පිටිගල කැවුමා හෙළි කළ මධුෂ්ගේ දියමන්ති කොල්ලයේ සුලමුල | Page 2 | සිළුමිණ

පිටිගල කැවුමා හෙළි කළ මධුෂ්ගේ දියමන්ති කොල්ලයේ සුලමුල

සේයාරූ - ගයාන් පුෂ්පික
  • අපරාධ කළේ දානපතියෙකුට ඇඳගෙන
  • කොංගෝවේ සිංහ තෙල් දාපු ලක්ෂ තිස්පහක සුරයක් වෙඩි නොවදින්න පැලඳගෙන
  • මධුෂ්ගේ අපරාධ ලංකාවේ සිට මෙහෙයවලා තියෙන්නෙ කැවුමා

පසුගිය දිනවල මහත් ආන්දෝලනයක් ඇති කළ කෝටි 500 දියමන්ති කොල්ලයේ සියලු තතු හෙළි කරගැනීමට මේ වන විට පොලිසිය සමත් වී සිටී.

පසුගිය නොවැම්බර් පස් වැනිදා සවස් යාමයේ පන්නිපිටියේ ඇරැව්වල පදිංචි ක්‍රිෂාන් ඩේවිඩ් පිරිස් නමැත්තාට අයත් කෝටි 2000ක් පමණ වටිනා බවට ඔහු සඳහන් කරන දියමන්තිය කොල්ලකා තිබුණේ මාකඳුරේ මධුෂ්ගේ සැලසුමක් අනුව ඔහුගේ ගෝල කණ්ඩායම් තුනක් එක්ව කළ කොල්ලයකිනි. මධුෂ් පසුගිය පෙබරවාරි හතර වැනි දා ඩුබායි පොලිසියට කොටු වීමත් සමඟ ඒ දියමන්ති කොල්ලය නැවතත් කරළියට ආවේය. ඒ අනුව එම දියමන්තිය ගැන විවිධ පුවත් මැවෙමින් තිබිණි. දියමන්තිය මධුෂ්ගේ ගෝලයන් ඩුබායි යැවූ බවටද වාර්තා විණි.

එහෙත් පසුගිය හතර වැනි දා රාත්‍රී හතයි තිහට පමණ කිරිබත්ගොඩදී පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිදු කළ මෙහෙයුමකින් 42 හැවිරිදි කැලුම් ඉන්දික සම්පත් හෙවත් කැවුමා නමැත්තා කොටු කරගැනීමට සමත් විණි. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී දියමන්තියේ සියලු තතු හෙළි කරගැනීමට පොලිසියට හැකි විණි.

ඒ අනුව එදින රාත්‍රියේම දියමන්තිය පාණදුර කෙසෙල්වත්තෙ කැවුමා කුලියට ගෙන තිබූ දෙමහල් නිවෙසේ උඩු මහලේ අල්මාරියක සඟවා තිබියදී පොලිසි බාරයට ගැනුණේ රන් අභරණ පවුම් 70කට අධික ප්‍රමාණයක් සමඟිනි. ඒ අතරේ ලක්ෂ 37ක මුදලක් වැය කර ලබාගත් සුරයක්ද විය. එම සුරය කැවුමා භාවිත කොට තිබුණේ වෙඩි නොවැදී ජීවත් වීමටය. ඔහුට එය ලබාදී තිබුණේ රූපවාහිනී නාළිකාවල පෙනී සිටින කූප්‍රකට ජ්‍යොතිෂවේදියකු බවට හෙළි වේ. කිරි කළ පනහකින් නහවා දින ගණනාවක්ම මස් මාංශ අනුභවයෙන් තොරව පැලඳු සුරයේ ගල්වා තිබුණේ කොං‍ගෝ වනයෙන් ගෙනා සිංහ තෙල් බවට කැවුමා පොලිසියට පවසා තිබිණි.

දියමන්තිය පැහැරගැනීමට ක්‍රිෂාන්ගේ නිවෙසට ගිය සය දෙනාගෙන් මධුර හෙවත් මාතර මල්ලි සහ නාලක හෙවත් ලොකු අයියා සහ ඊට ගිනිඅවි සපයමින් සහාය වූ කසුන් ධනංජය හෙවත් වෙඩිකන්දෙ කසුන් යන තිදෙනා මුලින්ම ජයන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. එහෙත් දියමන්තියට තිර ලෙසම වූයේ කුමක් ද යන්න ඔවුන් කිසිවෙකු දැන නොසිටි බව පොලිසියට පවසා තිබිණි.

