දුෂ්කර ලෙස නොව, තමන්ගේ එදිනෙදා සාමාන්‍ය රාජකාරිය ලෙසය. ඔහු තුළ කිසිම විටෙක අතිශයෝක්ති හෝ අනවශ්‍ය සාටෝප සහිත කතා තිබුණේ නැත. වැදගත්ම සිදුවීම් හැර ඔහු සිය රාජකාරි ජීවිතයේ සිදු වීම් නිවසේ කිසිවෙකු සමඟ සාකච්ඡා කළේත් නැත.

වනගත රාජකාරීවලදී එදා පැවති සේවා තත්ත්වය සහ නිලධාරීන් ප්‍රමාණය අනුව බොහෝ අවස්ථාවල තනිව වනයේ සංචාරය කිරීමට සිදු වී තිබිණි. එවන් අවස්ථාවක ඔහු මුහුණ දුන් එක් විශේෂ සිද්ධියක් ඉතාම අවධාරණාත්මකව ඔහු මට කීවේය. එම සිද්ධිය පිළිබඳ ඉන් පසුත් මම ඔහු සමඟ සාකච්ඡා කළෙමි. එය මට විශේෂ ගුප්ත රසයක් ඉපදවූවේය.

මේ අවධියේදී ඔහු සේවයේ නියුතුව සිටියේ කොළඹින් බොහෝ දුරබැහැර ග්‍රාමීය පළාතකට අයත් ඝන වනාන්තර අඩවියකය. එදත් සුපුරුදු ලෙසම උදෑසනින් ඔහු සිය වනගත චාරිකාව අැරඹුවේය. වන සතුන් සරණ වන මං ඔස්සේ ගමන් කළ ඔහු මධ්‍යහනය වන විට කඳවුරින් සැලකිය යුතු දුරක් පැමිණ සිටියේය. විශාල නියඟයක් නොවන්නේ නම් සිය ගමනේදී ජල බඳුනක් රැගෙන යෑම ඔහුගේ පුරුද්ද නොවේ. වනයේ ලකුණු දන්නා ඔවුහු සතුන් විසින් පහරනු නොලැබූ, අපවිත්‍ර නොවූ, පිරිසුදු දිය මං පහසුවෙන් සොයාගනිති.

වෙහෙස හා කුසගින්න නිසා කුඩා දොළපාරක් ළඟ නැවතුණ ඔහු අහර කිස නිමවා අසල වූ ගල් තලාවක් මත මඳක් ගිමන් හැර වේලාව බැලුවේය. ඉර හැරෙන්නට තවත් පැය හතරක පහක කාලයක් ඇත. තවත් පැයක් පමණ කාලයක් ඉදිරියට ගොස් නිරීක්ෂණ කටයුතුවල යෙදී ඉන් අනතුරුව කඳවුර වෙත යන්නට තීන්දු කළ ඔහු සිටි තැනින් නැඟී සිටියේය. ඉදිරියට ගමන් කළේය. වනයේ කිසිදු මිනිස් ක්‍රියාකාරකමක් නැත.

වනයේ ගමන් කරන අයෙකුට නොපෙනෙන නොදැනෙන අතිශයින් සියුම් දේවල් බැලු බැල්මටම පෙනී යන තියුණු ඥානයක් පියා සතු විය. ඒ ඔහු රාජකාරියෙන්ම ලැබූ පරිණතිය ය. ඔහු ආපසු කඳවුරට යන්නට හැරුණේය. එහෙත් අපේක්ෂා නොකළ කාලගුණ වෙනසක් ඇති වී තිබිණි. එක් වරම අහස කළු වලාකුළෙන් වැසී ගියේය. තවත් පැයකට අඩු කාලයකදී ඇදහැලෙන්නට හැකි වැස්සකි. එය මොර සූරන ධාරාණිපාත වර්ෂාවක් වෙන්නට ඉඩ තිබේ. වැසි වැටෙන්නට ගත්තොත් වඩා ඉක්මනින් වනාන්තරය අඳුරෙහි ගිලි යයි. එවන් පරිසරයක දී වන මං ඔස්සේ ගමන් කළ හැකි වේගයද අඩුය. මහා වර්ෂාව ගමන මුළුමනින්ම නවතාලයි. තද සුළං සහිත දැඩි වර්ෂාපතනය ඇතැම් විට නොනැවතී දිනක් පුරා ඇද හැලෙයි.

