බුදුවරුන් පහළ වන්නේ සිල්වතුන් බිහි කරන්න පමණක් නොවෙයි! | Page 2 | සිළුමිණ

බුදුවරුන් පහළ වන්නේ සිල්වතුන් බිහි කරන්න පමණක් නොවෙයි!

අද අප කතා කරන්න සූදානම් වන්නේ උදායි සූත්‍ර දේශනාව පිළිබඳවයි. දිනක් උදායි නම් ස්වාමීන් වහන්සේ කොසඹෑ නුවර ගෝෂිතාරාමයේ ආනන්ද තෙරුන් වහන්සේ වැඩවාසය කරන කාලයේ උන් වහන්සේ බැහැදකින්න වැඩියා. බැහැදැක, ආනන්ද ස්වාමීන් වහන්සේ සමඟ සතුටු-සාමීචියේ යෙදුණා. උදායි තෙරුන් ආනන්ද තෙරුන්ගෙන් ප්‍රශ්නයක් නැඟුවා.

"ස්වාමීනි, ආයුෂ්මත් අානන්ද! බුදු රජාණන් වහන්සේ නොයෙකුත් ආකාරයෙන් මේ ශරීරය අනාත්මයි කියා දේශනා කොට වදාළා. උන් වහන්සේ සිතත් අනාත්මයි කියලාත් දේශනා කොට තිබෙනවාද?"

ඊට පිළිතුර පැහැදිලි කරන්න කලින්, මේ ප්‍රශ්නය ගැඹුරු නිසා අප මුලින්ම ප්‍රශ්නය නිවැරදිව තේරුම් ගනිමු.

'කය' කියන්නේ අපේ ශරීරයට කියන නමක්. එහි තේරුම සමූහය, රාශිය, ගොඩ කියන අදහසයි. පාලි අට්ඨකථාවේ සඳහන් වන්නේ එහෙමයි. ශරීරය කියන්නෙ එකක් නොවෙයි; බොහෝ දේවල එකතුවක්. මේ කය තුළ ප්‍රධාන කාරණා කිහිපයක් තිබෙනවා. ශරීරයේ අස්ති කැබැලි තුන්සීයක් තිබෙනවා; ප්‍රධාන නහර තිබෙනවා හැටක්; සියලු නහර අනූවක්. ඒ වගේම ශරීරයේ මස්පිඬු නවසීයක් තිබෙනවා; සන්ධි තිබෙනවා එකසිය අසූවක්. ඒ වගේම සෝතස් -ඒ කියන්නේ අපද්‍රව්‍ය පහ කරන තැන්- තිබෙනවා දහයක්. කුඩා සෝතස් අසංඛ්‍යෙයක් තිබෙනවා (මේ සෝතස් නියමාකාරයෙක් ක්‍රියා කරන්නේ නම් ශරීරයේ ලෙඩ රෝග හුඟාක් දුරු වනවා). මේ අංගවලින් සම්පූර්ණ වූ ශරීරය පවත්වාගන්න බැරි නිසා කියනවා 'අනාත්මයි' කියලා. තමන්ට කැමැති විදිහට හැම දෙයක්ම කරන්න බැහැ කියලා නොවේ මේ කියන්නේ. අපේ එදිනෙදා කටයුතු අපට කරන්න පුළුවන්.

'පරමාණුව' හා 'රූප කලාපය'

පුංචි පුංචි කොටස්වලින් තමයි අපේ මේ ශරීරය සැකසිලා තිබෙන්නේ. කෙස්ගහක් ලොකු කරලා බැලුවාම එය හොඳින් දැනගන්න පුළුවන්. නවීන විද්‍යාව මේ කුඩාම කොටසට පරමාණුව කියා කියනවා. ඍෂිවරුන් ආයුර්වේදයේ මිනුම් ඒකක පටන් අරගෙන තිබෙන්නෙත් පරමාණුවෙන්. මහායානයෙත් ඉතා කුඩා මූලධර්මවලින් දහවැනි තැන තමයි පරමාණුව. කෙසේ නමුත් බුදුදහමේ කුඩාතම කොටස 'පරමාණුව' කියා හඳුන්වා නැහැ‍. බුදුදහමේ කතා කර තිබෙන කුඩා අංශුවක් තිබෙනවා. එය 'රූප කලාපය' නමින් හැඳින්වෙනවා. රූප කලාපය පරමාණුවට වඩා වෙනස්. පරමාණුව බෙදන්න බැහැ කියලා තමයි එය සොයාගත් උදවිය මුලින් හිතුවේ. ඒත් පස්සෙ හොයාගත්තා එය කොටස් තුනකට බෙදන්න පුළුවන් කියලා. හැබැයි මේ රූප කලාපය නම් බෙදන්න බැහැ. එය ඉතා කුඩායි.