ඒ මධුෂ්ගේ ගෝලයන් එකිනෙකා අතර කිසිදු සබඳතාවක් නොතිබූ නිසාය. කෙසේ හෝ ක්‍රිෂාන්ගේ නිවෙසට ගොස් දියමන්තිය කොල්ලකෑ මාතර මල්ලි ඇතුළු පිරිස එදින සවස හයයි තිහට පමණ එම දියමන්තිය සහ මැණික් ගල් ප්‍රමාණය මධුෂ්ගේ උපදෙස් මත කොල්ලය මෙරට සිට මෙහෙයවූ ප්‍රධානතම කොල්ලකරුවාගේ අතට ලබාදී තිබුණේ පිළියන්දල ප්‍රදේශයේදී බවට හෙළි වේ. එහෙත් මධුෂ්ගේ එම ප්‍රධාන ගෝලයා ගැන මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මඟින් අත්අඩංගුවට ගැනුණු පිරිස කිසිවක් හෙළිකර නොතිබිණි. එසේම මධුෂ්ගේ මෙරට සිටි ඒ සැඟවුණු ප්‍රධාන ගෝලයා ගැන පොලිසියද කිසිදු තොරතුරක් දැන නොසිටි බව හෙළි වේ.

ඒ අනුව පසුගිය දින කිපය තුළ රටේම පොලිස් ස්ථාන සේම විශේෂ පොලිස් ඒකකද මේ දියමන්තියට වූයේ කුමක්ද යන්න සෝදිසියෙන් සිටියේය.

ඒ අතර කැලණිය පොලිස් විශේෂ කාර්යාංශයට හෝඩුවාවක් ලැබිණි. අනතුරුව ලැබුණු හෝඩුවාව ගැන කොළඹ උතුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ පෑලියගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපාලි ජයසිංහ මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණයෙන් පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂකවරුන් වූ සංගීත් කැලුම්, විරාන් පෙරේරා සහ උ.පො.ප සමීර මංජුල ඇතුළු නිලධාරි කණ්ඩායමක් විධිමත් මෙහෙයුමක් දියත් කෙළේය.

මාතර මල්ලි ඇතුළු පිරිස පැහැරගත් දියමන්තිය පිළියන්දලදී බාර දුන් මධුෂ්ගේ ගෝල කල්ලියේ දෙදෙනෙකු පසුගිය පළමු වැනිදා කොටු කරගැනීමට පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීහු සමත් වූහ. ඒ රණාලේ කුරුඳුවත්තෙ විසූ 28 හැවිරිදි කසුන් සඳරුවන් සහ කඩුවෙල වැලිහිඳ විසූ 28 හැවිරිදි පනාගොඩගේ හේමාල් රංජන යන දෙදෙනායි. ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මේ කොල්ලයේ බොහෝ තොරතුරු මෙන්ම දියමන්තියට වූයේ කුමක්ද යන්න හෙළි වෙමින් තිබිණි. එහිදී හෙළි වූ විශේෂම හෝඩුවාවක් වූයේ දියමන්තිය මෙරටින් පිට නොකළ බවට වූ තොරතුරයි. ඒ අනුව එය රහසක් ලෙසම තවදුරටත් තබාගෙන විමර්ශන කටයුතු සිදු කිරීමට එම නිලධාරීහු ද සූක්ෂ්ම වූහ.

අත්අඩංගුවට ගනු ලැබූ දෙදෙනාගෙන් හේමාල් යනු දුරකතන අලෙවිසලක් පවත්වාගෙන ගිය ජංගම දුරකතන ගැන මනා දැනුමැත්තෙකි. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූයේ මේ දියමන්ති කොල්ලය සඳහාම ඔහු නවතම දුරකථන ඇප් එකක් යොදාගත් බවයි. ඒ කණ්ඩායම් තුනට දුන් දුරකතන තුනකට එම ඇප් එක යෙදීම මඟින් තුන් කට්ටුව සිටින ස්ථාන මනාව හඳුනාගැනීමට හැකි වන පරිදියි. එවන් දක්ෂයෙකු වූ හේමාල් මධුෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවය වීඩියෝගත කරමින් ඒ සියලු රූ දසුන් ඩුබායිහි සිට මධුෂ්ට නැරැඹීමටද අවස්ථාව සලසා දුන්නේය.

එලෙස හේමාල් අත්අඩංගුවට ගැනීමත් සමඟින් ඔහුගේ දුරකතන අලෙවිසලේ සේවය කළ හමුදා සේවයෙන් ඉවත් වූ අයකු දුරකථන ඇමැතුමක් ගෙන යම් අයකුට පවසා තිබුණේ හේමාල් සහ කසුන් අත්අඩංගුවට ගත් බවය. එම දුරකථන සංවාදය කන වැකුණු පොලිස් නිලධාරීන් ඒ ඔස්සේ පරීක්ෂණ පැවැත්වූයේ ඇමැතුම දුන්නෙ කාටද යන්න හෙළි කරගැනීමටය.

