පිළිකා නසන බුලතේ ගුණ | Page 2 | සිළුමිණ

පිළිකා නසන බුලතේ ගුණ

  • පුවක්වල සහ හුනුවල ඍජු පිළිකා කාරක නැහැ
  • පිළිකා ඇති කරන්නේ දුම්කොළ විස

බුලත් කිව් සැණින් බොහෝ දෙනකුගේ මතකයට නැඟෙන්නේ බුලත්විට හැපීමෙන් ඇති වන මුඛ පිළිකාය. අනියත බියක් ඇති කර ගත්තත් බුලත් යනු පිළිකා නාශක ගුණ සහිත වටිනා ඖෂධයකි. ශ්‍රී ලාංකික සංස්කෘතියට අනුබද්ධ වූ බුලත් පුරාණ රජදරුවන් පවා ආහාරයට ගෙන ඇත. ඉතිහාසයේ මෙරට සිරකරුවකුව සිටි රොබට් නොක්ස් බුලත් ඖෂධීය ආහාරයක් ලෙස පරිභෝජනය කර ඇත.

සිංහලයන් ඉංග්‍රීසින්ට යටත් වන තුරු බුලත් ඖෂධීය ආහාරයක් වුවද ඉංග්‍රීසින් බුලත් කොළය සමඟ සැපීමට දුම්කොළ එකතු කිරීමෙන් පසුව බුලත්විට මිනිසාට අහිතකර විය. පිළිකා කාරකය වන්නේ දුම්කොළ මිස බුලත් කොළ නොවේ.

බුලත් කොළවල ඇස්පාටික් අම්ලය, ලයිසීන්, ග්ලූටමික් අම්ලය, ප්‍රෝලින්, වේලින්, ලියුසීන්, අයිසො ලියුසීන් මෙතියොනින්, ත්‍රියෝනින් යන ඇමයිනෝ අම්ල ද පොස්පරස්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, මැංගනීස්, කොපර්, සින්ක් සහ යකඩ ද අඩංගුය. එසේම බුලත්වල අඩංගු ඉයුජිනෝල්, චවි බිටෝල්, පීනෝල් නිසා බුලත් කොළවල ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති වේ. මේවා බුලත් කොළවල ඇති ප්‍රධාන ක්‍රියාකාරී රසායනික සංයෝග වේ.

ඒ නිසා ශරීරයේ නිපදවෙන ඔක්සිකාරක මුක්ත ඛණ්ඩ ඉවත් කර ශරීරය නිරෝගී කිරීමේ හැකියාව බුලත් කොළවල ඇත. ඒ නිසා පිළිකා වැළැක්වීම, දියවැඩියාව වැළැක්වීම, හෘද වස්තුව ආරක්ෂා කිරීම, අක්මාව සහ ආහාර මාර්ග පද්ධතිය ආරක්ෂා කිරීම, මුත්‍රා ආබාධ සුව කිරීම, විෂබීජ නාශනය, ප්‍රතිප්‍රදාහ ගුණය සහ කැස්ස සමනය කිරීම වැනි ඖෂධීය ගුණාංග රාශියක් බුලත් කොළවල අඩංගු වේ.

ඉහත රසායනික සංයුතිය සැලකූ විට පෙනී යන ප්‍රධාන කාරණය වන්නේ බුලත් කොළවල පිළිකා කාරක කිසිවක් අඩංගු වී නැති බවය. බුලත්වල අඩංගු වන්නේ පිළිකා නාශකය‍. නමුත් දුම්කොළවල රසායනික සංයුතිය සැලකීමේදී පෙනී යන්නේ එහි පිළිකා කාරක අඩංගු වන බවයි. දුම්කොළවල පිළිකා කාරක නයිට්‍රෝ සංයෝග බොහෝමයක් අඩංගුය. එනම් නයිට්‍රෝයෝ පිපෙරතීන්, නයිට්‍රෝසෝ නිකොටීන්, නයිට්‍රෝසෝ ප්‍රෝලීන්, නයිට්‍රෝසෝ ඩයිඑතැනොනලැමීන් යන නයිට්‍රෝ සංයෝග දුම්කොළවල අන්තර්ගත ය. මේවා පූර්ව පිළිකා සංයෝග වේ.

එසේම පුවක්වල අඩංගු අනෙකුත් සංයෝග වන්නේ ඇරිකොලින්, ඇරිකෙඩින්, ගුවාසින්, ගුවාකොලින්ය. මින් වඩා ක්‍රියාකාරි සංයෝගය වන්නේ ඇරිකොලින්ය. එම සංයෝග කිහිපය ඍජු පිළිකා සංයෝග නොවේ.