චිත්තක්ෂණ

ය හැදිලා තිබෙන්නේ කොටස් අටක් මුල් කරගෙනයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන අටෙන්. මේවා රූප කලාපයෙන් කිසි සේත් වෙන් කර ගන්න බැහැ. මේ රූප කලාපයක් ශුද්ධාෂ්ටකවලිනුයි හැදී තිබෙන්නේ. මේ රූප කලාව බෙදන්න බැරි වුණාට මෙය ස්ථිර එකක් නොවෙයි; සදාකාලික එකක් නොවෙයි. ඉතා කුඩා කාලයක් තුළ ඇති වී පැවැතී නැති වනවා. රූප කලාප ඇති වී නැති වන්න යන්නේ චිත්තක්ෂණ දාහතයි. බුදුදහමේ මිනුම් ඒකකයක් තමයි මේ 'චිත්තක්ෂණ' කිය‍ා හඳුන්වන්නේ.

ක්ෂණයකින් කෝටියෙන් පංගුවක්. ක්ෂණය හරියට තේරුම් ගන්නනම් ඍද්ධිලාභියකුවත් විය යුතුයි කියලයි බුදුදහමේ සඳහන් වන්නේ. අපට එය තේරුම් ගන්න අමාරුයි. මේ රූප කලාපයක් ඇති වී පැවැතීම තේරුම් ගන්න ඕනෑ පෙණ පිඬක් දිහා බලාගෙන ඉන්නවා වගේ. මේ පෙණවල පුංචි බුබුළු හටගෙන ඒවා බිඳී යනවා, ඒ බුබුළු බි‍ඳෙද්දී තවත් බුබුළු ඇති වනවා. රූප කලාපවල බිඳීමත් මේ අයුරුයි. එක රූප කලාපයක් බි‍ඳෙන විට තව රූප කලාපයක් හට ගන්නවා. මේ කය පොළොවට පස් වන තුරුම මේ ක්‍රියාවලිය සිද්ධ වනවා. රූප කලාපවල ඇති වීම, පැවැතීම, බිඳීම: උප්පාද, ඨිති, භංග කියලා මේ දේවල් හඳුන්වනු ලබනවා.

මේ ඇති වීම, පැවැතීම, නැති වීමට තනි වචනයක් කියනවා. එනම් 'අනිත්‍ය' බව. මේ අප කතා කරන්නේ උපදින, වයසට යන, ලෙඩ වන, මැරෙන අනිත්‍යතාව නොවෙයි. ත්‍රිලක්ෂණයේ අනිත්‍ය කියන්නේ ඉන් එහාට ගිය ගැඹුරු දෙයක්. ධර්මාවබෝධයට නම් විදර්ශනා භාවනාව පුරුදු කරලා මේ රූප කලාපවල අනිත්‍යතාව වටහාගන්න අවශ්‍යයි. නිකම්ම උපදින, වයසට යන, මැරෙන-එක ගැන මෙනෙහි කරලා අපට ධර්මාවබෝධය ලබන්න බැහැ. අනිත්‍යතාව පුරුදු කරන්න නම් විදර්ශනා වඩන්න ඕනෑ.

මේ අනිත්‍යතාව කාට වත් වෙනස් කරන්න බැහැ. එහෙත් අපේ කය අපට බාහිර දේවලින් වෙනස් කරන්න පුළුවන්. ඒවා තාක්ෂණික දියුණුවත් සමඟ ඇති වී තිබෙන දේවල්. ඒත් මේ රූපකලාපවල ඇති වීම, පැවැතීම, නැති වීමයි අපට වෙනස් කරන්න බැරි. ඒ නිසයි මෙය වෙනස් කරන්න බැරි අනාත්ම දෙයක් කියලා හඳුන්වන්නේ.