හේමාල්ගේ දුරකතන අලෙවිසලේ සේවය කළ එම තැනැත්තා පවසා තිබුණේ යහළුවෙකුට එලෙස පැවැසූ බවය. ඔහු ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මුදා හැරීමට පොලිසිය කටයුතු කළේය. එහෙත් ඔහු ඇමැතුම දුන් තැනැත්තා ගැන පොලිසිය හඹා ගියේය. ඒ වන විට එම පුද්ගලයා අතුරුදන් වී සිටියේය. එහෙත් අවසානයේ පසුගිය හතර වැනි දා රාත්‍රියේ කිරිබත්ගොඩදී කොටු වූයේ දුරකතන ඇමැතුම ලබාගත් පුද්ගලයාය. ඔහු කැලුම් ඉන්දික සම්පත් හෙවත් කැවුමාය.

කැවුමා මධුෂ්ගේ මෙරට සිටි ප්‍රධානතම ගෝලයා හෙවත් ලෝකල් මධුෂ් ලෙස සැලැකේ. මධුෂ් මෙන්ම කඩවසම් පුද්ගලයකු වන කැවුමා මධුෂ්ගේ නියෝග මත මෙරට සිට සියලු අපරාධ මෙහෙයවමින් 'සුපිරි' දිවියක් ගත කළ අයෙකි. කැවුමාගේ ගම් ප්‍රදේශය වූ පිටිගල ප්‍රදේශයේ විහාරස්ථානවලටද අත දිගහැර ලක්ෂ ගණනින් මුදල් වියදම් කොට ඇති ඔහු පාරවල්ද සාදවා තිබේ. කොන්ත්‍රාත් ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිට ඇත.

මුල් කාලයේ මධුෂ් රියැදුරු ලෙස සේවය කළ කඹුරුපිටිය ප්‍රදේශයේ බස් රථයක කැවුමා කොන්දොස්තර ලෙස සේවය කර තිබිණි. මීගමුව ප්‍රදේශයේ කොල්ලයක් නිසා 2005 වසරේ සිට 2015 දක්වාම සිරබත් කා ඇති ඔහුට එරෙහිව රටපුරා අධිකරණ නඩු කටයුතු රැසක්ම තිබුණත් ඉන් කිසිදු නඩුවකට මොහු අධිකරණයට ඉදිරිපත්ව සිටියේ නැත.

හේමාල් සමඟ අත්අඩංගුවට ගැනුණු කසුන් නමැත්තා කැවුමාගේ වැඩිමහල් සොහොයුරාගේ පුත්‍රයාය. කැවුමා පන්සල පාර, ගොඩාමුන, පිටිගල ලිපිනයේ පදිංචිව සිටියත් රටපුරාම සෑම තැනකින්ම පාහේ ඔහු නිවාස කිහිපයක්ම කුලියට ගෙන තිබිණි. ඒ, අපරාධ මෙහෙයුම් සඳහායි. එලෙස කුලියට ගෙන තිබූ නිවාස කිහිපයකම තිබී ගිනිඅවි, මුදල්, ස්වර්ණාභරණ බොහොමයක් මේ වන විට පොලිසියට සොයාගැනීමට හැකිවී තිබේ.

ඒ අනුව මොරටුව කටුබැද්දෙ නිවෙසක තිබී අති නවීන ගිනිඅවි රැසක ජීව උණ්ඩ දහසකට ආසන්න ප්‍රමාණයක් සමඟ යුද හමුදා නිල ඇඳුම්ද පෑලියගොඩ පොලිසිය සොයා ගත්තේය. එම ජීව උණ්ඩ අතර පොලිස් විශේෂ කාර්ය බළකාය භාවිත කරන එම්6 ගිනිඅවියේ උණ්ඩද විශාල ප්‍රමාණයක් තිබිණි. ඊට අමතරව ටී56 සහ 846 නමැති ගිනිඅවිවල ජීව උණ්ඩ තිබිණි. තවද ඔහු විසින් අපරාධ සඳහා යොදාගත් දුරකතන 132ක්ද එම නිවෙසේ තිබී පොලිසියට හමුවිය. ඔහු යම් අපරාධයකට යොදාගත් දුරකතනයක් එම අපරාධයෙන් පසුව සිහිවටනයක් ලෙස තබාගෙන තිබිණි. එම දුරකතන ප්‍රමාණයෙන් කැවුමා ඇතුළු පිරිස මෑත කාලයේ කෙතරම් අපරාධ සිදු කර තිබුණාද යන්න මනාව පසක් කරන්නකි.