බුලත්විට දුම්කොළ සමඟ සැපීමේදී නයිට්‍රෝසෝ ඇමීන රාශියක් නිපදවේ. ඒවා ඉහළ පිළිකා ජනක සංයෝග වේ. එම සංයෝග සියල්ල නිපදවෙන්නේ දුම්කොළ ඇති විට පමණි. බුලත් හපන විට නිපද වන ඒවා මුඛ පිළිකා ඇති කරයි. පුවක්වල අඩංගු ඇරිකොලින්, ගුවාකොලින් ඍජු පිළිකා කාරක නොවූවත් එම නයිට්‍රෝසෝ ඇමීන් ඇති විට ඒවා එම සංයෝගවල ක්‍රියාකාරිත්වය වැඩි කරයි. පුවක්වල සුළු ප්‍රතිපෝෂක ප්‍රමාණයක් අඩංගු ය. අතීතයේ පුවක් ආහාරයට ගනු ලැබුව ද ඒවායින් පිළිකා ඇති නොවූයේ බුලත්වල අඩංගු ඉහළ පිළිකා නාශක ගුණය නිසා ය.

පුවක්වල අඩංගු ක්‍රියාකාරි සංයෝගවල සුළු ප්‍රතිපෝෂකයන් නිෂේධනය වනු ඇත. හුනුවල පිළිකා ජනක අඩංගු නැත. නමුත් සුළු විකිරණශීලීතාවක් ඇත. බුලත්විට දුම්කොළ සමඟ සැපීමේදී නිපදවෙන නයිට්‍රෝසෝ ඇමීන මුඛ පිළිකාවලට හේතු වේ. හුනුවල ඇති සුළු විකිරණශීලීතාව ද එකතු වූ විට පිළිකා කාරක බව වැඩි වේ.

බුලත් කෑමේදී බුලත් හපය මුඛය තුළ දවස පුරාම රඳවාගැනීම හානිකරය. එයින් මුඛය තුළ ඇති සියුම් ශ්ලේෂ්මල පටලවලට හානි සිදු වී එමඟින් පිළිකා කාරක සංයෝග පැතිරිය හැකි ය. බුලත්වල නියම ගුණ ලැබීමට නම් බුලත් හපය දුම්කොළ රහිතවම යොදා ගත යුතු ය. ඒ වෙනුවට එනසාල්, සාදික්කා, කරාබු නැටි, ඉඟුරුපියලි, කපුකිණිස්ස ඇට, කයිප්පු යොදාගත් බව පුරාණ ග්‍රන්ථවල සඳහන් වේ. එම බුලත් හපය හොඳින් සපා වරක් හෝ දෙවරක් කෙළ ඉවත ලෑමෙන් බුලත්වල අඩංගු ඖෂධීය ගුණය ලැබෙනු ඇත. ඒ නිසා දුම්කොළ රහිත ව, පුවක් රහිතව අනෙකුත් ඖෂධ සමඟ දවසකට වරක් හෝ දෙවරක් සැපීමෙන් කිසිදු උපද්‍රවයක් ඇති නොවේ. මේ ආකාරයට අද බුලත්විට සකස් නොකිරීමෙන් සෞඛ්‍ය ගැටලු ඇති වේ.

බුලත් හොඳ ස්නායු උත්තේජකයකි. ආහාර රුචිය වර්ධනය කරයි. බුලත්වල ප්‍රතිප්‍රදාහ ගුණ ඉහළය. විෂබීජ නාශක ගුණ ඉහළය.

බුලත්වල අඩංගු Piper betol, Piperol A, Piperol B වැනි සංයෝග රුධිර පට්ටිකාවල Platelet aggregation නම් ක්‍රියාවලිය නිෂේධනය කරයි. එයින් රුධිර කැටි ඇති වීම වළක්වයි. ඒ නිසා හෘදයාබාධ ඇති වීම වළක්වයි. බුලත්වල ප්‍රතිශක්තිය ඉහළ නැංවීමේ හැකියාව ඇත. අක්මාව ආරක්ෂා කිරීමේ හැකියාව ඇත. ශරීර උෂ්ණත්වය පාලනය කරයි. බුලත්වල නිර්වින්දන ගුණ ඇත. බුලත් නිසා මානසික පීඩනය අඩු කෙරේ. මේ අනුව බුලත් යනු මහඟු ඖෂධයකි.

 

අදහස්