දැන් උදායි භික්ෂුව විසින් ආනන්ද හිමියන්ගෙන් අසන ලද ප්‍රශ්නයටයි අප මේ මුලපිරුවේ. "කය අනාත්මයි කියලා බුදුන් දේශනා කළා. හිතත් අනාත්මයි කියලා දේශනා කළාද?" කියලයි ප්‍රශ්න කළේ. එවිට ආනන්ද තෙරුන් "ඔව් උදායි, සිතත් අනාත්මයි" කියල පිළිතුරු දෙනවා. උදායි අසනවා නැවත "කෙසේද සිත අනාත්මයි කියා පවසන්නේ?" කියලා.

ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා "උදායි, ඇසයි රූපයි නිසා චක්ඛුවිඥානය හට ගන්නවා. ඇස මුල් වෙලා හටගන්නා නිසා එයට 'චක්ඛු විඤ්ඤාණය' කියා කියනවා. මේ වගේ තමයි කන, නාසය, දිව, ශරීරය යන මේ සියල්ල එක හා සමානයි. අස්තිවල, රෝම කූපවල, නියවල කායප්‍රසාදීන් හටගන්නේ නැහැ. ඇස නැති වීමෙන් චක්ඛු ප්‍රසාදීන් නැති වනවා. එයින් අදහස් කරන්නේ ඇස නැති වනවා කියලා නොවෙයි. මෙහිදී කියන්නේ ඇස වෙනත් දෙයකට යොමු වීමෙන් මෙය සිදු වන්න පුළුවන්. හේතුව නැති වීමෙන් ඵලය නැති වනවා. මෙයින් අප තේරුම් ගන්නට ඕනෑ සිත අනිත්‍යයයි කියලා. හේතුව නැති වීමෙන් පලය නැති වනවා. සිත අනිත්‍ය නිසා ඵලය නැති වී ගියා.

සිතත් අනාත්මයි

මේ රූපයේ ඇති අනිත්‍යතාවන් වෙනස් කරන්න පුළුවන් ක්‍රම තිබුණත් රූපකලාපවල තිබෙන උප්පාද, ඨිති, භංග තමයි අප මෙතනදී වෙනස් කරන්න බැහැ කියලා කියන්නේ. අන්න ඒ වගේ සිතට ඇති වන හේතුව නැති වීමෙන් මේ සිත නැති වනවා. මේ අනිත්‍යතාව කාට වත් වෙනස් කරන්න බැරි නිසා සිත අනාත්මයි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ උදායි භික්ෂුවට දේශනා කළා.

"සිතට ආයුෂ චිත්තක්ෂණ එකයි. වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන හතරෙහි ආයුෂ චික්තක්ෂණ එකයි. චිත්තක්ෂණයක් තුළ ඇති වනවා, පවතිනවා, නැතිව යනවා. උප්පාද, ඨිති, භංග. කිසිම කෙනකුට වෙනස් කරන්න බැහැ. සිතත් අනාත්මයි" කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කළා.

බුදුවරුන් උපදින්නේ ඇයි?

සිල්වතුන් බිහි කරන්න පමණක් ලොවුතුරු බුදුවරුන් ලෝකයට පහළ වන්නේ නැහැ. අකුරු අටකින් යුක්ත වචන තුනක් තියනවා. ඒ වචන තුන කියලා දෙන්න තමයි ලොවුතුරා බුදුවරුන් පහළ වන්නේ.

ඒ වචන තුන තමයි: අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා කියන්නේ. අනිච්ඡ, දුක්ඛ, අනත්ත. මේ අකුරු අටකින් යුතු වචන තුන කියලා දෙන්නයි බුුදුවරුන් මේ ලෝකයට පහළ වන්නේ.

එසේ නම් සම්බුද්ධ සාසනයකින් අප ගන්න ඕනෑ වැදගත්ම දේ මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ඉගැනීමයි.

මේ දේ නොකෙරුවොත් සම්බුද්ධ සාසනයේ උණුසුම වත් අපට වදින්නේ නැහැ.

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අවබෝධ කරගන්න සෑම දවසකම සෙත්පිරිත් සජ්ඣායනා කරන්න; ටික වේලාවක් හෝ භාවනා මනසිකාරයක යෙදෙන්න; මසකට දවසක් හෝ දානයක් පූජා කරන්න; පුළුවන් හැම දවසකම ගෙදර ලොවුතුරු බුදු රජාණන් වහන්සේට බුද්ධ පූජා පවත්වන්න. මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අවබෝධ කරගැනීමට ඔබට හැකි වීමට තුනුරුවන්ගේ පිහිට ලැබේවා!

අදහස්