ශාන්ති උපාධිය පාස් වුණාම අල්ලපු ගෙදර තැපැල් පියන්ට ඇති වූ ඉරිසියාව ගිය දුරක් | Page 2 | සිළුමිණ

ශාන්ති උපාධිය පාස් වුණාම අල්ලපු ගෙදර තැපැල් පියන්ට ඇති වූ ඉරිසියාව ගිය දුරක්

මිනිස් සිත සැපත සතුට ම ආසාවෙන් බලාපොරොත්තුවෙන් සිටී. වක්කඩ ළඟ තනි කකුලෙන් කණකොකෙකු කුඩ මසෙකු ගොදුරු කර ගැනීමට බලා සිටින්නාක් මෙන් පසිඳුරන් පිනවීමට ම අපේක්ෂාවෙන් සිටී. වෙනත් කෙනෙකු සැප විඳිනු දැක එහි සිත ගැටී ඉරිසියාව තරහව නමැති අරූපමය ශක්තියක් ගොඩ නඟා ගනී. එයින් දැවි දැවී දුකට පත් වේ.

කෙනෙකු සැපතක් සතුටක් විඳින්නේ පෙර කරන ලද කුසලයක විපාකය නිසා ය. ඒ හේතු ඵල නොදන්නා අශ්‍රැතවත් පෘථග්ජනයා මට නැති සැපත තොට මොකටදැයි සිතා අනුන්ගේ සතුට විනාශ කරන්නට උපාය යොදා මතු අපායේ වැටෙයි. අනුන්ගේ සැපත දැක මුදිතා ගුණයෙන් සතුටු වන්නට නොදනී. තමන් නොදන්නා නොහඳුනන ඈත පළාතක කෙනෙකුට රුපියල් කෝටියක ලොතරැයි ජයග්‍රහණයක් ලැබුණාට ඉරිසියාවක් හට ගන්නේ නැත. අසල්වැසියාට රුපියල් පන්සියයක ජයක් ලැබුණොත් සිතේ සර්පයා අවදි වෙයි. තමන්ගේ දුව ඇහි බැම මයිල් ගලවා මුහුණේ බදාම තවරා විලාසිතා කරන විට සතුටු වෙයි. කාර්යාලයේ අල්ලපු මේසයේ වයසක උන්දෑ අලුත් සාරියක් ඇඳගෙන ආවොත් හිත පුපුරු ගසන්නට පටන් ගනී. එදා දවස ම සිත දැවෙයි. ඇගේ සාරියට හොදි පීරිසියක් හැලුණොත් හිත ඇතුළේ මඟුල් ගෙදරක් වගේය.

වඳුරඹ ශාන්තී 35 හැවිරිදි ය. පෞද්ගලික ආයතනයක රැකියාවක යෙදේ. විවාහකය. ඇ‍ෙග් ශරීරය කෙට්ටු වී අතපය වේදනාවෙන් පෙළෙයි. ඇගේ ගුදමාර්ගයේ තුවාලයක් ඇතැයි ඇයට නිතර දැනෙන්නට විය. එහෙත් ඇත්තට ම ඇයට එවැනි තුවාලයක් නැත. වෛද්‍ය පරීක්ෂණවලින් ද ඇගේ නිරෝගී බව සනාථ වී ඇත. එහෙත් රාත්‍රියට ගුද මාර්ගය කසමින් මහත් පීඩාවක් ‍විඳී. මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලින් ද කිසිදු සහනයක් නොවීය. මේ වේදනාව, අසනීපය ඇගේ ස්වාමි පුරුෂයා පිළිගන්නේ ද නැත. රාත්‍රි හරිහැටි නින්දක් නොලබා ඇය විඳිනා වේදනාව ගැන දුකට පත් ඇගේ මව වත්ෙපිළිවෙත් කළත් එයින්ද වැඩක් වූයේ නැත.

දිනක් ඇය සැමියාට හොරෙන් මෑණියන් සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන ආවාය.