එවැනි වර්ෂාවකදී වන අනෙක් සංසිද්ධිය නම් මෙතෙක් පැහැදිලිව තිබූ කුඩා වනමං මැකී යෑමය. එවැනි අවස්ථාවක කළ හැකි හොඳම දේ වනයේ ගල් ගුහාවක ගිනිමැලයක් ගසාගෙන රැය පහන් කිරීමය.

විය හැකි සියලු තත්ත්වයන් සලකා බැලූ ඔහු පැමිණි මඟ ඔස්සේම යනවා වෙනුවට වනාන්තරය හරහා කෙටි මඟක් තනාගෙන ගමන් කර කඳවුරට වඩාත් ආසන්නයේ දී නැවත සුපුරුදු මඟට අවතීර්ණ වීමට තීන්දු කළේය. ඉන් ගමන් කාලය පැයකින් කෙටි වෙයි. පැයක පමණ කාලයක් ඉතිරි කරගත හැකි නම් වර්ෂාවෙන් සම්පුර්ණයෙන්ම ගැලවීමට නොහැකි වුවත් අඩු තරමේ අඳුර වැටී වැඩි වේලාවක් යෑමට පෙර කඳවුරට ළඟා වීමට හැකි වනු ඇත.

කිසිදු මංසලකුණක් නැති මහා වනගහනය මැදින් ඔහු ඉදිරියට යන්නට විය. වන මඟෙන් ඉවත් වී පැය භාගයක් පමණ ගමන් කළ ඔහු ඉදිරියෙන් වූයේ ගල්තලා සහ කුඩා කඳුගැටවලින් සමන්විත ලඳු කැලෑවක් සහිත ඉසව්වකි. යම් තරමකට පුළුල් වූ දොළපාරක්ද ඒ මැදින් ගලා ගියේය. එම ඉසව්වට ඔහු කිසි දිනෙක පැමිණි නැත. ඉඳහිට වනයේ ගමන් කරන මිනිසුන් විසින් භාවිතා කෙරුණු කුඩා වනමංවලින් බොහෝ බැහැරව තිබු මේ ඉසව්වට කිසිවෙකු සිතාමතාම පැමිණෙන්නේ නැති තරම්ය.

දැන් මද වැස්සක් ආරම්භ වී තිබේ. වරින්වර අකුණු ගසමින් ඇත. වැහි කළුවර නිසා පරිසරය තරමක් අඳුරුය. එහෙත් මෑතින් ඇති යමක් හොඳින් හඳුනාගත හැකි තරමට ආලෝකයක් තිබේ. දිරියට ගමන් කරන්නේ නම් ගල්පරය සහ කුඩා කඳුගැට නැඟ යනවාට වඩා දොළපාර ඔස්සේ පහළට ගමන් කිරීම පහසුය. ඔහු දොළපාර අයිනෙන් ඉදිරියට යෑමට පටන්ගත්තේය. මඳක් පහළට යන විට පෙනෙන්නේ ගල්පරයක් අසලින් දොළපාර එකවරම වැළමිටි වංගුවක් සේ නැවුණු තැනකි.

වංගුව අසලින් හැරෙනවාත් සමඟම දුටු දෙයින් ඔහු තූෂ්නිම්භුත වී එක තැනම නැවතුණේය.

ඒ කතාව තාත්තා කී ආකාරය මට අද කීවාක් සේ මතකය.

