මන්නාරමේ සමූහ මිනී වළෙන් හෙළි වන්නේ බටහිර ම්ලේච්ඡත්වයේ සාක්ෂි ද? | Page 2 | සිළුමිණ

මන්නාරමේ සමූහ මිනී වළෙන් හෙළි වන්නේ බටහිර ම්ලේච්ඡත්වයේ සාක්ෂි ද?

  • ඇමෙරිකාවට යැව්වෙ හමුදාවේ යුද අපරාධ හොයන්න 
  • විද්‍යාත්මක සාක්ෂි කියන්නෙ ඓතිහාසික අපරාධයක තොරතුරු

මන්නාරම සමූහ මිනී වළෙන් සොයාගත් අස්ථි කොටස් වසර 600ක් පමණ පැරැණි බව පසුගිය 07 වැනි දා බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් විය. මන්නාරම මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතා ඒ බව ප්‍රකාශ කරනු ලැබුවේ අතුරුදන් වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් විසින් මන්නාරම සමූහ මිනී වළේ නඩුව මෝසමක් මඟින් කැඳවනු ලැබූ අවස්ථාවේදීය. එම මිනී වළෙන් හමු වූ අස්ථි කොටස් සාම්පල් 6ක් ඇමරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ පිහිටි බීටා ඇනලයිටික් ආයතනයට කාබන් නිර්ණ පරීක්ෂාවට යවනු ලැබුවේ පසුගිය ජනවාරි 23 වැනිදා ය.

ඒ අනුව මන්නාරම සමූහ මිනී වළෙන් හමු වූ මිනිස් ඇටකැබලි ක්‍රි:ව: 1499 - 1719 කාල වකවානුවට අයත් බව ඇමෙරිකාවේ බීටා ඇනලයිටික් ආයතනයෙන් සිදු කළ කාබන් නිර්ණ පරීක්ෂණයෙන් තහවුරු කර ඇත.

මන්නාරම සමූහ මිනී වළ ප්‍රථම වරට හමු වන්නේ ඉකුත් වසරේ මාර්තු 26 වැනිදා ය. ඒ පැරණි සතොස ගොඩනැගිල්ල කඩා ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබී මිනිස් ඇටකැබලි තොගයක් හමු වීමේ සිද්ධියත් සමඟ ය. නීත්‍යනුකූල සුසාන භූමියකින් හැර වෙනත් ස්ථානයකින් මිනිස් අස්ථි කොටස් හමු වුවහොත් ඒ පිළිබඳව පරීක්ෂණයක් කිරීම නීතිමය වශයෙන් මෙරට පවතින පිළිගත් සම්ප්‍රදායයි. ඒ අනුව මන්නාරම පොලිසිය ඒ සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළ අතර මහේස්ත්‍රාත් ඒ.ජී. ඇලෙක්ස්රාජාගේ නියෝගය යටතේ අදාළ ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කෙරිණි.

එම කැණීම් කටයුතු අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශ‍ෙය් මහාචාර්ය රාජ් සෝමදේව, රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුළු පිරිසකගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි. එම කැණීම්වලදී මළසිරුරු සැකිලි 329ක් හමු වී ඇති අතර අදාළ සිරුරු අතරින් මිනිස් සිරුරු 318කට අයත් අස්ථි කොටස් මන්නාරම අධිකරණයේ තැන්පත් කර ඇත. ඒ අතර කුඩා දරුවන්ගේ යැයි සැලකෙන සිරුරු කොටස් 29ක් වෙයි.