පළමු රෝග පරීක්ෂාවේදී ඇය පස්ස කස කසා දඟලන්නට වූවාය. ඇයට භූත දෝෂයක් ඇති බව වටහා ගත් ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස ද එදින ස්වාමි පුරුෂයා කැඳවාගෙන එන ලෙස ද නියම කළේය.

බෝධි පූජා අවසන් කොට ඇය මවත් සැමියාත් සමඟ ආවාය. එදින ඇගේ ශරීරයට භූතාත්මයක් ආවිෂ්ට වී කතා කරන්නට විය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තේය.

“කවුද මේ ශරීරයට රිංගාගෙන ඉන්නේ?” යි ප්‍රශ්න කළේය.

“මම පියසේන” ප්‍රේතයා උත්තර දුන්නේය.

“කවුද පියසේන කියන්නේ?”

“මේ ශාන්තිගේ ගෙදරට අල්ලපු ඉඩමේ ගෙදර හිටපු තැපැල් පියන්.”

“කොයි කාලෙද මැරුණේ?”

“අවුරුදු 10කට කලින් පපුව හිරවෙලා මැරුණා.”

“ඇයි මේ ශාන්තිට කරදර කරන්නේ?”

“අපේ ගෙවල් දෙකේ අය ඉස්සර ඉඳලා ම තරහයි. මේ ශාන්ති උපාධිය පාස් වුණාම මට ඉරිසියා හිතුණා. මෙයාට රස්සාවලට එන ලියුම් මම කඩලා බැලුවා. රස්සාවකට එන ලියුම් නම් කඩලා බලලා සම්මුඛ පරීක්ෂණය දවස පහුවුණාම ගෙනැත් දෙනවා. රස්සාවකට තෝරා ගත් බවට ලියුමක් ආ‍වොත් ඒක දුන්නේ නෑ.”

“තමුන් මහා අපරාධකාරෙයෙක්නේ. දුක් විඳලා ඉගෙන ගෙන රස්සාවකට එන ලියුම් නොදී ජීවිතයකට විශාල පාඩුවක් කරලා. ඒක බරපතළ අපරාධයක්. අනුන්ගේ රස්සාවක් නැති කරලා කැත සතුටක් විඳපු පාහරයෙක්. තමන් රස්සාව කරලා කෑවේ බිව්වේ මේ රටේ මහ ජනතාවගේ සල්ලිවලින්. රස්සාව කරලා හම්බ කරන මිනිසාගේ නියම ස්වාමියා මහජනතාව. ගොවි කම්කරු දහදිය හෙළා උපයන දෙයින් තමයි හැම කෙනෙක් ම යැපෙන්නේ. ඒක නොදැන ජීවත්වන මෝඩයා. මරණෙන් මතු ප්‍රේතයෙක් වෙලා දුක් විඳිනවා. පියසේනට සිද්ධ වුණෙත් ඒ ටිකම තමයි. මැරුණට පස්සේ තමුන්ට මොකද වුණේ?”

“මම මළාට පස්සෙ ශාන්තිගේ ගුද මාර්ගයේ උපන්නා.” යි ප්‍රේතයා කීවේය.

ප්‍රේතයා අඬන්නට වූයේය.

“අනේ මහත්තයා මට වෙන කිසි දෙයක් ආහාරයට ගන්න බැහැ. මට හරිම බඩගිනියි!”

“එහෙම නම් මේ ශරීරය අත් හැරලා දැන් ඉවත්ව යන්න ඕනෑ.”

“මොනවා තමුසේ මට උන්හිටි තැන් නැති කරන්නට හදන්නේ? එතකොට මම ජීවත් වෙන්නේ කොහොමද?”

ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන්නට විය.

“තෝ මාව පුච්චන්නේ මම තොට මොන වරදක් කළාටද? මම තෝව කනවා” යි ප්‍රේතයා වියරුවෙන් ගවේෂකවරයාගේ ඇඟට පැන්නේය.

වේවැල් පහර කීපයක් එල්ල කළ ගවේෂකවරයා ප්‍රේතාත්මය පාලනය කළේය.