“මං හිටපු තැනට මීටර 30 - 40ක් විතර ඉස්සරහින් දොළපාර ළඟ ඉඳගෙන කෙනෙක් වතුර දිහා බලාගෙන ඉන්නවා. ඇත්තමයි මං හිතුවේ පොඩි ළමයෙක් කියලා. ඒත් එක තත්පරේකින් මට තේරුණා මේ ඉන්නෙ පොඩි එකෙක් නෙමෙයි කියලා. හිඳගෙන හිටපු කෙනා එක පාරම ඔළුව උස්සලා බැලුවා. මම දැක්කෙ තද අඳුරු පැහැයක් ගත්තු මෝරපු මිනිහෙකුගේ මූණක්. මූණෙ ඉතා රළු පරළු බවක් තිබුණා. විස්තර කරන්න අමාරු නපුරු පෙනුමක්, බිහිසුණු පෙනුමක්. කෙස් දිගට වැවිලා මුහුණට කඩා වැටිලා. එහෙම නැති නම් ඒ පෙනුණෙ මුහුණ පුරා වැඩුණු රැවුලක්. මම කෙළින්ම එම මුහුණ දැක්කෙ තත්පර හතරක් හෝ වැඩිම වුවහොත් තත්පර පහක්...

මේ කුරු මිනිහා පුදුම වේගයකින් මං ඉන්න පැත්තෙන් ඉවතට දිව ගියා. දිව යන විට පෙනුණු ආකාරයට නම් ඒ මනුස්සයගේ උපරිම උස අඩි 3කට වැඩිය නෑ. ඒ වන විට කැලෑවේ තිබුණු මඳ අඳුරු ගතිය හින්දා සමේ වර්ණය අනුව හරියටම පෙනුණේ නෑ. ඒත් ඇඟේ ඇඳුමක් නම් තිබුණෙ නෑ. දොළපාර දිගේ පහළට දුවලා ගිහින් තවත් තත්පර කීපයක දී ගල්පරයක් ළඟදි ඉවතට හැරිලා මිනිහා නොපෙනී ගියා.

සියල්ල සිදු වුණේ තත්පර ගානක් ඇතුළත. වුණේ මොකක්ද කියලා තේරුම්ගන්නත් මට ටික වේලාවක් ගියා. මං ඉක්මනින් දොළ පහළට ගියා. මේ කුරු මනුස්සයා ඉවතට හැරී නොපෙනී ගියපු ගල් පරය ළඟට ආවා. එතැන තිබුණේ ගල්පර දෙකක් අතරින් මැදිව කැලෑව තුලට දිවගිය මංකඩක් වාගෙ කුඩා හිඩැසක්. ඈතින් තවත් ඒ විදිහෙ ගල්පර කීපයක් දක්නට ලැබුණා. දුවගෙන ගිය මනුස්සයගේ කිසිම සලකුණක් දක්නට ලැබුණෙ නෑ.

කළුවර වැටෙන්න කලින් කඳවුරට යන්න පැය එකහමාරක්වත් යනවා. ඒ වේලාවෙ තනියම මේ මනුස්සයා හොයන්න යන එක මහ මෝඩකමක්. ඒ වගේ තීන්දු නොගත්තු හින්දා තමයි මං මේ විදිහට ජීවත් වෙලා ඉන්නෙ. මං කළේ තැන හොඳින් මතකයේ රඳවගත් එක. ඊට පස්සේ ඝන කළුවර වැටෙන්න කලින් පුළුවන් ඉක්මනින් දොල පාර දිගේ පහළට ගියා.