මන්නාරම සමූහ මිනී වළ ගැන මහත් ආන්දෝලනාත්මක පුවතක් ලෙසින් අද කතා කළ ද ලංකාවේ ප්‍රථම වතාවට හමු වූ සමූහ මිනී වළ මෙය නොවේ. සූරියකන්ද, මාතලේ, චෙම්මනි, මිරිසවිල්, මන්නාරමේ කෙතීස්වරම් කෝවිල අසල එවැනි සමූහ මිනී වළවල් හමු වී තිබේ. සමූහ මිනී වළක් සහ සුසාන භූමියක් හඳුනාගැනීමේ දී අවධානය යොමු කරන කරුණු අතර මළ සිරුරු තැන්පත් කර ඇති ක්‍රමය කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වනු ලැබේ. දිශානතියකට අනුව විධිමත් ලෙස ඇටසැකිලි මිහිදන් වී තිබේ නම් එම ස්ථානය සුසානභූමියක් ලෙස අනුමාන කළ හැකිය. එසේ ක්‍රමවත් නොවන ආකාරයට අවිධිමත් අන්දමින් ඇටසැකිලි හමුවේ නම් එම ස්ථානය සමූහ මිනී වළක් ලෙස සැලකිය හැකිය.

මන්නාරම සතොස ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ එක් පසෙක විධිමත් ආකාරයට මිහිදන් කළ මළසිරුරුවල අස්ථි කොටස් හමු වී ඇතත් ඊට යාබද ස්ථානයකින් හමු වී තිබෙන්නේ ක්‍රමවත් නොවන ආකාරයට මිහිදන් කළ මළසිරුරු කොටස්ය. 88 - 89 භීෂණ යුගයේ අතුරුදන් වූ අයගේ අස්ථි හමු වූ සූරියකන්ද සමූහ මිනී වළ සේම උතුරු ප්‍රදේශයේ පැවැති යුද්ධයේදී අතුරුදන්වූ අයගේ මළසිරුරු අස්ථි කොටස් එම සමූහ මිනී වළේ තිබිය හැකි යැයි චෝදනා එල්ල වූයේ ඉන්පසුව ය.

කැණීම් සිදු කරන දිනවල විමර්ශන කටයුතු පිළිබඳ තොරතුරු ලබා ගැනීමට උදේ සහ සවස් වරුවේ පැය 1/2 බැගින් අවසර දී තිබුණ ද විවිධ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු වාර්තා කිරීම නිසා මන්නාරම මහේස්ත්‍රාත් ටී.ජේ. ප්‍රභාකරන් විසින් මන්නාරම අධිකරණයේ B 232/2018 දරන නඩුවට අදාළ කැණීම් සිදු කරන භූමිය වෙත ඇතුළුවීම, ඡායාරූප ගැනීම, දර්ශන පටිගත කිරීම තහනම් කරමින් වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබීය. මෙම වාරණ නියෝගයත් සමඟ සමූහ මිනීවළ පිළිබඳ තොරතුරු සැඟවී යනු ඇතැයි බො‍හෝ දෙනා බිය පළ කළහ.

උතුරු ප්‍රදේශයේ යුද්ධය පැවැති වකවානුවේදී ආරක්ෂක අංශ අත්අඩංගුවට ගැනීමෙන් පසු අතුරුදන් වූ අයගේ ඇටසැකිලි මෙහි තිබෙන බවට සැක පහළ කළ මන්නාරම් ප්‍රදේශයේ වැසියෝ මේ සම්බන්ධයෙන් අතුරුදන් වූවන් සෙවීම සඳහා පත් කර ඇති ආයතනටය පැමිණිලි කළහ. අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලය මන්නාරම සමූහ මිනී වළ සම්බන්ධයෙන් සිදු කෙරෙන කටයුතුවලට දායකත්වය සැපයුවේ ඉන් අනතුරුවය. අධිකරණ නියෝගයකට අනුව අස්ථි සාම්පල් 6ක කාබන් කාල නිර්ණ පරීක්ෂණය සඳහා ඇමෙරිකාවේ බීටා ඇනලයිටික් ආයතනයට භාරදීමට අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ පිටත් වූයේ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ දායකත්වයෙනි.