තවද කැවුමාගේ පිටිගල නිවෙසේ ස්ථාන කිහිපයක වළ දමා තිබියදී රුපියල් ලක්ෂ එකසිය පනහකට අධික මුදලක්ද සොයාගැනීමට පොලිසිය සමත් වූයේය. එසේම තවදුරටත් ඔහු විසින් සඟවා තිබූ අවි ආයුධ රැසක්ම පොලිසියට සොයාගැනීමට සිටියත් වගකීම් විරහිතව මාධ්‍ය හෙළිදරව් කිරීම නිසා එම අවි ආයුධ තොග සොයා යන විට කැවුමාගේ ගෝලයන් විසින් ඒවා වෙනත් ස්ථානවල සඟවා තිබූ බව පෑලියගොඩ උසස් පොලිස් නිලධාරියෙක් අපට කීවේය.

කැවුමා උසාවි නියෝග මත රඳවාගෙන කරන ලද වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී වෙඩිකන්දේ කසුන්ගේ නිවෙසේ කැවුමා විසින් සඟවා තිබූ තවත් ගිනිඅවි දෙකක් සහ ජීව උණ්ඩ කිහිපයක්ද පසුගිය හයවැනි දා සොයාගැනීමට පොලිසිය සමත් වූයේය. ඒ අතර තිබූ එක් ගිනිඅවියක් මෑත කාලයේ මෙරටින් ‍සොයාගත් කුඩාම ගිනිඅවියක් බව පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර පැවැසීය.

කැවුමා ලක්ෂ 65ක මුදලක් වැය කොට මොරටුව ප්‍රදේශයෙන් ඉඩමක් මිලට ගෙන තුන් මහල් නිවෙසක්ද ඉදි කරමින් තිබෙන බවටද අනාවරණය වේ. එසේම මොහු බන්ධනාගාර ගතව සිටි සමයේදී ඔහු සමඟම අපරාධයට බන්ධනාගාරගත වූ කාන්තාවක සමඟ ඇතිවූ පෙම් පලහිලව්වක් මත බන්ධනාගාරය තුළදීම විවාහ වී ඇති බවට ඒ දිනවල පුවත්පත්ද වාර්තා කර තිබූ බව පොලිසිය හෙළි කළේය. පොලිස් පරීක්ෂක රංගජීව ඇතුළු පිරිස එල්ල වූ ප්‍රහාරය මෙන්ම කළුතර බන්ධනාගාර බස්රථ ප්‍රහාරයද මෙහෙයවා ඇත්තේ මොහු බවට හෙළි වේ.

මධුෂ්ගේ පියාගේ අවමංගල්‍යයට හෙලිකොප්ටරයක් ඇණවුම් කොට තිබුණේ දිනේෂ් නමැත්තෙකු බවට ඒ දිනවල වාර්තා විණි. එදා දිනේෂ් නමැති ව්‍යාජ නාමයකින් එම ගුවන්යානය ඇණවුම් කර ඇත්තෙ මෙදා කොටු වූ කැවුමායි. කැවුමාට දියමන්තිය සමඟ මාතර මල්ලි ඇතුළු පිරිස ගෙනැවිත් දී තිබූ මැණික් ගල් ප්‍රමාණය මේ වන විට ඩුබායි වෙත යවා ඇති බවට හෙළි වේ. ඊට ඔහු යොදාගෙන ඇත්තෙ කාන්තාවන් පිරිසකි.

මධුෂ් අත්අඩංගුවට පත් වීමට පෙර දිනකට අනිවාර්යයෙන්ම වරක් හෝ අමතන බව හෙළි කළ කැවුමා දියමන්තියද ඩුබායි වෙත යැවීමට විවිධ උපක්‍රම යොදා ඇත. එහෙත් එය අපහසු කාර්යයක් වී තිබී ඇත්තේ දියමන්තිය මඳක් විශාලත්වයෙන් වැඩිවීමත් සිරුරේ සඟවාගෙන යැවීමට නොහැක්කේ දියමන්තිවලින් ශරීර අභ්‍යන්තරය පිච්චෙන හෙයිනි. එහෙත් ඔහු මධුෂ්ගේ ගෝලයන් හරහා කීප අවස්ථාවකදීම ඒ සඳහා උත්සාහයක් ගෙන තිබේ.

 

 

Comments