මීටර සියයක්වත් ගියෙ නෑ. මගෙ ළඟින් මොනවා හරි දෙයක් බිමට වැටුණා. ඒක ගල් පාරක්ද නැති නම් ගහකින් බිමට වැටුණු ගෙඩියක් හරි අතු කැබැල්ලක් ද කියලා හරියටම කියන්න බෑ. ඒත් එක දෙයක් පැහැදිලියි. පොඩි වැහි පොදක් මිසක් හුළං නම් තිබුණෙ නෑ. සාමාන්‍යයෙන් මේ වගේ දේවල්වලදි මගෙ හිත කලබල වෙන්නෙ නෑ. ඒත් මටත් අමුත්තක් දැනුණා. මං උරහිසේ තියාගෙන ආපු පතොරොම් තුවක්කුව අතට අරන් පතොරමක් දාගත්තා. ආරක්ෂක අගුලත් ඉවත් කළා. වටපිටවා ගැන අවධානයෙන් තවත් පැයක විතර කාලයක් මං ඉස්සරහට ගියා. බලාපොරොත්තු වෙච්චි විදිහටම උදේ ගමන් කරපු පාර හම්බ වුණා. ඒ පාරේ පැය බාගයක් යන කොට කඳවුර තියනවා. කඳවුරට යන කොට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නත් පේන්නෙ නැති තරම් කළුවර.

මං කඳවුරේ අනෙක් නිලධාරීන් කාටවත් මේ සිද්ධිය කිව්වෙ නෑ. මගේ හොඳම යාළුවා ජොර්ජ්. දවස් දෙකකට පස්සේ මං ජොර්ජ්ට කතාව කියලා ළඟදිම දවසක දෙන්නම ගිහින් ඒ පැත්ත සෝදිසි කරන්න තීන්දු කළා.

ඒත් රාජකාරි හේතු හින්දා අපි දෙන්නට එකට ඒ පැත්තට යන්න පුළුවන් වුණේ තවත් සති ගානකට පස්සෙ.

එදා අපි දෙන්නා උදෙන්ම පිටත් වූණා. ඉර මුදුන් වෙන වේලාවට වගේ අපි දෙන්නා මේ කියන තැනට ආවා. සති ගණනාවකට පසුව වුණත් එදා ඒ සිද්ධිය දුටු ස්ථානය සහ එම ස්ථානයට යන මාර්ගය හොඳින් මගේ මතකයේ තිබුණා. දොළපාර අයිනට ආපු අපි කිසිම සද්දයක් නොකර අවට විමසිල්ලෙන් බලාගෙන හිටියා.

කිසිම අමුත්තක් පේන්න නෑ. අපි දොළපාර දිගේ ටිකක් පහළට ගියා. මේ කුරු මනුස්සයා ඉවතට හැරී අතුරුදන් වී ගිය ගල්පර දෙක ළඟට ආවා. ගල් දෙබොක්කාව ඉතා පටු එකක්. ඒත් එහෙත් ඒ දෙබොක්කාව කැලෑවේ සෑහෙන දුරකට විහිදෙනවා. දෙබොක්කාවෙන් එපිට කෙළවරේ ගල්පර රාශියක් අඩ වශයෙන් පෙනෙන්නට තියනවා. හොඳින් වැඩුණු උස මහත කෙනෙකුට ඒ දෙබොක්කාව අතරින් යනවා කියලා හිතන්නත් බෑ. අපි දෙන්නම ගල්පර පසු කර මඳක් පහළට දොළපාර දිගේ ගමන් කළා.