මේ වන විට අස්ථි සාම්පල් හයේ කාල නිර්ණ පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබී තිබේ. ඒ අනුව 1 වැනි සාම්පලය ක්‍රි:ව: 1477 - 1642 අතර විය හැකි බව ද 2 වැනි සාම්පලය ක්‍රි:ව: 1538 - 1635 අතර ද 3 වැනි සාම්පලය ක්‍රි:ව: 1404 - 1450 අතර ද 4 වැනි සාම්පලය ක්‍රි:ව: 1416 - 1490 අතර විය හැකි බවද 5 වැනි සාම්පලය ක්‍රි:ව: 1426 - 1516 අතර ද 6 වැනි සාම්පලය ක්‍රි:ව: 1404 - 1450 අතර විය හැකි බව දන්වා එවා තිබේ.

මේ අනුව මෙම මළසිරුරු අයත් වන්නේ ලංකාව පෘතුගීසින්ට සහ ලන්දේසින්ට යටත්ව තිබූ කාල වකවානුවට ය. ලංකාව පෘතුගීසින්ට යටත්ව තිබුණේ ක්‍රි:ව: 1505 - 1658 අතර කාලයේ වන අතර ලන්දේසින්ට යටත්ව තිබුණේ ක්‍රි:ව: 1640 සිට ක්‍රි:ව: 1796 අතර කාලයේදී ය.

මෙම කාලයට අයත් සුසාන භූමියක් මන්නාරම එම ප්‍රදේශයේ තිබුණාදැයි අපි නොදනිමු. ඇතැම් විටෙක ලන්දේසින් විසින් පෘතුගීසින්ගේ බළකොටු ආක්‍රමණය කිරීමේදී ඇති වූ ප්‍රහාරවලින් මිය ගිය අයගේ සිරුරු විය හැකිය. තවත් විටෙක ආගම් ප්‍රචාරයත් සමඟ ඇති වූ කෝලාහලවලින් මිය ගිය අයගේ සිරුරු විය හැකිය. කෙසේ හෝ එම මළසිරුරු මෑත භාගයේ මරණයට පත් වූවන්ගේ නොවන බව නම් ප්‍රත්‍යක්ෂ වී ඇත. වෝහාරික පුරාවිද්‍යාව සම්බන්ධයෙන් කටයුතු කරන මහාචාර්ය රාජ් සෝම‍ෙද්ව මහතා, ඇටසැකිලි සම්බන්ධයෙන් අර්ථ නිරූපණය කිරීමට අවශ්‍ය සාක්ෂි පෙළ ගැස්වීමේ විශේෂඥ සහය ලබා දෙන අතර අස්ථි කොටස්වල ඇති ජීව විද්‍යාත්මක ලක්ෂණ ඇතුළු විද්‍යාත්මක සාධක සම්බන්ධයෙන් මන්නාරම රෝහලේ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිත ය.

මන්නාරම සමූහ මිනී වළේ ඉදිරි කටයුතු පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගෙන් විමසූ විට, “මම මේ කැණීම් කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කරනවා. ඒත් මට මේ සම්බන්ධයෙන් කිසිම තොරතුරක් මාධ්‍යයට ප්‍රකාශ කරන්න එපා කියලා අධිකරණය දැනුම් දුන් බවට කැණීම් භාර අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මට පැවසුවා. ඒ නිසා අදාළ කාල නිර්ණ වාර්තාව පිළිබඳ මට අදහස් ප්‍රකාශ කිරීම අසීරුයි.” යනුවෙන් පැවසීය.

මේ වන විට මීටර් 13ක් දිග මීටර් 11ක් පළල ප්‍රදේශයක කැණීම් කටයුතු සිදු කර ඇත. 155 වැනි දිනටත් කැණීම් කටයුතු කරගෙන යන්නේ මෙය නවතා දැමීමට අධිකරණය නියෝග නිකුත් කර නැති නිසා ය. ඒ අනුව මන්නාරම සමූහ මිනී වළ ඉතිහාස තොරතුරු රැසක මූලාශ්‍රයක් වීමට ඉඩ ඇත.

අදහස්