“අනේ ගහන්න නම් එපා. පුච්චන්නත් එපා. දැවිල්ලයි දැවිල්ලයි. දරාගෙන ඉන්න බැහැ” යළිත් අඬන්නට වූයේය.

තවත් සතියක් බෝධි පූජා පවත්වන ලෙස ද බෝධි පූජාව අවසානයේ බුදුගුණ අනන්තය, බුදු ගුණ අනන්තය, “බුදු ගුණ අනන්තය. ඒ බුදු ගුණ බලයේ මම සුවපත් වෙමි. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා” යි මුමුනමින් සිත ඒකාග්‍රවන තුරු ඒ සමථ භාවනාවේ යෙදෙන ලෙස උපදෙස් දුන්නේය. මේ අය සමඟ බෝධි පූජාවට ගොස් ශාන්ති මුමුනන භාවනාවට සවන් දී එයම මෙනෙහි කරන ලෙස ප්‍රේතයාට නියම කළේය.

බෝධි පූජා පවත්වන අවස්ථාවේදී පෙර දැනුණු වේදනා නොදැනුණ බවත් නි‍ෙවසට ආපසු රාත්‍රියට නැවතත් වේදනා දැනෙන බවත් ඊළඟට පැමිණි දිනයේ ශාන්ති ගවේෂකවරයා සමඟ කීවාය.

එදින ද ශාන්තිගේ ශරීරයට භූතාත්මය ආවිෂ්ට කළ ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට දවාලන්නට විය.

“අනේ දැවිල්ලයි... දැවිල්ලයි... පුච්චන්න එපා... පුච්චන්න එපා... දරා ගන්න බෑ” යි ප්‍රේතයා අඬන්නට විය.

“හැබෑද? ඔන්න ඔය වගේ වේදනාවක් තමයි ප්‍රේතයා නිසා ශාන්තිත් විඳින්නේ. තමුනගේ වේදනාවේ දී දුක දැනෙනවා වගේ තමයි අනුන්ටත් දැනෙන්නේ දුක. අන්න ඒක කල්පනා කර මේ ශරීරයේ ඉවත් වෙලා යන්න ඕනෑ.”

“ඉතින් ඊට පස්සේ මම කන්නේ මොනවද කුසගින්නට?”

“අනුන්ට ඊර්ෂ්‍යාවෙන් කළ පාප කර්මයේ විපාක තමන්ම තමයි විඳින්න ඕනෑ.! යළිත් දවාලන්නට විය. .

“අනේ පුච්චන්න එපා... කියන දෙයක් මම කරන්නම්.” යැයි ප්‍රේතයා කීවේය.

එ‍ෙස් නම් ශාන්තිගේ ශරීරයෙන් ඉවත්ව ඇගේ දෙපා මුල සිට දෙසතියක් “කමාව අයදිමි, කමාව අයදිමි, කමාව අයදිමි. මා කළ වරදට සමාව ලැබේවා” යි කියා සමාව ලබා ගන්නා ලෙස ප්‍රේතයාට නියම කළේය.

ශාන්ති පියවි සිහියට පත් කොට තමන්ද සසර කවදා හෝ කොතැනක හෝ අනුන්ට ඉරිසියාවෙන් කරන ලද පාපයක විපාකයක් ලෙස සලකා මේ අල්ලපු ගෙදර ප්‍රේතයාට අනුකම්පා කොට‍ මෛත්‍රීය පතුරුවන ලෙස නියම කළේය. එසේ ‍කොට තවත් දෙසතියකින් නැවත එන්නැයි නියම කළේය.

දෙසතියකට පසු ආපසු පැමිණි ශාන්ති දැන් තමන් සම්පූර්ණයෙන් ම සුවපත්ව සිටින බව කීවාය. ගවේෂකවරයා පලතුරු වට්ටියක් ගෙන්වා ප්‍රේතයා ඊට සම්බන්ධ කොට ඔවුන් අතම කැලණියට යැව්වේය.

අදහස්