ගල්පරයට දකුණු පසින් වනයට ඇතුළු වී ඉන්පසු ගල්පරයේ පාදය ඔස්සේ වනය තුළට ගියා. අපි දැක්කේ ඒතරම් උස නැති එහෙත් තැනින් තැන පැතිරුණු ගල් තලාවක්. තැනින් තැන ගස් සහ පඳුරු වැවිලා. එක් පැත්තක ගන වදුලක්. පහසුවෙන් ගමන් කළ නොහැකි ඒ පැත්තෙ තවත් පැයක විතර කාලයක් ඇවිදලා බැලුවා. ඒත් කිසිම කෙනෙක් හම්බ වුණේ නෑ. ඒත් ඒ අඩවිය පුරාම අධික ලෙස කුඩා සතුන්ගේ ඇටකටු කැබලි දක්නට ලැබුණා. ඒ අතර මාළුන්ගේ කටු වැනි දෑ තිබුණා. ලොකු සත්තු දඩයම් කළ හාවන් මීමින්නන් වාගේ කුඩා සතුන්ගේ ඇට කැබලි කැලෑවේ දකින්න තියනවා ඕන තරම්. ඒක සාමාන්‍ය දෙයක්. එත් මේ තරම් ඇටකටු ගොඩක් එකම කුඩා ප්‍රදේශයක තියනවා මං ඊට කලින් කවදාවත් දැකලා තිබුණෙ නෑ.

ඒ එක්කම අපි දැක්කා ගල්තලා කීපයකම පොළොවට ආසන්නයෙන් ඇතුළට නෙරා ගිය ගල්බෙන වාගේ ගැඹුරු කුහර. ඒවායේ මුවවිට කුඩා හා පැතලිවයි තිබුණේ බොහෝ ඒවාගේ කුහරයකින් වැඩුණු මිනිසෙකුට රිංගලා යන්න බෑ. කීපයක විතරක් සාමාන්‍ය මිනිසෙකුට බඩගාගෙන යන්න පුළුවන්. ටිකක් උවමනාවෙන් බැලුවාම මේ කුහර ගල්තලාව යටින් ඉතා ඈතට දිවයන බව පේන්න තිබුණා. ඒ වගේ කුහරයක ඈතට ගමන් කරන්න නම් ඒකට විශේෂ සූදානමක් තියෙන්න ඕනෑ. සුදුසු උපකරණ සහිතව පළපුරුදු කීපදෙනෙක් පැමිණෙන්න ඕනෑ. ආපහු දවසක තවත් කීප දෙදෙනෙකු සමඟ සූදානම් වී පැමිණ එම ගල්බෙන පරීක්ෂා කරන්න හිතාගෙන අපි එතැනින් පිටත් වුණා.

සති කීපයකට පස්සෙ අසල ගම්මානයකදී දන්නා හඳුනන වයසක ගම්වැසියෙක් මට මුණගැහුණා. උන්දෑ මේ කැලෑව ගැන හොඳට දන්නවා. මට ගොඩක් තොරතුරුත් මීට කලින් දීලා තියනවා. මං දැකපු දේ කිව්වා.

උන්දෑ ඉතාම ඕනෑකමින් කතාව අහගෙන හිටියා. අන්තිමට ඔළුව හොලවලා මට මෙහෙම කිව්වා.

“මහත්තයා දැකල තියෙන්නේ නිට්ටෑවෙක්. ඔය කියන ඉසව්වේ ඉස්සර නිට්ටෑවෝ හරියට උන්නා. උන් දැන් ඔක්කොම වගේ වඳවෙලා. කලාතුරකින් එකෙක් දෙන්නෙක් ඉතිරි වෙලා ඉන්න පුළුවන්. මහත්තයා දැකලා තියෙන්නෙ කලාතුරකින් කෙනෙක් දකින දෙයක්. මේ සතා මිනිස්සුන්ගේ හැඩහුරුකමට සමානයි. වැද්දො තමයි මේ සත්තු ගැන හොඳටම දැනගෙන උන්නෙ. කරදර හින්දා වැද්දො නිට්ටෑවන් හොය හොයා මැරුවා කියන කතාව අපේ මුත්තලගේ කාලෙ ඉඳන් ඇහෙනවා. කොහොම හරි මේ අරියාදුවලින් බේරිලා නිට්ටෑවන් කීපදෙනෙක් හරි ජීවත් වෙන්න ඕනෑ. වැද්දොත් මේ පළාත් ඇරලා ගිහින් අවුරුදු සීයකට වැඩියිනෙ. ”

ඒ මනුස්සයා කියපු එක ඇත්ත කියලා මං දැන් විශ්වාස කරනවා. එදා මට හම්බ වුණේ නිට්ටෑවෙක්.” තාත්තා විශ්වාසයෙන් යුතුව මා දෙස බලාගෙන සිටියේය.

“තාත්තාට කැලේ කොහෙදිද ඒ සත්තු හම්බ වුණේ...”

ඔහු මා දෙස හෙළූ බැල්ම ඉවත නොහෙළාම හඬ අවදි කළේය.

“ඒක මොකටද පුතේ... උන් ඔහෙ හිටපුවාවෙ...” ඒ වචන කීපයේ සැඟවුණු ගැඹුර මම හඳුනා ගතිමි.

නිට්ටෑවන් යනු නූතන මානවයන්ගේ (homo sapiens) එක්තරා උප ප්‍රභේදයක් (subspecies ) වීමට ඉඩ ඇත. එසේ නැතහොත් සම්පුර්ණයෙන් වෙනස් වෙනත් මානව විශේෂයක් වීමටද ඉඩ තිබේ. එවැනි කුරු මානව විශේෂයක අතීත පැවැත්ම පිළිබඳ විද්‍යාත්මක සාධක නැඟෙනහිර ආසියාවේ ඉන්දුනීසියාවෙන් සොයාගෙන තිබේ. නමුත් ලංකාවේ සිටි බව කියන හෝ දැනටත් සිටින බව පැවසෙන නිට්ටෑවන් පිළිබද නිශ්චිත විද්‍යාත්මක සාධක තවමත් හමු වී නැත. අප මේ සියලු දේ කතා කරන්නේ එවැනි සංදර්භයක් තුළය.

පසුගිය දිනවල ප්‍රදේශ කීපයකින් අද්භූත කුරු මිනිසුන් පිරිසක් වාර්තා විය. වඳ වී ගියා යයි සැලකුණු බොහෝ ජීවී කොට්ඨාස ගැඹුරු වනගහනය තුළ ශේෂ වී පැවත කාලයකට පසුව නැවත ප්‍රතිවර්ධනය වී මතු වීම ඇතැම් අවස්ථාවල සිදු වී ඇත. උදාහරණ ලෙස වඳ වී ගොස් ඇතැයි සැලකුණු දැවැන්ත මී මැස්සා (giant bee -Megachile pluto). මෑතකදී ඉන්දුනීසියාවේ දුරස්ථ වන අඩවියකදී නැවත හමු විය. සොබාදහමේ චමත්කාරය එයය.

සියල්ල අතැඹුලක් සේ දනිතියි සිතුවත් මේ වර්ග කිලෝමීටර හැටපන්දහස් හයසිය දහයක කුඩා දිවයිනේ මිනිස් පා පහසක් නොලද බිම් ඕනෑ තරම් වන බව අප කල්පනා කරන්නේ නැත. ඔවුන්ගේ අතීත පැවැත්ම යථාර්ථයක් බව මගේ තාත්තා විශ්වාස කළේය. එසේ නම් මහා වනයේ ඉතා ගැඹුරින් අඩවි කිහිපයක තවමත් එවැනි මිනිසුන් (humanoid) අතළොස්සක් ජීවත් වීමට ඕනෑ තරම් ඉඩ තිබේ. (මනුෂ්‍යාභයෙකු යනු මිනිස් ස්වරූපය ඇති, එහෙත් හරියටම මිනිස් වර්ගයට අයත් ජීවියෙක්දැයි නොදන්නා සත්ත්ව විශේෂයකට භාවිත කළ හැකි නමකි) . කරුණාකර ඔවුන්ට ඔවුන්ගේ පාඩුවේ ජීවත් වීමට ඉඩ දෙන්න. මේ ශිෂ්ට, විද්‍යාත්මක සමාජයෙන් ඉල්ලන්නට ඇත්තේ එපමණකි.

 

 

අදහස්